2020 ට අලුත් අනෝජා කෙනෙක්

අනෝජා වීරසිංහ
ජනවාරි 23, 2020

 

සරසවිය දුරකථනයට පසුගියදා ඇමතුම් කීපයක් ආවේය. ඒ සියල්ල යොමු කෙරුණේ මා වෙතය. හේතුව එයට පිළිතුරු දිය හැකි පුද්ගලයා මා බව අපේ සගයන් දන්නා බැවිනි. රසිකයන්ගේ පැනය වූයේ ප්‍රවීණ, සම්මානනීය රංගන ශිල්පීනී අනෝජා වීරසිංහ මහත්මියගේ අලුත් තොරතුරු දැන ගැනීමට කැමැති බැවින් ඇය ගැන ලියන්නට අදහසක් නැතිද යන්නයි. ඒ හැමෝටම කීමට තිබුණේ එකම දෙයකි. එනම් 'අපි ලිපියක් අරගෙන තියෙන්නේ. මනෝරත්න මහත්තයාට පත්තරේ වෙන් කෙරුණ නිසා ලබන සතියට කල්ගියා'. දුරකථනය තැබුවේ තවත් පොරොන්දුවක් ඔවුන්ට දෙමිනි. ඒ ඔවුන් වෙනුවෙන් ඇයගේ උපන්දිනයට සුබ පැතීමයි. අප ඇය අමතන සුහද ආමන්ත්‍රණයෙන්ම එය ඉටු කරමු. 'ආදරණීය අනෝජා අක්කේ, මීට දින දෙකකට පෙර යෙදුණු ඔබේ උපන්දිනය වෙනුවෙන් ඔබේ සියලු රසිකයන්, සරසවිය පාඨකයන් ඇතුළු අපි සැම ඔබට නිදුක් නිරෝගී බව මෙන්ම ඔබ පතනා සත්‍යාවබෝධය තවතවත් තහවුරු වන අනාගතයක් උදා වේවා! කියා ඉත සිතින් පතන්නෙමු.'

 

 

 

ඇය හමුවන්නට අභිනය යෝගාශ්‍රමයට අප යන විට එහි නිල ඇඳුම වූ කහ පැහැ ටීෂර්ටකින් සහ සුදු කලිසමකින් සැරසී සිටි අනෝජා වීරසිංහ ප්‍රවීණ රූපණවේදිනිය අංගරචනා ශිල්පියා වෙත මුහුණ දිගුකරගෙන සිටියාය. ඒ සරසවිය වෙනුවෙන්ම බව තහවුරු වූ පසු තිලිණිගේ පෙරැත්තයෙන් බේරීමට ඉඟුරු ප්ලේන්ටියක් සමඟ විස්කෝතුවක් හපමින් නාරද ධනංජය අතින් ඇයගේ උවනේ සුවිශේෂී සියුම් හැඩතල ඉස්මතු වන අයුරු බලා සිටියෙමු. කතාබහට පෙර කවරය සඳහා ඡායාරූපයක් ගත යුතු බව පැහැදිලිය. "නංගා මම ටක්ගාලා සාරියක් ඔතාගෙන එන්නම්" කියාගෙන ඇය ඇතුළු කාමරයකට ගියාය. මුළු මිදුලම වසා සිටි වෘක්ෂ රාජයාගේ සෙවණේ සුදුසු පසුබිමක් සොයමින් අපි ඔබ මොබ ගියෙමු. අප විස්මයට පත් කරමින් පහළොස් වසරකට පමණ පසු මුල් වරට වර්ණවත් සාරියකින් සැරසී සරසවිය කවරය සරසන්නට ඇය සපැමිණියාය.

අපේ කතාවේ මුලක් මැදක් අගක් නොවීය. ඕනෑම කරුණක් පිළිබඳ ඍජුව කතාකරන ඇය පහසු ඇඳුමකින් සැරසුණු පසු මුලින්ම සතුටින් කීවේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මෑතකදී රංගනයෙන් දායක වූ ඩිස්ටන්ට් ටියර්ඩ්‍රොප් ඔස්සේ නිෂ්පාදකවරුන් පිළිබඳවය.

"සිනමා කර්මාන්තයට නිෂ්පාදකවරයෙක් එන්නේ යම්කිසි ප්‍රතිලාභයක් බලාගෙනනේ. සිනමාවට ආදරේ අය කොස්ට් එක කවර් වුණොත් ඇති කියනවා. එහෙමත් වෙන්නේ නැතිව මිනිස්සු එයිද ක්ෂේත්‍රයට? කාලාන්තරයක් නිහඬව ඉඳීම සහ සිනමා පට හා ලෝකය දිහා බලාගෙන ඉද්දි මට දැනුණු දෙයක් තමයි අපි හරවත් දෙයක් ලෝකයට කියන්න ඕනෙ. මිනිස්සු සතුටු කරන්න කියලා කුණුගොඩවල්, දෙපිට කැපෙන මෝඩ විහිළු කරන එක නෙවෙයි වැඩේ. ලෝකේ පුරාම මිනිස්සු අප්‍රමාණ ලෙස දුක් විඳීනවානේ... ඉතින් අපි ගිහින් ඒ මිනිස්සුන්ගේම කතාව ආපහු චිත්‍රපටයකින් පෙන්නුවාම ඒ අය සතුටුවෙයිද? මනුස්සයෙක් චිත්‍රපටයක් බලන්න එන්නේ මුලින්ම වින්දනය සඳහා. ඒ වෙනුවට මහා දුකක් ඔළුවේ තියාගෙන යන්න වෙනවා නම්? ඒ නිසා මම කියන්නේ අපේ අධ්‍යක්ෂවරු වුණත් ප්‍රේක්ෂකාගාරය පැත්තෙනුත් හිතන්න ඕනේ චිත්‍රපට ගැන. සම්මාන ගැනම නෙවෙයි.

