හන්තානේ කතාවට අවුරුදු පනහයි

සුගතපාල සෙනරත් යාපා අතීතාවර්ජනයක
දෙසැම්බර් 26, 2019

 

සරා සොඳුරු මල් පැටලී

ලිහී නොයන ජීවිතයයි

නුරා දියර ගඟුල් ඇලී

සියල් සදන ජීවිතයයි

කැකුළු හිනා මුතු එළියේ

අඳුරු ලෙනේ දොර මතුවේ

පුරා හඳට ඉඩසලසන

අනාගතය ඔබ පමණයි

සැලේ මහද සැලේ සැලේ

අනාගතය ඔබ පමණයි

 

පත්තර මහගෙදර ගේට්ටුවෙන් පිටවන මොහොතේ සිට රාගම බටුවත්තේ සුගතපාල සෙනරත් යාපා මහතාගේ නිවෙසට යනතුරුම මගේ මනසේ රැවු දුන්නේ මේ ගීතයයි. මේ නිවෙස මට නුහුරු තැනක් නොවූයේ සුගත් අන්කල්ගේ දියණිය සුභාණි සෙනරත් යාපා සහ මම එකම කාලයක ද වීඩියෝ ටීම් (ඊඍඊ)ආයතනයේ සේවය කළ බැවිනි. සුපුරුදු සෙනෙහසින් සුබා අක්කා අප පිළිගත් අතර ඇගේ මෑණියන් සෝමලතා ඇන්ටි ද එදා මෙන්ම කාජ්ජ බෝජ්ජයෙන් සංග්‍රහ කිරීම මුල් තැනට තැබුවාය. සුබා අක්කාගේ අතගත් රොහාන් අය්යා නිසා පුතු මුදිත අයියා නොසිටි අඩුව මැකී ඇතැයි මට සිතේ.

බලු පැටවුන් 21ක් ගේ දොරකඩ දමාගොස් තිබූ අපූරු කතාව නිම වනතුරුද අපේ කතා නායකයා සාලයට පැමිණියේ නැත. ඔහු දැන් ගමන් කරන්නේ ඉතා සෙමිනි. ඒ රිද්මය වෙනස් කොට ඔහු අපහසුවට පත් කිරිමට නිවෙසේ කිසිවකු කැමති වන්නේ නැත. කාමරය තුළින් හෙමිහිට මතු වූ සුගත් අන්කල් සාලයේ තිබූ කවිච්චිය මත හිඳ ගත්තේ අප එතැන පින්තූර සඳහා සුදුසු යැයි කී නිසාය. සිරුරේ වම්පස ක්‍රියාකාරීත්වය තරමක් අපහසු ඔහු දැඩි රෝගී තත්ත්වයක පසු වී සුව වූවා පමණි. මොහොතකින් ඔහු අපට යෝජනා කරන්නේ තමන්ට හුරු පුරුදු වැරැන්ඩාවට යමුදැයි කියාය. ඔහුගේ මතකයන් අවදි කරන්නේ එතැනට තුරුවැලින් හමන මද පවනින් සැනසී පරිසරය නරඹමින් රේඩියෝවට සවන් දෙන අතර බව අපට කීවේ සුබා අක්කාය. අපි ඔහුගේ සුපුරුදු සුවපහසු ස්ථානය කරා ගියෙමු. දැන් ඔහුගේ මුවගට මහත් සැනසිලිදායක සිනහවක් නැඟේ. මම කතාව ඇරැඹීමි.

විජය කුමාරතුංග

 

 

හන්තානේ කතාවට අවුරුදු 50යි?

ඔවු. පනහයි. පනහයි. මට අසූ හතරයි. බලලා තියෙනවාද හන්තානේ කතාව?

ඔහු මගෙන් පෙරළා ප්‍රශ්න කරයි.

ඔවු. හැබැයි ටීවී එකේ. මගේ පිළිතුරට ඔහුට සිනා එයි. ඉතින් අහන්නකො? එතකොට ම‌ට මතක් වෙයි. ඔහු මගේ පැනවලට ඉඩ සලසයි.

