සිනමා පුවත්පත් කලාවේ ලොකු තාත්තා

ආතර් යූ. අමරසේන
ජනවාරි 30, 2020

අද ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම සිනමා පුවත්පත් හා සඟරා කතුවරයා ආතර් යූ. අමරසේන මහතාය. කර්තෘවරයකු මෙන්ම පිටු සැලසුම් ශිල්පියකු, චිත්‍ර ශිල්පියකු ලෙස ද, චිත්‍ර කතා චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට කතා හා තිර නාටක රචකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ හෙතෙම අද සිනමා පුවත්පත් කලාවේ නියැළී ප්‍රකට ලේඛකයන්, පුවත්පත් කතුවරයන් කිහිප දෙනෙකුගේ ගුරුවරයාය. තම පුුතු සම්පත්ට මෙන්ම සම මෙත් කරුණාවෙන් ඔවුන්ගේ මුල්ම ලිපිය ‘විසිතුර’ පුවත්පතින් පළ කර දෙමින් කිසිම හැඳිනීමක් නැතිව අතහිත දී ඔවුන් ඉහළට නගින විට සිනා සිසී සතුටු වූ දුර්ලභ ගණයේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකි ඔහු. අංගොඩ, අග්ගෝන රුවන්පුර පදිංචිව සිටින ඔහු ප්‍රවීණ සම්මානනීය රංගවේදිනී ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂිකා ශ්‍රියාණි අමරසේනගේ දයාබර සැමියාය.

‘චිත්‍රවාහිනී’, ‘විසිතුර’, ‘සුරතුර’, ‘සිත්සර’ ‘පියකරු’, ‘මැද පෙරදිග‘, ‘ලියතඹරා’ ආදී සිනමා පුවත්පත්වල ප්‍රධාන සංස්කාරකවරයා වූ අමරසේන මහතා ‘සිංහල සිනමා වංශය’, ‘60 වසරක සිංහල සිනමා ප්‍රකාශන’, ‘සිංහලයේ මහා සිනමා වංශය’ කෘතිවල කතුවරයාය. තම ජීවිතයෙන් වැඩි කොටසක් සිනමාවට කැප කළ අමරසේන මහතා තවමත් පුවත්පත්වලට ලිපි සම්පාදනය කරයි. ඔහු සමඟ මේ සංවාදය කරන්නේ 2020 ජනවාරි 21 වෙනිදාට සිංහල කථානාද චිත්‍රපටයට වසර 73 ක් සපිරීම නිමිත්තෙනි. 

ඔබ උපන් ගම කොහේද?

පානදුරේ වැල්ලබඩ මම උපන් ගම. ඒත් මම හැදිල වැඩුණේ කටුගස්තොට හමන්ගොඩ කියන ගමේ. අපේ තාත්තගේ ගම කටුගස්තොට. තාත්තගේ නම උස්මියගේ චාල්ස් පෙරේරා. වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. අම්මාගේ නම ප්‍රීති ෆ්‍රැන්සි ද සිල්වා. මම පවුලේ වැඩිමලා. මගේ සම්පූර්ණ නම ආතර් උස්මියගේ අමරසේන පෙරේරා. උපන්නේ 1938 මාර්තු 03 වෙනිදා. මට බාල සොහොයුරෝ තුන් දෙනෙක් හිටියා. විජේසේන, පියසේන හා මර්වින් අතරින් එක් සහෝදරයෙක් මිය ගියා.

ඔබ ඉගෙන ගත් පාසල?

කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට මම මුලින්ම ගියේ. ඒ කාලේ මම චිත්‍ර කතා අඳිනවා. චිත්‍රවලට තමයි වැඩි කැමැත්ත තිබුණේ. පුංචි කාලේ ඉඳලම පත්තර බලන්න ආසයි. පුංචි කතා ලියලා සිළුමිණ කමලා සමාජයට යැව්වා. කටුගස්තොට ආතර් යූ. අමරසේන කියලා. ඒවා පළ වුණාම හිතට හරි සතුටුයි. ‘සිළුමිණ’ පත්තර දෙකක් ගන්නවා. එකක් ගෙදර අයට අනික පන්තියට. ළමයි මගේ ටිකිරි කතා පළ වූ පිටුව ගුරුවරුන්ට පෙන්වනවා. ‘ආතර් කවදා හරි පත්තර කර්තෘ කෙනෙක් වේවි’ සිංහල ගුරුවරයා අනාවැකියක් කිව්වා. ඒ කාලයේ මගේ පන්තියේ හිටපු රන්කොත්ගේ කියන මිත්‍රයා මාව උනන්දු කළා. ‘අමරේ, අපේ ඉස්කොලේ ඉහළ පන්තියේ ඉන්න නිශ්ශංකයි ඔයයි තමයි කවද හරි පත්‍ර ලෝකයේ බැබළෙන්නේ’ රන්කොත්ගේ කිව්වා. කටුගස්තොට ශ්‍රී රාහුලයෙන් බිහිවුණු ලේඛකයෙක්, පත්‍ර කලාවේදියෙක් පසුව කථිකාචාර්යවරයෙක්ව සිටි ආචාර්ය එච්. එස්. එස්. නිශ්ශංක පාසල් යන කාලේ සිළුමිණට ලියපු මනෝ විද්‍යාව හා පුනරුත්පත්තිය ගැන ලියූ ලිපි මම ආසාවෙන් කියෙව්වා. පසුව ඔහු මගෙත් ගුරුවරයකු වුණා. මගේ අනාගත ප්‍රාර්ථනය වුණේ පුවත්පත් කතුවරයකු වීමයි.

සිනමාව ගැන ආදරයක් ඇති වුණේ කොහොමද?

මම යාළුවොත් එක්ක අසීමිතව චිත්‍රපට බැලුවා. මහනුවර වෙම්බ්ලි, වේල්ස්, ඕඩියන් සිනමාහල්වල තිරගත වූ හින්දි ඉංග්‍රීසි, සිංහල චිත්‍රපට බැලුවා. සුජාතා, කැලෑහඳ චිත්‍රපට අට පාරක් විතර බලලා ඇති. යාළුවොත් එක්ක චිත්‍රපට බැලුවේ රාත්‍රී 9.30 දර්ශනය ගැලරියේ ඉඳගෙන. සිගරට්, බීඩි ගඳ අකමැත්නේ උහුලගෙන ඒ කාලේ දුෂ්කර ක්‍රියා කරලයි චිත්‍රපට බැලුවේ. ඒ කාලේ දිනමිණ, සිළුමිණ පත්‍රවල සිනමා තොරතුරු පළ වෙනවා. ඒවායේ වැඩිපුරම තිබුණේ හින්දි චිත්‍රපට තොරතුරු හා ඡායාරූප. මේවා මම එකතු කළා. ස්ක්‍රීන්, ෆිල්ම් ෆෙයාර් වගේ ඉංග්‍රීසි සඟරා එකතු කළා. ඒවා ඇසුරෙන් සිනමා ලිපි ලිව්වා. මේවා දැකලා දවසක් තාත්තා කේන්තියෙන් මෙහෙම කිව්වා.

‘බයිස්කෝප් ගැන බහු බූත ලිය ලියා, පරණ පත්තර කෑලි එකතු කර කර ගෙදර සත්තු බෝ නොකර වැඩකට ඇති වැඩක් කරපං’

තාත්තා හිතුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරලා මාව ‘ස්ටේෂන් මාස්ටර්’ කෙනෙක් කරන්න.

ඔබ සිනමා පුවත්පත් කලාවට යොමු වුණේ කෙසේද?

