හොඳ පරිපාලකයෙක්

ජනවාරි 9, 2020

ස්වාධීන රූපවාහිනියේ නව සභාපති සුදත් රෝහණ

සුදත් රෝහණ යන නමත් සමඟ රසික ඔබට සිහිවන නම්වැලකි. යුගවිලක්කුව, අඹුදරුවෝ, ගිරිකුල, ස්වයංජාත, කරුවල‌ ගෙදර, අවිදු අඳුර, නිරානන්දය, වනවදුලේ වසන්තය, බැද්දේගෙදර, උතුවම් කන්දේ සරදියෙල්, වැනි ටෙලි නාට්‍ය ඉන් කොටසකි. සුදු කළුවර සිනමා කෘතිය අනෙක් නාමයයි. සුභාවිත නිර්මාණකරණය කෙරෙහි අවධානය යොමු කරන්නකු ලෙස දශක තුනක පමණ කාලයක් පුරා සිය ගමන් මගේ එක් කඩඉමක් කරා ළඟාවීමට ඔහුට සිදු විය. ඒ අප නිතර කතාකරන නිර්මාණ විෂයයෙහි නොව, ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපතිවරයා ලෙස රජය විසින් ඔහුට බාරදෙන ලද වගකීම සමඟය. එයට සරසවියේ සුබපැතුම් එක් කරන අතරම මේ අලුත් පදවිය හොබවන්නට අදහස් කරන ආකාරය සහ ආයතනය වත්මනේ මුහුණ දී ඇති ගැටලු විසඳීමට ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳ අපි මෙසේ විමසුවෙමු.

ඔබ මීට පෙර පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු නොකළ කෙනෙක්. අභිනව තනතුර පිළිබඳ කොහොමද හිතෙන්නේ?

අලුත් තනතුර මගේ විෂයයට සම්බන්ධ, සමීප එකක් නිසා විශාල නුහුරු බවක් දැනෙන්නේ නැහැ. ඇත්ත මම පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කර නැහැ. ඒත් ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක අධ්‍යක්ෂවරයෙක් කියන්නෙත් හොඳ සංවිධායකයෙක් වගේම හොඳ පරිපාලකයෙක්. ඒ කටයුතු හොඳීන් කරන්න බැරිනම් අධ්‍යක්ෂවරයකු‌ට සාර්ථක වන්න බැහැ. ඒ නිසා මට ඒ පරිචය තිබුණා. මම කරපු නිර්මාණ ඔස්සේ එක්තරා විනයක්, දැක්මක්, සංස්කෘතියක්, අපේ කමක් වැනි දේවල් ගොඩනැඟුණා කියා මම විශ්වාස කරනවා. හැබැයි ඉතින් විශාල සේවක පිරිසක් සමඟ ආයතන හතරක්, ස්වාධීන රූපවාහිනිය, ලක්හඬ ගුවන්විදුලිය සහ වසන්තම් ටීවී වගේම එහි රේඩියෝව මෙහෙයවා ගැනීමේදි වැඩි වෙහෙසක් දරන්න සිදුවන බවත් හැඟෙනවා.

මේ සාකච්ඡාවට වෙලාවක් අහද්දි ඔබ සිනාසෙමින් කීවේ පෙරවරු 5.00 සිට පුළුවන් කියලායි?

ඔව්. මම ආයතනයට එන්නේ පෙරවරු පහටත් කලින්. යන්නේ මැදියම් රෑ කිට්ටුවෙලා. ආයතනයේ සේවකයන්ගේ උනන්දුව වැඩි කිරීමටයි ඒ ආකාරයට කටයුතු කරන්නේ. මොකද අපි ආදර්ශයෙන් කටයුතු කළොත් විතරයි අන් අය අප කියනදේ පිළිගන්නේ. ඔබත් දන්නවා සමහර ටෙලි නාට්‍ය දර්ශනවලට අප යා යුත්තේ හිරු නැඟෙන්නත් කලින්. ඒ වැන්නකට මෙතැනින් හත පහුවෙලා පිටත් වුණාට වැඩක් නැහැනෙ. වැඩ කරන්න පුළුවන්, අපේ හොඳම ආලෝකය තිබෙන වේලාව අපතේ එහෙම ගියාම. අනෙක විවිධ නාළිකා තමන් අංක එක බව කියන්න විවිධ උත්සාහයන් ගත්තාට ඇත්ත කතාව මේ රටේ නිරායාසයෙන්ම අංක එකේ නාළිකාව වන්නේ ස්වාධීන රූපවාහිනිය. මොකද අංක එකට පටන්ගත්තෙත් මෙය. වැඩිම ආවරණ කලාපයක් තිබෙන්නේත් අපට. රූපවාහිනියේ මහගෙදර අයිටීඑන්. ඉතින් එහෙම පවුලේ නාළිකාව බවට පත්වෙද්දි අපි ඒ අභිමානය වෙනුවෙන් කටයුතු කළ යුතුමයිනේ.

