දොළොස් මහේ පහන දල්වා 49 වසරකට පසු

මහාචාර්ය සුනිල් ආරියරත්න
ජනවාරි 16, 2020

 

පුත්‍ර සමාගම සැදූ වේදිකා නාට්‍යකරුගේ මිත්‍ර සමාගම කොයිතරම්ද කියා කියන්නට මට අවසර. මේ මිත්‍ර සමාගමේ ඉන්නේ තුන්කට්ටුවයි. එහෙම කට්ටුව කීවෙ වසර පනහක් පුරා ඔවුන් ඒ ඒ ක්ෂේත්‍රවල ඉහළටම ආ නිසා. අපේ කතා නායකයාට එනම් රංගවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගෙන් මින්මතු අපට ඒ කතාව අහගන්න බැහැ. ඒත් ඉතිරි දෙකට්ටුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ කිවිවර බුද්ධදාස ගලප්පත්තීන් මේ බැඳීමේ තරම අතීත මතකයන් සමඟ පවසන්නේ බිඳුණු ස්වරයෙන්. සරසවියේ මේ ඉඩ වෙන් කිරීමට නියමිතව තිබුණේ හෙට (17 වැනිදා) සවස 3.00ට ශ්‍රී ලංකා පදනමේ එළි දක්වන බුද්ධදාස ගලප්පත්ති සාහිත්‍යකරුවාගේ 'පසළොස් පැය' අභිනව කාව්‍ය සංග්‍රහය සහ එදවස සොඳුරුමය -6 කෘති පිළිබඳ කතා කරන්න. ඒත් තම මිත්‍රත්වය වෙනුවෙන් ඒ ඉඩ ඔහු කැප කළේ ඔවුන් තිදෙනාගේ එක්වීමෙන් බිහිවූ මුල්ම කෘතිය වන දොළොස් මහේ පහන ගැන මතකයන් ලියා තබන්න. ඇත්තෙන්ම මනෝරතත්නයන් දැන් අපට ඉතිරි කර යන්නේ මතකයන් පමණයි. මහගම සේකරයන් දොළොස් මහේ පහනේ තිර දොළහෙන් තුනක් පමණක් දැල්වී තිබෙන අයුරු පිටකවරයට නඟා අඩසිය වසක් ගෙවී යන තැන ඉන් එක් සිළුවක් සදහටම නිවී ගොසින්... මේ ඔහුගේ කලණ මිතුරන්ගේ අවසන් බුහුමන...

 

 

 

ඇත්තටම දොළොස් මහේ පහන සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධීකරණය කළේත්, ඒ සඳහා වෙහෙස මහන්සි වුණේත් බුද්ධි (කිවිවර බුද්ධදාස ගලප්පත්ති). ඔහු එයින් ගොඩ නැඟුවා ත්‍රිකෝණාකාර සම්බන්ධයක්, මිය යන තුරුම මාත් මනෝත් (අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්න) අතර තිබුණු මිත්‍රත්වය ඒ කවිපොතෙන් ඇති වූවක්. මට මතක ආකාරයට මනෝ එතකොටත් 'වැහි එනතුරු' කියලා කෙටි කතා පොතක් නිකුත් කර තිබුණා. මමත් ඒ වෙද්දි ගීත රචකයෙක් නෙවෙයි, කවියෙක්. පුවත්පත්වලට ලියන, කවිපොත් මුද්‍රණය කර තිබෙන කවියෙක්. ඒ නිසා ඒ දෙන්නා හිතන්න ඇත්තේ අපි මෙය එකතු වෙලා කරමු කියලා. විමල් දිසානායක ලවා ප්‍රස්තාවනාවක් ලියා ගැනීමට ගියේත්, මහගමසේකර ලවා පිටකවරය නිර්මාණය කරගන්න ගියේත් බුද්ධියි, මනෝයි විතරයි.