ඒ කාලයේ සෝමපාල රණවීර ලංකා චලන චිත්‍ර කියලා දෙසතියකට වරක් පළ වන චිත්‍රපට සඟරාවක් කළා. මම මේ සඟරාවට සිනමා ලිපි, චිත්‍ර කතා තැපැල් කරලා යවනවා. කිසිම හැඳින්වීමක් නැතිව ඒවා පළ කර තිබුණා. දවසක් ඔහු මට ලිපියක් එවා තිබුණා සඟරාවට උදව් කරන්න එන්න පුළුවන් ද කියලා. මගේ සිහිනයක මල් පිපුණා. ‘ලංකා චලන චිත්‍ර’ සඟරාවේ හිටියේ කර්තෘ රණවීර විතරයි. මම ඔහුගේ සහයකයා. ඒ සඟරාවේ ලිපි ලිව්වා. ලිපි සංස්කරණය කළා. චිත්‍ර ඇන්දා. පාර්සල් බැන්දා. සඟරාවට එන ලියුම්වලට පිළිතුරු ලිව්වා. සඟරාවේ සල්ලි එකතු කළා. මාසෙ අන්තිමට රු. 50 ක් ලැබුණා. ඒ කාලේ එක ලොකු මුදලක්. කාලා, බීලා, කෝච්චියේ ගිහින් තව සල්ලිත් ඉතුරුයි. ඔක්කෝටම වඩා තිබුණේ ආත්ම තෘප්තිය. මේ 1958 විතරනෙ.

තමන්ගේම සිනමා පත්‍රයක කර්තෘකමක් ලැබුණේ කොහොමද?

1960 අවුරුද්දේ බොනිෆස් ජයවර්ධන නම් මිතුරෙකු මට අඳුන ගන්න ලැබෙනවා. ‘අයිසේ අමරේ අපි චිත්‍රපට සඟරාවක් පටන් ගමුද? තමුසෙ කර්තෘ’ මේ මිතුරා මට යෝජනා කරනවා. ඒ කාලේ සිනමාව ජනප්‍රිය කලා මාධ්‍යයක්. වැඩිය සිනමා පත්‍ර තිබුණේ නැහැ. මම ‘චිත්‍රවාහිනී’ කියලා චිත්‍රපට සඟරාවක් පටන් ගත්තා. මේ සඟරාවට ඔගස්ටස් විනායගරත්නම්, රැලෙක්ස් රණසිංහ, ධර්මසිරි ගමගේ උදව් කළා. මම රැලෙක්ස් හඳුනා ගන්නේ ඔහු ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ කැමරා ශිල්පියකු හා චිත්‍ර ශිල්පියෙකුව සිටි කාලේ සිට. ඔග්ස්ටස් පානදුරේ සිට කොළඹ එන දුම්රියේදී හඳුනා ගත් මිත්‍රයෙක්. අපි දෙන්නම පානදුරේ නිසා නිවාඩු දවස්වල මුහුදු වෙරළට ගිහින් සාහිත්‍යය, කලාව, චිත්‍රපට ගැන කතා කරනවා. ගමගේත් ඒ කාලෙම හඳුනා ගන්නවා. ‘චිත්‍රවාහිනි’ සඟරාවට දිලිප් කුමාර් හා දේව් ආනන්ද් නම් ජනප්‍රියම නළුවන්ගේ සම්මුඛ සාකච්ඡා කිරීමට ඔගස්ටස් හා මම ගියා. පින්තූර ගත්තේ රැලෙක්ස්. මම වසර දෙකක් ‘චිත්‍රවාහිනි’ කළා.

‘දවස’ පත්‍රයටත් ‘විසිතුර’ පත්‍රයටත් ඔබ සම්බන්ධ වීමට පසුබිම සකස් වන්නේ කෙසේද?

1961 වසරේ ගුණසේන සමාගම විසින් ‘දවස’ කියලා පත්‍රයක් පටන් ගන්න යනවා කියන ආරංචිය දුන්නේ මගේ හොඳම මිත්‍රයෙක්. ‘දවස’ පත්‍රයේ කර්තෘ ඩී. බී. ධනපාල මහත්තයාව මම කෙළින්ම ගිහින් හම්බ වුණා.

‘සර් මම ‘දවස’ පත්‍රයට බැඳෙන්න කැමතියි’

‘මීට ඉස්සර ලියලා තියෙනවද?’