මට පැනයක් එයි, සම්මාන ලැබෙන්න ඕනෙ කලාත්මක චිත්‍රපටවලට විතරමද?

ඒකනෙ. කොච්චර තියෙනවාද සම්මානවලටත් එහා යන්න පුළුවන් කොමඩි වගේ චිත්‍රපට? සම්මානයට පාත්‍ර වෙන්න ඕනෙ දුක, කරුණ රසය විතරද? හුඟක් වෙලාවට අන්තර්ජාතික සිනමාව දිහා බලලාම චිත්‍රපට හැදුවොත් ඒක සම්මානනියයි කියලයි දැන් හිතන්නේ. ඒ වුණාට චාලි චැප්ලීන් වගේ කෙනෙක් සම්මානනීය නැද්ද? ඇයි මෙච්චරකල් අපි ඔහු ගැන කතාකරන්නේ. අපේ රටේ හැමදෙයක් දිහාම මහ අමුතුවිදිහට බලන්නේ. මේවා කියලා මාත් එක්ක කට්ටිය තරහ වෙයිද මන්දා. මම හොඳ ප්‍රායෝගික බෞද්ධයෙක්. අඩුම ගානේ පන්සිල් පද පහවත් රකින්න මම උත්සාහ කරනවා. දස සිල් ගන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. සිල්රෙද්ද පොරවාගෙනම සිල් රකින්න ඕනෙ කියලා එකක් නැහැනේ. හැබැයි ඉතින් මට බැරි එකක් තිබෙනවා නච්ච ගීත වාදිත විසූක දස්සන මොකද මම උගන්වන්නේ ඒවානේ. (සිනාසෙයි)

මම මේ කියන්න ගියේ සිංහල බෞද්ධ කියන අය අතින් බුදු හාමුදුරුවො එපා කියපු දේවල් කෙරෙනවා වැඩියි වගේ. සම්පප්‍රලාප, පිසුනාවාචා වුණත් හරියට කියැවෙනවා. යූටියුබය බැලුවොත් තිත්ත කුණුහරුපයක් නැතුව කමෙන්ට් එකක් දාන්න බැරි අය ඉන්නවා. ඒ අය හිතන්න එපැයි මේවා තව අය බලනවා කියලා. සමාජ වගකීමක් ඒ අයට නෑනේ. අද කාලේ සමහර නළු නිළියන් වුණත් ඕනෑවට වඩා ඇඟපේන්න එහෙම ඇඳගෙන පොදු ස්ථානවලට යද්දි හිතන්න ඕනා අපි මෙතෙන්ට එද්දි සිවිල් සමාජය කොයි තරම් ඒ සඳහා කාර්යභාරයක් කර තිබෙනවාද කියලා.

දැන් මට අමතක කරන්න බැහැනේ මාව මෙතෙන්ට ගේන්න, මගේ චිත්‍රපට බලලා, මට සම්මාන දීලා මාව අගය කරලා සමාජය කරපු දායකත්වය. ඒ මිනිස්සු ගැන අපට වගකීමක් නැද්ද? අනෙක ජනප්‍රිය චරිත කියන්නේ තමන්ව තව පිරිසක් අනුගමනය, අනුකරණය කරන බව දැනගෙන ඉන්න ඕනෙ අය. ඒකනේ ඔය පොඩි ළමයින්ගේ කෑම, රූපලාවණ්‍ය ද්‍රව්‍ය වගේ ඒවාට ක්‍රීඩකයන් නළුනිළියන් යොදාගන්නේ. ඉතින් අපි සිංහල බෞද්ධ අය හැටියට අපේ ආගමට ජාතියට යමක් වෙනකොට අපට රිදෙනවා. අපිම හානි කරගන්නකොට? අනේ මන්දන්නේ නැහැ කොහෙන් ආපු පුරුද්දක්ද කියලා, දැන් අපි දකින දෙයක් තමයි යමක් කරන්න කලින් පොඩ්ඩක් හිතන්නෙ නැතිකම. පනින්ට පෙර සිතා බලනු කියලා පොඩි කාලේ අහපු රටක්නේ මේක.

ඇය කල්පනාභරිතව මොහොතක් හිඳී. මම බාධා නොකරමි.

