මම කාර්යබහුල වෙන්න කැමැතියි

ගයනි ගිසන්තිකා
ජනවාරි 9, 2020

 ඒ වගේ බිරියක් ලබන්න මා වාසනාවන්තයි

තරුපති මුණසිංහ

“අඹ ගහක්

කාක්කෙක්

අමුත්තෙක්

මං දන්නවා එයා

උසයි සුදුයි...”

මා මේ කවිය උපුටලා ගත්තේ ‘අමුත්තා’ කාව්‍ය සංග්‍රහයෙන්. පසුගිය දවස්වල එළිදැක්වුණු ‘අමුත්තා’ ලියලා තිබුණේ අපට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ගයනි ගිසන්තිකා. ඈව බොහෝ දෙනෙක් දන්නේ රංගන ශිල්පිනියක් ලෙස වුණත් කවි ලියන්න ඈ හුරු වෙලා තිබු‍ණේ තාරුණ්‍යයේ සිටයි.

 

“කවි ලියන්න පටන් ගත්තේ මං 1993 කාලේ. හරියටම මං එතකොට ඒ ලෙවල් පන්තියේ. ඒ කාලයේ මගේ හිතට දැනෙන හැමදේම මං ලිව්වා. ඒත් ඒ කවි කිසි දවසක මම කාටවත් පෙන්නලා නැහැ. මොකද මගේ පවුලේ අය කිසිම දවසක කලා අංශවලට සම්බන්ධ වුණු අය නොවෙයි. මගේ ආත්තම්මා නර්ස් කෙනෙක්. ඔවුන් කිසිම කෙනෙක් රඟපෑමටවත් සම්බන්ධ නැහැ. කොහොම වුණත් තරූ මුණගැසුණට පස්සේ මට හොඳ අවස්ථාවක් ලැබුණා. ඔහුත් මේ ක්ෂේත්‍රයේ නිසා මා ලියන කවි ඔහුට පෙන්වන්න. ඒ නිසා මං දිගටම කවි ලිව්වා. මගේ හිතට දැනෙන දේ මං කිව්වේ කවියකින්. ඒ කවි ලියන කොට මම රූප මවාගෙනයි ලිව්වේ. මා ඒ චරිතය බවට පත් වුණාට පස්සේ කවි ලියන්න හරිම ලේසියි. ඒ විදියට ලිව්ව කවි ටික එකතු කරලා පොතක් එළිදැක්වූවා. ඒ ප්‍රතිචාර අතර හොඳ ප්‍රතිචාර වගේ ම විචාරාත්මක ප්‍රතිචාරත් තිබුණා.”

කිවි ලියන මේ රංගන ශිල්පිනියගේ රුව පසුගිය දවස්වල අප දුටුවේ රිදී තිරයෙන්. ‘උලලේනි’. හේමන්ත ප්‍රසාද්ගේ කුලුඳුල් චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ගයනි ගිසන්තිකා.

“‘උලලේනි’ චිත්‍රපටයට අප සිතුවට වඩා නොයෙක් ප්‍රතිචාර ලැබුණා. මම ඒ චිත්‍රපටයෙන් සතුටට පත් වන්නේ වෙනස් විදියේ කතාවක් එක්ක වෙනස් විදියේ චරිතයක් එක්ක මගේ ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම ගැන. මට ලැබෙන සුපුරුදු චරිතවලින් මිදිලා, මේ රඟපාන්න ලැබුණු චරිතය ගැන උණුසුම් හැඟීමෙනුයි මා කාලය ගත කරන්නේ. ඒ චරිතය ගුප්ත චරිතයක්. මොනවද වෙන්නේ කියන කුතූහලයත් සමඟයි නිතරම ප්‍රේක්ෂකයා චිත්‍රපටය සමඟ රැඳෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන් රැඳෙන්නේ චිත්‍රපටයක තිබෙන ගීත, විෂුවල් සමඟ වුණත්, මේ චිත්‍රපටයේ තිබෙන වෙනස නම් ප්‍රේක්ෂකයා බිය, කුතූහලය, ගුප්ත බව කියන දේත් සමඟ රැඳීමයි. ඒ නිසා වෙනස්ම කතාවක් රැගත් නිර්මාණයක් නිසා මේ චිත්‍රපටයට මා වඩාත් කැමැතියි.”