‘සර් මම සිනමා සඟරාවක් ලියලා තියෙනවා’

‘ඒක හොඳයි, ප්‍රවෘත්ති ලේඛකයකු (වාර්තාකරුවකු) ලෙස බඳවා ගත්තා. එතකොට එහි කර්තෘ මාණ්ලිකයන් ලෙස ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ගුණදාස ලියනගේ, සිරිල් ඒ. සීලවිමල, රෝහණ ගමගේ, රොබට් ජයවර්ධනත් හිටියා. මට ලියන ප්‍රවෘත්ති එක පේළියකට ශත 03 බැගින් ගෙවීමේ පදනම යටතේ මාව බඳවා ගත්තා. මා ලියන ප්‍රවෘත්ති බලා ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර ‘මොනද මේ ලියල තියෙන වැල්වටාරම්’ කියලා බැනලා ප්‍රවෘත්තියක් හරි හැටි, රසබරව ලියන හැටි කියලා දුන්නා. දවල්ට කෑමට යනකොට ‘අමරේ වරෙන් බීර වීදුරුවක් බොන්න’ යයි කැඳවා ගෙන ගියා. සුරේන්ද්‍රට වඩා සැර විදිහටයි ගුණදාස ලියනගේ මට ප්‍රතිචාර දැක් වූයේ. පසුව ප්‍රවෘත්ති ලියන කලාව ගැන කියා දී ඔහුත් ‘යමු එළියට කෑම ටිකක් කාලා එන්න කියලා’ එළියට කැඳවාගෙන ගිහිං සංග්‍රහ කළා. මේ දෙදෙනාම මගේ පත්‍ර ජීවිතේ ගුරුවරු බව කෘතඥතා පූර්වකව මතක් කරනවා.

‘දවස’ පත්‍රයට 1962 කුමන්ත්‍රණ නඩුව මම වාර්තා කළ අතරම ‘දවස’ හා ‘රිවිරැස’ පුවත්පත්වලට සිනමා ලිපි සම්පාදනය කළා. පිටුව සංස්කරණය කළේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර. දවසක් ධනපාල මහත්තයා මාව එතුමාගේ කාමරයට කැඳෙව්වා.

‘අමරසේන තමුසෙ සිනමාකාරයනේ. අපි පත්තරයක් පටන් ගන්න යන්නෙ. තමුසේ පත්තරේ අරගෙන කරනවද?’ ධනපාල මහතතයා මගෙන් ඇහැව්වා.

‘හොඳයි සර්’

ධනපාල මහත්තයා අසල රිවිරැස කර්තෘ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර හා විමලේන්ද්‍ර වතුරේගමත් හිටියා.

‘මොකක්ද පත්තරේට දාන නම?’ ධනපාල මහතා රතු සහ නිල් සහිත ලොකු පැන්සල දෙතොල මත රඳවා මෙසේ ඇසුවා.

‘විචිත්‍ර වගේ නමක්’

‘නෑ සර් විචිත්‍ර කියන නම කටට අමාරුයි’ වතුරේගම කිව්වා.

‘එහෙම නෙවෙයි අපි ‘විසිතුරු’ කියලා දාමු’ ධනපාල මහතා යළිත් කිව්වා.

‘විසිතුරු නෙවෙයි අපි ‘විසිතුර’ කියමු. ගණත් හොඳයි.’ වතුරේගම යෝජනා කළ විට සුරේන්ද්‍ර ඒක අනුමත කළා. මම විසිතුරේ ආරම්භක කර්තෘ වුණා.

‘විසිතුර’ පත්‍රයේ ඔබ වසර ගණනක් කර්තෘකම කළා. චිත්‍රවාහිනියෙත් විසිතුරෙත් අමතක නොවන සිදුවීමක් තියෙනවද?

‘මම රැලෙක්ස් රණසිංහගේ ගෙදරට ගියා දවසක්. එතකොට මම ‘චිත්‍රවාහිනිය’ කරන කාලේ. රැලෙක්ස්ගේ ගෙදර ලස්සන හුරුබුහුටි තරුණයෙක් තීන්ත ගා තිබූ ගෙදර පහළ තාර පටිය අඳිමින් සිටියා.

