කාටවත් අත නොපා ජීවත්වන්න මං උත්සාහ කරනවා

- චන්දි රසිකා
ජනවාරි 9, 2020

 ජීවිතයේ හොඳම හරිය සිනමාව වෙනුවෙන් කැප කළ නිළියක් සොයා අපි ගියෙමු. ඇය චන්දි රසිකාය. නම ඇසූ සැනින් ඇය ඔබට මතක් නොවුණොත් පුුදුමයකි. එතරම්ම එකල චන්දි ජනප්‍රිය චරිතයක් විය. ආන්දෝලනයට තුඩු දුන් සිනමාපට කිහිපයකම රංගනයෙන් දායක වූ නිසා ජනප්‍රියත්වය ඇය සොයා ආවේ නිරායාසයෙනි. අරුණට පෙර චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළිය ලෙස ඇය ජනාධිපති සම්මානය දිනාගත්තාය. දිගින් දිගට රංගනයට ලද ඇරැයුම් නිසාම චන්දි වෘත්තීය නිළියක බවට පත් විය. වසර ගණනාවක් සිනමාව වෙනුවෙන් වෙහෙසුණ ඇයට පෙරළා ලැබුණේ නොසිතූ දේවල්ය. සිනමාව නිසාම ජීවිතය ආලෝකවත් වූවා සේ ජීවිතයේ කඩා වැටීමට එය හේතු කාරණාවක් විය. අද වන විට ඒ සිනමා තාරකාව ගෙවන්නේ ඔබ මා නොසිතන දිවියකි. අප දැන් සිටින්නේ නුගේගොඩ පැඟිරිවත්ත මාවතේ පිහිිටි චන්දිගේ නිවසේය.

ඉඳගන්නවත් හරියට පුටුවක් නැහැනෙ ඔයාලට . . .

චන්දි කීවේ වටපිට බලන ගමන්ය.

අපේ ගෙදරට ඉතින් කවුරුවත් එන්නෙ නැහැනෙ.

එලෙස කියමින් ඇය නිවෙස තුළ වූ අසුන් දෙකක් සාලයට ගෙනවිත් දුන්නාය.

චන්දි අක්කේ . . . කකුලට මක් වෙලාද?

ඇය තරමක් නොන්ඩි ගසමින් සිටින බැවින් මම විමසුවෙමි.

මට කකුලෙ අසනීපයක් තිබුණනෙ. ඩොක්ටර්ස්ලා කියන්නේ බරක් උස්සගෙන ඇවිදින්න එපා කියලා. මාපට ඇඟිල්ලේ තුවාලෙ නිසා කකුල අද්ද අද්ද තමයි ඇවිදින්න වෙලා තියෙන්නේ.

මොකද අක්කා මේ දවස්වල කරන්නේ? රඟපෑවේ නැද්ද?

නැහැ. අන්තිමයට කළේ කුසුම් චන්ද්‍ර ගමගේ ගේ ආත්ම වරුසා කියලා චිත්‍රපටයක්. අපිට දැන් රඟපාන්න කතා කරන්නෙම ඒකාකාරී චරිතවලට. රඟපාන්න දෙයක් නැත්නම් චරිතයක් බාරගන්න මං ආස නැහැ. ආත්ම වරුසා චිත්‍රපටයේ මට ලැබුණෙ මවකගේ චරිතයක්. ඒක කාල පරාස තුනක් ඔස්සේ දිව යනවා. මට ප්‍රශ්නයක් නැහැ මවගේ චරිතය වුණත් කරන්න. නමුත් ඒකාකාරී මව නෙවෙයි.

රඟපාන්නේ නැත්නම් මේ දවස්වල ජීවත් වෙන්නේ?

මං කෑම ඕඩර්ස් ගන්නවා. මහ ලොකුවට ඕඩර්ස් ලැබෙන්නේ නැහැ. පුළුවන් විදිහට ඔය ෂෝටීස්, වඩේ, කොකිස්, මුංකැවුම් වගේ දේවල් තමයි හදන්නේ. සමහර කාලවලට ඕඩර්ස් හරි අඩුයි. පේනවනෙ මේ ගෙදරත් හැටි. අක්කත් අසනීපෙන් ඉන්නේ. පුළුවන් විදිහට ජීවත් වෙනවා. සංස්ථාවෙන් මුදලක් ලැබෙනවා. අද කාලේ හැටියට ඒකෙන් ජිවත් වෙන්න තියා හිතන්නත් අමාරුයි.

මේ කරුණු කාරණා එක්ක කෙනෙකුට හිතෙන්න පුළුවන් චන්දි රසිකා අසරණ වෙලා කියලා?