ඒත් සේවකයන්ගේ උනන්දුව දිගුකාලීනව පවතින්නේ ඔවුන්ටත් ප්‍රතිලාභ ලැබුණොත් පමණයි?

මම මේ කියන්නේ දේශපාලන කාරණාවක් නෙවෙයි. 1979 මහල්වරාවෙන් පටන්ගෙන අද දක්වා ආපු ගමනේ යෙදුණු ස්වාධීන රූපවාහිනිය නොවෙයි අපි පසුගිය වසර හතරහමාරක පමණ කාලයක් දැක්කේ. එය ප්‍රේක්ෂකයන්, රසිකයන් පමණක් නෙවෙයි සමස්ත සමාජයම පිළිගන්නා සත්‍යයක්. මොකද ස්වාධීන රූපවාහිනිය තිබුණේ ඒ නමින් නෙවෙයි. ලක්හඬ ගුවන්විදුලිය තිබුණේත් ඒ නමින් නෙවෙයි.

ඉතින් සමහර දේවල් නියෝගාත්මකව කරන්න වෙනවා. ඒත් අපේ සේවක සහෝදර සහෝදරියන් සතුටුයි ඒ ගැනත්, ඔවුන් කියන්නේ කිසිම සභාපතිවරයෙක් මේ ආකාරයෙන් ඇවිත් කතා කළේ නැහැ කියලා. ඔවුන් ගියේ බොහොම උද්යෝගයකින්. ඒ වගේම ඔබ කීවා වගේ ඔවුන්ගේ අතිකාල දීමනා ආදිය නිසි ලෙස ලබාදෙන්නත් අපි කටයුතු කරනවා. පසුගිය කාලයේ ඒවා හරි ආකාරව ඉටුවෙලා නැති නිසා තමයි ඔවුන් පසුබට වී තිබෙන්නේ. අප නිර්මාණකරුවන් ආයතනය වෙනුවෙන් යහපත් ආකාරයෙන් යොදවනවා වගේම ඔවුන්ගේ යහපත ගැනත් බලන්න ඕනෙ. හැබැයි ආයතනයත් රැකගෙන. පසුගිය වකවානුවේ ටෙලි නාට්‍යකරුවන් ඉතා අමාරුවෙන් සොයා ගන්නා සොච්චම් මුදලින් ඉතාම වංචනික ලෙස පගාව අරගත් බවට තොරතුරු ලැබී තිබෙනවා. හැබැයි මගේ පළමුවෙනි කතාවෙන්ම කීවේ ඒ ක්‍රමවේදයට මම තිත තබෙනවා කියලා.

අපට යළි පේනවා පරණ ලාංඡන?