මනෝ පේරාදෙණියේ (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ) , බුද්ධියි මායි ජපුරේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ඒත් අපේ ගම්මට්ටම් කිසිම දෙයක් අපට මතක තිබුණේ නැහැ, කාලයක් යද්දි අපි එකම පවුලක සහෝදරයන් ලෙස තමයි දැනුණේ. අපි පටන්ගත් දොළොස් මහේ පහන කියන්නේ මේ රටේ කවියට විශාල බලපෑමක් කළ කවි පොතක් නූනත් අපේ ජීවිතවලට බලපෑමක් කළ එකක් බවට පත්වුණා. ඒ නිසා අපි පුන පුනා කීවේ අපේ මිත්‍රත්වය මේ දොළොස් මහේ පහන කවිපොත නිසා ඇති වූවක් කියා. කාලයාගේ ඇවෑමෙන් අප අතර සම්බන්ධය වැඩි වුණා.

 

මුළු නිවෙසම වේදිකාවක් වූ මොහොතක්...

 

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ වගේ නාට්‍ය කොළඹ නිෂ්පාදනය කරද්දි ජපුර ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වුණාම බුද්ධිලාගේ මනෝලාගේ සම්බන්ධය තවත් වැඩි වුණා. ඒ සම්බන්ධය හැදුණේ මහාචාර්ය තිස්ස කාරියවසම් නිසා. ඒ අය අපේම විශ්වවිද්‍යාලයේ අය වගේ තමයි පසුකාලීනව අපට දැනුණේ. පසුකාලෙක මනෝ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව කළා ජයවර්ධනපුර. ඒ කාලේ ඔහුගේ සාහිත්‍ය දැනුම නැවත අලුත් වුණා. එය තදින් බලපෑවා ඔහුගේ ගුරුතරුව වැනි පසුකාලීන නාට්‍යවලට. ඊටත් පස්සේ ඔහු ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචි වුණේ ජපුර විශ්වවිද්‍යාලයේ. එහි උපදේශක බවට පත් කළේ මාව. මම ඔහු බොහොම තදින් මෙහෙයවූවා ඔහුගේ කාර්යබහුලත්වයත් සමඟ ආචාර්ය උපාධි නිබන්ධයක් කරනවා කියන එක දැවැන්ත ව්‍යායාමයක් වුණ නිසා. ඔහුට පුළුවන්කම තිබුණා මේ නාට්‍ය හා රැකියාව කරන අතර තම නිබන්ධනය ඉදිරිපත් කර ආචාර්ය උපාධිය ලබා ගන්න. මම ඒ සඳහා උදව්කරන්න භාග්‍යවන්ත වුණා වගේම, අභාග්‍යවන්ත වුණා මේ මරණය අසන්නට තරම්. මොකද මට මගේ ජීවිත කාලය තුළ හමුවෙලා නැහැ ඔහුට දොස් කියන කිසිම කෙනෙක්. එහෙම ජීවත් වෙනවා කියන එක වෙනම පාඩමක්. අපට දොස් කියන අය අපි දන්නවා. ඒවා ලිඛිතව ලැබිලා තිබෙනවා. ඒත් මනෝ පිළිබඳ අල්පමාත්‍ර හෝ දොස්කියන කෙනෙක් නැති වීම මඟින් ඔහු සියලු දෙනාට කියා දෙන්නේ නාට්‍ය ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රයක බොහෝ දෙනකු සමඟ ගනුදෙනු කරමින්, ඒ කිසිවකුගේ හිත නොරිද්දා, යහපත් කල් ක්‍රියාවෙන් ජීවත් වන පාඩම.

ඔහු මුලින්ම රඟපෑවේ හඳයා චිත්‍රපටයේ. ඔහුගේ දෙවැනි සිනමා රංගනය මම අධ්‍යක්ෂණය කළ සිරිබෝ අය්යා සඳහායි. එහි මතක හිටින චරිතයක් රඟපෑවා ජෝ අබේවික්‍රම සමඟ. ඊට පසු මම කළ ජීවිතයෙන් ජීවිතයක් චිත්‍රපටයට දායක වුණා. ඒත් මම මේතරම් චිත්‍රපට සංඛ්‍යාවක් කළත් මට ඔහුට සැලකිය යුතු චරිතයක් දෙන්න බැරිවුණා කියලයි මම හිතන්නේ.

