අලුත් අවුරුද්දේ බොලිවුඩ් යන අපේ මහා සිනමා තරුව

ජනවාරි 2, 2020

සීතල නත්තලට පෙර උණුසුම් ආරාධනයක් අපට ලැබිණි. එය මෙසේය. 'ශ්‍රී ලාංකේය කතා පුවතක් ඇසුරෙන් ඉන්දියානු නිර්මාණ දායකත්වයෙන් බිහිවන ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමා කෘතිය DISTANT TEARDROP ( (දුරස්ථ කඳුළක්) එන්. පද්මකුමාර්ගේ අධ්‍යක්ෂණයෙන්, සතිෂ් කෞශික්ගේ නිෂ්පාදනයෙන්, රවීන්ද්‍ර රන්දෙණිය සහ සංගීතා වීරරත්නගේ ප්‍රධාන චරිත නිරූපණයෙන් 2019 දෙසැම්බර් 12 වැනි දින පස්වරු 6.00 ට චිත්‍රපට සංස්ථා 'තරංගනී' ශාලාවේදී තිරගත කෙරේ. ආරාධිතයන් සඳහා පමණක් සීමිත මෙම විශේෂ දර්ශනය සඳහා ඔබට ගෞරවයෙන් ඇරැයුම් කරමු.' මෙවැනි ආරාධනා සරසවියට අරුමයක් නොවේ. ඉතින් අපි ගියෙමු.

මෙයද තවත් පූර්ව ප්‍රදර්ශනයක් මෙන් නම්, වෙනදා මෙන්ම සෙනඟ, කතා, සමහර විට චිත්‍රපටය බැලීම එපා වනතුරු කතා, චිත්‍රපටය හොඳ වුවත් නැතත් අධ්‍යක්ෂට අතට'ත දීම, බලන්නම බැරිතරම් නම් මඟින් නැඟිට යන ක්‍රමයක් හෝ පිටතට පැමිණෙන මඟහැර යන ක්‍රමයක් සිතීම සිදු වනු ඇත. චිත්‍රපට නැරඹීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමකට සූදානම් අප කර්තෘ අරුණ (ගුණරත්න) සොහොයුරා වුව ඉවසන්නේ පළමු මිනිත්තු පහළොව පමණි. ඒ කාලය තුළ ඔහුගේ පළා යෑම හෝ රැඳී සිටීම චිත්‍රපටයේ හොඳ නරක තීරණය කරන මිනුමක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධය. එසේ ඔහු පළා යන ඇතැම් චිත්‍රපට අවසන් වනතුරු අප ඉවසා සිටි අවස්ථාවල ඔහු අපට පවසන්නේ 'උඹලා නම් මිනිස්සු වෙන්න බෑ, දෙවිවරු වෙන්න ඕනා.' කියාය. හෘදය සාක්ෂියට එකඟව චිත්‍රපටයක් නැරඹුවා යැයි කිව හැකි නිර්මාණයක් නම් 'තේපැන්' සංග්‍රහය භුක්ති විඳීමට එක් විය හැකිය. කාලයක් තිස්සේ නැරඹූ ඇතැම් සිනමා පට නිසා ඔද්දල් වූ සිත සනසා ගැනීමට මෙවැනි විහිළු කතා කියමින් අප ගියද එදින තරංගනී ශාලාවට ඇතුළු වත්ම අපට දැනුණේ මහත් වෙනසකි. රවීන්ද්‍ර - ප්‍රීති (රන්දෙණිය) යුවළ සාදරයෙන් අමුත්තන් පිළිගනිති. වෙනදා මෙන් ලොබියේ සෙනඟ රැඳෙනු වෙනුවට ආසන වෙත යොමු කර තිබිණි. පූර්ව දර්ශනවල නිතර නොදකින මුහුණු අතර සිටි ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගමයන් සහ කථිකාචාර්ය අරුණ ලොකුලියන සොයුරාණන්ගේ ආරාධනයෙන් එතැන අසුන්ගත් මා අසලට ඉන් පසු පැමිණියේ බුද්ධි ගලප්පත්ති සහ හේමාල් රණසිංහ යන යුග දෙකක මුසුවකි. එයද වෙනසක් වූ බැවින් කතාබහ අතරතුර ගෙල කරකවා අවට ආසන දෙස නෙත් යොමු කළ මට තිස්ස ලියනසූරිය, මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, ශ්‍රියානි අමරසේන, අනෝජා වීරසිංහ, ජැක්සන් ඇන්තනි, යශෝධා විමලධර්ම ආදී වශයෙන් නම් කළ හැකි සිනමාවේ යුග තුනක රංගන ශිල්පී ශිල්පිනීන් මෙන්ම අධ්‍යක්ෂවරු ආදින් දැකගත හැකි විය. ඉතා කෙටි පිළිගැනීමේ කතාවක් සමඟ ඉන්දීය නිෂ්පාදකවරයකු වූ සතිෂ් කෞශික් සහ අධ්‍යක්ෂ එන්. පද්මකුමාර් හඳුන්වා දුන් ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය කෘතිය නැරඹීමට ඉක්මනින් ඉඩහසර සැකසුවේය. චිත්‍රපටය ඉංග්‍රීසි බසින් දිගහැරෙන්නකි.