 

අපි ආසයි මේ චිත්‍රපටය හදන්න කට්ටිය එකතු වුණු විදිහ අහන්න? ඔහු අහිංසක සිනාවක් නඟා මෙසේ කියයි.

මේක හැදුවේ 1967නේ. පුතා ඉපදිලත් නෑ නේද? මම කලා පෙළේ වැඩ කළේ ඒ කාලේ. මට විජය ධර්ම ශ්‍රී කතා කරලා ඇහුවා සුගත් අපි චිත්‍රපටයක් හදමුද කියලා. මම කීවා අපෝ ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සල්ලි හොයා ගන්න ඕනෙ. නළුනිළියන් හොයන්න ඕනෙ එහෙම කියලා. ආ මං හොයාගන්නං කිව්වා. මම ඇහුවා ඔච්චර මුදලක් ඔයා කොහෙන් හොයන්නද කියලා. පස්සේ විජේලාගේ නෑදෑයෙක් හිටියා මැජස්ටික් මුදලාලි කියලා. එයා තව දහදෙනෙක් හොයාගෙන සල්ලි දැම්මා. එච්චර ලොකු ගාණක් නෙවෙයි ඒ අයට වියදම් කරන්න වුණේ. එක්කෙනා ලක්ෂෙ ගානේ ලක්ෂ 10ක් තමයි හොයා ගත්තේ. මම ඒ කට්ටියට නමක් දැම්මා සමකාලීන චිත්‍රප‌‌ට සමාගම කියලා. ඊට පස්සේ බම්බල පිටියේ හෙග් පටුමගේ අංක 40 කියන තැන තමයි සමාගම පිහිටෙව්වේ. මොකද ඒ හරියේ හිටියා සමාගමේ දෙන්නෙක්. මිස්ට ඒ. බී. රාජ් තමයි උප සභාපති. මැජස්ටික් මුදලාලි තමයි ඒකේ නායකයා. සල්ලි හොයාගත්තට පස්සේ පටන්ගත්තා ඉතිං.

 

එතකොට කතාව?

මගේ ගාව තිබුණනේ ලියලා නිකං කතාවක්. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා කලා පෙළේ වැඩ කළානේ. එතකොට මම ලීවේ. මම ඉස්කෝලේ යන කාලේ ඔය වගේ ප්‍රේම සම්බන්ධතා තිබුණනේ මට ගොඩක්. ඒවා මතු කොරන්න ලියපු කතාව තමයි ඔය.

 

කමක්නැද්ද ඔහොම ලීවට. ඇන්ටි අමනාප වෙයිද දන්නේ නැහැ? මම සිනාසී ඇසුවෙමි.

එයා ඒවා දන්නවා. එහෙම මුකුත් හිතන්නේ නැහැ. ඉස්කෝලේ කාලේ ඒවානෙ.

 

තිර රචනය එහෙම?

මායි විජය ධර්මශ්‍රී එකතුවෙලා තිර රචනය කළා.

ආචාර්ය ධර්මසේන පතිරාජ

 

විජය ධර්මශ්‍රීද? ධර්මසේන පතිරාජද?

ම්... විජය ධර්මශ්‍රී

ඔහු යළිත් කියයි. ඔහුට දැන් මතක ඔහුගේ හොඳම යාළුවා පමණය.චිත්‍රපටයක් කරමු කියා මුලින්ම යෝජනාව ගෙනා කල්‍යාන මිතුරාය. එහෙත් හන්තානේ කතාව නරඹා ඇති එමෙන්ම චිත්‍රපට ඉතිහාසය පිළිබඳ උනන්දු ඔබ, එහි නාමාවලිය දකින්නට ඇත. හන්තානේ කතාවේ වතගොත සොයන්නට ඇත. එහිදී අපට හමුවන්නේ මේ චිත්‍රපටයේ කතාව සහ අදහස මෙන්ම සහාය අධ්‍යක්ෂණය විජය ධර්මශ්‍රීගේ බවය. තිර රචනය සම්පාදනය කරන්නේ ධර්මසේන පතිරාජ, බර්ටි ජයසේකර සහ බර්ටි ගුණසේකර යන තිදෙනා විසිනි. ඒ බව අපේ සරසවිය පුවත්පත් විමසීමෙන් මෙන්ම ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතා විසින් යූ ටියුබය ඔස්සේ ගෙනෙන චිත්‍රපට සමාලෝචන වැඩසටහන් මාලාව වන ලුක්ස් ලයික් වෙතින්ද තහවුරු කරගතිමි. ඒ නිසා මතකය අවදි කරවීමට තවදුරටත් ඔහු වෙහෙස කිරීම නුසුදුසු බැවින් වෙනත් පැනයකට යොමු වීමි.

