මට මා ගැන ආඩම්බරයි

දුමාල් වර්ණකුලසූරිය
දෙසැම්බර් 26, 2019

රියැලිටි වේදිකා මතින් මෙරට සංගීත ක්ෂේත්‍රයට පිළිපන් ගායක ගායිකාවන් බොහෝය. ආපස්සට සිතා බලත්දි ඒ අතරින් ස්ථාවර ගමනක නියුතු වෙමින් අදටත් සංගීත ලොව තුළ පෙරලි කරන නිර්මාණ කරුවෝ ඇත්තේ කිහිප දෙනෙකි. ඔහුද එවන් පෙරළිකාරයෙකි.ඔහු දුමාල් වර්ණකුලසූරියය.දක්ෂතාවයත් හැකියාවත් උපතින්ම කරපින්නාගෙන ජීවිතය ලද ඔහු එය තවදුරටත් ඔපවත් කර ගත්තේ විධිමත් සංගීත අධ්‍යාපනයකිනි. තරු අතර තවත් එක් තරුවක් නොවී සංගීත ලෝතයේ නිම් වළලු සොයා ඔහු අපූර්ව සෞන්දර්යය චාරිකාවක නියුතු වෙයි.

අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ඔහු ගායකයෙකු වශයෙන් මතු වුවද මේ මොහොත වනවිට ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙකු වශයෙන්ද උඩුගං බලා පිය මනිමින් සිටී. ‘නාද ‘නමින් සංගීත කණ්ඩායමක්ද පවත්වා ගෙන යමින් සංගීත කටයුතු වෙනුවෙන්ම කාර්ය බහුලව සිටී.

“ මේ දවස්වල මගේ කාලය වැඩියෙන්ම වැය වෙන්නේ නාද සංගීත කණ්ඩායමේ ඉදිරි කටයුතු සඳහාත් ගීත පටිගත කිරීම් හා සංගීත අධ්‍යක්ෂණ කටයුතුත් වෙනුවෙනුයි. පසුගිය කාලය තුළ චිත්‍රපට කිහිපයකටම පසුබිම් ගායනයෙනුත් එක් වුණා.ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට මෙන්ම ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය කිහිපයකත් ගීත ගායනය කළා. පසුගිය දිනක සශිකා නිසංසලා අක්කාට ගීතයක් නිර්මාණය කළා.මට හිතෙනවා දැන් මම වැඩියෙන්ම සංගීත නිර්මාණ කටයුතු වල යෙදෙන්න කැමැතියි කියලා.‘

දුමාල් ගේ ඒ කැමැත්ත අපේ සංගීත ක්ෂේත්‍රයට අතිශයින්ම සුබදායී පුවතක්. අළුත් සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රවිශ්ටය අපිට කොයි තරම් වාසනාවක්ද? විශේෂයෙන්ම දුමාල් වැනි සංගීත ශාස්ත්‍රය නිවැරදිව හදාරමින් මේ ක්ෂේත්‍රයට පැමිණෙන නිර්මාණකරුවන් අතින් බිහිවෙන නිර්මාණ අපේ සංගීතය තව තවත් ඉහලට ඔසවා තබනවා.දුමාල් සංගීත නිර්මාණකරුවෙකු වශයෙන් සිය හැකියාවන් ප්‍රකට කරන්නේ මීට බොහොම කාලයකට ඉස්සර. ඔහු ගායකයෙකු වන්නටත් ප්‍රථම ගීත කිහිපයක්ම නිර්මාණය කර තිබුණා. නමුත් ඒවා ප්‍රසිද්ධියට පත් වී තිබුණේ නැහැ.

‘ඇත්තටම ගායකයෙකු කියන වෘත්තීය ජීවිතයෙන් දැන් මට මිදෙන්න බෑ. නමුත් ඊට සමගාමීවම මම සංගීත අධ්‍යක්ෂවරයෙකු වශයෙනුත් කටයුතු කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.මේ රටේ ප්‍රේක්ෂක ජනතාව බොහෝ විට මාව හඳුනා ගන්නේ ගායකයෙකු වශයෙන් පමණයි. නමුත් දැන් මම සංගීත අධ්‍යක්ෂවරයෙකු වශයෙනුත් කටයුතු කරනවා. මේ වනවිට බොහෝ දෙනෙක් නොදන්නවාට ගීත සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය කරලා තිබෙනවා.කාලයක් පුරා මම මේ අත්දැකීම විඳලා තියෙන නිසා මට දැන් බයක් නෑ. දැන් විශ්වාස කරනවා ඒ සඳහා මට ලොකු අත්දැකීමක් තියෙනවා කියලා.ඒ හින්දා සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරන්න මට බයක් දැනෙන්නේ නෑ. ‘‘

