තිසා වැව ළඟ රළපනාවේ බලා හිඳීනෙමි හුදකලාවේ

ක්‍රිශාන්ත එරන්දක
ජනවාරි 23, 2020

ඓතිහාසික අනුරාධපුරයේ අසිරියෙන් ඔහු ජීවිතය කියවා ගත්තේය. වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය නෙත්පුරා විඳීමින් දකිමින් ඒ ඇසුරේ වැඩෙමින් ජීවිතය සොයා ගිය ඔහු වත්මනෙහි මෙරට ගායක පරපුරේ සුභාවිත ගීත වෙනුවෙන් සිය දායකත්වය සපුරා පිරිනමන නිවී සැනසුන කටහඩක හිමිකාරිත්වය දරන්නෙකි.ඔහු ක්‍රිශාන්ත එරන්දකය.

මීට දශක දෙකකට එහා අතීතයේදී ඔහු ආධුනික ගායකයෙකු ලෙසින් මෙරට සංගීත ලෝකයට පිවිසෙන්නට වරම් ලද අයුරු අපට තවමත් මතකය.කලා ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට සමාජ දේශපාලන ආර්ථික ක්ෂේත්‍රයන් වෙත බොහෝ උගතුන් ඇතුළු පුද්ගල පෞරුෂයන් තිලිණ කළ රජරටින් ඔහුගේ ගමනද ආරම්භ විණ.වසර 23 ට ආසන්න කලා දිවිය තුළ මෙරට සංගීත ක්ෂේත්‍රයට අති සුන්දර කලා නිර්මාණ තිලිණ කළ ඔහු පෙරදා සේම අදත් නිහඩව සිය කලා ජීවිතය තුළ නිර්මාණකරණයේ නිරත වෙයි. සිය දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වත්මනෙහි අගනුවරට ආසන්නව පදිංචිවී සිටින ඔහු සමඟ පිළිසඳරකට අපි අවස්ථාව සලසා ගත්තෙමු.

කලෙකින් මුණගැසුණ අපේ හිතවතා සමඟ කලා දිවියේ අලුත් තොරතුරු අපි කතා තළෙමු.ඔහු ක්ෂේත්‍රයට පැමිණි දා සිටම අති ධාවනකාරී කලබලකාරී ගමනකින් යුක්ත වූ චරිතයක් නොවූ බැවින් අදද ඔහු තුළ පවතිනුයේ තමන් පැමිණි සුපුරුදු ගමන් මගේ නිරත වන නිස්කලංක ගමනකි. මේ දිනවල ඔහු සංගීතය , ගායනය හා සාහිත්‍යය එක්ව යන නව ආරක වැඩසටහනක් සමඟ කල් ගෙවයි.

‘‘ මේ දිනවල මම අලුත් ආකාරයේ වැඩසටහනකට සම්බන්ධ වී සිටිනවා. මේක ප්‍රසංගයක ආකාරයෙන් ඉදිරිපත් වෙන වැඩක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයි මමයි දෙන්න එකතුවෙලා කරන්නේ. මේවන විට ප්‍රසංග දෙකක් විතර අපි කරලා තියෙනවා. අපේ සමාජයේ දැන් අලුත් ප්‍රවණතාවයක් තියෙනවා විවිධ වෘත්තිකයන්ගේ එකමුතු සංවිධාන නිර්මාණය වීම. ඔවුන් මේ සංවිධාන මඟින් විවිධ නගරවල විවිධ ආයතන වල මේ වගේ ප්‍රසංග සංවිධානය කරනවා.අපේ ප්‍රසංගයත් එවැනි එකක්. එක පැත්තකින් ඒක රසවින්දනාත්මක වැඩ සටහනකුත් වෙනවා.මුලින්ම අපි මේ ප්‍රසංගය ආරම්භ කළේ අම්බලන්ගොඩ ප්‍රෙද්ශයෙන්.මේ ප්‍රසංගයට ගීත 15 ක් විතර අන්තර්ගත වෙනවා.මේ දවස්වල අපේ ඊළඟ ප්‍රසංගය අනුරාධපුරේ පවත්වන්න සාකච්ඡා කරමින් යනවා.මම මගේ ගීත 10ක් විතර එහිදී ගායනා කරනවා. ඊට අමතරව තව තෝරා ගත්තු වෙනත් ගීත 5-6 කුත් ගායනා කරනවා.අතරමැද පූර්විකා ආදියත් තිබෙනවා. කොහොම හරි මේක පැය තුනහමාරක ප්‍රසංගයක්. උදාහරණයක් ගත්තොත් මම ගායනා කරන ‘ මගේ ආදර‘‘ ගීතයට මස් ඉඹුල මේ ගීතය විස්තර කරන්නේ පුංචි කවි දෙකකින්.අන්න ඒ වගේ වෙනස් වැඩක්.ඊට අමතරව මම පසුගිය කාලයේ අලුත් ගීත ගණනාවක් ගායනා කරලා තියෙනවා.කාලෙක ඉඳන් මගේ බලාපොරොත්තුවක් තිබුණා ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න. 2020 දී වත් ඒක කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.‘‘

