මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ‘අමුතු තාලේ ආදර කතාවක’ පැටලිලා

ජනවාරි 9, 2020

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු කියන්නේ කවුද කියලා මම අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕනෙ නැහැනේ. එතුමා කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපතිවරයෙක්. ගීත රචකයෙක්, සිනමාව හා රූපවාහිනිය පිළිබඳ හසළ දැනුමක් ඇති අපේ ගුරුවරයෙක්. මේ සියල්ල අතර ඔහු ගත්කතුවරයෙක්. ඔහු ලියූ බොහෝ ග්‍රන්ථවල විශාල ගැඹුරක්, පර්යේෂණාත්මක මට්ටමක් වගේ විදග්ධ ලක්ෂණ ගැබ් වුණා. ඒත් මේ වතාවේ පල්ලියගුරු සර් ලියලා තියෙන්නේ අමුතුම කතාවක්. එය නම්කරලා තිබෙන්නෙත් 'අමුතු තාලේ ආදර කතාවක්' කියලා. පොත කියවන විට මටත් ඇත්තෙන්ම හැඟුණේ මේක හැබෑවටම අපේ සර් ලියු එකක්ද? කියලා. මොකද අපි දන්න පල්ලියගුරු සර් කොතරම් රසවතෙක් වුණත් සැමවිටම කතාබහ කළේ, ලීවේ කීවෙ තමන්ගේ වයසටත් වඩා වියපත් අයුරින්. ඒත් මේ පොතේ එකපාරටම සර් අවුරුදු විසිපහක පමණ තරුණයකු බවට පත්වෙලා. හරිම කෙළිලොල් යෞවනයක් ගත කරනවා. ඒ බව කියන්නේ වෙනම ශෛලියකින්. ඇත්තෙන්ම ඒක අමුතුම තාලෙක ආදර කතාවක්ම තමයි. එකහුස්මට කියවන්න පුළුවන්. ඉතින් අපි කල්පනා කළා, දශක පහක පමණ අතීතයට යන්නට සිතුණු මේ සැබෑ වෙනස පිළිබඳ චන්ද්‍රසිරි පල්ලියගුරු මහැදුරුතුමාගෙන්ම දැනගන්න.

සර් මේ වගේ වෙනස් කෘතියකට යන්න හිතුවේ ඇයි?

ඇත්තෙන්ම මට භාෂාව ගැන පොඩි අත්හදා බැලීමක් කරන්න හිතුණා. මගේ අනෙක් හැම පොතක්ම වගේ ලියලා තිබෙන්නේ විද්වත් සිංහලෙන්නේ. මේක මැදි වහරෙන් ලියූ එකක්. ඒ කියන්නේ, සමහරු පිළිගන්නේ නැතුවට වහර තුනක් තිබෙනවානේ. එකක් විද්වත් වහර, අනෙක කටවහර, තුන්වැන්න මැදිවහර. අපි පොලීසියට ගියොත් පැමිණිල්ල ලියාගන්නේ මොනවහරින්ද? උසාවි නඩු වාර්තා ලියන්නෙ මොන භාෂාවෙන්ද? සමාජයේ පවතින අන්න ඒ වහර නවකතාව පුරාම භාවිත කරන්න හිතුණා. ඒ එකක්. ඊළඟට අප ජීවත්වන පරිසරය අනුව භාෂාව වෙනස් වෙන්න ඕනේ. ඒ පරිසරය පිළිබඳ අපට හැඟීමක් දැනීමක් ඇති වන්නේ ඒ භාෂාව අනුව. අපේ අවධානය වැඩිය යොමු නොවුණට මරදානේ තිබෙන බස කොළඹ අනෙක් ප්‍රදේශවල බසට වඩා වෙනස් වූ එකක්. එයට හේතුව සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, මැලේ වගේ නොයෙක් වර්ගවල අය ඉන්නවානේ. ඒ සියලුදෙනා සිංහලෙන් කතාකළා වුණාට ඒ සිංහල දකුණේ වත් රජරටවත් කතා කරන සිංහල නෙවෙයි. අමුතුම සිංහලයක්. ඉතින් ඒ බස භාවිත කරන්නත් මට ඕනෙ වුණා. තවත් කාරණයක් නම් බොහෝ පෙම්කතා ලියන්නේ මනෝ ලෝකවලට, සුරංගනා කතාවලට රසිකයන් එක්කගෙන යන්න. හැබැයි මම කතාකරන මේ 1960 යුගයේ මොබයිල්, ටෙලිෆොන් නැහැ. කෙල්ලෙක්ට කොල්ලෙක්ට හමුවෙන්න පුළුවන් පාර්ක් එකේ හරි චිත්‍රපට ශාලාවෙදි හරි විතරයි. ඒ වගේ පරිසරයක විශේෂයෙන් බර්ගර් ගෑනු ළමයකුට ආදරේ කරන සිංහල බෞද්ධ මධ්‍යමපාන්තික පිරිමි ළමයකුගේ කතාවක් මේක. මැදි වහර නිසා තමයි මෙහි විචිත්‍රත්වය ගොඩනැඟෙන්නේ.

