නාදියා ඔබ මෙතරම් නිර්භීතද?

ජනවාරි 2, 2020

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ

පුවත්පත් සමඟ මනා සම්බන්ධයක් ඇති ඔබ කාහට වුවද රෝහණ වෙත්තසිංහ නාමය පිළිබඳ මතක බව මම දනිමි. ඒ ඔහු 1978 වසරේ සිට මාධ්‍ය ලෝකයේ සැරිසරන බැවිනි. ජාතික පුවත්පත් කීපයකම උපකර්තෘ මෙන්ම ප්‍රධාන උපකර්තෘ ලෙස සේවය කර ඇති ඔහු පරිවර්තන කටයුතුවලට හුරුවූයේ ඒ අවධියේ බව අපට පැවසීය. වෙත්තසිංහ මහතා මට මුණගැසෙන්නේ සිළුමිණ පුවත්පතේදීය. සිළුමිණ ව්‍යාපාර කර්තෘ, ප්‍රධාන උප කර්තෘ, සම කර්තෘ මෙන්ම රසඳුන කර්තෘ ලෙස ඔහු අප සමඟ සේවය කළේය. මෙරට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් කරන ලද මුල්ම තිරනාටකය වනුයේ රෝහණ වෙත්තසිංහයන්ගේ සතර දිගන්තය කෘතිය වන අතර ඔහුගේ පළමු පරිවර්තන කෘතිය වූයේ එරන්ගේ ලෝකයයි. අයි එස් ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක බවට පත් නාදියා මුරාද් ලියූ 2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිකරගත් කෘතිය වන ද ලාස්ට් ගර්ල් ඔහු පරිවර්තනය කළේ ගිනිගත් සඳ නමිනි. මේ ඔහුගේ පොත පිළිබඳවත්, පරිවර්තන කාර්යය පිළිබඳවත් අප හා කළ කෙටි කතාබහක සටහනකි.

මෙය ඔබේ දෙවැනි පරිවර්තනය?

ඔව්. මම මුලින් කළේ එරන්ගේ ලෝකය කියලා ඇමරිකානු ලේඛක ජිම් ෂෙෆර්ඩ්ගේ නව කතාව. දෙවැනි ලෝක යුද සමයේ එරන් කියන පෝලන්ත ජාතික කුඩා දරුවා පීඩාවට පත්වන ආකාරය තමයි එහි සඳහන් වුණේ. අලුත් කෘතිය කරන්න කියා මට පැවරුවේ සරසවි ආයතනයේ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහත්මයා.

ඔබ පුවත්පත් කලාවේදියකු ලෙස කළ පරිවර්තනවල හුරුව මෙයට බලපාන්න ඇති?

මම පරිවර්තනයට ආධුනිකයකු නොවුණේ පුවත්පත්වල ඒ කටයුතු කළ නිසා. මුලින්ම ටයිම්ස් ආයතනයට බැඳෙද්දි අපට විභාගයක් තියලානේ ගත්තෙ. එහිදී සිංහල, ඉංග්‍රීසි දෙආකාරයටම පරිවර්තනය කරන්න පුළුවන්ද බලනවා. ඒ අමතරව කොහොමත් ඉංග්‍රීසි පිළිබඳ දැනුම තිබීම අවශ්‍ය බව කියා තිබුණා. විභාගය සමත් වුණ නිසා මුල ඉඳන්ම මම උපකතුවරයකු ලෙසයි පුවත්පතට බැඳුණේ. ඒ වගේම විදෙස් පුවත්, ලිපි, විශේෂාංග පරිවර්තනය කර තිබීම මට මෙහිදී බොහොම උපකාරී වුණා. ඒත් කෘතියක් පරිවර්තනය කිරීම පුවත් පරිවර්තනය කිරීමට වඩා බොහෝ වෙනස්. පරිවර්තනය කියන දේ මම කොහොමත් සුළුවෙන් තැකුවේ නැහැ. කොහොම වුණත් මගෙ නිර්මාණ කෘති ලෙස ගත හැක්කේ මේ පරිවර්තන කෘති දෙකයි.