මම නිහඬව ගොඩක් කල් මගේ යෝගා, අනෙක් පන්ති කරගෙන හිටියනේ. ඒ කාලය තුළ මම රට වෙනුවෙන් බොහෝ දේවල් කළා කිසි සද්දයක්, ප්‍රසිද්ධියක් නැතුව. ඒත් මේ 2020දි මට 65ක් පිරෙද්දි මට හිතෙනවා මට තවත් දේවල් කරන්න පුළුවන් කියලා. මගේ වැඩසටහන්වලට දෙමාපියන් තරුණ දරුවන් එවනවා. ඔවුන්ගේ ආතතිය හරි වැඩියි දැන්කාලේ. පන්තිවලදි ඔවුන් වෙනස්වන ආකාරය දෙමව්පියන්ට හරි සහනයක්. මට එෆ්බී එකක්වත් මෙතුවක් තිබුණෙ නැහැ. මම මුලින් හිතුවා තාක්ෂණය පැත්තෙන් යන එක හරි කරදරයක් කියලා.

ඒත් මුළු ලෝකයම දැන් ඒකට ග්‍රහණය වෙලා. ඒ නිසා හිතුවා මේ අවුරුද්ද හොඳයි කියලා තාක්ෂණය උපයෝගී කරගෙන වඩාත් වැඩි පිරිසකට සම්බන්ධ විය හැකි වැඩමුළු ටිකක් කරන්න. ඒ වගේ බලාපොරොත්තු ටිකක් තිබෙනවා. හැබැයි මම උපන්දිනය නම් සමරන්නේ නැහැ කාලයක් තිස්සේ. වැරදියට හිතන්න එපා. මම සතුටුයි මනුස්සයෙක් හැටියට ශ්‍රී ලංකාවේ ඉපදුණ ාට. මම මගේ රටට ආදරෙයි. මම බෞද්ධ දර්ශනය අනුගමනය කරන කෙනෙක්වීම ගැන සතුටුයි. ලේබල් ගහගෙන නොහිටියාට මට නිරායාසයෙන් ඒ දේවල් ලබන්න මට යම් කුසලයක් තිබිල තියෙනවා. ඒ ගමනේදී මම දකිනවා ඉපදීම දුකක් කියලා. ඉතින් දුකක් සමරන්න ඕනාද?. ඒකේ ලොකු පරස්පරයක් තියෙනවා. හදවතට එකඟ නැති දේවල් කරන්න මම කැමති නැහැ. ඒ නිසා මම කරන්නේ ජනවාරි 21 ෆෝන් එක ඕෆ්කරලා තියෙන එක. ඇත්තටම මට ප්‍රාර්ථනා කරන්න තියෙන හොඳම දේ නිවන් සැප ලැබේවා කියන දේ. ඒත් මිනිස්සු ජීවත්ව ඉද්දි එහෙම කියනවාට බයයි. (සිනාසී) නිවන් සැප පතන්න ඕනේ ඇත්තෙන්ම ජීවත්ව ඉද්දි. මැරුණට පස්සේ ඒක ලබන්න බැහැනේ.

මම පැනයකට සූදානම් වෙමි. එහෙත් ඇය එයට බාධා කළාය.

මම දන්නෑ නංගා මේක කොහොම ලියන්න පුළුවන් වෙයිද කියලා පත්තරේට. මම නිහඬව පැත්තකට වෙලා ඉඳගෙන මාවම හොයාගන්න, මගේ සිතුම්පැතුම් අව‌බෝධ කරගන්න උත්සාහ කරද්දි, මම මොනවද කරන්න ඕනෙ, කොහෙද යන්න ඕනෙ, මම මේ කරන දේවල් හරිද, මම මානසිකව හරියට විඳවපු කෙනෙක්, තවත් ගැටි ගැටී ඇලි ඇලී දේවල් කරන්න ඕනෙද කියලා දකින්න උත්සාහ කරද්දි මට ගිහි පැවිදි කල්‍යාණ මිත්‍රයන් හමුවුණා. උදව් කළා ඒ අවබෝධය ගන්න. (සතුටින් කියයි) මම නිළියක් වන්න ඉපදීම කොයි තරම් වාසනාවන්තද කියලා මට හිතුණා. හැබැයි අපි කලින් ජනප්‍රියත්වය, මිලමුදල්, රසික ආකර්ෂණය ආදරය ලැබෙනවා කියලානේ නේද ඒකට ආශක්ත වන්නේ. මෑත කාලේ මම තේරුම් ගත්තේ අපි චරිතයක් රඟපාද්දි ඒ නළුවා හෝ නිළිය තේරුම් ගන්න ඕනේ ඒ චරිතයේ මනෝ භාවයන්, ඒකියන්නේ ඉමෝෂන්ස්. චරිතයේ හිත, කොයිවගේ මයින්ඩ් එකක්ද එයාට තියෙන්නෙ සහ ඒ චරිතයේ ෆිසිකල් බොඩි නැත්නම් භෞතික ස්වභාවය. මේවා අධ්‍යයනය කරලා ප්‍රතිනිර්මාණය කිරීමනේ අපි රංගනය කියන්නේ. එතකොට මා කියන චරිතයේ භාවයන් මම තේරුම් ගන්නවා නම්, මගේ මනස මොනවගේද, කය මොන වගේද කියා සොයනවා නම් එතැනම විපස්සනාවනේ අපි කරන්නේ. ඉතින් රංගන ශිල්පියකුට තරම් එය හොඳට එකපාරට කරන්න පුළුවන් කෙනෙක් තව ඉන්නවාද? රංගනය පිළිබඳ දැනුම්වත්වුණු කෙනකුට එය කරන්න ලේසියි. යමක් අල්ලාගෙන අතහරින්නත් ලේසියි. ඇයි අපි චරිතයට ආරූඪ වෙනවා ආයෙ අතහරිනවා.