මම 27 වැනිදා වැඩ බාර ගත්තේ. 31වැනිදා රාත්‍රී 12.30 සිට අපේ ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් වැලඳගෙන තිබුණු ළබැඳී ලාංඡනය යළි ස්ථාපිත කළා. ඒ වගේම වෙනත් නමකින් තිබූ ගුවන්විදුලිය ආපසු ලක්හඬ නමින්ම කටයුතු කරන්න සැලැස්වූවා. හැබැයි මෙය මතුපිටින් අප දකින්නා වූ ලාංඡනය නැත්නම් මුද්‍රාව මඟින් පමණක් වෙනස් වන්නා වූ මාධ්‍ය ජාලයක් ලෙස කටයුතු කිරීම නෙවෙයි අපේ අරමුණ. ඔබ දන්නවා පසුගිය කාලය තුළම නිර්මාණකරුවකු ලෙසත් මගේ දැඩි විරෝධයක් තිබුණා අසංස්කෘතික ටෙලි නාට්‍ය රැල්ල සහ කලා සම්ප්‍රදාය පිළිබඳව. මම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපති ලෙසත්, නිදහස් කලා සන්ධානයේ සභාපති‌ ලෙසත් වෙනත් සංවිධාන නියෝජනය කරන කලාකරුවකු ලෙස පැමිණි විටත් දිගින් දිගටම පෙනී සිටියේ ඒ වෙනුවෙන්. මගේ දැඩි විශ්වාසය තමයි අපේ දැක්ම හැඩගස්වන්නේ අපේ සංස්කෘතිය බව. සංස්කෘතික මූලයන්ගෙන් තොර අනාගතය වියවුලෙන් වියවුලට පත්වෙනවා. ඒ වගේම සංවර්ධනයටත් අපේ සංස්කෘතික මුහුණුවර නොදුන්නොත් එහි ආත්මය වියැකිලා යනවා. ඒ නිසා සංස්කෘතික මිනිසෙක්, රසිකයෙක්, එහෙමත් නැත්නම් අප සාමාන්‍යයෙන් කියන විදිහට රසවින්දනයේ අවසන් ප්‍රතිඵලය වන යහපත් මිනිසකු තනන්න මූලික වන ප්‍රධාන සාධකයක් වන මාධ්‍ය ආයතන මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. අද මාධ්‍ය සදාචාරය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා. මාධ්‍ය ආයතන විසින් තමයි සමහර නිර්මාණකරුවන් පාලනය කරන්නේ, ටෙලි නාට්‍යයක දිශානතිය තීරණය කරන්නේ, නළු නිළියන් තෝරන්නේ. මෙය ඇත්තෙන්ම ඛේදවාචකයක්. මොකද මේ දේවල් කළ යුත්තේ නිර්මාණකරුවා. ඔහුටයි ඒ අයිතිවාසිකම, වගකීම තිබෙන්නේ. ආයතනයක් විදිහට අපට තිබෙන්නේ නිර්මාණකරුවාගේ පක්ෂ පාට භේදයකින් තොරව ඔහුගේ හැකියාවට අවස්ථාව ලබාදීමයි. එහිදී අංකුර නිර්මාණකරුවෙක්ද? ප්‍රවීණයෙක්ද? කියනවාට වඩා නිර්මාණාත්මකබව තමයි වැදගත්. ටෙලි නාට්‍ය පමණක් නෙවෙයි සියලුම වැඩසටහන් සඳහා මේ දේ වලංගුයි. ඒ වුණත් අද වනවිට ටෙලි නාට්‍ය ප්‍රධානව බලපානවා. ඕනෑම නාළිකාවක ටෙලි නාට්‍ය සඳහා යොදවන ගුවන් කාලය යහපත් අයුරින් පවත්වා ගන්න පුළුවන් නම් ඒ නාළිකාව පවත්වාගන්න ලේසියි.

මෙය අභියෝගයක් නොවේද?