හිමෙන් පිරීගිය වටපිටාවක් අතරින් තාර පාරක ඇදෙන මෝටර් රථයේ සිටින සුරතල් කුඩා දරුවකුගේ හඬින් ප්‍රශ්න වැලකි. පිළිවෙළ සහ නියම පරිවර්තනය නූණත් මට මතක මේ ආකාරයටය. සීයා අපි එනකල් බලා ඉන්නවා ඇති නේද තාත්තී? ලංකාවේ හැමදාම ඉර පායනවාද තාත්තී.. හැමදාම? එහේ ගස් හැමදාම කොළ පාටද..? මේ පාර එයාපෝර්ට් එකේ බෝම්බයක් පුපුරන්නේ නැතිවෙයි නේද? ලංකාවේදි ඇත්තටම කබරගොයි බලන්න පුළුවන් වෙයිනේද තාත්ති?

තම රට පිළිබඳ මෙන්ම සීයා පිළිබඳ තාත්තා කියා ඇති පරිදි සුන්දර දැවැන්ත ප්‍රතිරූප මවාගෙන සිටින දරුවාගේ ප්‍රශ්න වැල නතර වන්නේ ලිස්සා ගොස් අනතුරට පත්වන වාහනයේ ශබ්දයෙනි. එතැන් සිට අප දකින්නේ ඒ මොහොත දක්වා ඔවුන්ගේ ජීවිත පෙළ ගැස්වෙන ආකාරයයි. රවීන්ද්‍ර - සංගීතා දෙපළ වයස අවුරුදු 25ක පමණ තරුණ පුතෙකු සිටින මැදි විය ඉක්මවන්නට ආසන්නවුවද බොහෝ ප්‍රේමණීයව කල්ගත කරන වලව් පැළැන්තියේ යුවළකි. ඉහළ රැකියාවක යෙදෙන, මිත්‍රශීලී, මධ්‍යස්ථ මතධාරියකු වන පියා ජාති ආගම් භේදයකින් තොරව සිතන බැවින් පුතාගේ දෙමළ ජාතික පෙම්වතිය සහ ඔවුන්ගේ පවුලද මහත් ගෞරවයෙන් පිළිගනී. සියල්ල කණපිට හැරෙන්නේ තමාගේත් තරුණ පුතාගේත් දෑස් ඉදිරිපිට ත්‍රස්තවාදියකුගේ බෝම්බ ප්‍රහාරයකට සිය ආදරණීය බිරිඳ හසුවනු දැකීමත් සමඟය. දෙමළ පෙම්වතිය අත් නොහරින පුතා නිවසින් පන්නා දමා සමස්ත සමාජයෙන්මත් ඈත්ව පුතා සමඟද කිසිදු ගනුදෙනුවකින් තොරව දැඩි මිනිසකු ලෙස සිටින පියාට එක්තරා මොහොතක පිටරට පදිංචියට ගිය පුතා සහ ලේළිය මෙතෙක් එවූ ලිපි කියවන්නටත්, අර සිඟිති සුරතලා ලංකාව ගැන මෙන්ම ඔහුගේ සීයා වන තමන් පිළිබඳ ළදරු පාසලක කරන කතාවක රූප පෙළක් දකින්නටත් සිදුවේ. මුනුපුරාගේ ඒ සුරතල් කතා මේ දැඩි සිතැත්තාට බලපාන්නේ කෙසේද? දුරස්ථ කඳුළක් (Distant Teardrop) මුළු තරංගනී ශාලාවේ සිය ගණනක් නෙත් අගට කඳුළක් ගෙනා බවට මමද සාක්ෂිකාරියක වෙමි.

ඒ සීයා - රවීන්ද්‍ර රන්දෙණිය විශිෂ්ට රංගධරයා මේ කඳුළේ හිමිකරුවාය. ඒ ගැන අපි දිනක් සුහද කතාබහක යෙදුණෙමු.

