මගේ විෂය පාතාලය හෙළිදරවු කිරීම

අනුර හොරේෂස්
දෙසැම්බර් 26, 2019

වසර හයකට පමණ පසු මවු රටට පැමිණි ප්‍රවීණ මාධ්‍යවේදී, සිනමා අධ්‍යක්ෂ අනුර හොරේෂස් මහතා සරසවියට ගොඩවැදුණේ ඔහුගේ අතිශය ජනප්‍රිය ගිනිඅවි සහ ගිනිකෙළි කෘතියේ වෙළුම් පහෙන් දේශපාලන දඩයම් යුගය ඇරඹේ සහ පාතාල ලෝකයෙන් බිඳක් යන කෘති නැවත මුද්‍රණය වූ බව සතුටින් පවසමිනි. ලක්බිම පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරන යුගයේ ඔහු අපේ ප්‍රධාන උප කර්තෘ ලෙස කටයුතු කළේය. ඔහුගේ මාධ්‍ය ජීවිතය ඇරැඹුණේ 1978 නිදහස් පත්‍රකලාවේදියකු ලෙසය. 1983 දිවයින පුවත්පතේ ආරම්භක කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වන ඔහු ශ්‍රී සඟරාව ද ඇතුළු පුවත්පත් රැසකටම තම දායකත්වය සපයා තිබිණි. අපි ඔහු සමඟ මාධ්‍යවේදය මෙන්ම සිනමාවේදය පිළිබඳ මේ පොත් ඔස්සේ කතාබහ කළෙමු.

 

ගිනි අවි සහ ගිනි කෙළි ඔබේ පළමු ග්‍රන්ථකරණය?

ඇත්තෙන්ම 1988 වනතුරුම මගේ මාධ්‍ය ජීවිතය හරියට හිස් කඩදාසියක් වගේ. එහි සැලකිය යුතු සිදුවීම් පෙළක් ලියැවෙන්න ගන්නේ භීෂණ සමයේදියි. ඉන් පසු මගේ ඒ හිස් කඩදාසිය පිරෙන්න ගත්තා. අදත් මම සතුටු වෙනවා ජීවිත අවදානමක් ගෙන වුවත් මේ පොත් සඳහා පාදක වූ ලිපි ලිවීමට හැකි වීම ගැන. පාතාල ලෝකයේ කතා පිළිබඳ ලිවීමේ සන්නාමය බවට මගේ අනුර හොරේෂස් නම පත් වුණා. ඉතින් මම හිතනවා විශාල අත්දැකීම් රැසක් වගේම රසයක් පුවත් පතේ ලිපි මඟින් පාඨකයාට ලැබුණා කියලා. ඒ වගේම එය සනාථ කරමින් මේ පොත් රසිකයන් ඉතා ආදරයෙන් වැලඳගත්තා. ඒ නිසාම වෙළුම් පහක් දක්වාත්, චිත්‍රපට දක්වාත් මේ කතා විකාශනය වුණා.

 

කාලෙකින් ඔබ ලංකාවට ආවේ?

ඔව්. අවුරුදු හයකින් පමණ. පුවත්පත්වලින් සම්පූර්ණයෙන් ඈත් වෙලා, කාලයක් ඕස්ට්‍රේලියාවේ ගත කරද්දි මට අතීතයේ සොඳුරු මතකයන් මැවෙන්න ගත්තා. මගේ විෂයය වුණේ පාතාල ලෝකය හෙළිදරවු කිරීම. ඒ සමඟ කලා ලොවේ විශාල පිරිසකුත් මාත් සමඟ මිත්‍ර වුණා. ගාමිණි, ටෝනි, සනත්, ජැක්සන්, කමල් වගේ අය මට ළං වුණා. පිටරට පදිංචියට ගියාට පස්සේ ඉබේම ඒ අය මගෙන් දුරස් වුණා. ඒ ගැන මගේ හිතේ කනගාටුවක් තිබෙනවා. ඒත් සමහර කලාකරුවන් ඕස්ට්‍රේලියාවට ආවාම මට මුණගැහෙනවා. ඒ සමහරු තමන්ගේ වයසට වඩා බොහෝ වයස පෙනුමයි. හේතුව බීමත්කම නිසා ශරීර සෞඛ්‍ය පිරිහීම. මට වඩා වයසින් බාල සමහරුන්ට නම් මම කීවා මට කලින් මැරෙන්න හදන්න එපා කියලා. (සිනාසෙයි)

 

අද අපේ රටේ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ ඔබේ අදහස?