 

මම මේක්අප් ආර්ටිස්ට්, ඔහු නළුවා

බොහෝ දෙනා සිනමාවෙන් නාට්‍ය ක්ෂේත්‍රයට ගියාම පැරදුණා. නාට්‍ය ක්ෂේත්‍රයෙන් සිනමාවට ගිය බොහෝ අයත් පැරදුණා. ඒත් මනෝ ඒ දෙකම ජය ගත්තා වගේම ඔහුගේ ටෙලි නාට්‍යවලත් යම් ප්‍රමිතියක් තිබුණා. ඔහු ආවාට ගියාට ඒවා කළේත් නැහැ. හොඳ පිටපත් සෙව්වා. ඔහුගේ සිනමා රංගනයේ කූටප්‍රාප්තිය 'හෝ ගානා පොකුණ' චිත්‍රපටය කියලයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. ඒ තරම් විශිෂ්ට රංගනයක ඔහු එහි නිරත වුණා.

වේදිකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි විශේෂයෙන් ශෛලිගත නාට්‍යවලදි නැත්නම් සංගීත නාටකවලදි ගායනය, නර්තනය සහ රංගනය කියන අංශ ත්‍රිත්වයම අවශ්‍ය වීම. දෙබස් නාටකයක නම් ඒවා ඒ තරම් යෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලින් සියයට අනූවක්ම සංගීත නාටක වෙද්දි ඔහු කෙනෙක් තෝරාගන්නේ ඒ අංශත්‍රයෙන්ම දක්ෂතා තිබෙනවා නම් පමණයි. ඒ වගේම ඔහු තෝරා ගත්තේත් උපාධිධාරීන්ම නොවුණත් කලාව සාහිත්‍යය පිළිබඳ ඥානයක් තිබුණ අය. ඒකට හේතුව සරච්චන්ද්‍රයන්ගේ පිටපත් අවබෝධ කරගන්න හැකි විය යුතු වීමයි. එනිසා සරච්චන්ද්‍රගේ නාට්‍යවල රඟපෑ භූමිකා කීපය වුණත් ඔහුගේ කුසලතාව පෙන්වා දෙනවා. ඒවා ඉතින් දෙවියන් විසින් දුන් දායාද ලෙසයි හඳුන්වන්න පුළුවන්.

අනෙක වේදිකාවේ, රූපවාහිනී කුඩා තිරයේ වගේම විශාල සිනමා තිරයේ රඟපාන්නේ කෙසේද කියලා විශිෂ්ට නිරීක්ෂණයක් ඔහුට තිබුණා. ඒ වගේම නාට්‍ය ගීත ආදිය වේදිකාවේ සහ මයික්‍රෆෝනයට කිව යුත්තේ කෙසේද කියා ඔහු හඳුනාගෙන තිබුණා.

මනෝ එක්ක සාමාන්‍ය ජීවිතය ගත කරනකොට ඔහු ඉතාම කවටකම් කරන සැහැල්ලු මිනිසෙක්. එහෙත් රංගනයෙදි ඔහු තෝරාබේරා ගන්නවා කුමක්ද හාස්‍යෝත්පාදක රංගනය සහ කුමක්ද බරපතළ රංගනය කියලා. ඔහු මිත්‍ර සමාගමේ ඉද්දි සියයක් පමණ හිටියා වගේ තමයි. ඔහු කියූ කවට කමක් අපි පුනරුච්චාරණය කළාට කවදාවත් ඒකට කිසිවෙක් හිනා වෙන්නේ නැහැ. ඒ හාස්‍යය අපට මතු කරන්න බැහැ. ඒ කියන්නේ ඒ දෙබසේ නෙවෙයි හාස්‍යය තිබෙන්නේ ඔහු එය ඉදිරිපත් කරන විදිහේයි. ඔහුගේ විකට කතා ආදිය ඇත්තෙන්ම ප්‍රබුද්ධයි.