ගයනිට මීට වසර ගණනකට පෙර තිබුණේ බොහොම සිහින් සිරුරක්. ඒත් ඈ කාලයක් විදේශගත වීමත් සමඟ ඒ ස්වරූපය වෙනස් වුණා. ඉන් පස්සේ ගයනි අප අතරට ආවේ ඒ සිහින් ගයනි විදියට නොවෙයි. කොහොම වුණත් ඈව අප මීට පෙර දැක්කේ අහිංසක චරිතයවලට පණ දෙන ශිල්පිනියක් විදියට. ‘උලලේනි’ චිත්‍රපටයේ ඈට ලැබුණෙත් ඒ හැම චරිතයකටම වඩා වෙනස් චරිතයක්.

“හේමන්ත ප්‍රසාද් කියන්නේ අප නාට්‍ය ක්ෂේත්‍රයට ආව දවස්වල ඉඳන් දන්න සහෝදරයෙක්. ඔහුගේ වේදිකා නාට්‍යවලත් මා රඟපාල තිබෙනවා. ඔහුයි මට මේ චිත්‍රපටයට ආරාධනා කරන්නේ. ඒ නිර්මාණයේ තිරපිටපත කියෙව්ව ගමන් මට ආසා හිතුණා. ඒ මේ චරිතය වෙනස් ම විදියේ චරිතයක් හින්දා. ඒත් මට එක ආසාධාරණයක් වුණා කියලා හිතෙනවා. මොකද චිත්‍රපටය තිරගත කරන්න තිබුණේ ටික කාලයක්. ඒ නිසා රංගන ශිල්පිනියක් විදියට පිටපත අරගෙන බොහොම විවේකීම අධ්‍යයනය කරන්න තිබුණා නම් කියලා මට නිතර ඇති වුණු අදහසක්. එහෙම වුණා නම් මේ චරිතය මීට වඩා හොයා ගන්න තිබුණා කියන හැඟීම මට තිබෙනවා. කොහොම වුණත් සමස්තයක් විදියට මට සතුටට පත් විය හැකි චරිතයක්.”

උලලේනි කියන්නේ බොහොම අමුතු චරිතයක්. සුන්දර තරුණියක් විදියට අපේ ඉදිරියට පැමිණෙන ඈ භයානක මනෝභාවයක් සමඟ ජීවත් වන බව දැනෙන්නේ චිත්‍රපටය අවසානයේදි. ඒත් එහෙමම නොවී යම් හිතලු මනෝභවයක් සමඟ පමණක් ජීවත් වන තරුණියක් ද කියන එකත් ප්‍රේක්ෂකයාට ගැටලුවක්.

“චිත්‍රපටය නැරැඹුව ප්‍රේක්ෂකයා එහෙම එක එක විදියට සිතලා චිත්‍රපටය නැරැඹුවා නම් ඇත්තටම මට සතුටුයි. ඒත් මේ චිත්‍රපටයේ චරිතය ගැන කතා කරද්දි අප කතා කළේ යම් මානසික වියවුලකින් ඉන්න තරුණියක් ගැනයි. ඒ හැඟීමෙනුයි මේ චරිතය මා නිරූපණය කළේ. මම දන්නේ නැහැ ඒක කොයි විදියකට ප්‍රේක්ෂකයන්ට දැනෙනවා ද කියලා. හේමන්ත අයියා මට මේ චරිතය ගැන කිව්වේ එක පාරටම ලදබොළඳ වෙන තරුණියක්. ඒත් එකපාරටම කුතූහලය, ත්‍රාසය, භය කියන දේ තියෙන අතරේ සාමාන්‍ය ජීවිතයේ නැති බොළඳ බවක් ඒ චරිතයට එකතු කළ යුතු බවයි. ඒ මානසික වියවුලක් තිබෙන තරුණියක් බව දනවන්න ඔහු යෝජනා කළ කාරණායි. ඒ විදියට රඟපාන්න මා උත්සාහ කළා. ඒක කොයි විදියකට ප්‍රේක්ෂකයන් ගත්ත ද කියලා නම් මං දන්නේ නැහැ.”