මට ලැබුණු ලොකුම අභියෝගය තමයි මෙය. මොකද මම පෙනී සිටි මතය වෙනුවෙන් මට ක්‍රියාකරන්න අවස්ථාව ලැබී තිබෙනවා. නාළිකාව ආරම්භක සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගේ සිට මේ දක්වා සිටි සභාපතිවරුනගෙන් විශාල සංඛ්‍යාවක් මෙහි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා. ඒ අතර සුළු සංඛ්‍යාවක් පරිහානිය වෙනුවෙන් කටයුතු කර තිබෙන බවත් නොකියාම බැහැ. උදාහරණයක් විදිහට හිටපු සභාපති අනුර සිරිවර්ධන මහත්මයා සහ මා අතර විශාල ගැටුම් ඒ කාලේ තිබුණා මෙගා ටෙලි නාට්‍ය පිළිබඳව. මගේ කරුවල ගෙදර යනවිට මෙගා ටෙලිනාට්‍යවලට විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ නාම පුවරුව ගලවා දැම්මා. හැබැයි, ඒ සියල්ල අතර එතුමා තුළ තිබුණා සති අන්තයේ යහපත් ටෙලි නාට්‍ය රසිකයන්ට දායාද කිරීමේ අරමුණ. ස්වාධීන නාළිකාව සම්මානනීය වුණා ඔහුගේ කාලයේ. මෙගා කියන වචනයට මම අදත් විරුද්ධයි. මෙගා කියන්නේ දැවැන්ත, සුවිශේෂී කියන තේරුමින්. බෙන්හර් වගේ චිත්‍රපටයක් හෝ ඔෂීන් වගේ ටෙලි නාට්‍යයක් අපට මෙගා කියන්න පුළුවන් වුණාට අද බීම බෝතල්වල විශාලත්වය අනුව මෙගා සහ බඩී කියන තේරුමෙන් එන ටෙලි නාට්‍යවලට එහෙම කියන ඒ සංස්කෘතියමත් වැරැදියි. ඒ කොහොම වුණත් ඒ කාලේ විනෝදාත්මක වාගේම ගුණාත්මක නිර්මාණවලට අවස්ථාව ලැබුණා. මම විශ්වාස කරන ආකාරයට මේ විෂයය ධාරාවේ තිබෙන්නේ කොටස් දෙකයි. ඒ වින්දනය සහ විනෝදය. නිර්මාණකරුවා ප්‍රතිනිර්මාණය කරන දේ තුළින් රසයක් පමණක් නොවේ ජීවිතය පිළිබඳ යම් ගැඹුරක් දැනුමක් අරුතක් ඇතිවිය යුතුයි. ඒවා අපි රුපියල් සත ගැන විතරක්ම හිතලා කරන ඒවා නොවෙයි. රුපියල් ශත අපට අවශ්‍ය තමයි, ඒත් අවසන් ප්‍රතිඵලය විය යුත්තේ රස නිෂ්පත්තිය මඟින් ප්‍රේක්ෂකයාට අප ලබාදෙන ප්‍රඥාව. ඒ ප්‍රඥා සම්පන්න නිර්මාණශීලී යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම තමයි මේ සුදත් රෝහණ කියන නිර්මාණකරුවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති බවට පත්වීමේදී ඉෂ්ට සිද්ධ කළ යුතුයි කියලා මම හිතන්නෙ.

මෙය දේශපාලන පත්වීමක්, ඔබට බලපෑම් ආ හැකියි?

ඇත්තෙන්ම ජනාධිපතිතුමාගේ දැක්ම හා සංකල්පත්, අගමැතිතුමා කලාකරුවන්ට ලැදි වගේම කලාකරුවකු ලෙස මෙන්ම අපට සමීප නායකයකු ලෙසත්, විෂය බාර බන්දුල ගුණවර්ධන ඇමැති තුමා සිනමා නිෂ්පාදකයෙක්, ගත්කතුවරයෙක් ආදී වශයෙන් කලාකරුවකු ලෙසත් කලාව කියන විෂයය සහ කලාකරුවන් සමඟ ඇති සහසම්බන්ධය වගේම උපදෙස් මත මට නිදහස ලැබී තිබෙනවා. මේ පත්වීම මට ලැබුණේ 12 වැනිදා ඒත් මම බාර ගන්නේ 27 වැනිදා. මෙය වැරැදියට තේරුම් ගන්න එපා. එයට හේතුව තමයි මම ඔවුන් සමඟ මේ සම්බන්ධව දිගින් දිගට කළ සාකච්ඡා. සාමාන්‍යයෙන් රාජ්‍ය නාළිකා කියන්නේ රජයේ හොරණෑ බවට පත්ව තිබෙනවා. ඇත්තටම ප්‍රේක්ෂකයන්ට එයින් සාධාරණයක් නොවන විට නිසඟයෙන්ම වෙනත් නාළිකාවකට සුසර වන්න පුළුවන්. මේවා සම්බන්ධ පුළුල්, විවෘත දැක්මකින් කටයුතු කරන්න ඒ තිදෙනාගේම ආශීර්වාදය මට ලැබුණා. අනෙක ටෙලි නාට්‍ය හා අනෙකුත් වැඩසටහන් ප්‍රචාරය කිරීමේදී දේශපාලන බලපෑම් නොකරන ලෙසට මම කළ ඉල්ලීමත් ඔවුන් අනුමත කළා. අනෙක මම මේ ක්ෂේත්‍රයේ වැඩ කළ කෙනෙක් නිසා බහුතරයක් ඉන්නේ මගේ හිතවතුන්. මම මේක අවස්ථාවක් කර ගන්නවා ඔවුන්ගෙනුත් ඉල්ලීමක් කරන්න තමන්ගේ නිර්මාණ මා වෙත යොමු කර මාව අපහසුතාවට පත් කරන්න එපා කියලා. ඒ වගේම කවුරුන් නිර්මාණයක් කරගෙන ආවත් එය විකාශය කිරීම සම්බන්ධව නීති පද්ධතියක්, ක්‍රමවේදයක් සකස් කරන්නට පියවර ගෙන තිබෙනවා. එයට ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත්, විෂයභාර ඇමැතිතුමාගේත් උපදෙස් මට ලැබුණා, ඒ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේදි කිසිම පෞද්ගලික හෝ දේශපාලන හිතවත්කම්වල බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කරන්න කියලා. ඉතින් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට මා සමඟ අමනාප වෙන්න එපා කියලත් මම ඉල්ලා සිටිනවා. මොකද මෙය යහපත් කලා සංස්කෘතියක් වෙනුවෙන් දරන වෑයමක්.