මට නම් ඒ ගැන දැනෙන්නේ සංවේගයක්. මොකද ගවේෂණාත්මක මාධ්‍යවේදය කියන විෂයය පිළිබඳ නොදැනුම්වත්කම කොතරම්ද කියන එක අද මාධ්‍යකරණයෙන් පිළිබිඹු වන නිසා.

 

ඔබේ පොත් සිනමාවට නැඟුණා?

මගේ ගිනි අවි සහ ගිනිකෙළි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය විසින් චිත්‍රපටයට නැඟුවා. සොඳුරු දඩබිම කතාව නම් මා විසින්ම තිර රචනය සහ දෙබස් ලියා අධ්‍යක්ෂණය කළා. එවැනි පාතාලයට සම්බන්ධ කතා අද ඉදිරියට ගෙන යන්න හරි පදනමක් නැති බව මට පේනවා. ඒ යුගයේ චිත්‍රපට දෙකම අති සාර්ථක අන්දමින් ප්‍රදර්ශනය වුණා. මේ කාලේ ඕනෑ තරම් අමුද්‍රව්‍ය තිබියදී ඒවා සිනමාවට නඟන්නට උනන්දු නැතිව, ප්‍රමාද ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මගේ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ හවුස් ෆුල් වුණා. බටහිර රටවල නම් රටේ සැබෑ සිදුවීම් මුල් කරගෙන ඕනෑ තරම් නිර්මාණ බිහිවනවා. ඒත් අපේ රටේ ප්‍රේක්ෂකයන් සිනමාවෙන් ඈත් වන්නේ ඔවුන්ට සිනමාවෙන් නියමිත ආමන්ත්‍රණයක් නොලැබෙන නිසා. කොමඩි, වීර, ත්‍රාසජනක, අද්භූත වගේම මායා යථාර්ථයෙන් යුතු චිත්‍රපට රටක තිබිය යුතුයි ඒ ඒ රසවින්දකයන් සඳහා.

 

අද සිනමාවට සිදු වී ඇතැයි ඔබ දකින්නේ කුමක්ද?

හැට හත්තෑව දශකවල චිත්‍රපට බැලීම සඳහා කොලයක නම ලියාගෙන ශාලාවට ඒවා එනතුරු බලා සිටීම අපේ පුරුද්දක්. සමහර වසරවල අපි චිත්‍රපට 75 ක් බලලා තිබමත් විශේෂයි. ඒත් ඒ කාලේ ප්‍රේක්ෂකාගාරය සෙනඟින් උතුරා යන්නට ඒවායේ තිබුණු ගීත, නැටුම් ප්‍රධාන හේතවක්. විජය, ජෝතිපාල, රවීන්ද්‍ර, සනත්, මාලනී, ගාමිණී, නීටා, අනෝජා, ගීතා වැනි ජ්‍යේෂ්ඨයන්ගේ හිස්තැන් පුරවන්න දෙවැනි පෙළක් මතු වුණේ නැහැ. එයත් සිනමාව මේ තත්ත්වයට ඇද වැටීමට හේතුවක්. අනෙක ඒ අය අධ්‍යක්ෂවරු විසින් සොයා ගත් අයුරු අප පොතපතින් කියවා තිබෙනවා. අපේ සිනමාවට අවශ්‍ය තිර පෞරුෂය, හඬ පෞරෂය ඇති අය අද බිහිවෙලා නැහැ. තවත් දෙයක් තමයි අපේ නළු නිළියන් තමන්ගේ ශරීර ස්වභාවයන් නඩත්තු නොකිරීම. බොලිවුඩ් හොලිවුඩ් ශිල්පීන් තමන්ගේ සිරුරු නිසි හැඩතලවලට පවත්වා ගන්න පුදුම වියදමක් කැපවීමක් කරනවා. අපේ සමහර නළුවන් ඇඟ පිම්බුවාට පෞරුෂය නැහැ. මුහුණ හා සිරුර මනාව නොගැළපුණොත් ඒ පිම්බූ ශරීර නිකම්ම මස්ගොබ විතරයි. නිළියන් වුණත් ප්‍රේකෂකයන් ආකර්ෂණය කරන තරු සංකල්පය පවත්වන අය නොවෙයි.