ඈ පවසන ආකාරයට මැටිපිඬක් අනනවා සේ ඇගේ රංගන කුසලතා එළියට ගත්තේ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේදීයි. ඒ ප්‍රවීණ අධ්‍යක්ෂ අශෝක හදගමයි. එතැනින් වෙනසකට ලක් වුණු ඇගේ රංගන ජීවිතය ප්‍රතිභාව අප දුටුවේ නොයෙක් වර විවිධ නිර්මාණ ඔස්සේ. කාලයකට පස්සේ ඈ රඟපෑව සුමිත් රත්නායකගේ ‘මද්දහන’ නාට්‍යයේ රඟපෑව නාලනීගේ චරිතයත් ඒ වගේ එකක්. ඒ වගේ ම මේ දවස්වලත් ඈ පුංචි තිරය අමතක කරලා නැහැ.

“මේ දවස්වල ‘හදවතක කතාවක්’ කියන ටෙලි නාට්‍යයේ මගේ රඟපෑම ප්‍රේක්ෂකයන්ට දැක බලා ගත හැකියි. ‘හුස්ම වැටෙන මල්’ කියන ටෙලි නාට්‍යයේත් වරින්වර මගේ රංගනය දැක ගත හැකියි. පසුගිය දවස්වල ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ටෙලි නාට්‍යයක රංගනයෙක් දායක වුණා. ඒක තවම ප්‍රේක්ෂකයකයන්ට දැක ගන්න ලැබුණේ නැහැ. එහි රූගත කිරීම් කටයුතුත් ඉදිරියේ තියේවි. එයට අමතරව වේදිකා නාට්‍යයක රඟපෑමටත් මට ආරාධනා ලැබුණා. ඒකේ කටයුතු කොහොම වේවිද නම් දන්නේ නැහැ.”

ගයනි ගිසන්තිකා රඟපෑමේ කටයුතු අතර මේ විදියට කාර්යබහුල වුණත් සිය පවුලේ කටයුතු නොපිරිහෙළා ඉටු කරන්නත් අමතක කරන්නේ නැහැ. ඈ කාර්යබහුල බවට කැමැති රංගන ශිල්පිනියක්.

“මම නිදහසේ නිස්කලංකව ඉන්න කැමැති කෙනකු නොවෙයි. නිතර වැඩවල යෙදෙන්න කැමැති කෙනක්. ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට ගියාට පස්සේ ටෙලි නාට්‍යයේ. ගෙදර ඉන්න කොට ගෙදර. ඒ විදියට මනස හදාගෙන වැඩ කිරීමේ හැකියාව මට තිබෙනවා. දවසේ වැඩ ටික කොහොමද වෙන්නේ කියන මගේ සිතේ සැලැස්මක් අනුවයි වැඩ කරන්නේ. ඒ ටික ඔළුවට දා ගත්තට පස්සේ ඒ සියලු දේ ඒ අයුරින් අවසන් වුණාම දවස අවසානයේ මට දැනෙන්නේ සතුටක්. මගේ කටයුතුවලට පිට කෙනකුගේ සහයක් ලැබෙන්නේ නැහැ. මගේ රූගත කිරීම් කටයුතුවලදි අම්මා හා තාත්තා ඇවිත් පුතාලා බලා ගන්නවා. ඔවුන් ඒ කටයුත්තෙන් පසු ගෙදරට යනවා. ඊළඟ දවසේ ඉඳලා මගේ වැඩකටයුතු මා තනියම කර ගන්න ඕනෑ. විශ්වවිද්‍යාල කටයුතුත් එක්ක තරූ ගොඩක් කාර්යබහුල කෙනෙක්.”

තරුපති මුණසිංහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු විදියට කටයුතු කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ. ඒ තනතුරට අමතරව ඔහු සංගීතඥයෙක්.