කාලෙකට ඉස්සර නම් මේ රටේ සුප්‍රසිද්ධ ගායක ගායක ගායිකාවන්ගෙන් ගීත එකතු නිකුත් කරනතුරු අපි බලා සිටියෙමු. එහෙත් වර්තමාන සමාජය තුළ ගීත එකතු , සංයුක්ත තැටි, කැසට් පට ආදිය යල් පැනගිය ඒවා බවට පත් වී හමාරය. වර්තමානයේ බොහෝ විට අප නව නිර්මාණ ගී රස විඳීන්නේ යූ ටියුබය හරහාය. එසේත් නොමැති නම් සමාජ මාධ්‍ය ජාලය හරහාය.කාලයේ තාලයට ගැලපෙන්නට ක්‍රිශාන්තලාටද සිදු වී හමාරය. පවතින වාතාවරණය තුළ තම නිර්මාණ සමාජගත කිරීමේ වගකීම ක්‍රිශාන්ත හොඳීන් හඳුනා ගත්තෙකි. ඒ නිසාම ඔහුගේ ගීත රැසක් මේ වනවිටත් යූ ටියුබය හරහා සහ සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත වී ඇත්තේය.

තිසා වැව ළඟ රළපනාවේ

බලා හිඳීනෙමි හුදකලාවේ

උනා සළු පිළි සඳකුමාරිය

වැව් දියේ ගිලෙනා වෙලාවේ

මෑත භාගයේ එසේ අතිශයින්ම ජනප්‍රිය වූ මේ ගීතය නයනසේන වන්නිනායක විසින් රචනා කරන ලද්දක් වන අතර නාලක අංජන කුමාර විසින් සංගීත වත් කරන ලද්දකි.

‘‘ මේ ගීතය මම කලේ නාලක අංජන කුමාර නිසා. ඔහු තමයි මට මේ යෝජනාව ගෙන එන්නේ. හැබැයි පස්සේ මේ ගීතයට රූප රචනයකත් කළා.නමුත් ගීතය ජනප්‍රිය වුණේ රූපවාහිනිය හරහා නොවෙයි සමාජ මාධ්‍ය හරහායි. මම නිරතුරුවම අලුත් ගීත කරනවා. අලුත් අයගේ නිර්මාණ මම හිතා මතාම කරනවා. මුදල් ගැන බලන්නේ නැතුව. ගොඩක් දෙනෙක් සින්දුවක් කියන්න කිව්වම ලොකු මුදලක් ඉල්ලනවනේ. නමුත් රචකයාට සමහර විට ඒ මුදල හොයාගන්න බැරි වෙන්න පුළුවන්.සමහර විට ඔහු ඒකෙන්ම සින්දු ලියවිල්ලත් නවතතලා දාන්න පුළුවන්. ඒ නිසා මම ආර්ථික වාසිය පමණක්ම හිතන්නේ නැතුව හොඳ ගීත රචකයෙකුට උත්තේජනයකටත් එක්ක ගීත කරන අවස්ථා තිබෙනවා.දර්ශන වික්‍රමතුංග අපේ සංගීතවේදියා එක්ක විතරක් මම මේ වනවිට ගීත 23 ක් කරලා තියෙනවා.ඒ බොහොමයක් ආධුනික ශිල්පීන් ගේ ගීත.මෑතකදි මම කළා පල්ලේගම හේමරතන හිමියන්ගේ ගීතයක්.

ක්‍රිශාන්ත ගායකයෙකු ලෙස ජීවිතය අරඹන්නේ බොහෝ ප්‍රවීණයන්ට ක්ෂේත්‍රයට පිවිසෙන්නට අත හිත දුන් රජරට සේවය ඔස්සේය. ඔහුට අවුරුදු 7-8 වෙනකොට ඔහු රජරට සේවයේ ළමා ගායකයෙකි. අදටත් රජරට සේවයේ ඔහු නමින් ළමා ගීත 20- 25 ක් ඇත්තේය. එහෙත් අධ්‍යාපන කටයුතු ජීව විද්‍යා අංශයෙන් ඇරඹීමත් සමඟ ටික කලකට ඔහු සිය ගායන දිවියට තිත තැබුවේය.