 

සුගත් අන්කලුයි විජය ධර්මශ්‍රී මහත්මයයි ඔය කතා ලියන්න පිටපත් සකස් කරන්න පුරුදු වුණේ කලා පෙළේ වැඩකළ නිසාද?

ම්... ඒ දවස්වල ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයේ තිර රචනා පිළිබඳ පාඨමාලාවක් තිබුණා. අපි ඒකට ගියා. ඒක සාමාන්‍ය එකක්. අපට ඒකටත් වැඩිය යන්න හම්බුණේ නැහැ. තානාපති කාර්යාලවල ඒ දවස්වල හරියට ඕවා තිබුණා. ඒත් අපේ කිසි පිළිවෙළක් නෑනෙ. වැඩට යනවා. හිතුනම ඒවටත් යනවා. අපි කිසිම විධිමත් විදිහකට නෙවෙයි කළේ.

 

ඒ කාලේ පිස්සුවෙන් වගේ චිත්‍රපට බැලුවද?

අපෝයි ඔවු.

 

මොනවද ඒ චිත්‍රපට?

මතක නෑ. හැබැයි චිත්‍රපටි බැලුවා. තානාපති කාර්යාලවලත් චිත්‍රපට පෙන්නුවා. අපටත් එල්ලයක් නෑනේ. අච්චාරු හැලිය වගේ ජීවිතේ, චිත්‍රපටිත් බැලුවා.

 

ඉස්කෝලේ කළෙත් කලා විෂයයන්ද?

එහෙම කලාව කියලා ඉගෙන ගත්තේ නැහැ. සාහිත්‍ය කළා. විද්‍යාව කළා මතකයි.

 

චිත්‍රපට බලන්න ඉස්කෝලෙන් කට්ටි පැන්නද?

නෑ. අපි ගම්බද ඉස්කෝලනේ. පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය. ඉතින් අපට කට්ටි පැනලා බලන්න යන්න චිත්‍රපට තිබුණෙත් නැහැ. කහවත්තේ තිබුණ ශාලාවට තමයි අපි ගියේ.

 

චිත්‍රපට බලද්දි හිතුණද මමත් කවදා හරි මේ වගේ එකක් කරන්න ඕනේ කියලා?

ඔව් තිබුණා. අපි වැඩිපුර බැලුවේ දෙමළ චිත්‍රපට. ඊට පස්සෙ කලාපෙළට බැඳුණා. මම ඒකේ ආවිස් කියලා චරිතයකුත් රඟපෑවා. ජී.ඩී.ඇල්. පෙරේරාගේ නාට්‍යයක. ඒ අතර තමයි විජය ධර්මශ්‍රී හම්බුණේ.

 

සල්ලි හම්බුණාට, තිර රචනයක් තිබුණට චිත්‍රපටයක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයිනේ?

නෑ. නෑ, මට ඒ ගැන හොඳ දැනීමක් තිබුණා. මම දෙමළ චිත්‍රපට අරවා මේවා බලලා තිබුණා. සාමා එකේ රඟපාලා තිබුණා. ඒ කාලේ කැමරාව ගැනත් ඉගෙන ගත්තා. දස්කොන්වල රඟපෑවා. ඉතින් මට අත්දැකීමකුත් තිබුණා. නාට්‍ය බරගාණකත් රඟපෑවානේ. පී. වැලිකලගේ නාට්‍යවල, ගුවන්විදුලි නාට්‍යවල රඟපාලා වචන හුවමාරු කරන හැටි ගැන දැනීම තිබුණා.

සුගත් තරුණ අවධියේදී

නළු නිළියන් තෝරගත්තේ?

