සත් කාර්යක් වෙනුවෙන් තැනුණු චිත්‍රපටයක්

ජනවාරි 23, 2020

විෂමභාග නිපදවූ අලුදෙණියේ සුබෝධි හිමි

අන්තර්ජාතික සම්මාන උලෙළ රැසක් නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වූ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂමභාග චිත්‍රපටය මේ දිනවල ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලා හි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත කෙරේ. සම්මානනීය ඇගැයුම් පැසසුම් ලැබ තිරගත කෙරෙන මෙම සිනමා සිත්තමේ නිෂ්පාදන කර්තව්‍ය සිදු කර ඇත්තේ භික්ෂූන් වහන්සේ නමක් වීම ද විශේෂත්වයකි. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් විෂමභාග චිත්‍රපටයේ නිෂ්පාදනයෙන් කටයුතු සිදු කොට ඇත.

විෂම භාග චිත්‍රපටයේ නිෂ්පාදන කර්තව්‍ය අළලා ගෞරවණීය ස්වාමීන් වහන්සේ සමඟ කෙරෙන කතාබහකි මේ.

ස්වාමීන් වහන්ස විෂමභාග වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න සිතුවේ ඇයි?

අපි මෙයින් බලාපොරොත්තු වන්නෙ මේ මිනිස් සමාජය තුළ කරුණාව මෛත්‍රිය, අධ්‍යාත්මික ගුණ ධර්ම සමාජානුයෝජනය කිරීමයි. එහි එක් සන්ධිස්ථානයක් විදියට තමයි අපි මේ සිනමා මාධ්‍ය ඒ සඳහා යොමු කරලන්නේ. මේ විෂමභාග චිත්‍රපටය තමයි අපේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනය වන පළමු චිත්‍රපටය වන්නේ.

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ හා ප්‍රධාන අනුශාසක මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘවර අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය යටතේ තමයි මේ විෂමභාග චිත්‍රපටය ශ්‍රද්ධා මාධ්‍ය ජාලය නිෂ්පාදනය කරන්නේ.

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මොන වගේ අරමුණකින්ද?

මෙහි තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය චිත්‍රපට නිෂ්පාදකයෙක් චිත්‍රපටය නිෂ්පාදනය කරන චේතනාව පෙරදැරි කරගෙන නොවෙයි මේ චිත්‍රපටය අප නිෂ්පාදනය කරලා තියෙන්නේ. සාමාන්‍ය චිත්‍රපට නිෂ්පාදකයෙක්ගේ අරමුණ ලාභ ලැබීමයි. අප එතනින් එහා ගිය සත්කාරයක් වෙනුවෙන් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් සම්බන්ධ වූ සියලු දෙනා මූල්‍යමය පරමාර්ථයෙන් තමයි චිත්‍රපට හදලා තියෙන්නේ. අපේ චිත්‍රපටය ඒ අරමුණින් වෙනස් වෙනවා. පළමු වතාවට එයින් ලැබෙන සම්පූර්ණ ලාභය ජනතාවගේ සුබ සිද්ධියට වැය කරනවා.

රජරට ප්‍රදේශයේ වේගයෙන් පැතිරෙන වකුගඩු රෝගයෙන් ජනතාව ගලවා ගැනීම පිණිස පානීය ජල පිරිපහදු මධ්‍යස්ථාන තැනීමට පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියටත් වකුගඩු රෝගී අරමුදලටත් එයින් ලැබෙන ලාභය අපි පරිත්‍යාග කරනවා. ඒ හින්ද තමයි මේ චිත්‍රපටයට කියන්නේ ලංකාවේ පළවෙනි සමාජ සත්කාර චිත්‍රපටය කියලා.

මෙම සමාජ සත්කාරක චිත්‍රපටය තැනීමට ඔබ වහන්සේලා සතු පෞද්ගලික මුදල් ද යෙදෙව්වේ?