අනෙක් නාළිකා සමඟ තරගය ආරම්භක යුගයට වඩා ඉතා දැඩියි?

මම පසුගිය කාල වකවානුව පුරා දැක්ක දෙයක් තමයි සියලුම නාළිකාවල තිබෙන තරගය කොයිතරම්ද කීවොත් සමහර වැඩසටහන් කොතරම් විෂය පථයට එකඟද කියනවාට වඩා මුදල් - මුදල්- මුදල් මතම යැපීම. වර්ෂ අවසානයේ අපට මේතරම් මූල්‍ය ලාභයක් ලැබුණා කියන දේ අභිරුචියෙන් ඔවුන් කියද්දී, ඒ වෙනුවෙන් අපේ සදාචාරය, සංස්කෘතිය, අපේ කම සහ මිනිස්කම ගෙවා තිබෙන වන්දිය කොතරම්ද කියන එකට කවුද වගකියන්නෙ කියන ප්‍රශ්නය නිර්මාණකරුවකු ලෙස මගේ හිතේ හැමදාමත් නැඟුණා. සෑම නිර්මාණකරුවකුගේම කූටප්‍රාප්තිය කියන්නේ රූපය. අපේ රටේ මේ රූපයට ලෝකේ වෙන කොහේවත් නැති තරම් වද හිංසා පමුණුවනවා. සමහර විට සිරස් තිරස් දැන්වීම්, තවත් වෙලාවක සංවේදීම අවස්ථාවේ වෙලාව පෙන්වනවා. එහෙමත් නැත්නම් තිරය යටින් මතුවන රූපයක් ඒ ජවනිකාවේ කොටසක් වගේ උඩට එනවා. අපි ව්‍යාපාරික ප්‍රජාව ගැන සිතිය යුතු තමයි. ඒත් තිරය මත ප්‍රේක්ෂකයාට තිබෙන නිදහස සීමා කරලා මුදල් හමබකරනවාට මම විරුද්ධයි. දැන්වීම් දැමීමට වඩා ඒවා යොදාගන්නා ආකාරයයි මේ වියවුල ඇති කරන්නේ. අනෙක් නාළිකා වෛරය ක්‍රෝධය අනියම් සම්බන්ධතා වගේ හෝ පාසල් දරුවන් මුල් කරගත් ප්‍රේමසම්බන්ධතා, බීමත් ගුරුවරිය වීරවරිය කරන කතා, හොඳ නරක කරලා නරක හොඳ කරන අවරගණයේ දේවලට අපි තිත තියන්න ඕනේ. ඒ නිසා අපි ස්වාධීන රූපවාහිනිය නැවත දියත් කිරීමේ වැඩසටහනක් කරනවා පෙබරවාරි 04 වැනිදා. ඒ කටයුතු පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කරනවා ජනවාරි 14 වැනිදා.

අද ලෝකයේ රූපවාහිනී තාක්ෂණය බොහෝ දියුණුයි?