මට හිතුණා මේ අයව තෝරගන්න කියලා. සරසවිය පත්තරේ දැන්වීමට ලියුම් 460කට වැඩිය ඇවිත් තිබුණා. විජය කුමාරතුංග, ධර්මසේන පතිරාජ, සමන්ති ලැනරෝල්... තව... මට මතක නැහැ. ගොඩක් අය ආවා. ඒ අයගෙන් අපි තෝරගත්තා.

 

විජය කුමාරණතුංග ලස්සන තරුණයෙක් හැටියට ආවාට මේ තරුණයා හරියට රඟපායි කියල තහවුරු කරගත්තේ කොහොමද?

මට පුළුවන් එහෙම තේරුම් ගන්න. ඕනෙ කෙනෙක් මට පුළුවන් හඳුනගන්න. පොඩි කාලේ ඉඳන් මට ඒ හැකියාව තිබෙනවා. විජය දැකපුගමන්ම මම තීන්දු කළා මෙයාව ගන්නවා කියලා. සමන්තිත් එහෙමයි. මගේ ඇඟට කැවිලා තිබුණා ආපු ගෑනු පිරිමි ළමයින්ගෙන් කවුද හොඳ කියලා ඉවෙන් වගේ දැනගන්න.

 

රස කතා එහෙමත් ඇති?

එහෙම රස කතාවක් නෑ. ලොකේෂන් එකට ගියා. මෙන්න මේ ටික කරන්න කීවාම ඒ ගොල්ලෝ කළා. අපි ෂූට් කළා.

 

හන්තානේ කතාව නව සිනමා පරපුරක ආරම්භය කියලයි කියනනේ?

ඒක ඕනකමින් කරපු එකක් නෙවෙයි. මට නිකං හිතුණ විදිහට මම දේවල් කළා. නළු නිළියන් ගත්තාම ඔවුන්ගේ මනස ඇතුළට කිඳා බහින්න පුළුවන් කමක් මට තිබුණා. මට හිතුණා ලංකාවේ ඔක්කොම ඉන්නේ පරණ නළු නිළියෝ. බාගෙට කොණ්ඩ වවාගෙන, උඩු රැවුල් කට් එක තියලා එහෙම. ඉතින් මට හිතුණා එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් ඉන්න විදිහේ මිනිස්සු ටිකක් එක්ක චිත්‍රපටයක් කරන්න ඕනෙ කියලා. ඒකයි අලුතෙන් ගත්තෙ. ඇඳුම් අන්දන්න ඕනෙත් සාමාන්‍ය විදිහට කියලා හිතුවා. විශ්වවිද්‍යාල ළමයි කියලා අමුතු කට්ටියක් නෙවේනේ. අපි දෙසැරෙකට දවස් තිහකින් ෂූටින් ඉවර කළා. (ෂෙඩ්‍යුල් දෙකකට)

හන්තානේ කතාවේ විජය - ස්වර්ණා

පසු නිෂ්පාදන කටයුතු?

අපි ඔක්කොම කළේ දළුගම සරසවි චිත්‍රාගාරයේ. පිටපත් පවා හැදුවේ එහේ. අපි දින සියය පැන්නුවා.

 

කොහොමද විචාර ප්‍රතිචාර එහෙම?

සිරි ගුණසිංහ නම් සාමාන්‍ය විචාරයක් කළා. ගුණදාස අමරසේකර නම් ඉතින් සුපුරුදු විදිහට බැන්නා. ප්‍රේක්ෂකයන් නම් හරිම කැමති වුණා. දවසක් මම ශාලාවක් ළඟ චිත්‍රපටය බලන්න ආපු කෙනෙක් වගේ ඉඳලා එන අයගෙන් චිත්‍රපටය කොහොමද කියලා ඇහුවා. ඒ දවස්වල මගේ කෙටි චිත්‍රපටය මිනිසා සහ කපුටා එක්ක තමයි හන්තානේ කතාවත් පෙන්වන්නේ. එක රසිකයෙක් මට කීවා, මිනිසා සහ කපුටා කියන එක නම් මොන මළඉලව්වක්ද මන්දා ඒ දීපු සල්ලිවලින් බල්ලන්ට සුදු ආප්ප අරන්දුන්න නම් ඊට වැඩිය හොඳයි, අර හන්තානේ කතාවනම් ටිකක් හොඳයි කියලා. මම බොහොම ඉස්තූතියි කියලා නිකං හිටයා. ඕක ලියන්න. ඇත්ත කීවම මක් වෙනවාද? ඒගොල්ලන්ට තේරුන්නැතිවට මම මොනවා කරන්නද?