නැහැ කොහෙත්ම නැහැ. අපි ස්වාමීන් වහ්න්සේලා විදියට මිල මුදල් පරිහරණය කරන්නේ නෑ. ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙනුවෙන් මෙය කරද්දී අපිට විශාල පිරිවැයක් දරන්න වුණා. ඒ සඳහා අපිට මුල්‍යමය දායකත්වය ලබල දුන්නේ අපි කරන සත්කාර්ය පිළිබඳ පැහැදුණු සැදැහැති පරිත්‍යාගශිලීන් කිහිප දෙනෙක්. අපි මෙහිදී තව දෙයක් කරනවා. මේ විෂමභාග චිත්‍රපටය තිරගතවීමෙන් ලබන ආදායමෙන් අර චිත්‍රපටය හදන්න ඒ පරිත්‍යාගශීලීන් දුන් මුදල කිසිදු පොලියක් නොමැතිව ඒ පුද්ගලන්ට නැවත ලබා දී චිත්‍රපටයේ ලාභය පමණක් සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා යොදවනවා. ඒක තමයි අපේ මේ වෑයමේ තියෙන විශේෂත්වය.

එතකොට කොහොමද ඔබ වහන්සේ චිත්‍රපටයේ නිෂ්පාදක වුණේ?

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය තමයි මෙහි නිෂ්පාදක හැටියට අපි චිත්‍රපටයට යොදලා තිබුණේ. නමුත් මගේ නම තමයි එහි නිෂ්පාදක විදියට සඳහන් වෙන්නේ. අපි අන්තර් ජාතික චිත්‍රපට උලෙළ සඳහා මේ චිත්‍රපටය යොමු කිරීම තුළ ඇතැම් සිනමා සම්මාන උලෙළ සඳහා නිෂ්පාදක විධියට ආයතනයක් බාරගන්න ඒ අය කැමති නැහැ. පුද්ගලයෙක්ගේ නමක් ඉල්ලුවා. ඒ පුද්ගලයා ඒ නිර්මාණය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. අපේ මාධ්‍ය ජාලයත් පුණ්‍ය ආයතනයක්. මෙහි සභාපතිවරයෙක් අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙනවා. ඒ අය ස්වෙච්ඡාවෙන් අප ආයතනයට කටයුතු කරන අය. ඒ අයට බැහැ අප ආයතන නීති රීතිවලට අනුව මේ සඳහා සම්බන්ධ වෙන්න. ඒ නිසාවෙන් අප පූජ්‍ය ආයතනය නියෝජනය කරමින් මේ චිත්‍රපටය පිළිබඳ පැහැදිලි කිරීම, හඳුන්වා දීම ආදිය සඳහා ඉදිරිපත් වෙන්න මට සිද්ධ වුණා. මම මේ චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස පෙනී සිටින්නේ නාමමාත්‍රිකව. මෙහි සැබෑම නිෂ්පාදක ශ්‍රද්ධා මාධ්‍ය ජාලය. මම නිෂ්පාදක වුණේ අන්තර් ජාතිකව ඉදිරිපත් කිරීම් කාර්යයේ මූලික අංගයකට පෙනී සිටීමට පමණයි. ලංකාවේ මේ චිත්‍රපටය තිරගත කරන කොට නිෂ්පාදනය කියන ටයිටල් එක නැවත වෙනස් කර ශ්‍රද්ධා මාධ්‍ය ජාලය කියලා යොදන්න අදහස් කළත් ඒ සඳහා යන පිරිවැය තවත් වැඩි නිසා අපි ඒ අදහස ඉවත් කර මගේ නම නිෂ්පාදක ලෙස තියෙන්න දුන්නා.

කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස සමාජ සත්කාර්යක් වෙනුවෙන් මුදල් හොයන්න චිත්‍රපටයක් කළේ ඇයි කියලා?

අපේ නායක හිමියන්ගේ අදහසක් අනුව පිවිතුරු පැන් ජල ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ 2014 වසරේ ඉඳලා. එදා ඉඳලා මේ වෙනකන් අපි ජල පිරිපහදු මධ්‍යස්ථාන 36 ක් හදල තියෙනවා. ඒ සියල්ල කරලා තියෙන්නේ සැදැහැවතුන්ගේ ආධාරයෙන්. එක ජල පිරිපහදු මධ්‍යස්ථානයක් හදන්න අපට රුපියල් ලක්ෂ 13 1/2 ක් යනවා. මේ වෙන කොට අපි මේ මධ්‍යස්ථාන හරහා ජලය ලීටර් මිලියන 60 කට වඩා දන් දීලා තියෙනවා. දහස් සංඛ්‍යාත මිනිස්සුන්ගේ ජීවිත බේරගෙන තියෙනවා.