අත්දැකීම් කියන්නේ හැම විටම මිනිසෙක් පරිපූර්ණයට පත් කරන්නට උදවි දෙන්නක්. දුමාල් ද සංගීත ක්ෂේත්‍රයේ නොයෙක් අත්දැකීම් විඳීමින් බොහෝ දුර පැමිණි තරුණයෙක්.ඒ ජීවන ගමන තුළ ඔහුට සිහිපත් කළ හැකි සොඳුරු මතකයන් බොහෝය.දුමාල් රියැලිටි තරුවක් ලෙසින් ලාංකේය ජන හදවත් තුළ නිධන් ගත වුවද ඔහු ගේ ගමන් මඟ ඉන් එහා ගිය සොඳුරු ප්‍රාර්ථනාවන් , අපේක්ෂාවන් රාශියකගෙන් සමන් විත වූවක්.අද වන විට ඔහු ඉන් පියවරෙන් පියවර තම අරමුණු කරා පිය ඔසවමින් සිටින්නෙක් බවට පත් වෙලා.

“ මම ආපු ගමන් මඟ දෙස ආපස්සට හැරිලා බලන කොට මට මෙහෙම දෙයක් හිතෙනවා.මගේ ගැන මම හිතන්නේ වෙන ගමනක් ආව කෙනෙක් විදියට.මම එකපාරටම මේ ක්ෂේත්‍රයට පිවිසුණු චරිතයක් හැටියට තමයි ආවේ. සාමාන්‍යෙයන් රියැලිටි ෂෝ වලින් එන බොහොමයක් දෙනා එහෙමනේ. නමුත් ඊට පස්සේ මම මුලින් මතුවුණු වේගෙටත් වඩා බාගයකටත් වඩා අඩු වේගෙකින් තමයි මේ වනතුරු ගමන් කළේ.දැන් මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් අරන් අවුරුදු දහයකටත් වැඩි කාලයක් වෙනවා. ඒ ගමන ගැන මට තියෙනවා ධනාත්මක තක්සේරුවක්.ප්‍රධානම කාරණාව තමයි මම නිර්මාණ කරපු විදිය සහ නිර්මාණ තෝරබේරගෙන ආපු විදිය සම්බන්ධව.මම විශ්වාස කරනවා ඒක හරිම ධනාත්මකයි කියලා .ඒක ඇතුලේ මට දැනෙනවා මම සාර්ථකයි කියලා. ප්‍රධානම දේ තමයි අවස්ථා ගණනාවකදිම හොඳම ගායකයා හැටියට සම්මාන ලැබීම.‘‘

අද වන විට දුමාල්ට සම්මාන යන්න අමුතු දේවල් බවට පත් වී නොමැත්තේ පැමිණි මේ කෙටි දුරතුළදීම ඔහු සම්මාන විශාල ප්‍රමාණයක් ලබා තිබීම නිසයි. දුමාල්ට ඉස්ඉස්සරලාම සම්මානයක් ලැබෙන්නේ පිට රටකින්. ඒ ඔහු සංගීත අධ්‍යාපනය ලබන්න ඉන්දියාවේ භාත්ඛන්ඩේ විශ්ව විද්‍යාලයට ගිහින් සිටි අවදියේ. තරග කරුවන් විශාල ප්‍රමාණයක් අතරින් හොඳම ස්වර වාදන ශිල්පියා හැටියට එවර දුමාල් භාත්ඛන්ඩේ සම්මානය දිනා ගන්නවා. පසුව ඔහුට ලංකාවේදී ලැබෙන ප්‍රථම සම්මානය වෙන්නේ 2013 හෝ 2014 රාජ්‍ය සංගීත සම්මානය.ඉන් පසු ඔහු හොඳම ගායකයා හැටියට රූපවාහිනි රාජ්‍ය සම්මානය දිනාගන්නවා ‘රණා‘ ‘ටෙලි නාට්‍යෙය් ගීත ගායනය වෙනුවෙන්.නැවත වතාවක් ඔහුට රාජ්‍ය සංගීත සම්මානය ලැබෙනවා. ඉන් අනතුරුව තමයි ඔහුට චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් සරසවිය සම්මානය හිමි වෙන්නේ. කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ අධ්‍යක්ෂණය කළ ‘‘ ප්‍රේමය නම් ‘ චිත්‍රපටයේ ගායනය වෙනුවෙන්.