 

හන්තානේ කතාවෙන් පස්සේ අනෙක් චිත්‍රපට කරන්න සෑහෙන කාලයක් ගියා?

ඒකනම් ඇත්ත. සමහරු චිත්‍රපට දෙකතුන එකට කරනවා. ඒත් ඉන්දුට මල් මිටක්, පෙම්බර මධු කරන්න මට ලැබුණේ අවුරුදු හයෙන් හයට වගේ. ඒ ලංකාවේ මිනිස්සුන්ගේ ඉරිසියාව නිසා. ඒ අය කේලාම් කියලා මට අවස්ථාව නැති කළා. ඒ වුණාට ප්‍රේක්ෂක ප්‍රතිචාර හරියට තිබුණා. පෙම්බර මධු එකේ අවසානයන් දෙකක් තිබුණනේ. ඉතින් මිනිස්සු එල්ෆින්ස්ටන් එකේ එක එන්ඩ් එකක් බලලා තව එකක දෙවැනි එන්ඩ් එක බලනවා. පුදුම විදිහට සල්ලි හම්බ කරපු ෆිල්ම් එකක් ඒක. සමහර මිනිස්සු ගහ ගන්නවා ටිකට්වලට. තවත් සමහරු පෝලිමේ ඉන්න ගමන් කතාවෙනවා කොහොමද බං කතාව ඉවර වෙන්නෙ කියලා. ඉතින් එක්කෙනෙක් කියනවා විජය කුමාරණතුංග අවසානේ මැරෙනවා කියලා. අනෙක් කතාව බලපු කෙනා කියනවා පිස්සුද කසාද බඳීනවා කියලා. අන්තිමට උන් දෙගොල්ලෝ ගහගන්නවා. කතාවේ අවසානය ගැන රණ්ඩුවෙලා. එහෙම ප්‍රේක්ෂකයන් අපට හිටියා. ඉතින් මට හිතිච්ච දේ තමයි ඒකෙදිත් කළේ. ඉන්දුට මල් මිටක් නම් වැඩිය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවෙ නැහැ. ඒ වුණාට මගේ හොඳම සාර්ථක චිත්‍රපටය ඉන්දුට මල් මිටක් තමයි. මොකද එතකොට රූපවාහිනිය ඇවිත් තිබුණ නිසා ප්‍රේක්ෂකයෝ ඒකට ඇදිලා තිබුණට චිත්‍රපටය බලන්න ආවා. ආදායම අඩු වුණාට මට සිනමාකරුවකු විදිහට තෘප්තියක් ගෙනාවේ ඒ චිත්‍රපටය.

 

හන්තානේ කතාවට පනහයි කියද්දි අංකල්ට මොකද හිතෙන්නේ?

මම පනහකින් නාකිවෙලා කියලා හිතෙනවා.

ඔහු අපව හිනස්සමින් කියයි.

 

අය්යෝ එහෙම නෙවෙයි අන්කල්? සිනාව අතරින් මම කීවෙමි.