"හුඟාක් අය චිත්‍රපටයක් බලලා හිනාවෙලා එළියට එන්න කැමති වුණාට, කඳුළු හංගනවානේ අරුණි. ඒත් එදා හැමෝම තමන්ගේ තිගැස්ම, සංවේදීබව විවෘතවම මට කිව්වා. හැමෝම එළියට ආවේ අමුතු හැඟීමකින්. ඒ සිනමා වින්දනයද ඛේදවාචකයක්ද මන්දා. ඒත් මේක කඳුළු කතාවක් නෙවෙයි. අප ලබපු අත්දැකීමක්. මාලනී ෆොන්සේකා මහත්මියගේ ඉඳන් පහළට හැමෝම කීවා චිත්‍රපටය පුරාම අපට කඳුළු ආවා කියලා" ඔහු කියනා දේ මම මගේ දෑසින් දුටුවෙමි. බොහෝ දෙනා 'රවි අය්යා' බදාගෙන කිසිවක් නොකියා මොහොතක් සිටියහ. උස් වූ සිරුරකට හිමිකම් කී ඔහුගේ පපුව මානයට තරම් වූ ඇතැමුන් සිය සංවේදීතාව පළකළේ රවි අය්යාගේ ළයෙහි මුව හොවාගෙනය. චිත්‍රපට සිය දහස්ගණන් බලා තෙම්පරාදු වී ඇති පිරිමින් පවා ඔහු ඉදිරියේ ගොළු වී ගියේ අප සියල්ලන්ම, මේ මුළු රටම දැවුණු ඒ යුගයේ හදවත කකාරවා දමන මතක සංවේදනාවන් උළුප්පාලන්නට මෙන්ම දෘඩත්වය විසින් සන්තානයේ කෙළවරක සඟවා ලූ දාරක ස්නේහය සියලු යදම් බිඳලමින් ඉහළට මතුව එන මොහොතක පියකුගේ සිතිවිලි සමුදාය කෙබඳුද යන්න පසක් කිරීමට ඔහුගේ රංගනය සමත් වූ බැවිනි.

"මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ පද්මකුමාර් ඉන්දියාවේ කේරළයේ කෙනෙක් වුණාට 2001 ඉඳන් 2004 විතර වනතුරු ලංකාවේ ප්‍රසිද්ධ දැන්වීම් ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂවරයකු හැටියට වැඩ කරලා තිබෙනවා. ඒ කෙටි කාලය තුළ ඔහු අත්විඳපු දේ තමයි කතාවට තේමා කරගෙන තියෙන්නේ. ඇත්තටම ඔහු ඒ අරගලය.., නෑ ඒක ඇත්තෙන්ම යුද්ධයක්, ඒ යුද්ධය පසුබිම් කරගෙන, එහි ප්‍රතිඵල විදිහට බෝම්බ, අවිආයුධ, කපාකොටාගැනීම් පෙන්වනවාට වඩා තමන්ගේ දර්ශනය පැහැදිලි කරන්න යොදා ගත්තේ එක පවුලක්. ඒ වගේ පවුලකට බලපෑමක් වුණොත් ඒ අයගේ සමස්ත ජීවන රටාවම විකෘති වෙලා තනි තනිව මෙයින් විඳවන ආකාරය, පවුලේ සම්බන්ධතා උඩු යටිකුරු වෙන ආකාරය, අපි අතර තිබෙන මානව සම්බන්ධතා, දරුවන් දෙමාපියන් අතර තිබෙන බැඳීම් අදහාගන්න බැරි අයුරින් කෙතරම් වෙනස් වෙනවාද යන්න යුද්ධය ගැන කතා නොකර කියන ආකාරය අපේ යුද්ධය පසුබිම් කර තැනුණු සිනමාවට නවතම ආකෘතියක් කියලයි මට හිතෙන්නේ. යුද්ධයේ එක දර්ශනයක්වත් නොපෙන්නුවාට චිත්‍රපටය පුරාම පසුබිමේ අපට දැනෙනවා මේ රටේ මහා ඛේදවාචකයක් පවතිනවා, ඒ පවුලම පිච්චී දැවෙන්නේ ඒ ගින්නෙන් බව. පද්මකුමාර් මෙහෙන් ආපහු ඉන්දියාවට ගිය දවසේ ඉඳන් මේ තේමාව ඔහුගේ ඔළුවේ රැඳී තිබිලා තියෙනවා."