‘‘ ඇත්තටම මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ ගායකයෙකු වන්නට. රජරට සේවය නොතිබෙන්නට අද ක්‍රිශාන්ත එරන්දක කියලා ගායකයෙක් කොහොමටවත් බිහි නොවන්නට තිබුණා.ඒ කාලේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරලා ගුණදාස කපුගේලා කරපු දේවල් වල අතුරු පල තමයි අපි. රජරට සේවය විශාල සංගීතඥයන් පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ වගේම ගීත රචකයෝ පිරිසක් බිහිකරලා තියෙනවා. අනිත් පැත්තෙන් විශාල ගායක ගායිකා කණ්ඩායමක් බිහි කරලා තියෙනවා. ඊට අමතරව නිවේදක නිවේදිකාවෝ පරම්පරාවකුත් හදලා තියෙනවා.ගායකයෙක් විදියට කපුගේ මහත්තයා එක තැන නැවතිලා හිටියේ නෑ.ගොඩාක් දේවල් කළා.මගේ ජීවිතෙත් මම ගායකයෙක් වෙන්නේ අහම්බෙන්. අධ්‍යාපන කටයුතු නිසා නවතා දමා තිබුණ මගේ සංගීත දිවිය නැවත ආරම්භ කරන්නේ 1996 දී මම පවත්වපු ‘‘කුරවි සර‘‘ කියන සංගීත ප්‍රසංගයත් සමඟ.කරුණාරත්න විජේවර්ධන තමයි මේ ප්‍රසංගයේ වැඩිබර දැරුවේ.ප්‍රසංගයට ගීත 20 ක් මම ගායනා කලා. ඉන් ගීත 10 කම අපේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ඉතිරි 10 මම මගේම ගී ගැයුවා. ඒ අවස්ථාවේ මට ඕන වුණා යුග ගීයක් ගයන්න. ඒ සඳහා මම ආරාධනා කලේ මාලිනී බුලත්සිංහල මිස්ට.

මගේ ආදර පවසට ඔබ

නියං කලට හඩන අහස

මගේ ආදර වරුසාවට

යටිකුරු කළයකි ඔබ

ආධුනික ගායන ශිල්පියෙකුට එදා විශාරද මාලිනී බුලත්සිංහල දුන් අතහිත කෙතරම්ද කිවහොත් අනුරාධපුරයේ පැවති මේ ප්‍රසංගයට ඇය සහභාගී වි ක්‍රිශාන්ත සමඟ මේ ගීතය ගායනා කළාය. ක්‍රිශාන්තගේ සංගීත දිවිය ජාතික තලය දක්වා ඔසවා තබනුයේ මේ ගීතයයි.පසුව මේ ගීතය ජාතික රූපවාහිනියේ ‘‘පැහැසර‘‘ වැඩසටහනට මාලිනී බුලත්සිංහල සමඟ ඔහු ගායනා කළේය. එතැන් සිට නිතර ජාතික රූපවාහිනියේ විකාශය වූ මේ ගීතය නිසා ක්‍රිශාන්ත එරන්දක නම් මේ ගායකයා කෙරෙහි ජන අවධානය මෙන්ම ගායකයෙකු ලෙස ඉදිරියට යන්නට මඟ විවර වුයේය.

‘‘ ප්‍රංචි කාලේ ඉඳන් මට මේ ක්ෂේත්‍රය පිළිබඳ ඇල්මක් ඇකි වෙන්නට හේතුවක් වෙන්න ඇත්තේ මගේ අම්මයි තාත්තයි . මගේ අම්මට හොඳට පියානෝ ගහන්න පුළුවන්. තාත්තට හොඳට සින්දු කියන්න පුළුවන් . හොඳට රස විඳීන්න දන්නවා. අවුරුදු 7 දී මම රජරට සේවයේ කටහඬ පරීක්ෂණයට යොමු කරන්නේ මගේ අම්මා. මගේ පවුලේ මට නංගිලා දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නටමත් ගායන හැකියාව තියෙනවා. නමුත් මේ පැත්තට යොමුවුණේ මම විතරයි. මට මතකයි 1980 ගණන් වල අපේ ගෙදර පුංචි කැසට් එකක් තිබුණා. අපේ තාත්තා අමරදේව මාස්ටර්ගේ , සුනිල් එදිරිසිංහගේ සෝමතිලක ජයමහගේ ටී. එම් ජයරත්නගේ වැනි ගායකයන්ගේ ගීත අහනවා. අපිත් ඉතින් පුරුදු වුණේ ඒ ගීත අහන්න තමයි.ගීත ගැන මට ලොකු දෙයක් තේරුණෙ නැති වුණාට ඒ ගීතවල අමුතු රසයක් හා සංවර කමක් තියෙනවා තියලා මට හිතුණා. ඒ වෙනකොට මම ළමා ගීත කියන්න පෙළඹිලා ඉවරයි. ගීත හදන විදිය , වචන වලට දෙන අර්ථය ආදිය පිළිබඳ මට ඒ වනවිටත් ලොකු හැඟීමක් තිබුණා. මම එතකොට තීරණය කළා මේක තමයි මට හරියන විදිය කියලා.