ඒක තමයි මම කීවේ ලංකාව ඉරිසියාවෙන් අංක එක කියලා. අවුරුදු පනහක් සිනමා ක්ෂේත්‍රයේ ඉද්දි අඩුගානේ චිත්‍රපට කීයක් හදලා තියෙන්න ඕනෙද මම? ඒත් බොරු කියලා මිනිස්සු මගේ අවස්ථාවන් නැති කළා. (ඔහු කියන්නේ බිඳුණු හඬිනි) මට මිනිස්සුන්ගේ නම් සඳහන් කරන්න බැහැ. ඒවා ඕනේ නැහැ. ඒත් මට සතුටුයි මම අඩු ගානේ චිත්‍රපට තුනක් සහ කෙටි චිත්‍රපටයක් කළා කියලා. ඒ හැර හන්තානේ කතාවට පනහයි කීවා කියලා මට වෙනම සතුටක් හෝ දුකක් නැහැ. මම කලකිරිලා හිටපු තරමට කේලාම් අහලා හිටපු නිෂ්පාදකයො ගාවට ගිහින් චිත්‍රපටයක් කරමු කියන්න මට ආසාවක් ඇති වුණේ නැහැ. කොටින්ම මට චිත්‍රපට කරන්න ආසාවක් ඇති වුණෙත් නැහැ. මට තව චිත්‍රපට කරන්න දුන්නා නම් හොඳයි. මගෙන් සේවය ගත්තේ නැහැ. ඒක මගේ ලැබීමේ හැටි. මට ඒ ගැන දුකක් නැහැ. මොකද ඒකට දුක්වෙන්න ඕනේ මම නෙවෙයිනේ. මට ඉතින් ඉඳලා හිටලා හිතෙනවා මම මෙහෙම නළු නිළියන් ටිකක් සිනමාවට ගෙනාවානේ කියලා. සම්මානත් ගොඩක් ලැබිලා තියෙනවානේ. ඒත් ඉතින් ඒ සතුට එතනින් ඉවරයි. අපි බෞද්ධයෝනේ. හැමදේම උපදිනවා පවතිනවා නැතිවෙනවා. මම දැන් හිතන්නේ ඒ ගැන.

 

අද කාලේ චිත්‍රපට ගැන මොකද හිතෙන්නේ?

මම සිංහල චිත්‍රපට බලන්නේ නැහැනේ. 80 ගණන්වලින් පස්සේ මම චිත්‍රපට බලන්නේ නැහැ කියලා තීරණයකට ආවා. මම හොඳ ඒවා කළා කියනවා නෙවෙයි. ඒත් අසූ ගණන්වලින් පස්සේ හදපු චිත්‍රපටවල අඩුපාඩු ගොඩක් මට පේනවා. ඒ නිසා මම දෙමළ හින්දි චිත්‍රපට බලන්න ගත්තා. ඒවායේ කියන දේවල් මට තේරෙන්නේ නැති නිසා බලන් ඉන්න පුළුවන්නේ.

ඔහු යළිත් උත්සාහ කරන්නේ අපට උපහාසයක් දනවන්නටය.

 

අන්තිමට බලපු චිත්‍රපටය මතකද?

නැහැ. ඔය මගේ බෑනා මොකක්හරි චිත්‍රපටයක් බලද්දි මට අඬගහනවා. මමත් ඉතින් බලනවා. එච්චරයි. මම දැන් වැඩියෙන්ම කරන්නේ රේඩියෝ එක අහනඑක.

 

ටෙලි නාට්‍ය අංශයට නොගියේ?

දැන් ටෙලිනාට්‍යවලට වෙලා තියෙන දේ වෙයි කියන ඉව මට තිබුණ නිසා.

රොහාන් - සුබා සහ බිරිය සෝමලතා සමග

 

හැබැයි වාර්තා චිත්‍රපට ගොඩක් කළා නේද?

ඔවු. මම රජයේ චිත්‍රපට අධ්‍යක්ෂනේ. කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරමින් ඉද්දි ගැසට් පත්‍රය බලනකොට මේ තනතුර තිබුණා. මම ඉල්ලුම් කළා. මම චිත්‍රපට කරලා තිබීම සුදුසුකමක් වුණා. අවුරුදු විසිගාණක් මම ඒ තනතුරේ හිටියා. ඉතින් මට අවස්ථාව ලැබුණා හුඟාක් ලස්සන වාර්තා වැඩසටහන් කරන්න. සිරිමා බෝධීන් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ වගේ හොඳ වාර්තා 18ක් විතර මම කළා. අද සමහරුන්ගේ චිත්‍රපට ඒ වාර්තා වැඩසටහනක් තරම්වත් වටින්නෙ නැහැ. හේතුව හොඳ හැදෑරීමක් නැති එක. අනෙක නිර්මාණකරුවන්ගේ තිබෙන දුර්වලකම. අද තාක්ෂණය ඕනෑවට වඩා වැඩිවෙලා. ඒක හොඳ නෑ. සිනමා පටයකින් චිත්‍රපටයක් කරද්දි හොඳට හිතලා බලලා ඕනේ කරන්න. අද එහෙම නැහැ. අනෙක කතා යාවත්කාලීන නැහැ.