එසේ කියූ රවීන්ද්‍ර රන්දෙණිය මහත්මා අපට වඩා කෙරතම් ජ්‍යේෂ්ඨයකු, ප්‍රවීණයකු වුවද සුහද කතාබහකදී 'රවි අය්යා' යන ආමන්ත්‍රණයට ඔහු මනාපය. කතාවේ සුහදත්වයට එය වඩාත් සමීපය. ඔහු නොකී කතාවක් කීමට වඩාත් උචිත යෙදුමද එයමය. පැඩී එනම් පද්මකුමාර් නිර්මාණ අධ්‍යක්ෂවරයා ඉන්දියාවේ ගිය පසුවද වරක් ලංකාවට පැමිණියේ සබන් වර්ගයක වෙළෙඳ දැන්වීමක් සඳහාය. එයට ප්‍රවීණ කලා අධ්‍යක්ෂ එරල් කෙලී ද සම්බන්ධ වී තිබුණි. මේ තේමාව පිළිබඳ කතාකළ පැඩීට කෙලී කියා තිබුණේ ඔය කතාවේ ප්‍රධාන චරිතයට ගන්නවා නම් එකම කෙනා රවි අය්යා, ඔය කියන සෙට් එකට හරියන වළව්ව නම් මං හිතන්නේ ජයකොඩි වළව්වම තමයි කියාය. ඒ මීට වසර දහයකට පමණ පෙරය. එවිට රවි අය්යා චිත්‍රපටයක් පිළිබඳ හාංකවිසියක්වත් දැන සිටියේද නැත. එය මට කීවේ කවුද කියා දැනට නොකියමි. එහෙත් ඒ විනිශ්චය නම් නිවැරැදි බව කියන්නේ මා පමණක් නොවේ. ඒ බව සාක්ෂි සමඟ ඔප්පු කිරීමට අවසර ඉල්ලමි.

මුලින්ම මගේ සවනට වැකුණු හේමාල් රණසිංහගේ ප්‍රකාශය දක්වමි. "රවි අය්යේ, රංගනය මොකක්ද කියලා දැනගන්න මේ චිත්‍රපටය බලන්න ආරාධනා කළාට පින් දෙන එකේ සීමාවක් කියන්න බැහැ."

ඉන්පසු දුරකථන පණිවිඩ කීපයකි.

"රවි අය්යා, ඔබ මේ රටේ රංග කලාව ලෝකයට ගෙනියන්න ඉන්න එකම දක්ෂයා. ඔබ අපිට ආඩම්බරයක්. අපිට කීර්තියක්. සිනමා රංගනය පිළිබඳ ඔබේ ජාත්‍යන්තර පරිචය දැන් කූටප්‍රාප්තියට පත්වෙලා. ගාමිණි ෆොන්සේකාට පවා යා නොහැකි වූ දුරක් ඔබ අපේ රට වෙනුවෙන් යන බව අද ඔප්පු උනා. ඔබේ යුගයේ මේ සිනමාවේ අපට ඉන්න ලැබීම ගැන අප ආඩම්බර විය යුතුයි. ඔබේ ගමනට පාවාඩ එලන්න, වියන්බඳීන්න මම ඕනෑම විටෙක සූදානම්. මම ඔබේ ජ්‍යේෂ්ඨත්වය පිළිබඳ වැඩිපුරම ආඩම්බර උණේ අදයි. ඔබට ජයවේවා...! ජැක්සන් ඇන්තනි"

Dear Ravi, Thank you for inviting me. It was a fantastic, Brilliant movie. .... You have given a marvellous performance. Your face was a mirror of your emotions. True sense a legend. Love Swarna  (හිතවත් රවි, මට ආරාධනා කළාට ස්තූතියි. ඒ චිත්‍රපටය ඉතාම විශිෂ්ටයි, රමණීයයි. .. ඔබ අති විශිෂ්ට රංගනයක යෙදුණා. ඔබේ මුහුණ ඔබේ හැඟීම්වල කැඩපතක් හා සමානයි. සිනමාවේ පතාකයකු බව ඇත්තෙන්ම දැනුණා. ආදරයෙනි. ස්වර්ණා) (ස්වර්ණා මල්ලවආරච්චි)

you are our gratest actor. I dont think anyone can reach you ever. You are Sir Lorenz Olivia, Omar Sharif, Marlon Brando all three in one! Proud to be around you!-Channa

(ඔබ අපේ විශිෂ්ටතම රංගන ශිල්පියා. මම හිතන්නේ නැහැ කිසි කෙනකුට කවදාවත් ඔබේ හැකියාවට ළංවිය හැකිවේවි කියා. ඔබ ශ්‍රීමත් ලොරෙන්ස් ඔලිවියා, ඕමාර් ෂරිෆ්, මාර්ලන් බ්‍රැන්ඩෝ ත්‍රිත්වයේ එකතුවක්. ඔබ සමීපයේ රැඳීමට ලැබීමත් ආඩම්බරයක් -චන්න විජේවර්ධන)

මේ සියල්ල දුරකථන පණිවුඩ ලෙස එවා තිබුණේ නව තාක්ෂණය උපයෝගී කරගෙනය. එහෙත් පැරණි ක්‍රමයට ලියමනකින් ඔහුගේ රංගනය පිළිබඳ විචාරයක් පිටුවක් පුරා ලියා තිබුණේ ගාමිණී වේරගම මහතාය. එහි මට දැනුණු කොටස් කීපයක් පමණක් උපුටා ගනිමි.