‘ නිවී ගිය සඳ පහන

දල්වන්න යළි පැමිනෙන්න

ලිහී ගිය මල් කළඹ

ඇහිඳීන්න - මල් සිප ගන්න‘

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද සංකල්පනාව ට සංගීතවත් කලේ ආචාර්ය රෝහණ වීරසිංහයන් .දුමාල්ට චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයෙන් ලැබුණු පළමු සම්මානනීයත්වය ලැබෙන්නේ එහෙමයි.

‘‘ ඇත්තතටම අද මට මම ඉන්න තැන ගැන පුංචි ආඩම්බරයක් තියෙනවා. මොකද දරුවෙක් හැටියට මගේ අම්මටයි තාත්තටයි ඕන වෙලා තිබුණා මාව එතෙන්නට අරගෙන යන්න.මම විශ්වාස කරන්නේ මම තරුවක් නෙවෙයි කියලා.තරු ඕනතරම් ඉඳලා තියෙනවා අදටත් ඉන්නවා .ඉදිරියටත් බිහිවෙයි. නමුත් මම තරු කියන සංකල්පය යටතේ ගායකයෙක් වුණාට මම තරුවක් නොවෙයි කියන තැන තමයි මම ඉන්නේ.නමුත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඒ රියැලිටි තරග හරහා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ගායකයෙක් විදියට කැමරාවක් ඉස්සරහා කොහොමද හැසිරෙන්නෙ කියන එක පවා මම ඉගෙන ගත්තේ රියැලිටි ෂෝ එක හරහා.ඔවුන් පැවැත්වුව වැඩමුළු හරහා මම ඉගෙන ගත් දේවල් ඇත්තටම කිවුවොත් මට ඉන්දියාවෙ ගිහින් වත් ඉගෙන ගත්තේ නෑ.ඒ තරගාවලිය ඇතුලෙන් මේ ගමන එන්න මම ගොඩාක් දේවල් එකතු කර ගත්තා.

මට හිතෙන්නේ දුමාල් ගේ සංගීත දිවිය පටන් ගන්නේ මව් කුසයේ සිටමයි. ඔහුගේ මව සංගීත ගුරු උපදේශිකාවක් . ඇය විශාරදවරියක් මෙන්ම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක්.පියා උඩරට වෙස් නැට්ටුවෙක් , ගිටාර් වාදකයෙක් සහ හොඳ ගායකයෙන්.මව් පිය පාර්ශ්වයෙන් උරුම වන කලාවේ ජාන ඔහුට නොපිහිටා තිබෙන්නේ කෙලෙසකද?දුමාල්ට මව් කුසයේ සිටම ඇසෙන්නේ ශාස්ත්‍රීය ගීත නාද. මෙලොවට ජනිත වූදා පටන්ම ඔහුගේ කන් හුරු වෙන්නේ මේ අති සෞන්දර්යයවාදී නාදයන් වෙනුවෙන්. දවසින් දවස ඔහු ලොකු මහත් වෙන්නේ කන් පිනවන මියුරු හඩ වලින් ප්‍රම්‍රදිත වුණු පරිසරයක් මැද්දේ.

මම දවසින් දවස ලොකු මහක් වෙත්දි අම්මා සංගීත පන්ති කරලා තියෙන්නේ මාව උකුලෙ තියාගෙන.මම පහ හය පන්ති වල ඉන්නකාලෙ අම්මා පන්ති වල උගන්නද්දි මම තබිලා එක ගහලා තියෙනවා.පොඩි කාලෙ ඉඳන්ම අම්මා මට සංගීතය ඉගැන්නුවා. මම අපොස සාමාන්‍ය පෙල කරනකොට විශාරද විභාගය කරලා ඉවරයි.මම උසස්පෙල කරලා ඉවර වුණු ගමන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලේ ශිෂ්‍යත්වය ලැබිලා වැඩිදුර ඉගෙන ගන්න ඉන්දියාවේ ලක්නව් වලට යනවා. නමුත් මම එහෙදි ප්‍රගුණ කරන්නේ ගායනය විෂය නොවෙයි . මගේ ප්‍රධානම විෂය වෙන්නේ වයලීන් වාදනය හා සරෝද් වාදනය. ගායනය සෙසු විෂයක් හැටියට මම ඉගෙන ගන්නවා. සරෝද් වාදනය ලංකාවේ නම් ඉතාම අඩුවෙන් භාවිතා වන වාද්‍ය භාණ්ඩයක් .