අපි මේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට අරගෙන යන්න මුදල් ආධාර සොයා ගන්න විවිධ ක්‍රම ගැන හිතුවා. එහිදී අපට වැටහුණා සිනමාව ඒ සඳහා ප්‍රබල මාධ්‍යයක් කියලා. වැදගත් පණිවිඩයක් සමාජගත කරන්න අපිට මේ මාධ්‍යය වඩාත් උචිතයි කියන දේ හැඟුණ නිසාවෙන් අපිත් පර්යේෂණාත්මක ඇරඹුමක් විදියට තමයි චිත්‍රපටයක් නිර්මාණය වෙනුවෙන් යොමු වුණේ.

ලලිත් රත්නායක නැමැති සිනමාකරුවා මේ සඳහා යොදා ගන්න අදහස් කළේ ඇයි?

මම දැක්කා ලලිත් රත්නායක කළ කෙටි නාට්‍යයක්. ඒ නාට්‍යයේ කතාවත් විෂමභාග තේමාවේම විහිදුණු ඒකාංගික කතාවක්. ඒ තුළ ඉහළ කලාත්මක භාවිතාවක් මම දැක්කා. අපි ලලිත් රත්නායක සොයාගෙන ගියා. ඒ ගිය වෙලේ අපේ අදහස ඔහුට කිව්වා. ඔහු කිව්වා අධ්‍යාපනය සම්බන්ධ කතාවක් තමන් ළඟ තියෙනවා. ඒක අපේ වකුගඩු ප්‍රශ්නය සමඟ හොඳින් ගැලපීමත් මත නිර්මාණයක් කරන්න පුළුවන් කියලා.අපේ අදහසුත් එතුමාගේ අදහසුත් හොඳින් ගැලපුණා. ඒ අනුව විෂමභාග චිත්‍රපටය බිහි වුණා.

විෂමභාග ඔබ වහන්සේගේම නමක්ද?

නැහැ. ඒක ලලිත් රත්නායකගේ. මේ කතාව තුළ තියෙන්නේ එතුමා කුඩා කල ලැබූ සැබෑ අත්දැකීමක්. එතුමා පාසල් අවධියේ ලැබූ අත්දැකීමක් නිර්මාණාත්මකව සංවර්ධනයක් සිද්ධ කළා. අපේ අදහස ලලිත් මහත්තයට කිව්වා. නිෂ්පාදක කියල අප කවුරුවත් බලපෑම් කරන්න ගියේ නැහැ. ඔහු තමන්ට හැඟෙන ආකාරයට අපිට විෂමභාග නිර්මාණය කරලා දුන්නා. කිසිදු අයුරකින් ලලිත් මහත්තයාගේ පරිනත දැනුමට අපි අභියෝග කළේ නැහැ.

මේ වෙන කොට කොහොමද විෂමභාග සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ඉතාම ඉහළයි. මිනිස්සු අතර චිත්‍රපටය ජනප්‍රිය වුණා. කටකතා මාධ්‍ය තුළ චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයෝ ඇදී ආවා. එනිසාම අපි සද්භාවයෙන් කළ නිර්මාණය කවදාවත් සිනමා ශාලාවකට නොගිය අය පවා සද්භාවයෙන් යුතුව වැළඳ ගන්න ස්වභාවයක් දකින්න තියෙනවා.

විෂමභාග සිනමාපටයේ මංගල දර්ශනය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කිරීමට විශේෂ හේතුවක් තිබුණාද?