"Distant Teardrop  චිත්‍රපටයේ සමරසේකර චරිත ප්‍රතිනිර්මාණයෙන් තමා මෙරට සිටින ප්‍රශස්තතම රූපණවේදියා බව ඔබ නැවතත් සනාථ කර තිබේ. මෙම චරිත නිරූපණය ශූර මූර්ති ශිල්පියකු ඇඹූ කිසිදු ඇදපළුද්දක් සොයාගත නොහෙන අපූර්ව ප්‍රතිමාවකට සමානය. චිත්‍රපටයේ න්‍යෂ්ටිය බවට පත්වන්නේ ඔබගේ ශූර රූපණයයි. ....... ඔබ දශක ගණනාවක් පුරා රූපණයේ නිරතවීමෙන් ලැබූ කෘතහස්තබව, ඥාන වෘද්ධබව සමඟ ජීවිතය පිළිබඳ ස්වීය සියුම් දැක්ම හා අත්දැකීම්ද මුසු කරමින් චරිතයේ අභ්‍යන්තරය ගොඩනඟයි. මුළු ශරීරයෙන්ම එහි බාහිර රූපකායට සමාරෝපණය වෙයි. ස්ව අර්ථකථන මඟින් චරිතයට අපූරු මානුෂීය හැඩයක්, විශ්වසනීය ගුණයක්, හිමිකරදෙයි. එහෙයින් මේ මිනිසා මුහුණදෙන ඛේදවාචකය අපගේ සිත කම්පාවට ලක් කරයි. අපගේ ප්‍රඥාව අවුලුවයි. ජීවිතය, මනුෂ්‍යත්වය පිළිබඳ අපගේ අවබෝධය වඩා පුළුල් අවකාශයක් දක්වා රැගෙන යයි. මේ හාස්කම කළ හැක්කේ රූපණයේ බුද්ධිමය සීමාවන් අතික්‍රමණයේ ශක්තියෙන් ද සතරවිධ අභිනය චරිත ප්‍රතිනිර්මාණය උදෙසා මැටිපිඩක් ලෙස භාවිත කිරීමේ නිර්මාණාවේශයෙන්ද යුත් පරිසමාප්ත කලාකරුවකුට පමණි. ... මේ චිත්‍රපටය සඳහා ඉන්දියාවෙන් රූපණවේදියකු භාවිත කළේ නම් ඒ අනිවාර්යයෙන්ම අමිතාබ් බච්චන් වනු ඇත. එබඳු විශිෂ්ටයකුට වුව අලුතින් යමක් චරිතයට එකතු කරන්නට ඔබ අවකාශයක් තබා නැත."

මේ ප්‍රතිචාර පිළිබඳ මා දන්නා බව කියන විට 'රවි අය්යා'ගේ මුහුණේ නැඟුණු ප්‍රභාවත් බව සහ දෙනෙතේ දිලිසීම සාත්වික අභිනයක් නොවූ බව නම් නොකියාම බැරිය. රූපණවේදියකුට ඇති විශාලතම සංතෘප්තිය තම නිරූපණය පිළිබඳ යහපත් ප්‍රතිචාර ලැබීම බැවිනි. මීට පෙර වතාවක ඔහු රංගනවේදය පිළිබඳ සරසවියට මා සමඟම බොහෝ දේ කතා කළත් මේ චිත්‍රපටයේ ඔහු එය ප්‍රායෝගිකව යොදාගත් අයුරුත් ඔහු චරිතයට තෝරා ගැනුණු අයුරුත් විමසන්නට සිතීමි.

"මේ අධ්‍යක්ෂවරයා  A billion colour story  කියලා චිත්‍රපටයක් කලින් කරලා තිබෙනවා. අක්ෂරය චිත්‍රපටය බලලා තමයි එයා තමන්ගේ නළුවා තෝරගෙන තිබෙන්නේ. ඉන්දියාවේ බිග් බැනර් ප්‍රොඩියුසර්ස් කියලා ඉන්න ලොකුම නිෂ්පාදන ආයතනයක් තමයි සතිෂ් කෞෂික්ලාට අයිති. ශාරුක් ඛාන්ගේ එහෙම චිත්‍රපට හයක් විතර කරලත් තිබෙනවා. ඉතින් ඒ අය පත්මකුමාර් එක්ක කතා කරද්දි කීවාලු මම චිත්‍රපටය කරන්නම් හැබැයි එක කොන්දේසියක් පිට. ඒ මම කැමති නළුවා ගන්න ඕනෙ කියලා. ඒ ගැන මට දැනගන්න ලැබුණේ චිත්‍රපටය පෙන්නපු දවසේ රාත්‍රී භෝජන සංග්‍රහයේදි නිෂ්පාදකවරු එක්ක අධ්‍යක්ෂ කියනකොටයි.