පරිවර්තනයකදී වඩාත් වැදගත් යැයි සිතන්නේ කුමක්ද?

ප්‍රවෘත්තියක් වුණත් පරිවර්තනය කිරීමේදි පසුබිම දැනගත්තේ නැත්නම් අවුලක පටලැවෙන්න පුළුවන්. ඉතින් එරන්ගේ ලෝකය පරිවර්තනය කරද්දීත් පෝලන්තයේ ස්වභාවය, දෙවැනි ලෝක යුද්ධය පිළිබඳ පසුබිම් දැනුම ලබාගෙන තමයි පොතට අත තිබ්බේ. එතැනදි ලැබුණු ප්‍රතිචාර හොඳ වුණ නිසා තමයි මට තවත් කෘතියකට අතගසන්න ධෛර්යයක් වුණා.

ඔබ මේ පොත තෝරාගත්තේ මොන පදනමින්ද?

ඇත්තෙන්ම මම දැන් සේවය කරන්නේ සරසවි ආයතනයේ මුද්‍රණ උපදේශක ලෙස. මෙහි වැඩකටයුතු අතර මම නිරන්තර අන්තර්ජාලයේ සැරිසරන පුරුද්දක් ඇති වෙලා තිබෙනවා. ඒ වෙලාවකදි මම දැක්කා නොබෙල් සාම ත්‍යාගය සමව බෙදිලා තිබෙනවා පොතකටයි නාරි වෛද්‍යවරයකුටයි. පොතකට සාම ත්‍යාගය පුදන්න තරම් තිබෙන වැදගත්කම මොකක්ද කියන කුතුහලය මට ආපු නිසා තව තවත් සොයා බැලුවා. මොකද මගේ මතකයේ හැටියට පොතක් සඳහා මීට පෙර සාම ත්‍යාගයක් දුන්නාද කියලා සැකයක් ඇති වුණා. පස්සේ මම පොත සොයාගෙන බලන්න වුණා. එහිදි පුදුම විදිහට හද කම්පා වෙන්න ගත්තා. අපටත් දූවරු ඉන්නවානේ.

පරිවර්තනය සඳහා කෙටි කාලයයි ඔබ ගත කර තිබෙන්නේ?

මාස හයක් විතර ගත වුණා. 2018 අග හරියේ තමයි මේ කතාව පරිවර්තනය කරන්න මම පටන් ගත්තේ. අපට අවසර ගන්නත් යම් කාලයක් ගත වුණා.

නාදියා මුරාද් ගැන ඔබට පෞද්ගලිකව හැඟුණෙ කොහොමද?

යෂිඩි කියන පුංචි ජන කොට්ඨාසයක ගොවිතැනෙන් ජීවත්වන අවුරුදු 21ක විතර තරුණියක් මුහුණ දෙන සිදුවීමක්නේ මේක. හිමීට නිවී හැනේ ගලාගෙන යන්න තිබෙන පුංචි දියපහරක් වගේ ජීවිතයක් උඩින් යුද ටැංකි ගිහින් මඩ කරලා බොරකරලා නැති කරලා දැම්මා වගේ හැඟීමක් මට ආවේ. අපි දන්න ජන සමාජයේ නම් මේ වගේ සමූහ දූෂණයක් වගේ දේකට ලක් වුණාම ඒ තරුණියගේ මුළු ජීවිතයම විනාශ වෙලා සමාජයෙන් කොන්වෙලා හැංගිලා ඉන්නවා. ඒත් නාදියා කියන මේ තරුණිය මොනතරම් දුරට ධෛර්යසම්පන්නද කියලා මට හිතුණා. තමන්ගේ ඉතා ආදරණීය මව ඒවගේම සහෝදරයන් නැති වෙලා, තාත්තා වෙන කසාදයක් කරගෙන කලින්ම මිය යනවා. මේ සියල්ල දරාගෙන බය නැතිව ඉදිරියට එනවා. මේ කතාවෙදි නාදියා සම්පූර්ණ සටන්කාමී චරිතයක් ලෙස පෙනී නොහිටියාට පසු නොබසින චරිතයක් බව ඇගේ අය්යලාගේ සටන් ආදිය දිහා බලද්දි පේනවා. අවසානයේ තමන්ගේ ඉලක්කයට යන්න තමන්ට ලැබුණු අවස්ථා ප්‍රයෝජනයට ගෙන එක්සත්ජාතීන්ගේ සංගමය දක්වා යන්න තරම් හැකියාවක් ඇයට ලැබුණා. ඇය ජීවිතතේ කෙටි කාලයක් තුළ මේ සියලු දේ වින්දා. මම ප්‍රේමසිරි මහත්මයාට ඒ හැඟීම කීවාම ඔහු ඉක්මනින් ඒ පොත පරිවර්තනය කරන්න අවශ්‍ය පහසුකම් සකසලා දුන්නා.