භාවයන්ට ප්‍රවේශ වෙනවා අතහරිනවා. දර්ශනයකදි අපි අඬනවා ඉවරවුණ ගමන් හිනාවෙනවා. මට ඒ කාල පරාසය තුළ බොහෝ දේවල් දැනගන්න ලැබුණා. දැන් මට කොච්චර මේකඅප් පිරෙව්වත් කමක් නැහැ. චරිතයක් සඳහා ඇඳුම් ආයිත්තම් කොච්චර පැටෙව්වත් මොහොතකින් ඒවා අතහරින්න පුළුවන්. සුදු කලිසමයි කහ ටීෂර්ට් එකයි ඇඳගෙන ඕනතැනක යන්න පුළුවන්. ඒ ශක්තිය මට දැනුණේ අර නිහඬ කාලේ. අපි හැම දෙයක්ම හොයන්න හදන්නේ මහා කලබලකාරී ජීවන රටාවක අරගල කරමින්. එතකොට හරි අමාරුයි. බුදු හාමුදුරුවොත් කීවා නේද? නිශ්ශබ්ද තැනකට යන්න, ශුන්‍යාගාරගත වන්න වෘක්ෂමූලගත වන්න කියලා. ඇයි ඒ තමන් තනිවීම තුළ තමන්ට දැනෙන ප්‍රමාණය වැඩියි. අර නළුවා නිළිය කියන අන්තයේ ඉඳන් අප්‍රමාණ විදිහට දඟලන අරගලකරන අය දිහා දැක්කාම අද මට ඒ අය ගැන දුකක් දැනෙනවා වගේම මම ගැනත් හිතෙනවා අනේ මටත් මෙහෙම කාලයක් තිබුණා නේද කියලා. මට ඒ කාලේ මේක දැනුණේ නැහැ නේද කියලා.

ඒ කියන්නේ ඉදිරියේදි රඟපාන්න කිසිම අදහසක් නැද්ද?

එහෙමත් නැහැ. මට මේ රටේ හොඳම අධ්‍යක්ෂවරයෙක්ගෙන් පොඩි ආරාධනයක් ලැබිලත් තිබෙනවා. ඇත්තෙන්ම මම සිනමාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා හිටියා නෙවෙයි. ඒත් මම ගතකරන ජීවිතය, මගේ පෙනුම එක්ක හැමෝම වගේ ඒ අය විහින් හිතේ දාගත්තා මම සිනමාවෙන් ඉවත්වෙලා කියලා. තට්ට බූ ගාලා හිටපු නිසා මෙහෙනින්වහන්සේලාගේ චරිතවලට කතා කළා. මට අදාළ නැහැ චරිතය අත්තම්මාද මෙහෙනින්වහන්සේද කියලා. හැබැයි දැන් මම එන්නේ ආසාවට රඟපාන්න මිල මුදල් සම්මාන සඳහා නෙවෙයිනේ. අසී...මිත මහජන ඉල්ලුම නිසා. මාව පාරෙ දැක්කම කියන දෙයක් තමයි ඔයයි ස්වර්ණක්කයි චිත්‍රපටවල නැතිකම අපට හරි දුකක් , අපි ඔය දෙන්නගේ චිත්‍රපට ආසාවෙන් බැලුවා කියලා. ස්වර්ණක්කා නම් ඇගේ ඇස අග චිත්‍රපටයේ ළඟදි රඟපෑවා. මට වුණේ ඒ වගේ ගැළපෙන චරිත නොලැබුණු එක. බලමු ඉතින් මේ සැරේ චරිතෙ හිතට හරිගියොත් රඟපායි නැත්නම් රඟපාපු ටික සදාකාලයටම ඇති.

අනෝජා අක්කා රංගනය ගැන නිර්වචනය කළානේ, එය වත්මන් පරපුර කොතරම් ප්‍රායෝගිකව යොදවනවාද?