 

නළු නිළියන් විතරමද ප්‍රශ්නය?

නැහැ. මම ළඟදි චිත්‍රපටයක් බැලුවා ද ඩෝග්ස් ජර්නි කියලා. ඒ කතාවේ තිබෙන්නේ සුනඛයකුගේ පුනරුත්පත්තියක් පිළිබඳව. ඒ සංකල්පය බුදු දහම සමඟ කෙතරම් බද්ධද? ඒත් අපට උරුම මේ දේවල්වලින්වත් වස්තු බීජ ගොඩනඟා ගන්න උනන්දු වන්නේ නැහැ. පුවත්පත් කලාවේදීන් හිටියට ඔවුන් ඒ්වා සොයා යන්නෙත් නැහැ. රෑනගිරවු වගේ චිත්‍රපට එදා බිහි වුණානම් අද බැරි ඇයි. අපට අන්තර්ජාතික වශයෙන් ඇගයීමට භාජනය වන නිර්මාණ කරන්න පුළුවන්කම තිබෙනවා ඒත් අධ්‍යක්ෂවරු පවා කම්මැළියි කියලයි මට නම් හිතෙන්නේ.

 

ඔබේ පොත්පත් වගේම චිත්‍රපට රසිකයන්ට සමීප කරවන්න යෙදුණු උපක්‍රම මොනවාද?

මගේ නිර්මාණයක් අන් අයට දෙන්න කලින් මම ඒ තුළ ගිලිලා රස විඳලා හරි නැත්නම් වෙනස්කරලා සුදුසුම එක තමයි එළිදක්වන්නෙ. මේ කැපවීම නිසා මට පාතාලයෙන් මරණීය තර්ජන පවා ආවා. නාඳුනන තුවක්කුකරුවන්ගෙන් මරණීය තර්ජන ආවා. දේශපාලනඥයන් සමහරු තර්ජනය කළා, තවත් සමහරු බැගෑපත් වුණා. 88-92 කාලේ රජයට විරුද්ධව කටයුතු කරන පුද්ගල ලැයිස්තුවේ වගේම අනෙක් පැත්තෙන් එන ලැයිස්තුවේ මගේ නම තිබුණා. ලසන්ත, රිචඩ්, රෝහණ කුමාර ඝාතනයට ලක් වුණා. ඒ නිසා මම දිවි බේරගන්න රට ගියා. මේ සේරම අත්දැකීම්, අත්විඳීම් රසිකයන්ට සමීප වන අයුරින් ඉදිරිපත් කරන්න ප්‍රධාන වශයෙන්ම ආකෘතිය හා භාෂාව මම යොදා ගත්තා.

 

මේ වන විට ඔබ තවත් නිර්මාණවල යෙදෙනවාද?

පාතාලය සහ දේශපාලනය සම්බන්ධ චිත්‍රපටයක තිරනාටකයක් ලියමින් සිටිනවා. මට රට යන්න සිදුවුණ ප්‍රධාන හේතුව මටත් වඩා මගේ බිරිඳට හා දරුවන්ට ආ ජීවිත තර්ජන. ඒ වගේම පුවත්පත් කලාවට අත්වන්නට යන ඉරණම පිළිබඳවත් මට ඉව වැටුණා. ඒ නිසා මම රට ගියා. ඕස්ට්‍රේලියාවේදි හා ලංකාවේදි මම විඳපු ජීවිත අත්දැකීම් පිළිබඳ සත්‍ය තොරතුරු ඇතුළත් පොතකුත් ලියමින් ඉන්නවා. බොහෝ දෙනෙක් පිටරට ගියාම විඳීන්න වන ඇත්ත අත්දැකීම් කියන්න මැළි වෙනවා. ඒත් ඇත්ත කතා නොකර මේ දේ කරන්න බැහැ. ඒ නිසා ඒ සියලු ඇත්ත මගේ පොතට ඇතුළත් කරනවා.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.