ඒ විතරක් නෙවෙයි, මේ කතාව මතුපිටින් පෙනෙන සරලබවට වැඩි යමක් යටපෙළින් ගෙනයන බව මට හිතෙනවා?

හරියට හරි. මේක එක්තරා විදිහක සමාජ කතිකාවක් ලෙස නම් කරන්න මම කැමතියි. මේ කාලේ අපි සමාජ සංහිඳීයාවක් ගැන කතාකරනවානේ ඒ දේවල් මේ කතාවේ තිබෙනවා. ගාවින් හා මොනිකා නේ මේකතාවේ ප්‍රධාන චරිත දෙක. ගාවින්ගේ අම්මා කැමැති නැහැ සිංහල බෞද්ධ ගොවිකුල හැරෙන්න වෙන තරුණියක් පොඩි පුතා බඳීනවාට. ඒත් ගාවින් හිතන්නේ වෙනස් ආකාරයකට. ඒ අතර ගාවින්ගේ මිතුරන් බඳීන්න ඉන්නේ සහ බැඳලා ඉන්නේ සමහරවිට දෙමළ නැත්නම් ජා කාන්තාවන්. මේ පන්ති ස්තරයේ තිබෙන්නේ මේ වගේ සැලැස්මක් වුණත් වැඩිහිටි කාන්තාවන් අතර තිබෙන්නේ වෙනස් ආකල්පයක්. ඒ වගේමයි මොනිගේ අම්මා බර්ගර් වුණත් ඇය හිතන්නෙත් ඉහළ ආකාරයෙන් පල්ලියේ කසාදයක් කරගන්නේ කොහොමද කියලා. ගාවීන්ගේ තාත්තා, අය්යා, මොනීගේ තාත්තා යම් ප්‍රශ්නයක් දෙස බලන විදිහ වෙනස්. ගාවින් අතින් සිදුවන විශාල වැරැද්දක් විසඳගන්න ආකාරය තමයි පොතේ ගැබ්වෙලා තිබෙන්නේ.

මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලද්දක්ද? පෞද්ගලික අත්දැකීමකුත් තිබෙනවාද?

නම්ගම් හැර සියලු සිදුවීම් සත්‍යයි. අපට ඉතින් අතීතයට යන්න බැරි කමක් නෑනේ. සමහර අයට නම් ඇත්ත කතාකරන එකත් ප්‍රශ්නයක්. ගොළු හදවත, මළගිය ඇත්තො වගේ නවකතාවල ප්‍රේමයට වඩා හාත්පසින් වෙනස් මේ ප්‍රේමය. ගාවින්ගේ චරිතය ගොඩ නඟලා තිබෙන්නේ යථාර්ථවාදීව. මම මෙහි ආකෘතිය ගොඩ නැඟුවෙත් හිතාමතාමයි. මුලින් තරමක් අමාරු වුණත් පසුව එයට හුරු වුණා. මමත් මරදානේනේ හිටියනේ විශ්වවිද්‍යාලේ යන කාලේ. ඉතින් එතැන ඉන්නේ මහාචාර්ය පල්ලියගුරු නෙවෙයිනේ. මට විවිධ වර්ගයේ මිත්‍රයන් ආශ්‍රය කරන්න ලැබුණා. ඒ හැම මිනිසෙකුගේම ජීවිතය නවකතාවක් වගේ. ඉන් එක කතාවක් තමයි මේ.

ඔබ කියන විදිහට මරදාන වෙනම උපසංස්කෘතියක්?