දැන් ඉන්න නළුනිළියන් දක්ෂ නැහැ කියලා නිර්දය ලෙස විවේචනය කරන්න තරම් කුහක වෙන්න ඕනේ නැහැ නංගා අපි. සෑහෙන පිරිසක් ඒ දේවල් හොයාගෙන යන්න උත්සාහ කරනවා. ඒත් දැන් වෙලා තියෙන්නේ තමන්ගේ භාවයන්වත් හොයාගන්න බැරි එක. අපේ රටට මහා වින්නැහියක් කළානේ ඉන්දියානු බාල ටෙලි නාට්‍ය. ඒකෙන් කුරුවල් වුණේ අපේ තරුණ නළු නිළි බහුතරය විතරක් නෙවෙයි. සමස්ත සමාජයේම තරුණ ළමයින්ගේ මනසේ සුදුපාට ගැන අමුතු අදහසක් ඇවිත් තිබෙනවා. පැහැපත් බවයි කිරිබත් පාටයි කියන්නේ දෙකක්. අපේ පාට ශරීරයකට සුදූ...පාටවෙන ඉන්ජෙක්ෂන් එකක් ගහලා කොණ්ඩෙ කෙළින් කරලා බ්ලොන්ඩ් හෙයා කලර් එකක් දාපු සමහර දරුවො දිහා බැලුවාම මට දුකයි. මොකද ඇත්තටම කනත්තෙන් නැඟිටලා එනව‌ වගෙයි මට පේන්නේ. ඒක නිර්දය විවේචනයක් කියලා මා එක්ක තරහා වෙන්න එපා කියලත් මම ඉල්ලා සිටිනවා. අපේ රටේ මිනිස්සු කොහොමද නළුවකුට නිළියකට සමීප වෙන්නෙ? මේ කියන්නේ මගේ කතාව. මම වගේ කෙනෙක්. කියන හැඟීමෙන්නෙ. අපි හිතමු ගාමන්ට් එකක දරුවෙක්ගෙ චරිතයක් රඟපානවා අරවගේ වෙනස් වෙච්ච නිළියක්. අර දරුවා කොහොමද මේ අපේ එකෙක් කියලා චරිතෙට සමීප වෙන්නේ. මේවා ඔයා ලීවාම මට සමාජ ජාලවල නොසරුප් වචනවලින් බනී. ඒවා මම ගණන්ගන්නේ නැහැ. මොකද ඒ කෙනා ක්‍රෝධයෙන් පවු පුරවා ගන්නවා විතරනේ. හැබැයි ඔවුන් හරියට කමෙන්ට් කරනවා නම් සිදු විය යුත්තේ කුමක්ද කියන එක ගැන ඒකයි නිවැරැදි මඟ පෙන්වීම. අපේ රටේ කර්මාන්ත බොහොමයකට වෙන්නේ ඕකනේ.රටට ගැළපෙන දේ පැත්තක තියලා වෙන පැත්තක ගියා. ඒකට දැඩි ලෙස ගොදුරු වුණා සිනමා කර්මාන්තය. ඒකට ශාලා හිමියන්ට විතරක් බැනලා වැඩක් නැහැ. සමස්ත සිනමාවම, නිෂ්පාදක, අධ්‍යක්ෂ, නළුනිළියන් වගේම ප්‍රේක්ෂාගාරයේ ඉඳන්ම වෙනස් වෙන්න ඕනෙ. ප්‍රෙක්ෂාගාරයට සුදුසු දේවල් සකස් කරනවා නම් එය ටෙලි විෂනය තුළත් සිදුවෙන්න ඕනෙ. සමහර ටෙලි නාට්‍ය පන්සීය දාහ කොටස් යනවා. එකම තැන කැරකෙනවා. මිනිස්සු එතකොට ඉන්දියානු නාට්‍යවල ලස්සන ඇඳුම් පැලඳුම් ජුවලරිවත් තියෙනවානෙ කියල බලන තත්ත්වෙට පත්වෙනවා.

අනෙක ලස්සන පෙනුමක් තිබුණාම ඇති කියලා හිතලා රංගනය ගැන, කටහඬවල ප්‍රශ්න ගැන හදාරන්නේ නැති අය හරියට ඉන්නවා. සිනමාවේ තරු සංකල්පයට වුණ දේ බලන්න ඩේසි අක්කලා පුණ්‍යක්කලා අනුලක්කලා ජීවක්කලා යද්දි මාලනි අක්කලා ගීතක්කලා ශ්‍රීයානි අක්කලා ස්වර්ණක්කලා ආවා ඊටපස්සේ මම, සබීතා, වසන්ති ආවා අපෙන් පස්සේ සංගීතා දිල්හානිගෙන් පස්සේ ඒ සංකල්පය ඉවරයි. නළුවනුත් සනත්ලා ජීවන්ලගෙන් පස්සේ ඉවරයි. අනෙක අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට හිතන විදිහක්, සංස්කෘතියක් තිබෙනවා. කැමති වුණත් අකමැති වුණත් අපේ හිත් පතුල්වල ඒවා තැන්පත් වෙලා තිබෙනවා. නැත්නම් ඔය කොච්චර රැඩිකල් විදිහට හිතනවා කියලා එළියෙදි කීවත් බිරිඳක් ගත්තාම තමන්ගේ අම්මා වගේ වෙන්න ඕනෙ කියලා ගේ ඇතුළෙදි බලාපොරොත්තු වෙන්නේ.