මං ජීවත් වෙන්නේ ෂෝටිස් හදලා. බොහොම පොඩි ගෙදරක ඉන්නේ. ඒත් මං කැමැති නැහැ මං අසරණයි කියලා කියන්න. මං සිනමා නිළියක්. ඒ ගරුත්වය මං හැමදාම රැක්කා. සිනමා නිළිකම නිසාම තමයි මං මගේ ගැන කාටවත් කියන්නේ නැත්තේ. තැන් තැන්වලට ගිහිල්ලා අසරණකම කියන්න, දේශපාලනඥයන්ගෙන් උදව් ඉල්ලන්න මං යන්නේ නැහැ. එහෙම වුණාම අපේ සිනමාවනෙ හෑල්ලු වෙන්නේ. පුළුවන් විදිහට මගේම උත්සාහයෙන් මං ජීවත් වෙනවා.

මේ ළඟදී ඔබට පෞද්ගලික මට්ටමෙන් විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා නේද?

මං මේ ගෙවන ජීවිතය ගැන දැනගෙන චිත්‍රපට නිෂ්පාදක දේශමාන්‍ය සඳුන් දොලමුල්ල කියන මහත්මයා තමයි ඊට මුල් වුණේ. ෂෝටීස් හදන්න තිබුණු මගේ බ්ලෙන්ඩරය පරණයි. සැරින් සැරේ ඒක කැඩෙනවා. මට ඔහු අලුත් බ්ලෙන්ඩරයක් පවා අරන් දුන්නා. මට මේ මාසේ ඉඳලා විශ්‍රාම වැටුපක් සඳුන් ලබා දෙනවා. ඔහු මාව හඳුනා ගත්තේ සරසවිය පුවත්පත මාර්ගයෙන්. මට කියන්න තියෙන්නේ ඔයාලා හැමෝටම පිං කියලා.

බොහෝ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සැඳෑ සමය හරිම ඛේදජනකයි. මේ පිළිබඳ ඔබට මොනවද කියන්න තියෙන්නේ?

ලැබෙන මුදල් හිතාමතාම නාස්ති කරන අය ඉන්නවා. ඒත් එහෙම නොවී වෙනත් ප්‍රශ්න නිසා ආර්ථිකය වගේම සාමාන්‍ය ජීවිතය ද කඩා වැටෙන කලාකරුවෝ ඉන්නවා. මටත් වුණේ එහෙම එකක්. මගේ ජීවිතයේ හොඳම හරිය ගෙව්වේ සිනමාවට. අපට ඒ කාලේ වෙනත් ආදායම් මාර්ගයකට යොමුවන්න තියා හිතන්නවත් බැරි වුණා. ජීවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදාගෙන ඉන්නේ. හැබැයි කලාකරුවන් ගැන මීට වඩා අවධානය යොමු කිරීම රජයේ වගකීමක් හැටියට මං දකිනවා. මං ඇතුළු කලාකරුවන් විසි ගණනකගේ ඉඩම් වගයක් තියෙනවා මත්තෙගොඩ ප්‍රදේශයේ. ඒක නීතිමය ප්‍රශ්න මත අපිට අයිතිය දීලා නැහැ. අපට ඒ ඉඩම් නීත්‍යනුකුලව දෙනවා නම් මේ වෙලාවේ වටිනවා.

අතීතය ගැන මතක් වෙද්දි මොකද හිතෙන්නේ?

බෙහොම සුන්දරයි. අමරනාත් ජයතිලක මහත්මයාව මේ වෙලාවේ මතක් වෙනවා. ඔහුගේ අරුණට පෙර චිත්‍රපටයේ රංගනය නිසා මට ජනාධිපති සම්මානය පවා දිනා ගන්නට පුළුවන් වුණා. ඈතින් ඈතට, ආදර ගීතය, මුතු මැණිකේ, මිහිදුම් සළු වගේ චිත්‍රපට ගොඩකට මට රඟපාන්න ලැබුණනෙ. ඒත් හැමෝම කතා කරන්නේ ඇගේ වෛරය ගැන. ඒක අභියෝගයක්. මට ප්‍රශ්න ආවෙත් ඒ චිත්‍රපටය නිසානෙ.

අවසන් කොට මොකද කියන්න තියෙන්නේ?

සිනමා නිළියක් හැටියට ඒ ගෞරවය තියාගෙන කාටවත් අත නොපා ජීවත්වන එකට මට සතුටුයි.

චන්දිගේ දුරකතන අංකය 0112836363