හරියට හරි. ඒ ගැන තමයි මේ පොතෙන් මම කතාකරන්නේ. මීට කලින් ඔය මාතෘකාව කතා නොකරපු තරම්. අනුරසිරි හෙට්ටිගේ ලියපු පොතක් හැරුණාම වෙන කවුරුත් කතා කරලා නැහැ. මම කතාකරන්නේ මුඩුක්කුත් නෙවෙයි, ඉහළ පන්තියේ ගෙවලුත් නෙවෙයි, ඒ අතර මැද පැළැන්තිය ගැනයි මේ කියන්නේ. මේ ජනකොටස ගැන හරිහපන් අධ්‍යයනයක් කෙරිලාත් නැහැ. ඔවුන්ගේ සදාචාර නීතිරීති වුණත් හරි ලිහිල්. හැබැයි මොනිකා මේ ස්වභාවයෙන් තරමක් වෙනස්. මාළිගාවත්තේ වතුර ටැංකිය තිබෙන හරිය තමයි කොළඹ උසම හරිය. ඒ ප්‍රදේශයේ වත්තක් පිටියක් සහිත ගෙයක, ඉංග්‍රීසි කතාකරන පවුලකට තමයි මොනිකා අයිති වන්නේ.

ඔබ කීවත් මෙය හැටේ දශකයේ කතාවක් කියලා, මට හිතෙනවා මෙය ඉන්පසු යුගවල පෙම්වතුන්ටත් වලංගුයි කියලා?

හැබැයි නව තාක්ෂණය එක්ක වත්මන් පරපුරට මේදේවල් විසඳගන්න පහසුයි. අනෙක සල්ලිය බාගේ යහමින් තිබෙන ඉහළ පැළැන්තියේ පෙම්වතුන්ට හමුවෙන්න තිබෙන පහසුකම් පවා වැඩියි. පාස්කු දවසේ දෙහිවල බෝම්බෙ පුපුරපු තැනත් ඉඳලා තියෙනවානේ ඉස්කෝලෙ යන වයසේ කොල්ලො කෙල්ලො. තවත් දෙයක් තමයි දෙන්නෙක් පෙම්වතුන් වුණාට පස්සේ ගෑනු ළමයාගේ මානසිකත්වයට වඩා පිරිමි ළමයාගේ ස්වභාවය වෙනස්. කොල්ලා හැමතිස්සෙම උත්සාහ කරන්නේ සුපිරිසුදු ආදරය පවත්වාගෙන යනවාට වඩා කායික තෘප්තියක් ලබන්න. එයට විරෝධය දැක්වූවොත් ඒ ගැන දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. ඒත් ගෑනු ළමයාට ඊටවඩා වගකීමක් තිබෙනවා. හැබැයි හැඟීම්වට වහල් වුණොත් දෙදෙනාටම වගකීම අමතක වෙනවා. මම ඉතින් දන්නේ පිරිමි පැත්තෙන් විතරයිනේ ඔය කාරණය.

මේ කතාවේ ශ්‍රැංගාර රසය ඉහළින්ම තිබෙනවා. හැබැයි ඔබ බොහොම පරෙස්සමින් එය හසුරුවනවා. සමහරු නම් පොතේ අලෙවිය වෙනුවෙන් බලෙන් ඇතුළත් කරන දේවල් නිසගයෙන් පවතින කතාවක් වුණත් දැඩි සංයමයකින් ඉදිරිපත් කර තිබෙන්නේ?

අන්න ඒක තමයි මම මේ කතාව බොහොම පරිස්සමින් කළේ. තමන්ට අත්දැකීමක් ඇති කෙනකුට ඇරෙන්න මේ කතාවේ ඇතැම් කොටස් ලිහිල්ව කියවන්න තියලා නැහැ. මම වාක්‍යයක් ලීවට පස්සේ තුන්හතර ගමනක් කියවලා සංස්කරණය කරලයි ලියුවේ. නැත්නම් මේ කතාවේ භාවෝද්ගමනය වන අවස්ථා ඕනැතරම් තිබෙනවා. උදාහරණයකට විහාර මහා දේවී උද්‍යානයේ ගස යන වන සිදුවීම්. අනෙක ගාවින්ගේ ලොකු සැකයක් තිබෙනවා ඇයි මොනිකා තමන් සමඟ කායිකව සම්බන්ධතාවක් නොතියන්නෙ කියලා. ඒකට ඇය දෙන පිළිතුර ඇඳේ ස්ප්‍රිංවල සද්දේ අම්මට ඇහෙයි කියලා. ඉතින් ඒවා තමතමන්ගේ විදිහට තේරුම් ගන්නයි ලීවේ. මම අවුරුදු හැටකට විතර කලින් කතාවක් ලියන්නේ අවුරුදු හැත්තෑපහක මිනිහෙක් හැටියට. ඒ පරිණත බව මගෙන් වළක්වන්න බැහැ. එයට තමන්ම පවරාගත් වාරණයක් මට තිබෙනවා. එකක් නවකතාවෙන් පසුවත් මම සමාජයට මුහුණදිය යුතුව තිබෙනවා. ඒ වගේම සමාජය රැකීමේ වගකීමකුත් මට තිබෙනවා. වර්තමානයේ තරුණ දික්කසාදවල ප්‍රවණතාව හරි වැඩියි. එයට හේතුව මූලික වශයෙන් වගකීම හා අවබෝධය නැතිකම. ගාවින්ගේ චරිතය මේ සියල්ල දරාගන්නා චරිතයක්. මොනිකා ලන්සි තරුණියක් වුණාට ඇය හැදී වැඩෙන බෞද්ධ පසුබිම අනුව ඇගේ ඇවතුම් පැවතුම් ආදිය මුල් ලන්සි ස්වරූපයෙන් වෙනස්. එහෙම චරිත ඉන්නවා. හිටියා. ඇත්තෙන්ම අරුණි මම නවකතාවක් ලියන්නේ අලෙවිය බලාගෙන නෙවෙයි. ඒ ලිවීමෙන් මමත් විශාල ආස්වාදයක් ලබනවා. ඒ නිසා ආර්ථික ප්‍රතිලාභවලට වැඩිය මම එයින් ලබන සතුට හරි වැදගත්.