ඔවු. ෆෝකේ, ටූකේ, එච් ඩී, ෆුල් එච් ඩී කියලා තාක්ෂණයේ දියුණුව ලැබුවත් ඒවායින් කරන වැඩවල ගුණාත්මක බවේ දියුණුවක් ලබලා තිබෙනවා කියලා කියන්න පුළුවන්ද? නිහාල්සිංහගේ දිමුතුමුතු ඉඳන් අද වෙද්දි ක්ෂේත්‍රයේ සිදුවෙලා තිබෙන්නේ පැහැදිලි අවගමනයක්. එදා පළිඟු මැණිකේ වගේ නාට්‍යවලින් ලබාදුන්නු ජීවන දර්ශනය, සමාජයේ සිදුවන වෙනස අද අපට දකින්න පුළුවන්ද? ඉතින් අප කළ යුත්තේ මේ දේවල් ආපසු ටෙලි ක්ෂේත්‍රයට ගෙනෙන එක. සතිය පුරාම යහපත් නාට්‍ය පෙන්වන ක්‍රමයක් හදන්න ඕනෙ. මම කියන්නේ නැහැ හැමදාම සම්භාව්‍ය නාට්‍ය විතරක් පෙන්වන් ඕනෙ කියලා හැබැයි විවිධ විචිත්‍ර සරල සංකීර්ණ නාට්‍ය වෙන්න ඕනා. ඒ නිසා මම පසුගිය කාලේ නාට්‍ය පිළිබඳ අධ්‍යයනයක් කරලා සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ඇසුරෙන් සංජය නිර්මාල් කළ නිර්මාණයකුත්, රොෂාන් රවීන්ද්‍ර තණමල්විල කොල්ලෙක් නමින් කළ නාට්‍යයකුත් සෙනසුරාදා ඉරිදා පෙන්වන්න කටයුතු යෙදුවා. පුංචි හපනා වගේ සම්මානලාභී වැඩසටහන්, සල්මල් යාය වගේ වැඩසටහන් වගේම කලාකරුවන්, ගත්කරුවන්, සමඟ යම් ගැඹුරකින් කරන සාකච්ඡා ඉදිරිපත් කරන වැඩසටහන් පෙබරවාරියේ සිට විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනස්කම් ලක්හඬට වගේම දෙමළ නාළිකාවලටත් සිදුකරනවා.

මේ ආකාරයට මූල්‍ය අර්බුදය විසඳන්න පුළුවන් වෙයිද?

ඇත්තම කීවොත් ස්වාධීන රූපවාහිනිය ඉන්නේ ඉදිරි මාස කීපයක සේවක වැටුප් ගෙවාගන්න බැරිතරම් අර්බුදයක. පසුගිය රජය විසින් මේ ආයතනය තුළ පවත්වාගෙන ගිය තැන්පතු, සම්පත් තොගයක් එළියට ඇදලා තිබෙනවා. මෙය සමහර විට අනෙක් රාජ්‍යමාධ්‍යවලටත් වෙලා ඇති. දීලා තිබුණු උසස්වීම්, පඩි වැඩි කිරීම් නිසා දැඩි දේශපාලනීකරණය වෙලා තිබුණා. මේ දේවල් මම විධිමත් අධ්‍යයනයක යෙදෙමින් ඉන්නවා. ඒ මඟින් තමයි රෝගයට ගැළපෙනම බෙහෙත හොයාගන්න පුළුවන් වෙන්නේ.

අනෙක් නාළිකාවලට මඟ පෙන්වන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? මොකද මෙතුවක් ප්‍රේක්ෂක මොළ හැඩගැසුණු ආකාරයක් තිබෙනවානේ?