අන්තර්ජාලයේ සැරිසරද්දි ඔබට මේ ජනවර්ගය පිළිබඳ තොරතුරු රැසක් හෙළි වූ බව පොතේ සඳහන් කර තිබුණා?

ඇත්තෙන්ම යෂිඩි කියන්නේ මොනවගේ ජන කොටසක්ද කියා වටහා ගන්න මට බොහෝ කරුණු ලැබුණා. ඇත්තෙන්ම මොවුන්ගේ ආගමට හින්දු ආගමේ බලපෑමක් තිබෙනවා. විශේෂයෙන්ම යෂිඩීන්ගේ දෙවියන්ගේ සංකේතය මොනරා. ඒත් ඉරාකය වගේ රටක මොනරු නැහැ. ලාලිෂ් කියන ඔවුන්ගේ පුදබිමේ කේතුකාකාර දේවස්ථාන තිබෙනවා. තයුස් මෙලෙක් කියලා දේවතාවෙක් අදහන්නේ. ඒ වගේ බොහෝ කරුණු අයි එස් ත්‍රස්තවාදීන් මිථ්‍යාදෘෂ්ටිකයි කියා විරුද්ධ වුණු දේවල්. ඒත් මේ පිරිසත් ඒ දේවල් අතහැරලා අයිඑස්ලා කියන ආකාරයට ඉස්ලාම් ධර්මය අදහන්න සූදානම් නොවන ආකාරයේ දැඩි බවකිනුත් යුතුයි. ලක්ෂ විස්සක් විතර සංඛ්‍යාවක්ලු මේ ජනතාව ලෝකයටම ඉන්නේ.

මේ කතාවේදී සමූහ දූෂණ ආදී දේ තිබෙනවා?

තමන්ට සිදුවුණු කායික මානසික පීඩා පිළිබඳ තරුණියක් අභීතව නැඟී සිටිමින් කියද්දි, තමන්ගේ වර්ගයාගේ ගැළවීම උදෙසා ජීවිත පරදුවට තියා සටන් කරද්දි ඇතිවන හැඟීම වෙනස්. ඇයව දූෂණයට ලක් කරන සල්මාන්ම කියනවා උඹලාගේ ආගමේ හැටියට උඹ වගේ කන්‍යාභාවය කෙලෙසුණු ගැහැනියක් යළි සමාජයට ගියොත් ගල්ගහලා මරයි කියලා. ඒ තරම් දුරට ඒ දේවල් සලකන සමාජයක තම වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් සටන් කිරීම තමයි නොබෙල් සාම ත්‍යාගය දක්වා මේ පොත මෙහෙයවන්න ඇත්තෙ. පර්සි ජයමාන්න මහත්මයා පරිවර්තනය ගැන මට හොඳ විචාරයක් එවා තිබුණා. එහි සඳහන් වචනයෙන්ම කීවොත් මම කළ දේ ගැන වැටහීමක් ඇති වෙයි. එහි කියන්නේ සංයමයකින් යුතුව ලිංගික කරුණු පිළිබඳ ලියා තිබෙන බවයි.