අපේ අනන්‍යතාව තුළ ලිංගිකත්වය එළිපිට කතාකරන්නේ නැහැ. ඇඟපත එළි‌පෙහෙළියෙ දාගෙන හොලිවුඩ් බොලිවුඩ්වල වගේ යන්නේ නැහැ. මේවා අලුතෙන් ක්ෂේත්‍රයට එන පිරිස තේරුම් ගත්තේ නෑ. ඒ වගේම තරු හෝ හොඳ නළුවන් බිහිකරන්න තරම් හොඳ නිර්මාණ බිහිවුණෙත් නැහැ. පිටින් ගලාගෙන එන ලාබ බාල දේවල්වලට තරග කරන්න මෙහෙ හදන දේවල් තරමක් මිලයි. කලාව වෙනුවෙන් බිහිවුණු මාධ්‍යායතන නැති නිසා ඒ අයට ලාබයි පිටරටින් බාලදේවල් ගෙනත් විකුණන එක. අනෙක පික්චර් එකක් බලනවා කියන්නේ ඉස්සර අපට ලොකු දෙයක්. මොනරාගල ඉඳලා කට්ටිය සෙට්වෙලා කඩල කකා පයින් ඇවිත් දැවැන්ත තිරයේ චිත්‍රපටයක් බලන තරම් වින්දනයක් ෆොන් එකෙන් බැලුවට ලැබෙන්නේ නැහැ. ඒ මනුෂ්‍ය සබඳතාත් ගිලිහිලා මේ දේවල් නිසා. මේවා මුල ඉඳන්ම හදන්න ඕනදේවල්.

අක්කට දේශපාලනයක් තිබුණා, ඒ වෙනුවෙන් විඳෙව්වා මොකද හිතන්නේ රංගනය හා දේශපාලනය ගැන?

මගේ දේශපාලන ජීවිතයේ කවදාවත් මම පාර්ලිමේන්තු යන්න හිතුවේ නැහැ. එහෙම යනවානම් මුලින්ම මට ජාතික ලැයිස්තුවෙන් එන්න කතා කළේ ආර්. ප්‍රේමදාස මහත්තයා මම අන්තර්ජාතික සම්මානය අරන් ආ වෙලාවේ. ඒත් මම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. මගේ දවස් තුනක දේශපාලන ජීවිතේ වේදිකා හතක කතා කරපු එකටනේ මට අර ලොකු දඬුවමක් දුන්නේ ගෙවල් ගිනිතියලා. ඒක ගැහැනියකට කළ ලොකුම වරදක් නිසානෙ පස්සෙ මම ලොකුවට‌ දේශපාලන වේදිකාවල කතා කළේ. එයින් මම ලබපු අත්දැකීම තමයි ලෝකෙම බොහෝ දේශපාලනඥයන් නළුනිළියන් තම දේශපාලන ව්‍යාපාරයට පාවිච්චි කරනවා. පස්සේ අමතක කරනවා. මේ රටේ එහෙම අමතක නොකර කලාකරුවන්ගේ දුක බලපු, ප්‍රශ්නවලදි ඉදිරියට ආපු දේශපාලනඥයන් දෙන්නෙක් ඉන්නවා මම මේ වෙලාවේ මතක් කරන්න කැමති. එක්කෙනෙක් රණසිංහ ප්‍රේමදාස මහත්තයා අනෙක් කෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒත් ඕන කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන් මම ඊළඟට කියන දේට. මේක මගේ මතය. මේ ලංකාවේ ගාමිණි අය්යාගේ (ෆොන්සේකා) ඉඳලා පාර්ලිමේන්තුවට ගිය නළු නිළියන් කිසි කෙනකුට එය ගැළපුණේ නැහැ. සමහර විට ඒ අයගේ කලාකාමී සිතුවිල්ල නිසාද දේශපාලනඥයන් හැටියට ලොකු සේවයක් කරන්න බැරි වුණේ.? මෑතකදි ඒ අතරින් දැක්ක ලොකුම ඛේදවාචකය තමයි රන්ජන් රාමනායක.

මේක කොහොම හරි ලියන්න. රන්ජන් හොඳම නළුවෙක් ලෙස නෙවෙයි, ජනප්‍රිය නළුවෙක් හැටියට සාරධර්ම, හොඳ දේවල්, ප්‍රශ්නවලින් මිනිසුන් බේරාගත් හැටිනේ එයාගේ චිත්‍රපටවල පෙන්නුවේ. ඒත් ඔහු චිත්‍රපටවල පෙන්නපුදේත්, දේශපාලනඥයකු ලෙස කතාකරපුදේත් නෙවෙයි හඬපටවල තිබුණේ. මේ හඬපට ඇත්තනම්, ඔහු මහා විශාල හානියක් මේ රටේ තමන්ගේ රසිකයන්ට, මිනිසුන්ට, නීතියට, මනුස්සකම්වලට කරල තිබෙනවා. මේවා කලාකරුවකුට කළ හැකි දේවල්ද? මේ තත්ත්වය නිසා මම කාලයක් අතහැර තිබූ දෙයක් වන දේශපාලනය, පක්ෂය හෝ පුද්ගලයකු වෙනුවෙන් නොකරනවා කියලා හිතපු දෙයක් කරන තත්ත්වයට පත්වෙලා. මම අවුරුදු පහළොවකින් ඡන්දෙ දීලා නෑ. මම කිසිම අපේක්ෂකයකු වෙනුවෙන් වචනයක් කතා කරලා නැහැ.