ක්‍රිශාන්තලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මේ ක්ෂේත්‍රෙය් අති දැවැන්තයන්ගේ සෙවණ හා ආභාෂය ලබමින්ය. ඒ නිසාම ඔවුන්ට නිර්මාණකරණයේදී සුභාවිත කලාව දෙසට පියමං කරන්නට මාවතක් හා ඊට සරිලන සිතුවිලි දාමයන්ගෙන්ද ඔවුන් පෝෂණය වී තිබිණ.

‘‘ අපට රජරට සේවයේ ගුණදාස කපුගේ ලාගෙන් ලැබුණු ආභාෂය තමයි හොඳ නිර්මාණ කරන්නට පාර පෙන්නුවේ.නමුත් අද වන විට සංගීතය විවිධ පැතිකඩ ඔස්සේ විශාල දියුණුවක් ලබල තියෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක අපි බලන් හිටිය පහුගිය අවුරුදු 10 ඇතුළත තමයි ඉක්මනට සිද්ධ වුණේ. ඒක ඇතුළේ හැමෝම සින්දු කියන්න ගත්තා. එක එක ඉල්ලීම් උඩ එක එක සොෆ්ට් වෙයා හැදිලා ආවා. මම ඉස්සරවෙලාම කොළඹ ඇවිත් ‘මගේ ආදර ‘ගීතය පටිගත කලේ සංගීතය පටිගත කරලා ඉවර වුණාට පස්සේ.මම වොයිස් කලාටත් පස්සේ තමයි මාලිනී මිස් වොයිස් කළේ. නමුත් අපිට රජරට සේවයේ ඉන්න කාලේ ලැබුණේ ඔයිට වෙනස් අත්දැකීමක් .උදේට ළමයි ඔක්කොටම එන්න කියනවා. අලුත් සින්දු තෝරලා දෙනවා. ඒ සින්දු තෝරන්නෙත් සින්දු බැංකුවකින්. අපිට සින්දුව තෝරලා දුන්නට පස්සෙ අපි සින්දුව කියවලා හොඳට තේරුම් ගන්නවා. කපුගේ මහත්තයා ඇතුළු පිරිස සර්පිනාව අරගෙන මෙලඩි එක හදනවා. ඒ වචනවලට මෙලඩි හදලා අර්ථ දෙන හැටි අපි බලාගෙන ඉන්නවා.දවස පුරාම ප්‍රැක්ටිස් කරලා හැන්දෑවේ ප්ලේයර්ස්ලා 15 ක් විතර ප්ලේ කරත්දි අපි ලයිව් ගීතය ගායනා කරන්න ඕන.අපි පොඩි කාලේ ඉඳන්ම ඒකට පුරුදු වුණා. ඒ අත්දැකීම වෙන කොහෙන්වත් ගන්න බෑ.මට මතකයි ඒ කාලේ මට සමහර වචන කියැවෙන්නේ නෑ.එහෙම අවස්ථාවලදි එකම ගීතය 17 වතාවක් රෙකෝඩින් කළ අවස්ථා තිබුණා.සමහර දවස්වලට රෙකෝඩින් එක හතට පටන් ගත්තම රෑ දෙක ත්න වෙනකම් යනවා. අද තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක්. සින්දුවෙන් කෑල්ල කෑල්ල. වචනෙන් වචනේ, අකුරෙන් අකුර වුණත් අද රෙකෝඩින් කරන්න පුළුවන්.තාක්ෂණය එච්චරටම දියුණු වෙලා. අර විහිළුවට කියනවා වගේ කතා කරන්න පුළුවන් නම් සින්දුවක් කියන තත්වයට ඇවිල්ලා.මම ඒකට දොස් කියනවා නොවෙයි.නමුත් කඩඉම් පහුකරන කොට කොහේදි හරි ඒවා අහු වෙනවා.ඒ අතින් බලනකොට මම රජරට සේවයට ණය ගැතියි. මගේ තක්සලාව වුණේ රජරට සේවය.