මේ කතාවේ පිටපත දෙන්න කලින් මට පද්මකුමාර් කීවා හවසක හමුවෙන්න ඕනෙ කියලා. එයා සීන් එකින් එක මට කියද්දිත් මගේ ඇස්වලට කඳුළු එන ගාණයි. පස්සේ අපි ගිහින් වයින් බෝතල දෙකක් විතර බොන තරම් අමුතු හැඟීමක් දුන්නු හැන්දෑවක් බවට එදා පත්වුණා. එහෙමයි මම අලුත් අධ්‍යක්ෂවරයකු සමඟ වුණත් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කැමැති වුණේ. ඇත්තෙන්ම පද්මකුමාර් අධ්‍යක්ෂවරයා තමයි, කතාව, තිරරචනය, දෙබස්, කැමරාව ඔක්කොම කළේ. ඉන්දියාවෙන් ආවෙත් එයයි නිෂ්පාදකවරුයි විතරයි. අනෙක් ඔක්කොම දේවල් කළේ ලංකාවේ අපේ ද ෆිල්ම් ටීම් ආයතනයෙන්.

මාව අතහැරලා මේ චිත්‍රපටය ගැන විතරක් කතා කළොත් චිත්‍රපට මාධ්‍යය, සිනමා භාෂාව හරිහැටි එය කියවා ගත්තාම අපේ චිත්ත සන්තානයට මොන තරම් ප්‍රබල ලෙස ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද? අපේ හැඟීම් මොනතරම් අවුළුවාලන්න පුළුවන්ද අපට අපව පෙන්වා අපේ ඇතුළාන්තය එළියට ගන්න පුළුවන්ද කියන දේ තේරෙනවා. ප්‍රශස්ත සිනමාවට තරම් අපේ සන්තානය කලඹන්න වෙනස් අත්දැකීමකට පරිවර්තනය කරන්න ප්‍රබල මාධ්‍යයක් නෑ කියලයි මට හිතෙන්නේ. අපි මේ චිත්‍රපටය මාධ්‍යයට පෙන්වන්නත් කලින් එයට දායක වූ අයයි, රංගන ශිල්පීන් සහ හිතවත් කීපදෙනකුටයි විතරක් ආරාධනා කළේ කවදා හරි තිරගත වූ දාට මේ සමස්තය හසුරුවා ඇති අයුරු සහ රංගනය පිළිබඳ අප දකින දෙයින් ඔබ්බට ගිය අපට ස්පර්ශ නොවන දෙයක් තිබෙන බව නව පරපුරට කියන්න පුළුවන් වන ආකාරය ගැන හිතාගෙන. ඇත්තෙන්ම හේමාල් මට ස්තූති කළ ආකාරය අරුණි දැක්කානේ. ඒකෙන් අපේ වෑයම සාර්ථකයි කියලා හිතුණා. හොඳ සිනමාව කියන දේට දායක වෙන්න ඔවුන් විසින් ගොඩනඟාගත යුතු දේ ගැන කියන්නයි මට ඕනෙ වුණේ. ප්‍රතිභාව කියන දේ ඔවුන් සතුයි. ඒත් ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය කියන දේවල් හොඳ චිත්‍රපට බලලා විතරක් ගන්න බෑ. ව්‍යුත්පත්තිය ලබන්න සම්භාව්‍ය කලාව, පොත පත, සංගීතය, ප්‍රාමාණික දැනුම ඇත්තන් විතරක් නෙවෙයි සොබාදහම, ලෝකය මේ සියල්ල ඇසුරු කළ යුතුයි. ප්‍රතිභාන්විත තරුණ පරපුර මෙතනින් එහාට යන්න ඕනේ කියලයි මම හිතන්නේ. ඔවුන්ට අවස්ථාව ලැබීමේ අඩුපාඩුවක් මම දකිනවා. ඒත් අවස්ථාවක් ලැබුණොත් ඔවුන් සන්නද්ධ වී සිටිය යුතු තවත් පැතිකඩ රාශියකුත් තිබෙනවා. ඒ අවබෝධය ලැබිය යුතු බව සන්නිවේදනය කරන්නයි මට ඕනෙ කළේ.