හැබැයි ප්‍රධාන පක්ෂ දෙක නොවන පක්ෂ දෙකකින් මගේ පින්තූර වගයක් උපයෝගී කරගෙන සමාජ මාධ්‍යවල පණිවිඩ යවලා තිබුණා අපේක්ෂකයන්ගේ අංකත් එක්ක. මම ඒ පක්ෂ නායකයන්ට කතාකරලා අප්‍රසාදය පළ කළාම කියනවා ඒ අය නෙවෙයි කළේ පාක්ෂිකයන් කියල. ඒත් ගෝඨාභය මහත්මයා කරන කියන දේවල්වල ධනාත්මක ලක්ෂණයක් මම දකිනවා. එය ප්‍රේමදාස මහත්තයාගෙත් මම දැක්කා. කෙළින් කතාකරන කෙළින් වැඩකරන ඍජු නායකත්වයක් මම දැක්කා. එයින් රටට වැඩක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මට සෑම පක්ෂයකම රසිකයන් ඉන්නවා. අපි බොරුවළවල්වල වැටුණා. ඒ නිසායි මම කා ගැනවත් නොකියා හිටියේ. ඒත් මම ඒ ප්‍රතිපත්තිය වෙනස් කළේ ඔහුගේ ප්‍රතිපත්ති දුටු නිසයි.

ඔහු ඔබට කතා කළොත්?

නෑ. කිසිම දවසක දේශපාලනේට නම් යන්නේ නැහැ. කවදාවත් රජයෙන් කිසි තාන්නමාන්නයක්, වැටුපක් ලබන්නේ නැහැ. හැබැයි මම රට වෙනුවෙන් වැඩ කරනවා. හමුදාවන් වෙනුවෙන් කළ සමහර දේවල්වලදි රජයෙන් නවාතැන් පහසුකම් ආදිය දුන්නා මිස මම සතපහක්වත් අරගෙනත් නැහැ. මට එහෙම සල්ලි ඕනෙ කෙනකුත් නෙවෙයි දැන්. මට තියෙන තරම හොඳටම ප්‍රමාණවත්. මම බදුගෙවන කෙනෙක් රජය‌ට. මම හිඟන්නෙක් නෙවෙයි. වංචා බොරු කර කර දේශපාලනඥයන් පිටුපස්සෙන් ගිහින් කරගන්න දෙයක් නැ මට. රජය අපට අරක කළේ නෑ මේක කළේ නැ කියන්න මම කැමති නැහැ. ලෝකෙ කොහේවත් එහෙම කරන්නේ නැහැ. අඩුම ගානේ සිනෙස්ටාර් එකෙන් මට එන රක්ෂණයවත් මම ගන්නේ නැහැ. මොකද මම ඒකට උදව් කළේ දෙවතාවක් විතරයි.

අපි හම්බකරන කාලේ අපි දැනගන්න ඕනෙ මුදල් කළමනාකරණය කරගන්න. මම අඳීන්නේ අඩු වියදම් කපු ඇඳුම්. මම ඒ මුදල් අධ්‍යාපනයට යෙදෙව්වා. අදටත් මම ඉගෙන ගන්නවා ශරීරයට යෝගාවල බලපෑම ගැන. මම නොවැම්බර්වල ට්‍රිනිටි කොලේජ් ගියා සංගීත සිද්ධාන්ත පළමු පන්තියේ විභාගයට. හැබැයි ඒවා මම කැමරා තියාගෙන චැනල්වලට කියන්නේ නැහැ. මම සංගීතය කරලා තිබුණට ස්වර ප්‍රස්තාර කියවන්න බැරි නිසයි එහෙම කරන්නේ. ඒකට එන චූටි පැටවු මගේ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. මගේ සියල්ල ගිනිබත් කළාට පස්සේ මට ඉතිරි වුණෙත් මගේ අධ්‍යාපනය විතරයි.

අක්කාගේ රජත මයුර සම්මානයට දැන් අවුරුදු 35ක්?