ඇත්තෙන්ම ඔහු රෝගී වූ පසු මම එකම වරයි බලන්න ගියේ. මොකද මනෝ වැනි කෙනෙක් ඇඳකට වැටිලා ජීවත් වන ආකාරය දකින්න මම කැමති වුණේ නැහැ. ඔහු අතතැබූ සෑම ක්ෂේත්‍රයකම මුදුනටම ආවා. ඒ තරම් දැවැන්තයෙක් ඔහු. ඒ රික්තය පුරවන්න හැකි වනවා ඇත්තේ තව ලක්ෂයක් නළු නිළියන් අධ්‍යක්ෂවරුන් බිහිවුණාට පසුවයි.

 

 

කිවිවර බුද්ධදාස ගලප්පත්ති

 

දොළොස් මහේ පහන නිර්මාණය වන විට සුනිල් (මහාචාර්ය සුනිල් ආරියරත්න) කවි ලියලා තිබුණා. ඒ පවුලේ ඔක්කොමත් එක්ක ලියපු පොතකුත් මුද්‍රණය වෙලා තිබුණා 'අපි ඔක්කොම' කියලා. ම‌නෝගේ කෙටි කතා පොතක් තිබුණා මුද්‍රණය වෙලා 'වැහි එනතුරු' කියලා. ඒත් මනෝගේ කවි තිබුණේ නැහැ. මම කවි ගොඩාක් ලියලා තිබුණට ඉස්කෝලේ වගේම කැම්පස් කාලේ ඉඳලා, මගේ පොතක් තිබුණෙම නැහැ. මනොගෙයි මගෙයි යාළුකම එන්නේ සිංහබාහු නාට්‍යය නිසා. මම මේකප් ආර්ටිස්ට්, මනෝ නළුවා. සුනිල් නුගේගොඩ නිසා අපි එහෙ යනවා එනවා. සුනිල්ලාගේ අම්මා අපට කෑම හදලා දෙනවා. සරාගී කෙටි චිත්‍රපටය කරන කාලේ තිලක උයනේ අපේ හමුවීම් බහුලව තිබුණා. ප්‍රෙමතෝ ජායතී සොකෝ වල දෙවැනි නිෂ්පාදනයේ උද්දාලගේ චරිතය කරද්දි මම ආයෙත් සරච්චන්ද්‍ර කණ්ඩායමේ අංගරචකයා. මනෝ වෙස්සන්තර ගීත නාටකයේ වෙස්සන්තරගෙ චරිතය කළා. මගෙයි මනොගේයි අංගරචකයා සහ නළුවා අතර සම්බන්ධයේ විශේෂත්වය තිබෙන්නේ මනෝ හොඳම නළුවා ගත් රාජ්‍ය සම්මාන පහෙන් තුනකම, රතු හැට්ටකාරී, ද්විත්ව, නාගගුරුලා වේශනිරූපණය කරලා තිබෙන්නේ මම. මනෝ රඟ පෑ නාට්‍යවලින් සියයට පනහකට වඩා ඔහුගේ මේක්අප් කළේ මම. ඉතින් ඒ සියල්ලේ මනෝගේ මුහුණ තිබුණේ මගේ අතේ.