එය අමාරු කාර්යයක් තමයි. ඒත් අපි මුහුණ දිය යුතුයි ඒ කටයුත්තට. හැබැයි 2020 වෙද්දි දකින්න පුළුවන් නේද වෙනස් චින්තන ශක්තියකින් සමාජය කටයුතු කරන ආකාරයක්. ස්වේච්ඡාවෙන් ගිහින් තාප්පවල චිත්‍ර අඳීනවා. පුරන් කුඹුරු අස්වද්දනවා. රට වෙනම ජීවනාලියක් ලැබුවා වගේ දෙයක් තිබෙනවා. වෙනදාට මැතිවරණයක් කියන්නේ ජනතාව ඡන්දය දීලා නිකං ඉන්න එක. ඒත් මේවර ඉන් ඔබ්බට ගිහින් ඔවුන් සමාජයේ සාධක බවට පෙරගමන්කරුවන් බවට පත්වෙලා, විශාල ළෙන්ගතු කමකින්, අපේකමකින් සැදී පැහැදි ඉන්න මොහොතක් වෙලා. හැබැයි උදාහරණයක් ලෙස මේ අඳීන චිත්‍ර ගත්තොත් ඒවායේ ඇතැම් අවස්ථාවක අඩුපාඩුවක් තිබෙන්න පුළුවන්. අපි යහපත් මාධ්‍යකරණයක් කරනවා නම් කළ යුත්තේ ඒ අඩුපාඩු පෙන්වා දී ඒවා සකස් කරගන්න මඟ පෙන්වීම. එවිටයි නාළිකාව අධ්‍යාපන, සමාජ, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් යහපත් මාර්ගයකට ගෙනෙන්න පුළුවන් තත්ත්වයක තිබෙන බව ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා සතුටින් ජිවත්වන පවුලක් කියලා. ඒ පවුල ඇති කරන්න අවශ්‍ය සියලු කරුණු කාරණා වගකිවයුතු මාධ්‍යයක් ලෙස අපට මුදා හරින්න පුළුවන්. එයයි අභියෝගය. හැබැයි මම නිර්මාණකරුවකු ලෙස හැමවිටම ගත්තෙත් අභියෝග. යුද්ධය පවතිද්දි අපි ගිහින් යුගවිලක්කුව කළා. උතුවම්කන්දේ සරදියෙල් කරද්දි වෙනම අභියෝගයක්. ඉතින් මම හිතනවා මේ අභියෝගයත් මට ජය ගන්න පුළුවන් වෙයි කියලා. එපමණක් නොවේ අනෙක් සියලු නාළිකා එකම තැනක දෝලනය වනවිට ප්‍රේක්ෂකයාට අවශ්‍ය වෙනස ඒ කියන්නේ 2015 වගේ නෙවෙයි, වෙනත් මානයක සැබෑ වෙනසක් අත්කර දෙන්න අපට පුළුවන් නම් රටේ යහපත් ආකාරයට සැම අතකම ඇති වී තිබෙන වෙනස යථාර්ථයක් කරන්න පුළුවන් වෙයි. ඒ වෙනසට, නිදහසට ලොබ බඳීන්න ජනතාව පෙළ ගැසේවි.

මේ මොහොතේ මට විඳීන්න බැරි වුණත් අපේ සමස්ත කලාකරුවන්‌ වෙනුවෙන් මට බැරි වුණ දේවල් සහෝදර කලාකරුවන්ට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මෙයින් ඈත් වී සිටින නිර්මාණකරුවන් සියලුදෙනාට ආරාධනා කරනවා අප සමඟ එකතු වෙන්න කියලා. හොඳ මිලක් ටෙලි නාට්‍ය සඳහා දෙන්න බලාපොරොත්තු වෙනවා. සමීක්ෂණ මණ්ඩලවලින් සිදුව තිබූ අසාධාරණකම්වලටත් යම් පියවරක් ගන්නවා. ආයතනය තුළින් නිර්මාණ බිහිකිරීම යළි ආරම්භ කරනවා. මම ටෙලි නාට්‍ය ගැන වැඩිපුර කතා කළත් නාළිකාවල සියලු වැඩසටහන් සඳහා මේ කියූ දේවල් පොදුවේ බලපානවා. දර්ශනවල වර්ණ පිළිබඳ මීට වඩා යහපත් තත්ත්වයක් ඇති කරන්න කටයුතු කරනවා. ඇත්තෙන්ම කීවොත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සැබෑ නව නළු රසය ආලින්දයට ගෙනෙන නිර්මාණාත්මකබව, වින්දනය පිරි යහපත් මාධ්‍ය සංස්කෘතියකට මඟ පෙන්වන පුරෝගාමී ආයතන බවට යළි ගොඩනඟනවා.

තිලක් පෙරේරා

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.