ඇත්තටම හොඳම නිළිය හැටියට ලංකාවට අන්තර්ජාතික සම්මානයක් ගේන්න පුළුවන් වීම ගැන සතුටුවෙනවා. එතකොට මට අවුරුදු 32යි. මගේ පොඩිකමට ලෝකෙන් ජයග්‍රහණයක් රට වෙනුවෙන් ගන්න පුළුවන් වීම ලොකූ සතුටක්. ඊටපස්සේ මට චෙන්නායිවලිනුත් කොහිනූර් රත්න සම්මානය ලැබුණා. මගේ චිත්‍රපට ඉන්දියාවේ පෙන්වද්දි සෙනඟ පිරි ඉතිරි යන්න වුණාම මට සතුටක් දැනුණා. ලංකාව ගැන කියද්දි ලෙස්ටර් මහත්තයාගෙන් පස්සේ අනෝජාගෙ රට කියද්දි, ජගත් කීර්තිධර නිළිය කියලා නමක් ලැබෙද්දි මේ රට මට ගොඩක් දේවල් දීලා තියෙනවා කියලා දැනුණා. මට මිනිස්සු ගරු කරද්දි මගේ ඔළුවට ලොකු බරක් දැනුණා. මම මොනරාගලින් ආවේ ඇඳුම් කෑලි දෙකක් මල්ලක දාගෙන. මගේ පොඩි කාලේ බොහෝ වැරදි මගේ අතින් සිදුවුණු, ව්‍යාකූල මනසක් තිබුණු, යන්නේ කොහෙද කියලා නොතේරී මංමුලාවුණු, හත්වරක් සියදිවි නහගන්න හදපු කෙනෙක්වයි මගෙන් මම දැක්කෙ. ඒ සම්මානය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යක්.

අරුණලා (ගුණරත්න අප කර්තෘ) වැනි අය මට කියන්න ගත්තා අනේ දැන් ඔයා ගස්වටේ නැටුවා ඇති හොඳ චිත්‍රපට කරන්න කියලා. ඒ එක්කම මට ලැම්ඩා යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඉගෙන ගන්න ලැබුණා. අද මම ස්වයං පෝෂිතයි. අද මට බොහෝ දේවල් ලැබිලා තිබෙනවා. ඒ නිසා සම්මානය ගැන මට විශාල ගෞරවයක් තිබෙනවා. බොහෝම සාමාන්‍ය පෙනුමක් තිබෙන ගැහැනියක්නේ මම. ඉතින් මම හිතන්නේ ලස්සන, හැකියාව, ජනප්‍රියත්වය ඔය මොනවා තිබුණත් සම්මාන ලබන්න නම් පෙර කුසලයකුත් තියෙන්න ඕනෙ.

2020 අලුත් දශකයක් වෙයිද?

මම වැටුණු බොහෝ අවස්ථාවල නැඟිටින්න හේතුවක් වුණා මගේ දරුවා. මිනිස්සු ලෝකයෙන් ඉල්ලනවා ලෝකයට දෙන්න බැරි දේවල්. ඒවා නොලැබුණාම අපි කඩා වැටෙනවා. උදාහරණයකට මාව ගත්තොත් මම ආදරේ ඉල්ලුවෙ එළියෙන්. සල්ලි ඉල්ලුවේ, ජනප්‍රියත්වය, සම්මාන ඉල්ලුවේ එළියෙන්. ඒ ඉල්ලන තාක්කල් මම සන්තෘප්ත වුණෙත් නැහැ. මොකද ඒ ඉල්ලන තරමක් දෙන්න ලෝකෙට බැහැනේ. ඉතින් මට මාවම පෙන්නන්න බැරුව යනවා. එහෙම ඉන්න තාක්කල් අපට ඉදිරියට යන්න බෑ. හැබැයි යම් මොහොතක අපි තමන් තුළ තමන්ට තිබෙන ආදරය, ආනන්දය, ශක්තිය, සැනසීම ස්පර්ශ කළ සැණින් අප කරා ජයග්‍රහණය හඹාගෙන එනවා. ඒකට අපි නැවතිලා තමන්දිහා බලන්න ඕනෙ. මම නතර වෙලා බලන්න ගත්තෙ කලකිරීමක් නිසා නෙවෙයි. අවබෝධය නිසා.

හැබැයි මම සුදට ඇඳගෙන පාරෙ ගියාම මාව බදාගෙන අඬනවා ඔයාට කැන්සර්ද කියලා. මම සැනසීමක් හොයන්න කියලා මම කළ දේවල් මටම පාරාවළල්ලක් වෙලා ආවා. මඟුල් ගෙවල්වල ගියාම මනමාලිට වඩා මා ගැන කතාකරනවා. මේ මොන වදයක්ද කියලා මම ඒ ගමන්බිමන් නැවැත්තුවා. එහෙම වුණාම තවත් ප්‍රශ්න වැඩිවුණා. මම හිතුවා, නෑ හුදී ජන පහන් සංවේගය උදෙසා මම මේ දේවලට මුහුණ දෙනවා. සිනමා නිළිය කියන දෙයින් මට මේ භවයේ අත්මිදෙන්න බැහැ. වනගත වුණත් මාව කට්ටිය හොයාගෙන එනවා. ඒ නිසා මම මගේ අභ්‍යන්තර පුහුණුව මටම තියාගෙන පිටතින් එය නොපෙන්වා ඉන්නවා කියලා. ආයෙත් පාට අඳීන්න ගත්තා. කොණ්ඩෙ ටිකක් වැව්වා. දැන් ඒක දිහාත් අමුතුවෙන් බලනවා. මම වෙනුවෙන් අනෙක් අය දුක් විඳීනවා බලන්න බැරි නිසා 2020 ලොකු වෙනස්කම් එක්ක වෙනම අනෝජා කෙනෙක් දකින්න පුළුවන් වෙයි.

 

 

 

 

Add new comment