මීට අවුරුදු පනහකට විතර කලින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහබාහු පෙන්වපු දවසක අපි එළියට ඇවිත් දුම් රොටුවක් පිඹගෙන ඉන්න අතර මනෝම ඇහුවා බුද්ධි අපි කවි පොතක් කරමුද? කියලා. සුනිල්වත් එකතු කරගමු කීවෙත් මනෝමයි. එතකොට සුනිල් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරව උපාධි අපේක්ෂකයා. මනෝයි මායි නම් උපාධිය ඉවර කරලා එයා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ, මම ජාතික ලුණු සංස්ථාවේ. දෙන්නම අනියම් ලිපිකරුවන්. ඉතින් අපි එක්කෙනාගෙන් කවි පන්ති 10 බැගින් ලීවා. කොහොමහරි අහම්බයකින් පොතේ උඩින්ම නම තිබුණේ මගේ. එතකොට අයිතිකාරයා වෙන්නේ මම. ඒ වගේම අහම්බයක් තමයි වයස පිළිවෙළින් ගත්තත් මම වැඩිහිටියා. මම ඉපදුනේ 47, සුනිල් 48, මනෝ 49 අවුරුද්දේ. පොතේ පිටුපස්සේ පිටුවෙත් අපේ උපන් වර්ෂයත් එක්කම විස්තර දාලා ලීවා. අපි තුන්දෙනාම රුපියල් 150 බැගින්ද කොහෙද දාලා තමයි පොත මුද්‍රණය කරන්න දුන්නෙ මරදාන අයි.පී.බී. එකේ සෝමපාල හේවාකපුගේට. පොත් 100ක් ගැහුවා. පොතක මිල රුපියල් 1.50යි. කවරය අඳීන්න දෙන්න ගියෙත් මනොයි මායි බස් එකේ ගම්පහ ශ්‍රී බෝධි පාරෙ, මහගම සේකර මහත්තයා‌‌ හමුවෙන්න ගියා. කලින් අපි හමුවෙලා තිබුණේ නැහැ. සාමාන්‍ය පොඩි ගෙයක්. අපි යද්දි නැළවිලි ගීයක් ඇහෙනවා. ඉස්සරහ කැබිනෙට්ටුව උඩ ලැබුණු සම්මාන පල්මානික්කම් අල්ලලා නිල්ගැහිලා තියෙනවා. දොරට තට්ටු කළාම ගේ ඇතුළෙන් මහා කළු සිංහලයෙක් ආවා. පපුවේ මයිල් ගොඩයි කියලා පෙනුනේ ෂර්ට් එකක්වත් නොදා ආ නිසා. බලද්දි සේකර තමයි අර බබා නළවමින් ඉඳලා තියෙන්නේ. අපි දෙන්නව නම්වලින් දැනගෙන හිටියා. සේකර අපේ වැඩේ බාරගත්තා. ඒ සතුටට මනොයි මායි කොටුවට ඇවිත් අතේ තිබුණු තුට්ටු දෙකෙන් බීර බීවා. සේකර කොයි තරම් හොඳ මනුස්සයෙක් ද කීවොත් කවරෙ ඇඳලා ඉවරවෙලා එයාගේ රෙජිස්ට්‍රාර් වෙලා හිටිය එස් ජේ ප්‍රේමරත්න අතේ අපට ඒක එව්වා. ටූ කලර් කවරයක් නිලුයි කළුයි. තිර දොළහක් තිබෙනවා. එයින් තුනක් දැල්වෙනවා. ඒවා සුදු පාටයි. අනෙක් තිර කළු පාටයි.එහෙම තමයි 1971දොළොස්මහේ පහන එළි දැල්වුණේ.