මේ චිත්‍රපටය තුළ රටේ ප්‍රශ්නයක් ගැන කතා වෙනවා. ඒ පිළිබඳ රටේ ජනාධිපතිවරයා විදියට ඒ ගැන සංවේදී බවක් ඇති කරන්න හැකි නම් ඒක රටට විශාල භාග්‍යයක් වෙනවා. මේ තුළ තියෙන කතාව තුළ අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් කිහිප ආකාරයකික් කතා කරනවා. මේ නිර්මාණය නැරැඹීම තුළ එතුමා තුළ වුණත් මේ ප්‍රශ්නය ගැන දැනුම්වත්භාවයක් ඇති වෙනවානේ. අපි කළ ආරාධනය ජනාධිපතිතුමා භාර ගත්තා පැය භාගයක් සඳහා. නමුත් එතුමා චිත්‍රපටය ඉවර වෙනකන්ම නැරැඹුවා. මම හිතනවා ජනාධිපතිතුමා ඒ චිත්‍රපටයට සංවේදී වුණා කියලා.

මේ වෙන කොට කොපමණ පේ‍්‍රක්ෂක පිරිසක් චිත්‍රපටය නරඹලා තියෙනවාද?

සංඛ්‍යා ලේඛන අනුව ලක්ෂයකට ආසන්න පිරිසක් චිත්‍රපටය නරඹලා තියෙනවා. පේ‍්‍රක්ෂක ඉල්ලීම අදටත් නොඅඩුව තියෙනවා. අපි හිතනවා ජනවාරි මාසයේ අපේක්ෂිත සාධණීය මට්ටමට ලඟා වෙන්න අපිට පුළුවන් වෙයි කියලා. මේ චිත්‍රපටය ලංකාවේ තිරගත කරන්න කලින් අපි ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ ප්‍රදර්ශනය කළා. එයින් අපේ ව්‍යාපෘති සඳහා ගම් පිටින් බාරගන්න මුල්‍යම ආධාරකරුවන් අපට ලැබුණා. මේ චිත්‍රපටය මුල් කරගෙන මේ වන විට ජල පිරිපහදු විස්සක් මේ වෙන කොට තනමින් ඉන්නවා. රුපියල් මිලියන 27 ක දායකත්වයක් මේ වන විට චිත්‍රපටය නරඹපු අයගෙන් ජල පිරිපහදු ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවලා තියෙනවා.

අන්තර් ජාතික සම්මාන උලෙළ කොපමණ ප්‍රමාණයකට විෂමභාග රැගෙන ගියාද?

සම්මාන උලෙළ ගණනාවක විශේෂ ඇගැයීමට මේ චිත්‍රපටය ලක් වුණා. ෂැන්හයි අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළ, ඒෂියා නිව් ටැලන්ට් සම්මාන වර්ගීකරණය යටතේ හොඳම තිර රචනය හා හොඳම නළුවාට නිර්දේශ වුණා. එම සම්මාන උලෙළේදී ආසියාවේ හොඳම තිර රචකයන් පස් දෙනා අතරටත් හොඳම නළුවන් පස් දෙනා අතරටත් තේරුණා.

මේ සම්මාන උලෙළට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් තේරුණු පළමු අවස්ථාව වුණෙත් අපේ චිත්‍රපටය.

ඉන්දියාවේ ගෝවේ පනස් වෙනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළේදී සෙගල් ඔෆ් ඒෂියා වර්ගීකරණය යටතේ තිරගත වුණා. අමෙරිකාව, ෆෙස්ටීජියන් ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළ රුසියාව, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවල සම්මාන උලෙළ රැසකදී විෂමභාග චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. සිනමා සම්මාන, නිල තෝරා ගැනීම් හා සම්මාන සඳහා නිර්දේශ වීම් 70 කට වැඩි ප්‍රමාණයකින් විෂමභාග චිත්‍රපටය පිදුම් ලැබුවා.

ඉදිරියේදිත් ඔබ වහන්සේ චිත්‍රපට නිෂ්පාදන කර්තව්‍යයට උර දෙනවාද?

චිත්‍රපටය තනන්න ගන්නකොට නම් මෙවැනි සමාජ සත්කාරක චිත්‍රපටයක් තවත් කරන්න ඕනෑ කියන අදහස මට තිබුණා. නමුත් චිත්‍රපටය තිරගත කිරීමේදී විඳින්න සිදු වූ මානසික ව්‍යාකූලතාවය තුළ ඉදිරිය ගැන බලමු.

නිශ්ශංක විජේරත්න

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.