ඉන්දියාවේ පවා මේ භාණ්ඩය වාදනය කරන අය ඉන්නේ බොහොම ටික දෙනයි.මටත් මේ භාණ්ඩය වාදනය කරන්න ඉගෙන ගන්න ආස හිතුනේ ඉන්දියාවේ ගියාට පස්සේ. ඒ කාලේ භාත්ඛන්ඩේ විශ්ව විද්‍යාලයේ සරෝද් වාදනය උගන්වපු මහාචාර්යවරයා අපේ විශ්ව විද්‍යාලයේ උප කුලපති බවට පත් වුණා. පසුව මම ගිහින් ඔහුව මුණ ගැහිලා මේ ගැන කිවුවා.නමුත් ඔහු ඒකට කැමති වුණේ නෑ . ඒකට හේතුව වුණේ මම සරෝද් වාදනය කරන්නේ වම් පැත්තට . ඉන්දියාවෙත් වම් පැත්තට සරෝද් වාදනය කරන අය ඉන්නේ ඉතාම අල්ප වශයෙන් . ඒ කාලේ වම් පැත්තට සරෝද් වාදනය කරන්න ඉඳලා තියෙන්නේ බාබා අලාවුද්දීන් කාන් විතරයි.ඉතින් ගුරු ජී කැමති වුණේ නෑ මට උගන්නන්න . පස්සේ හරි අමාරුවෙන් ඔහුව කැමති කර ගත්තා. ඉතින් දැන් මම මේ භාණ්ඩය ලංකාවේ ප්‍රචලිත කරන්න උත්සාහ කරනවා. පසුගිය කාලේ දර්ශන රුවන් දිසානායකගේ ‘ ගොවි තාත්තා‘ චිත්‍රපටයේ සංගීතය සඳහා මම සරෝද් වාදනයෙන් එක් වුණා.ටෙලි නාට්‍ය ගීත කිහිපයකම සංගීතය සඳහා යොදා ගත්තා සශිකා නිසංසලා වෙනුවෙන් මම නිර්මාණය කරපු ගීතය සඳහාත් සරෝද් වාදනය යොදා ගත්තා.

දැන් මගේ බලාපොරොත්තුව මේ භාණ්ඩය ලංකාවේ ප්‍රචලිත භාණ්ඩයක් බවට පත් කිරීමයි මේ භාණ්ඩය වාදනය කරන්න ටිකක් අමාරුයි. හරියට ස්වර ස්ථාන හඳුනා ගන්න ඕන. නමුත් ලංකාවේ ඕන තරම් අය ඉන්නවා මෙක වාදනය කරන්න හැකියාව තියෙන. මගේ ගායන හැකියාව දියුණු වුනේ මේ භාණ්ඩයත් සමඟ නිතර කල ස්වර පුහුණු කිරීම් සමඟයි. ඊට පස්සේ මම බොහොම ගැඹුරු විදියට ගායනය සඳහා පුහුණු වීම කළා .මේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් සමඟ මට බොහෝ පහසු වුණා ලංකාවේ සරල ගී ගායනයේදී මගේ හඩ හසුරුවා ගන්න

චිත්‍රපට පසුබිම් ගීත ගායනය ගායනයෙකුට ලැබෙන අසිරිමත් අවස්ථාවක් කියලා මට හිතෙනවා. ඒ අසිරිය ක්ෂේත්‍රයට පිවිස නොබෝ කලකින්ම විඳීන්න දුමාල්ට අවස්ථාව ලැබෙනවා. ඔහු ඉස්ඉස්සරලාම චිත්‍රපට පසුබිම් ගීතයක් ගායනා කරන්නේ ‘‘ සිහිනය දිගේ එන්න‘ චිත්‍රපටය සඳහා. ඒ චිත්‍රපටය සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ දිනේෂ් සුබසිංහ විසින් . ඒ වනවිට පසුබිම් සංගීතය පිළිබඳ හැරීමක් හෝ අත්දැකීමක් දුමාල්ට තිබිලා නෑ.