ඒ පොතෙත් 70 දශකයේ පටන්ගත් පරාක්‍රම කොඩිතුවක්කුලාගේ කවිවල ලක්ෂණ තිබුණා කියලා පොත ගැන කතා කරපු අය කීවා. විරෝධාකල්ප, සමාජ විඥානය වගේ දේවල් තමයි කවිවල තිබුණේ. මගේ බොහොමයක් කවි වනිතා විත්ති සඟරාවේ ඊවා රණවීර තෝරපුවා. ඒවා ගැන බොහෝ දෙනෙක් කතා කළා. ඒකේ හාස්‍යජනක කතාව කියන්නේ මනෝමයි. මනෝ නුවරඑළියේ පරිපාලන විභාගයට ලෑස්ති වෙමින් හිටියා ඒ කාලේ. එතකොට ඇට්ලස් හෝල් පොතක තිබුණලු නූතන කවි ගැන ලිපියක්. ඒකේ සඳහන් වෙනවලු අලුතෙන් කවිපොතක් නිකුත් වුණා අහවල් තුන්දෙනා ලියපු කියලා. ඉතින් ළමයි ටික පාඩම් කර කර ඉද්දි මනෝ දැක්කලු ගෑනු ළමයින් කීපදෙනකුගේ මූණ ඇඹුල්වෙලා යනවා. එකිනෙකාගේ මූණ බලාගන්නවා මනෝ දැක්කලු. මොකද බලද්දි ඒ ලිපියේ තිබෙනවාලු මෙහෙම 'කවීන් තුන්දෙනෙක් ඉන්නවා අලුතෙන් මතුවෙලා ඒත්, කවිපොතේ කවි ගැන සලකා බලද්දි ජයලත් මනෝරත්න නම් කවියකු නොවේ' කියලා. මනෝට පොළොව පළාගෙන යන්න හිතුණා කියලා මනෝම ප්‍රසිද්ධියේ කියනවා. (බුද්ධදාස ගලප්පත්ති කිවිවරයා එහි හාස්‍යයට සිනාසෙන්නට උත්සාහ කළද ඔහුගේ හඬේ මතු වූයේ සිය සගයාගේ නිහතමානීකම සහ වියෝව සිහි වීමෙන් ඇති වූ කම්පනීය ස්වරයකි)

මම කියන්නේ නැහැ ඒක මහා කෘතහස්ත පොතක් කියලා. හැබැයි සාධනීය ප්‍රතිචාර නම් ගොඩක් ලැබුණා ඒ කාලේ. ඒත් අද වෙද්දි බැලුවාම මනෝ කවි ලීවෙම නැහැ. හැබැයි නාට්‍යකරණයේ සහ ඒ දේශන ආදියේ ඉහළම තැනක ආචාර්ය ජයලත් මනෝරත්න බවට පත් වුණා. සුනිල් කවි ලියන්නෙත් නැහැ. දැන් නම් වැඩිය ගීත ලියන්නෙත් නැහැ. ඒත් චිත්‍රපටකරණයේ වගේම, විශ්වවිද්‍යාල මහාචාර්ය, සම්මානිත මහාචාර්ය දේශක වෙලා ඉහළම තැනක ඉන්නවා. ඉතුරු වෙච්ච මම විතරයි කවි අදටත් කවි ලියන්නේ. ඒක තමයි පොතේ ආශ්චර්යය.

දොළොස් මහේ පහනේ උඩින්ම මුලින්ම නම තිබුණේ මගේ නිසා පොතේ කර්තෘත්වය මටනේ ලැබුණේ. 1974දි ආයෙත් පොතක් කරන්න මනෝ යෝජනා කළා. ඒ කෙටිකතා පොතක්. එතනදි මනෝ ඇහුවා බුද්ධි දැන් කවිපොත තියෙන්නේ ඔයාගෙ නමට නිසා මේ පොතේ මගේ නම උඩින් දාමුද කියලා. මම සම්පූර්ණයෙන් එකඟ වුණා. එහෙම බිහිවුණු කෙටිකතා පොත තමයි 'පියසේන සහ කුමාරිකාව'. දීපානි මුද්‍රණාලයේ ගංගොඩවිල මුද්‍රණය කළේ. ඒ කෙටි කතාත් විචාරක ප්‍රශංසාවට ලක්වුණා. ආචාර්ය සරත් අමුණුගම, ආචාර්ය තිස්ස අබේසේකර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ආදීන් හොඳ කියමින් පත්තරවලට ලීවා.