මගේ රංගනය ගැන මම විස්තර කියන එක හරි නැහැ. ඒත් මේ චරිතය ගොඩ නැඟුවේ හරි සෙල්ලක්කාර ආදර බැඳීමකින් ඉන්න යුවළක් හැටියට. එහිදී මැදිවිය ඉක්මවන්නට ආසන්න වුවත් භද්‍ර යෞවන පෙම්වතුන් වගේ ඉන්න බිරිඳක්, මවක් ලෙස සංගීතාගේ රංගනයත් ඉතා විශිෂ්ටයි. ඇය එහෙම නොවුණානම් චිත්‍රපටයේ ඉදිරි ගලායාමට බාධා වන්න ඉඩ තිබුණා. ඇත්තෙන්ම දෙදෙනකු එකට රංගනයේ යෙදෙද්දි දෙදෙනාගේ අන්‍යෝන්‍ය එකඟතාව මනාවට තිබිය යුතුයි. එක්කෙනෙක් මතු වෙන්න හෝ අනෙකා අභිබවා යෑමේ අපේක්ෂාවක් ඇති වුණොත් රංගනය සාර්ථක වන්නේ නැහැ. අනෙක තමන්ට දේවල් ඉතිරි කරගන්න බැහැ. දඩයමේ ඔනෙ නම් මට තව ටිකක් අඩුවෙන් නපුරු වෙන්න තිබුණා. මා ගැන හිතුවා නම්, ජනප්‍රියත්වයට කැලලක් වෙයි කියලා බය වුණා නම්. හැබැයි ඒක සාර්ථක රංගනයක් වෙන්නේ නෑ එතකොට. නළුවෙකුට නිළියකට හැකියාව විතරක් මදි. අපට හැම අත්දැකීමකටම මුහුණ දෙන්න තරම් ජීවිතය දිග නැහැ. ඒ සඳහා අපට පරිකල්පනය ඕනේ. අපට පේන දේ අපි හරියටම දකිනවාද? මම නවපරපුර ගැන ගොඩක් කතා කරන්නෙත් මේ රංගනය පිළිබඳ 'සීරියස්' නොගන්න අයත් ඉන්නවා. හොඳ ගමනක් යන අයත් අපට පේනවා. ඒ අය ගෞරවණීය ලෙස තමන්ගේ කලාව දකිනවා. ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරනවා. මම ඇත්තෙන්ම හොඳීන් අධ්‍යයනය කළ කෙනෙක් තමයි ජෝ අබේවික්‍රම. ඔහු කොහෙන්ද කලාව ඉගෙන ගත්තේ. ඒත් ජීවිතය ගැන ඉතාම ගැඹුරින් සාකච්ඡා කළහැකි, මනුෂ්‍ය ජීවිතය පිළිබඳ පුදුමාකාර නිරීක්ෂණයක්, දර්ශනයක් සහිත කෙනෙක්. ඔහු දකින දේට වඩා යමක් දකින්න පුරුදු වෙලා හිටියා. ඒ දිහා මම බලාගෙන හිටියා. මම හරි වාසනාවන්තයි මගේ මුල් යුගයේ චිත්‍රපට පහකම ඔහු සමඟ රඟපාන්න ලැබීම විශාල අධ්‍යාපනයක් හා සමානයි. අනෙක් පුද්ගලයා සුමිත්ත අමරසිංහ මහත්මයා. මොනතරම් තමන්ගේ විෂයය බැරෑරුම්ව ගෙන තමාගේ දේ නිවැරැදිව කරන්නත්, සිනමාවේදී කෙටිපාරවල් නොගෙන ඉතාම දුෂ්කරව තමන්ගේ හරිගමන යන කෙනෙක්. ඒ ශිල්පීන්ගේ ඇසුර මට ආශීර්වාදයක් වුණා. ඉතින් දිගු ගමනක් යන්න හිතන ශිල්පීන් ඒ වගේ දේවල් ගැන උනන්දුවෙන්න ඕනා. මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ එකම එක දෙයක් අදහාගෙන ඒ 'මම රංගන ශිල්පියකු/ශිල්පිනියක විය යුතුයි' කියන දේ. ඒකට කවුරුත් ඔටුන්න ගෙනත් ඔළුවෙන් තියන්නේ නැහැ. හොඳම උදාහරණ මාලිනී, ස්වර්ණා, නීටා, ගීතා, අනෝජා, ශ්‍රියානි මේ සියල්ල රංගන ශිල්පීන් වෙන්න ආ අය. කෝටි දෙකක් ජනතාව අතර ඔය හතරපස් දෙනා විතරයිනේ ඉන්නේ. මම මේ චිත්‍රපටය ඔස්සේ සන්නිවේදනය කරන්න කැමැතිත් ඒකයි.