මට හිතෙනවා මේ කතාව කියවන පාඨකයන්ට අඩුවැඩි වශයෙන් තමන්ගේ ජීවිතේ යම් අත්දැකීමක් මෙහි දකින්න පුළුවන් කියා? 

ඕක නවකතාකරණය පිළිබඳවත් වැදගත් වන ප්‍රශ්නයක්. අත්දැකීමෙන් තොරව විශ්වසනීය කතාවක් කියන්න බෑ කියන දෙය. තමන්ට අත්දැකීමක් නැතිව වුණත් කාගේ හෝ අත්දැකීමක් අසාගෙන මේ කතාව ලියන්නත් කෙනකුට පුළුවන්. ඒත් එහි පොඩි ව්‍යාජයක් තිබෙනවා. ඒත් මම හිතනවා මෙහි ඒ ව්‍යාජය නැහැ කියලා. එයින් කියන්නේ අත්දැකීමෙන් තොරව නිර්මාණයක් කරන්න බැහැ වගේම නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණයට අවංක විය යුතුයි. එතකොට තමයි පාඨකයාටත් දැනෙන්නෙ තමන් මෙහි කොහේ හෝ ඉන්නවා කියලා.

මේ කතාවේ මානුෂීය සම්බන්ධතාවල විවිධත්වය කතාවෙනවා?

ඇත්තෙන්ම මගේ මූලික වෑයම වන්නෙත් මේ සම්බන්ධතා මතුපිටින් පෙනෙන ඒවාද නැත්නම් ඒවාට යම් පසුබිමක් තිබෙනවාද? කියන එක පැහැදිලි කිරීමයි. ගාවින්ගේ අම්මා සහ මොනිකාගේ අම්මා ගත්විට ජාතීන් දෙකකට අයත් වුණත් එකම විදිහේ සදාචාරාත්මක දේවල් තමයි ඔවුන් රකින්නේ. තාත්තලාගේ විධි. සහෝදර බැඳීම්වල ස්වභාවය මතුවන ආකාරය සුළුවෙන් වුණත් බොහොම හිතාමතා එක් කළ කොටස් ඒවා.

ඕනෑහැටියේ ඛේදාන්තයක් බවට පත් කළ හැකිව තිබූ මේ කතාව ඔබ සුඛාන්තයකට ගෙනයනවා?

ඔව්. බොහෝ වෙලාවට වර්තමාන ප්‍රේමකතා අවසන් වන්නේ ඛේදාන්ත විදිහට. ඒත් අපට පුළුවන් කතාබහ කරලා ප්‍රශ්න විසඳගන්න. හරියට කතාබහ කරනවා නම් ගෙවල වගේම රටේ ලෝකේ ප්‍රශ්නත් විසඳගන්න පුළුවන්. සාමාන්‍ය ආදර කතාවල වගේ වෙන්වන්නේ නැතිව එක්වන නිසා තමයි අමුතු තාලේ ආදර කතාවක් කියලා නම තිබ්බෙත්. මම මේ කතා කරන විශාල සමාජ ප්‍රශ්නය සමාජයේ කතාබහට ලක්විය යුතු දෙයක්. හැබැයි මම විශ්වාස කරන දේ තමයි මොන ප්‍රශ්න මොන දේ ආවත් එයින් පරාජය වෙලා පළා යාම නෙවෙයි විසඳුම. කොහොමහරි අපි ජීවත් වෙන්නයි ඕනේ.

නිශ්ශංක විජේරත්න