මනෝ අපේ පවුලේම කෙනෙක් වගේ. අසනීපයක් වුණත් කොත්තමල්ලි තම්බලා දෙන්නේ අපේ අම්මා. අනෙක් සමාන කාරණය තමයි මනෝයි මායි දෙන්නම රියැදුරන්ගේ පුත්තු. මේ ගැන මම එදවස සොඳුරුමය කොලම් එකකුත් ලීවා. සඳ අමාවකයි ටෙලි නාට්‍යයට බීඑම්අයිසීඑච් ශාලාවෙදි හොඳම නළුවා සම්මානය ලැබුණු වෙලාවේ නිවේදිකාව ලෙස හිටිය ඉඳුනිල් (දිසානායක) ඇහුවා කොහොමද මනෝ මේ දුලිකා මාරපනගේ තාත්තා වන රියැදුරාගේ චරිතය ‌මේ තරම් හොඳට කළේ කියලා. එතකොට මනෝ මුළු සභාව ඉදිරියේ ප්‍රසිද්ධියේ කීවා ඒක මට ලොකු වෙනසක් නැහැ ගෙදර අත්දැකීම තිබෙනවා මොකද මගේ තාත්තා රියැදුරෙක් කියලා. ඒ තරම් නිහතමානීකමක් ඔහුට තිබුණා. ඔහොම තමයි අපේ යාළුකම.

අපේ ගෙදර දරුවන්ගේ උපන්දිනවලටත් මනෝ එනවා. එහෙම ආපු වෙලාවට හරිම රසවතෙක් නිසා අපේ ගෙදරම වේදිකාවක් කරගන්නවා. කුස්සියට ගිහින් කොස්සක් ගෙනත් ජසයා ලෙන්චිනා කරනවා. අපේ ආරාධිතයන් සියලු දෙනාම මනෝගෙ ඒ රැඟුම්වලට පිස්සු වැටිලා හිටියේ. නාට්‍ය බස් එක වුණත් මනෝ නැත්නම් බස් එකක් නෑ වගේ. ඈත ගමනක් යද්දි මනෝ, අපි සින්දු කියන්න පටන් ගන්නවා. මනෝ පටන් ගන්නවා පුෂ්ප මකරන්දය මාගේ සින්දුව. පුෂ්ප මකරන්දය මාගේ- භ්‍රැංග මදිරා රස ඕගේ - බොන්න තව මන්ද ප්‍රමාදේ කියන තැනදි මනෝගේ සින්දුවේ තැටිය එක තැන වාදනය වෙනවා. ඉතින් මුළු බස් එකම දන්නවා මොකද්ද කියලා. ඒ වගේ අමුතුම චරිතයක්. මම දකින විදිහට අපේ ප්‍රධාන නළු ත්‍රිත්වය වන ගාමිණි ජෝ ටෝනි ගත්තත්, දැනට ඉන්න රවීන්ද්‍ර ගත්තත් මනෝට සමාන නැහැ. මොකද මනෝ වේදිකාව, සිනමාව වගේම රූපවාහිනිය එකවගේ ජයගත් ශිල්පියෙක්. ඒ වගේම තමන්ගේ මහන්සියෙන් ගත් ආචාර්ය උපාධියක් තිබෙන ශාස්ත්‍රවන්තයෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය ශූරී උපාධියක් පිරිනමනවා. එහෙම ගත්තාම මනෝට සමකරන්න කෙනෙක් නැහැ.

එහෙම හිටිය මනෝගේ අසනීප තත්ත්වය දැකලා ඕස්ට්‍රේලියාවේ රසිකයන් ප්‍රසංග කරලා ලබාදුන් ආධාර කළමනාකරණය කරන්න වුණෙත් මටමයි. මීට මාස තුනකට විතර කලින් ගියාම මනෝ මගේ දිහා යන්තම් ඇහැ ඇරලා බලනවා. අත අල්ලන්න කියනවා. අන්තිමට ඇඳේ නිශ්ශබ්දවම හිටිය මනෝ දිහාත් මම කොහොම හරි බලලා ආවෙ පුදුම වේදනාවක් හිතේ දරාගෙන.

 

 

 

 

 

 

Add new comment