ක්‍රිශාන්ත හැමදාමත් සරල ජීවිතයක ආශ්වාදය විඳීන්නට කැමැති අයෙකි.ඔහුට කෙදිනකවත් ලොකු ලොකු හීන පස්සේ පන්නන ජීවිතයක් නොවූයේය. වෙනත් විදියකින් වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමේ උනන්දුව අපේක්ෂාව ඔහු තුළ තිබුණද දෛවය ඔහු රැගෙන ගියේ ගායන වෘත්තිය වෙතය.

“ ඇත්තටම මට ඉස්ඉස්සරලාම ගීත එකතුවක් කර ගන්න ආර්ථික හයියක් තිබුණේ නෑ. මම කොළඹට ආවට පස්සේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ මැදිහත් වෙලා මට රුකියාවක් හොයලා දුන්නා. ඒක වත්තල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් . ඒ ආයතනයේ හිමිකරු තමයි මගේ පළමු කැසට් පටය එළි දක්වා ගන්න මට මුදල් වියදම් කලේ. පස්සේ පස්සෙ ප්‍රසංග වේදිකාවට මට ඇරියුම් ලැබෙන කොට ඒකත් එක්ක රැකියාව හරියට කරන්න අපහසු වුණා. ඒ නිසා මට රැකියාවට සමු දෙන්න සිද්ධ වුණා. ඊට 

පස්සේ තමයි දිගටම මම ගායනය වෘත්තීය බවට පත් කර ගත්තේ. අදටත් මම ජීවත් වෙන්නේ මේ රැකියාවෙන්. මම අතිශයින්ම කාර්ය බහුලත් නෑ. හැමදාම තියෙන ප්‍රසංග ටික තියෙනවා. පහසුවෙන් ජීවත් වෙන්න ඒ ඇති. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 23 ක් ගතවුණත් මම වැඩිය ගීත ගයල නෑ. ඔක්කොම සින්දු ඕනනම් මම 200 ක් ගයලා ඇති.

පංච කල්‍යාණියේ -සෞම්‍ය මේ රාත්‍රියේ

නින්ද අඩ නින්ද පැටලී වෙලී

මන්ද නෙතු මතම නොනිදා රැදී

ක්‍රිශාන්ත ගේ මේ ගීත අතරේ අපේ හිතට දැනුණු තව බොහෝ ගීත ඇත්තේය.. ‘ඉක්මන් නොවුණානම අපී, මන්දාරම් අඳුර මැදින් , වී පැදුරෙන් ඉගිලී යන,මේ නිහඬ බව බිඳීන්න, අව්වේ මුතු ඇට වපුරා ඇතුළු ගී රාශියක් මතක පොත මැද සැරි සරන්නේය. ගී ලොව කෝකිලයෙකු සේම සිය පවුල් දිවියේ ආදරබර සැමියෙකුව දයාබර පියෙකුව ඔහු ගෙවන ජීවිතය අරුත්බරය. ක්‍රිශාන්තගේ දයාබර බිරිය ඉනෝකා විජේසුන්දරය. වැඩිමල් දියණිය කවීෂා ගී වින්දි එරන්දකය. බාල දියණිය කවිත්මා ගීමාලි එරන්දකය. මේ දෙදෙනාම දැනට සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.පියාගේ අඩිපාරේ යමින් දියණියන් දෙදෙනාද සංගීතයට දක්ෂතා දක්වති. වැඩිමල් දියණිය ආනන්ද දාබරේ ගුරුතුමා ලගින් බටහිර වයලින් වාදනය හදාරන්නීය. දෙදෙනාම විශාරද නන්දා මාලිනිය ගේ සංගීත ආශ්‍රමයෙන් සංගීතය හදාරමින් සිටින්නීය.

සාමකාමී පවුල් දිවියක අසිරිය විඳීමින් කලා ලෝකයට සිය මෙහෙවර ඉටුකරන රජරට පුත්‍රෙයකු වන ඔහුගේ සිහිනය ජීවිතයේ සැදෑ සමය ,තම දිවිය වර්ණවත් කල සොඳුරු රජරටම ගෙවා දමන්නටය.

 

 

නිශ්ශංක විජේරත්න

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.