 

පරිවර්තනයකදී එසේ කරුණුවල සැර බාල කිරීම හෝ කොටස් එකතු කිරීම මුල් කෘතියට කරන අසාධාරණයක් නොවේද?

මම කොයි මොහොතකවත් කිසිම කොටසක් ඉවත් කළේ නැහැ. මම කළේ අසංක්ෂිප්ත පරිවර්තනයක්. මම දැකලා තිබෙනවා සමහරු කොටස් ඉවත් කරලා පරිවර්තනය කරනවා. එතකොට මුල් කෘතියට හානියක් වෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ නිසා තමයි දුෂ්කර කොටස්වත් ඉවත් නොකරම පරිවර්තනය කරන්න මම උත්සාහ කළේ. හැබැයි අපේ පාඨකයන්ගේ දැනගැනීම සඳහා මම කොටසක් එකතු කළා. අන්තිම පරිච්ඡේදය ලෙස නාදියාගේ විවාහය, රාජ්‍ය නායකයන් හමුව, නාදියා ඉනිෂියේටිව් සංවිධානය ඇති කරගැනීම. ඒ වගේ දේවලින් ඇය ජීවිතය ජයගත් ආකාරය පොතට එක් කළා. එයින් ඇයට වටිනාකමක් මිස හානියක් වන්නේ නැහැ.

 

භාෂාව සහ ආකෘතිය

එරන්ගේ ලෝකය කරද්දි මම එය කටවහරෙන් ලීවේ අවුරුදු 13ක කොළු ගැටයකුගේ සිහිවටන වගේ කතාව දිවෙන නිසා. ඒත් ගිනිගත් සඳට මම ගත් වහර යොදා ගත්තේ එහි කතා ආකෘතියට ගැළපෙන්නේ ගත් වහර නිසා. මට පොත ගැන කියූ බොහෝ ප්‍රවීණයන් කීවේ මෙය බොහෝ හෘදයාංගමව ලියැවී තිබෙනවා කියලා. ඉතින් මම විශ්වාස කරන්නෙ පරිවර්තනයක තිබිය යුත්තේත් බොහෝ සරල සුගම වගේම පාඨකයාට දැනෙන අයුරින් ලියැවුණු භාෂාවක් කියලයි. මොවුන්ගේ සංස්කෘතිය සම්පූර්ණ වෙනස් නිසා ඒ දේවල් සම්බන්ධ වුණු කොටස් ලිවීමේදී ඒවා පිළිබඳ පසුබිම සොයාගෙන තිබීම පාඨකයන්ට එය පැහැදිලි අයුරින් ඉදිරිපත් කිරීමට පහසුවක් වුණා.

පාස්කු ප්‍රහාරය මේ පොතේ අලෙවියට බලපෑමක් කරන්න ඇති?

ඇත්තෙන්ම මම පොත කියෙව්වෙත්, පරිවර්තනය කළෙත් පාස්කු ප්‍රහාරයට කලින්. හැබැයි ඒ සිදුවීම නිසා පළමු මුද්‍රණය දින හතක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් වෙලා දැන් දෙවැනි මුද්‍රණයටත් පොත යොමු වෙලා තිබෙනවා.

ඊළඟට මොනවද කරන්නේ?

තවම හිතට දැනෙන එකක් අවෙ නැහැ. මමත් බොහෝ දේ ඉගෙන ගන්නවා මේ පොත් පරිවර්තනය කරන්න විවිධ සංස්කෘතීන් ආදිය අධ්‍යයනයේ යෙදෙද්දි. ඒ වගේ පාඨකයන්ට යමක් ලැබෙන කෘතියක් ලැබුණොත් පරිවර්තනය කරනවා. පරිවර්තනයත් හරියට කරනවා නම් තරමක අභියෝගයක්නේ.

තිලක් පෙරේරා