“මේ නිසා විශ්වවිද්‍යාලයේ කටයුතුවලට අමතරව තරූට ගොඩක් බාහිරව වැඩ තිබෙනවා. ඒ වගේ ම ලියන කියන වැඩත් තියෙන නිසා මා එයාගේ ඒ තටයුතුවලට බාධා කරන්නේ නැහැ. මොකද ලියන එකේ අගය මමත් දන්න නිසා. මට හැම වෙලාවෙම හිතෙන්නේ ලිව්ව දෙයක් තමයි ඉතුරු වෙන්නේ කියන හැඟීම. ඒ නිසා මගේ කාලයත් මා ඔහුටයි ලබා දෙන්නේ. ඒත් තරූ හැකි අයුරින් ඉඩ ලැබෙන ආකාරයට නිවෙසේ කටයුතුවලට මට සහයෝගය ලබා දෙනවා.”

තරුපති මුණසිංහ, ගයනිගේ ආදරණීය සැමියා අප සිටින තැනට පැමිණියේ විශ්වවිද්‍යාලයට යෑමට සූදානම් බව අපට හඟවන්න.

“මගේ කටයුතුවලට ගයනිගෙන් මේ වගේ සහයෝගයක් ලැබුණේ නැත් නම් ඒවා කරගෙන යන්න වෙන්නේ නැහැ. ඒ වගේ බිරියක් ලබන්න මා වාසනාවන්තයි.”

එහෙම කියලා ඔහු නිවෙසෙන් පිටත් වෙලා ගියා. ඒ අතර අප අතරට ආවේ ගයනිගේ පුතාලා දෙන්නා. ලොක්කා මයෝන් මුණසිංහ. ඒ පෝන් එකකුත් උස්සගෙන. පෝන් එකේ මොකක්ද හදාගන්න අම්මට කියලා. ඔහු පස්සෙන් ආවේ පොඩ්ඩා. මිථුන් මුණසිංහ.

“මේ දෙන්නා පාසල් යන්නේ නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලට. ලොක්කා පහේ පන්තියේ. පොඩ්ඩා දෙකේ පන්තියේ. ඔවුන්ව ක්ලාස් අරගෙන යන දේවල් කරන්නෙත් මමමයි. ගෙදර වැඩත් මේ හැම දෙයක්මත් මා කරන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් වගේ.”

ඒත් තරුණ කාලයේ නම් ගයනි බොහොම සැපට හැදුණු කෙනක්. හොස්ටල් ජීවිතයෙන් පස්සේ ඈ අම්මා නිවෙසේ කටයුතු කරන ආකාරය අධ්‍යයනය කළා. අම්මා නිවෙසේ කටයුතු කරන ආකාරයත්, මුදල් අරපරිස්සමෙන් භාවිත කරන ආකාරයත් ගයනි ඉගෙන ගත්තේ අම්මාගෙන්.

“ඇත්තටම නිවෙසක් පාලනය කිරීමේ හුරුව මට ලැබුණේ අම්මාගෙන්. එයා තනිවම වගකීමක් ගන්න හැකි කාලයේ ඒ වගකීම් සියල්ල පැවරුවේ අපටමයි. තනියම වගකීමෙන් ජීවිතයට මුහුණදීමයි ඈ අපට ඉගැන්නුවේ. ඒ නිසා මට ජීවිතයට මුහුණ දෙන්න අපහසු වුණේ නැහැ. ඒ වගේම ඒ විදියටම හරියන සැමියෙක් ලැබුණා. ජීවිතය සරලව ගෙවන්න මා බොහොම කැමැතියි. මේ දේවල් නැතිවෙයි කියන බය මට නැහැ. නැති වුණත් මුල ඉඳලා ජීවිතය පටන් ගන්න මට පුළුවන්.”

ගයනි ගිසන්තිකා පවසන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඇගේ ජීවිතයේ සරල බව ඇගේ මුහුණෙනුත් පෙනන බවයි මට හැඟුණේ.

“ඇගේ සරල බව කාටත් හොඳ පාඩමක්.”

එහෙම හිතමින්ම මා ඔවුන්ගෙන් සමුගත්තා. ඔවුන්ගේ සරල ජීවිතයට සුබපතමින්ම.

 

 

Add new comment