‘ ඇත්තටම මේ චිත්‍රපටයේ මම සිංදු කිව්වේ දිනේෂ් අයියා දුන් උපදේශ පිලිපැදලා . එහෙම නැතුව ඒ වනවිට චිත්‍රපට පසුබිම් ගීත ගායනය පිළිබඳ දැනුමක් හෝ අත්දැකීමක් තිබුණේ නෑ. නමුත් දිනේෂ් අයියගේ උපදෙස් පිට ගැයූ ඒ ගීත ලස්සනට ආවා. ඊට පස්සේ මම චිත්‍රපට පසුබිම් සංගීතය ගැන හදාරන්නට පටන් ගත්තා.ගොඩාක් අවධානය යොමුවුනේ හින්දි හා දෙමළ චිත්‍රපට පසුබිම් ගීත ගායනය කෙරෙහි. විශේෂයෙන්ම මගේ අධ්‍යයනය ‘හරිහරන් ‘ කෙරෙහි යොමු වුණා.හරිහරන් ජී චිත්‍රපටයේ ඒ ඒ අවස්ථාවන්ට තමන්ගේ හඩ වෙනස් කරන්නේ කොහොමද වගේ දේවල් මම හොඳීන් අධ්‍යයනය කලා.ඊට පස්සේ බාලසුබ්‍රමනියම් වගේ කෙනෙක්.ඕන නළුවෙකුට ගැලපෙන්න ගීත ගායනා කරන්න දන්නවා.ඊට පස්සේ ලංකාවේ ජෝතිපාල මහත්මයා අධ්‍යයනය කරන්න ගත්තා. ඔහු කිසිම ශාස්ත්‍රිය අධ්‍යයනයකින් තොරව පසුබිම් ගීත ගයපු කෙනෙක් .ඉතින් මේ අධ්‍යයනත් සමඟ ගායනයේ යෙදෙනකොට මට ටිකෙන් ටික අවබෝධ වෙන්න ගත්තා මගේ හඩ අවස්ථානුකූලව කොහොමද හසුරුවන්නේ කියන එක.

මේකට හොඳම උදාහරණයක් තමයි ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ ඝර සරප චිත්‍රපටය. දුමාල් මේ චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කරනවා.

‘ ඇත්තයට ඝරසරප‘ තේමා ගීතය මුලින් ගායනා කලාම මට දැනුණා ඒක මදි වගේ කියලා. මොකද මගේ හඩ යෙදවෙන්නේ ජැක්සන් ඇන්තනී කියන දැවැන්ත පෞරුෂයකට අනිත් පැත්තෙන් ඔහු මේ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ කළු කුමාරයා ගේ චරිතය . අනිත් පැත්තෙන් ගීතයේ සංගීතයට බෙරවාදන ආදියක් ඇතුළත් වෙනවා. ඒ නිසා මම නැවත වතාවක් මගේ හඩ බර කරලා ඒ ගීතය දෙවැනි වතාවටත් ගායනා කළා.

දිව්‍ය නදී ගලා යාද මුව ඇඳීරිය වෙලාවේ

රාස ගිනිදුමු පැතිරයේ ඉත්කෑ කළු වලාවේ

සේනා පැය විස්කම්පාල

මායම් එක සැරේ

රුහිරුන් සේම කඳුලෙන්

පහර දුන්නෙමි එනසැරේ

මේ මහිමත ඒක ඝෝෂ

ඒකධීර ඒකජාල.........

දුමාල්ගේ සංගීත දිවියට අම්මා තාත්තාගෙන් ලැබුණු පිටිවහල මෙන්ම අද දින ඔහුගේ බිරියගෙන් ලැබෙන සහයෝගයද මේ ගමනට ඔහුට මහත් ආශිර්වාදයක්. අප ඔහුගේ නිවෙසට ගිය මොහොතේදී දුමාල්ගේ සිය බිරිය රැකියාවට ගොස් සිටි බැවින් ඔවුන් දෙදෙනාගේ ආදර දියණියගේත් තනිවට ඔහුගේ පියා පැමිණ සිටියා.

ඉදිරියේදී තිරගතවීමට නියමිත දුලීකා මාරපන හා සුජීව ප්‍රියලාල් ගේ ‘ සුපර්ණා ‘ චිත්‍රපටයටද පසුබිම ගායනයෙන් ඔහු එක්වුණා.දුමාල් ගායනා කළ බොහෝ සරල ගීත තිබුණද ඒවා ගයනුයේ කවුරුන්ද යන්න බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. රනා, මද්දහන, ඒකදිග කතාවක්, සක්කාරං ඇතුළු ටෙලි නාට්‍ය ගනනාවකට ඔහු ගීත ගායනා කර ඇත.මේ සියළු දේ සමඟින් තවත් බොහෝ නිර්මාණ මෙරට ප්‍රේක්ෂකයාට සමීප කරවීමේ අදහසින් දුමාල් යන මේ ගමනට අපේ සුභාශිංසන ද පිරිනමමු.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.