 

ආයේ කවුරුහරි ඇහුවොත් තිර රචනයක් ලියලා දෙන්න කියලා?

මට බැහැ. මට දැන් ශක්තිය නෑ. මතක හිටින්නෙත් නැහැ. මම බණ භාවනා කරනවා. ඒත් ඇවිදින්න අපහසු නිසා පන්සල් යන්නෙත් නැහැ. අපි ඒ යථාර්ථය තේරුම් අරගෙනයි ඉන්න ඕනේ.

 

ඉතින් අන්කල් අලුත් පරපුරට මොකක්ද කියන්නේ?

මම අලුත් පරපුරට කියන්නේ එක්කො සාහිත්‍යය එහෙම හදාරලා, චිත්‍රපට බලලා හරි විදිහට කරනවා නම් යමක් කරනවා මිස ආප්ප වක්කරනවා වගේ චිත්‍රපට කරන්න යන්න එපා. දෙයක් හරියට කරන්න බැරිනම් නිකං ඉන්ඩ කියලයි.

ඔහු එසේ අප මුවට සිනාව ගෙන දුන්නද ඒ සෑම වචනයකම ගැබ් වී ඇත්තේ යථාර්ථය නොවේදැයි ඔවුන්ගෙන් සමුගෙන එන මට සිතිනි. ගාමිණී වේරගම මහතා සිනමාවේ පරිවර්තනීය යුගයක පෙරගමන්කරු ලෙස හඳුන්වාදෙන හන්තානේ කතාව 1970 දශකයේ තරුණ පෙළ සිනමාවට පිවිසෙන ප්‍රකාශනය හා ශිල්පය වෙනස් මඟකට ගැනීමට මූලික වූ බව සඳහන් කරයි. විනෝදාත්මක සිනමාවට අයත් ගීත, සටන් ආදී වට්ටෝරුගත අංගත්, වැඩි ප්‍රේක්ෂක ජනතාවකගේ ආකර්ෂණයත් දිනා ගැනීමට සමත් සමාන්තර සිනමාවේ පුරෝගාමී කෘතිය වූ හන්තානේ කතාව විජය කුමාරණතුංග නම් ජනකාන්ත රංගන ශිල්පියාගේ පමණක් නොව, අමරසිරි කලංසූරිය, සමන්ති ලැනරෝල්, සෝමපාල ලැනරෝල්, දයා තෙන්නකෝන් වැනි රංගන ශිල්පී ශිල්පිනියන්ද සිංහල සිනමාවට දායාද කළ චිත්‍රපටයකි. සුමිත්ත අමරසිංහ, ටෝනි රණසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, නන්දා මාලිනී, සනත් නන්දසිරි, ටයිටස් තොටවත්ත, ප්‍රේමසිරි කේමදාස, මහගම සේකරයන් වැනි අසහාය ශිල්පීන්ගේ දායකත්වය හන්තානේ කතාවේ අපූර්වත්වය තවත් තියුණු කරන්නට සමත් විය. අඩසියවසක් ගෙවී ගියද හන්තානේ කතාව අදටත් නැවුම් සිනමා අත්දැකීමක් සේ විඳ ගැනීමට අපට හැක්කේ. එයින් ගම්‍ය වන ජීවන දර්ශනය සදාතනික බැවිනි.

සරසවිය රණතිසර සම්මානය සමඟ

 

අනන්තව වූ දෙරණ සරා

දෑස නිවන නිලක් සොයා

අහස් ගව්ව නැඟ ගත්තේ

නිල්ල දකින්නයි

 

ගලක ගලන සිඟිති දොළක

සිහිල විඳීන්නයි

ගසක වෙලෙන සිහිනි වැලක

පහස ලබන්නයි

සදාතනික සිහින ලොවක මා තනිවනවා

පැතූ පැතුම අනන්තයට ඉගිලී යනවා