කොලිවුඩයේ හැදුණු යූ ටර්න් නොදැක

බොලිවුඩයෙන් ආ ලංකාවේ ගම්‍යා
දෙසැම්බර් 26, 2019

 

මේ සුරූපිණිිය ගම්‍යා විජේදාස යනුවෙන් මම ඔබට හඳුන්වා දෙමි. තවදුරටත් ඇය පිළිබඳ විස්තර සඳහන් කළොත් 2009 වසරෙ මිස් ශ්‍රී ලංකා මිස් වර්ල්ඩ් ලෙසට අභිසෙස් ලැබුවේ ද ගම්‍යා යි. මේ දිනවලදී ඇය ජනාදරයට පාත්‍රව සිටින්නේ යූ ටර්න් සිනමාපටයේ ඇය කරනා රංගනය නිසාවෙනි. එහි මායා ලෙස ගම්‍යා රඟන්නීය. කලක් විදෙස්ගතව සිටි ඇය වත්මනෙහි මෙරට කාලය ගත කරයි. රංගන ශිල්පිණියක හැටියට ක්ෂේත්‍රය තුළ දිගින් දිගටම කටයුතු කිරීමයි ඇගේ අපේක්ෂාව.

ගම්‍යා,

 

යූ ටර්න් ඔබේ පළමු සිනමා නිර්මාණය නෙවෙයිද?

ඔව්. මං මුලින්ම රඟපෑවේ අරුණ ජයවර්ධන මහත්මයාගේ 1970 ලව් ස්ටොරි චිත්‍රපටයේ. ඒක තවම තිරගත වුණේ නැහැ. යූ ටර්න් තමයි මං රඟපාපු චිත්‍රපට අතරින් පළමුවරට රිලීස් වුණ චිත්‍රපටය.

 

ඔබ ඉන්දියානු සිනමාවටත් මේ වන විට එකතු වෙලා?

සිංහල චිත්‍රපටවලට එන්න කලින් තමයි ඒ රටේ නිර්මාණවලට රංගනයෙන් දායක වුණේ. දැනට මං ඉන්දියාවේ චිත්‍රපට තුනක රඟපාලා තියෙනවා. ඒ අතරින් ආලප් කියන චිත්‍රපටය රිලීස් වුණා.

 

ඒ රටේ සිනමා කර්මාන්තයයි මේ රටේ සිනමා කර්මාන්තයයි අතර වෙනස කොහොමද ඔබට දැනෙන්නේ?

ලොකු වෙනසක් තියෙනවා. නිෂ්පාදකවරු චිත්‍රපටවලට අති විශාල මුදල් වැය කරනවා. ඔවුන් දන්නවා මුදල් වියදම් කරන්න වියදම් කරන්න ඒවට හොඳ ලාභයක් ලැබෙනවා කියලා. චිත්‍රපට වුණත් ලස්සනට හැදෙන්නේ ඒකයි. ආර්ටිස්ලට වුණත් ලොකු වටිනාකමක් දෙනවා. සින්දුවක් ෂූට් කරන්න සතියක් විතර ගන්නවා. ආර්ටිස්ට් කෙනෙක් වුණත් පැය අටක් විතර එක දිගට රඟපාද්දී වෙහෙස දැනෙනවා. එතකොට ෂූටිං නවත්වනවා. ෆෙ‍්‍රෂ්පිට තමයි ඔවුන් කැමරාව ඉස්සරහ ආර්ටිස්ට්ලා දකින්නට කැමැති. අපේ එහෙම නැහැනෙ. සින්දුවක් වුණත් පැය විසි හතරම ෂූට් කරලා ඉවර කරලා දාන්නනෙ හදන්නෙ.

 

යූටර්න් සිනමාපටයට පාදක වූ කොලිවුඩ් චිත්‍රපටය ඔබ නැරැඹුවාද?

ඔරිජිනල් එක නැරැඹුවේ නැහැ, ටැමිල් චිත්‍රපටය බැලුවේ. හැබැයි මං ඒකත් බැලුවේ අපේ නිර්මාණයේ රූපගත කිරීම් ඉවර වුණාට පස්සේ. මං හිතනවා මං රඟපාන්න කලින් ඒක බැලුවා නම් මට මගේ දෙයක් ඉදිරිපත් කරන්න බැරි වෙනවා. පොඩ්ඩක් හරි මගේ රංගනයට බලපෑමක් වෙන්න තිබුණා. ටැමිල් නිර්මාණය බැලුවා නම් කොහොමත් අපේ චිත්‍රපටයයි ඒ චිත්‍රපටයයි සංසන්දනය කරන්න අමාරුයි. අපි කළේ අපිට ගැළපෙන විදිහට.

 

රූප රාජිණියක් වූ පමණින් නිළියක් වෙන්න පුළුන්ද?

බැහැ. එහෙම තරඟයක් දින්න පමණින් නිළියක් වෙන්න අමාරුයි. ඒකට ඒ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන්න ඕන. මට අවස්ථාවන් ලැබුණෙත් රූ රැජණක් වුණු නිසාම නෙවෙයි.

 

දෙදහස් නවයේ රූ රුජන වෙලා ඔබ බොහෝ කලකට පසුවයි රංගනයට පිවිසෙන්නේ?

ඒ කාලේ අද තරම් නිර්මාණ කෙරුණේ නැහැ. අනික මං ඉතා දිගු කාලයක් ඉන්දියාවේ රැඳී සිටියා. මට ඉන්දියාවත් එක්ක ආත්මීය බැඳීමක් තියෙනවා. මෙහෙ නැති වුණත් මට එහෙ අවස්ථා උදා වුණා රඟපාන්න. හැබැයි ඔය අතරේ අපේ රටෙන් මට ඔෆර්ස් ආවා. නිවේදන කටයුතුවලට පවා ආරාධනා ලැබුණා. ඔය සේරම මග හැරුණා ඉන්දියාවේ හිටපු නිසා. මට ඒවා අහිමි වෙච්ච එකට දුකක් නැහැ. දැන් චරිතවලට කතා කරනවනෙ.

 

යූ ටර්න් එකේ ඔබ තරුණ මවක්. දිගින් දිගටම මව් චරිතයට ඇරැයුම් ලැබුණොත්?

ඔව් ඉතින් එහෙම වෙනවනෙ. මට ඕන චරිතාංග නිළියක් වෙන්න මිසක් පෙම්වතියම වෙන්න නෙවෙයි. පෙම්වතියගෙ චරිතයත් කරනවා. හැබැයි වෙනස් චරිත කරන්නයි වැඩි රුචිකත්වයක් තියෙන්නේ. මවගෙ චරිතය වුණත් ගැටලුවක් නැහැ.

 

ඔබ මායා වුණා නම්?

එහෙම නම් මං චිත්‍රපටයේ මායාට වඩා වෙනස් මඟක තීරණ ගන්න ඉඩ තියෙනවා. ඇය කරන දේ නොකරන්නත් ඉඩ තියෙනවා.

ගම්‍යා විවාහකද?

නැහැ.

ඔබ වෘත්තීය නිළියක් නෙවෙයි?

ඔව්. මගේ වෘත්තීය බිස්නස්. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් මට තියෙනවා.