ශ්‍රියාගේ විරාමය නිමයි

ජනවාරි 30, 2020

එක් දහස් නවසිය හැට පහේදී පමණ ආරම්භ කළ ඇගේ රංගන චාරිකාවට දැන් අවුරුදු පනස් පහක් සපිරිලා. සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකාව යන මාධ්‍ය ඔස්සේ ඇය විවිධ චරිත රංගනයෙන් ඔබට සමීප වුණා. ඇගේ නම ශ්‍රියා කොඩිතුවක්කු. හදිසි අනතුරක් හේතුවෙන් ටික කාලෙකට රංගනයෙන් ඈත්ව සිටි ඇය යළිත් සිය රංගන චාරිකාව ඇරැඹීමට සූදානමිනි.

ශ්‍රියා, ඔබට සිදු වූ අනතුර ගැන කතා කළොත්?

මාව බස් එකකින් වැටුණනෙ. දත් කිහිපයකට හානි වුණා. මේ නිසා හරියටම අවුරුද්දක් රඟපෑවේ නැහැ. දැන් ටිකක් හරි. ආයේ රඟපාන්න ඕන. මෙහෙම ඉන්න බැහැනෙ.

මුල් කාලෙ ඔබ රඟපෑවේ චිත්‍රපටවල?

ඔව්. සමහර ඒවා මතකත් නැහැ. හැට පහේ ඉඳන් රඟපානවනෙ. කාලෙන් කාලෙට රංගනයෙන් ඉවත් වුණා. දන්නැද්ද ඉතින් පවුලෙ ගැටලුනෙ. ආවා සොයා ආදරේ, ඔන්න මාමෙ කෙල්ල පැනපි, හඳයා වගේ චිත්‍රපටවල රඟපෑවා. එක දිගටම චිත්‍රපට. ඊට පස්සේ වසර කිහිපයක් ඒවායිනුත් අයින් වුණා. අනූ තුන අවුරුද්දේ විතර ආයේ රඟපාන්න ආවේ වේදිකා නාට්‍යයකින්.

රඟපෑව ටෙලි නාට්‍ය මතක් කළොත්?

නිලංජනා, කීටයා, කෝපි කඩේ, මුතු කිරිල්ලි, චක්‍රාංගි, අම්මාවරුණේ, යාළුයි අපි යාළුයි, මකර දඩයම, ඉන්ගම්මාරුව, සිහින කුමාරියක්, ස්වංජත තව ගොඩක් තියෙනවා. ඔය නාට්‍යවලින් ස්වයංජාත එකේ මා කරපු වින්නඹු අම්මගෙ චරිතය මිනිස්සු අතරට ගියා. ඒකේ පිරිමි ළමයව හම්බුණාම අහනවනෙ සරමක් ද කම්බායක් ද කියලා. එහෙමනෙ ඉස්සර ගැහැනු ළමයෙක් ද පිරිමි ළමයෙක් ද කියලා කිව්වෙ. මම සරමක් සරමක් කියාගෙන කෑ ගහගෙන එන දර්ශනය නිසා ඒ කාලෙ මාව ජනප්‍රිය වුණා.

ශ්‍රියා වෙන රස්සාවක් කළේ නැහැ?

නැහැනෙ. කරපු එකම දේ රඟපැම විතරයි. මගේ ළමයි මට හොඳට සලකනවා. එහෙමයි කියලා එයාලගෙන් සල්ලි ඉල්ලන්න බැහැනේ. මගේ අතේ මිටේ වියදමට සල්ලි හෙව්වෙ රඟපාලා විතරයි.

රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

මගේ වයසට ගොඩක් ලැබෙන්නේ මෙහෙකාරි වගේ චරිත. මාත් ආසයි ඒ වගේ චරිත රඟපාන්න. වයසෙ හැටියට එපායැ රඟපාන්න.

රංගන ජීිවිතයේ අමතකම නොවන අත්දැකීම ගැන ඇහැව්වොත්?

අපේ මහා නළු ගාමිණී ෆොන්සේකා එක්ක ර ඟපාන්න ලැබුණා. ඒ අවස්ථාව කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ප්‍රසාද් 
නිශ්ශංක

Add new comment