ඇත්තෙන්ම අරුණි කියපු විදිහට මේ චිත්‍රපටයේ මගේ මුහුණේ ඉරියව්, නැත්නම් සාත්වික අභිනය ගැන ඒ කියලා තිබෙන දේවල් කළේ කොහොමද? කතාවේ මගේ පුතා ලියලා කියලා තියෙන දේවල්, අර හුරතල් මුනුපුරා කියන දේවල් ඇහෙද්දි දකිද්දි මගේ හිතේ හෙණ අකුණු ගහන හැටි මම පෙන්වන්න ඕනේ මුකුත් නැති හිස් කම්පියුටරයක් දිහා බලාගෙන විතරක් නෙවෙයි. කැමරා කණ්ඩායමට දෙන විවිධ අණදීම් අහෙන අතරනෙ. මම සසල වෙන දර්ශන බලලා මුළු ප්‍රේකෂකාගාරය සසල වුණේ පරිකල්පනය ඔස්සේ මම දැක්වූ හැඟීම්වලටයි. ඇත්තම කීවොත් ඒ කොටස කරලා ඉවරවෙද්දි කිසිම දෙබසක් නැතුවත් කැමරා කණ්ඩායමත් අඬනවා. මට ජැක්සන් (ඇන්තනි) කීවේ අනෙක් හැම දෙයක්ම රවීන්ද්‍ර රන්දෙණිය කියන නළුවට කරන්න පුළුවන්, වීරයෙක්, රජෙක්, ධීවරයෙක් කියලා ඇඳුම්වලින් වුණත් පෙන්වන්න පුළුවන්. ඒත් එකම ටීෂර්ට් එකකින් ඉඳගෙන මුහුණෙන් මේ දේ කිරීමයි පුදුමය කියලා. අනෙක මේකේ මට දෙබස් කියන්න තියෙන්නෙත් මුල් කොටසේ විතරනේ. පස්සේ මම වෙනස්ම වෙනවානේ කතාබහක් නැතුව. හැබැයි අධ්‍යක්ෂත් මගේ නිදහස දුන්නා ඒ හිතිවිලිවලට අනුව හැඟීම් ගොඩනැඟෙන්න ඉඩ දෙන්න.

ඇත්තෙන්ම ඒකත් භාවනාවක් වගේ. රංගන ශිල්පියකුට අන් සියල්ලෙන් වියුක්තවෙලා තමන්ගේ මානසික ඒකාග්‍රතාව ගොඩනඟාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක ශිල්පීය හැකියාවක්. අපි නිකං පෙම් ජවනිකාවක් හිතුවත් මුළු ලෝකෙන්ම වෙන්වෙලා කඳු යායක් මැද තනිවන දෙන්නා ආදරෙන් බලන ජවනිකාවක වුණත් මූණ උස්සලා ආදරෙන් බලද්දි ලයිට් බෝඩ් එක නිකට යටනේ."

එසේ කියමින් අප සිනාගැස්සූ ඔහු යළිත්වරක් කල්පනා කරයි.

"මේ මම මං ගැනම කියන්න ආස නැහැ. මේ ටිකත් වැඩියි වගේ. ඇත්තෙන්ම මම මොන චරිතයක් කළත් ඒක එතනදි ඉවරයි. ගෙදර ඉන්නේ රවීන්ද්‍ර රන්දෙණිය. දවසක් මම සරමකුත් ඇඳගෙන ගේ ඉස්සරහ පාර අතුගගා ඉද්දි ත්‍රීවීලර් එකකින් කට්ටියක් ඇවිත් නවත්වගෙන බලාගෙන ඉන්නවා. හුඟක් දුර බැහැරක ඉඳන් කැලණි ආපු කට්ටියක් අපේ ගෙවල් ඒ කිට්ටුව නිසා මාව බලන්න ඇවිත් තියෙන්නෙ. ඔවුන්ටත් පුදුමයි මම හිටපු විදිහට."

අපේ රටේ බොහෝ නළු නිළියන්ට තමන්ගේ වයසට ගැළපෙන චරිත නිරූපණයට තරම් චිත්‍රපට නිර්මාණය වන්නේ නැත. ඒ අතින් රවීන්ද්‍ර රන්දෙණිය බොහෝ වාසනාවන්තය.

"මේ කර්මාන්තයේ තිබෙන ලොකු අභාග්‍යයක් හැටියට තමයි ඔය කාරණේ කියන්න තියෙන්නේ. තමන් රැස් කරගත් අත්දැකීම් සියල්ල එකතු කරගෙන පරිනත වෙද්දි එය ප්‍රේක්ෂකයාට දායාද කරන්න අවස්ථාව නැතිව යනවා. ලංකාවේ විතරයි මෙය තාරුණ්‍යයේ මාධ්‍යයක් ලෙස දකින්නේ. ලෝක සිනමාවේ හොඳම රංගනයන් දකින්න ලැබෙන්නේ පරිණත නළුනිළියන්ගෙන්. ඒ අතින් මට ලැබුණු මේ අවස්ථාව භාග්‍යයක්. ඒ වගේම මෙය අපේ සිනමාකරුවන් සිතා බැලිය යුතු කරුණක්. හොඳම රංගනය සහ සාමාන්‍ය රංගනය අතර තිබෙන්නේ අපැහැදිලි රේඛාවක්. හැබැයි ඒ රේඛාවෙන් ඇතිවන ප්‍රතිඵලය හරිම පැහැදිලියි."

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.