‘කවුද රැලා මේ හාදයා’

‘මගේ මල්ලි ඇන්තනි. මිනිහ රඟපාන්න ආසයි.’

අපේ කතාව අහගෙන හිටිය ඇන්තනි දුවගෙන ඇවිත් මම චිත්‍රපටයක රඟපාන්න ආසයි’ කියලා කිව්වේ ලොකු ආසාවකින්.

‘හොඳයි අපි යමු සිරිසේන විමලවීර මාස්ටර් හම්බ වෙන්න. එයා අලුත් චිත්‍රපටයක් කරනවා. කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට අපි යමු’

‘හොඳයි අමරේ’

අපි විමලවීර මාස්ටර් හම්බ වෙන්න ගියා. ඒ කාලේ ‘චිත්‍රවාහිනි’ සඟරාවේ විමලවීර මාස්ටර්ගේ රැලෙක්ස් ගත්තු පින්තූරයක් එක්ක ලිපියක් පළ කර තිබූ නිසා මාස්ටර් මගේ ඉල්ලීම සලකා බැලුවා. මගේ හැඳින්වීමෙන් පසු මාස්ටර් ඇන්තනිගේ හැඩ රුව උඩ සිට පහළට බැලුවා. ඇන්තනි මාස්ටර්ගේ ‘පුංචි අම්මා’ චිත්‍රපටයට තෝරගෙන කැමරා දර්ශනයකුත් ගත්තා. අවාසනාවකට මාස්ටර් චිත්‍රපටය කරන අතරේ මිය ගියා. ලෙස්ටර් ‘ගම්පෙරළිය’ චිත්‍රපටය පටන් ගන්නකොට මම විසිතුර කර්තෘ. මම ඇන්තනිට ගම්පෙරළියේ චරිතයක් දෙන ලෙස ඉල්ලුවා.

‘අයිසේ, තමුසේ ආවේ අන්තිම මොහොතේ. අපිට ඉතුරු වෙලා තියෙන බලදේවගේ චරිතයට තෝරා ගත්ත’’ ලෙස්ටර් කිව්වා.

ඇන්තනි නම වෙනුවට ටෝනි රණසිංහ සිනමාවට ආවේ ඔය විදිහට. ටෝනිගේ සිය සහෝදරයා වූ ඇලෙක්ස් අමුතු, සම්මතයට විරුද්ධ නව ආරේ ගත් ඡායාරූප නිසා ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වුණා.

ගාමිණී ෆොන්සේකා ජනප්‍රිය වීමට ඔබේ ‘විසිතුරෙන්’ ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා?

ඔව්, ගාමිණීට අපි ඉහළම ප්‍රචාරයක් දුන්නා. ඒ කාලේ ගාමිණී ගැන මැද පිටුවේ ‘මල්සරා’ කියලා සුගතපාල ද සිල්වා ලිව්ව ලිපිය ජනප්‍රිය වුණා. මම කියන මේ සිද්ධිය වුණේ මම ‘රිවිරැස’ පත්තරේ ඉන්න කොට. ‘රන්මුතු දූවෙන්’ පස්්සේ ගාමිණීව ‘පුරන් අප්පු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝර ගෙන හිටියේ අධ්‍යක්ෂ ටයිටස් තොටවත්ත. අපි ඒ ප්‍රවෘත්තිය ලොකුවට ‘රිවිරැස’ පත්‍රයේ පළ කළා. දවසක් අධ්‍යක්ෂ තොටවත්තත්, නිෂ්පාදක ශේෂා පලිහක්කාරත් මාව සොයා ගෙන ආවා.

‘අපි ගාමිණීව අයින් කලා’ ටයිටස් කිව්වා.

‘මේක හොඳ ප්‍රවෘත්තියක්. පත්තරේ දාන්නද? මම ඇහැව්වා.

‘උඹ දාපන් මමනේ කියන්නේ. එයා ජනප්‍රිය වුණාට පස්සේ අපිට දින දෙන්නෙත් නෑ. ගණන් උස්සලා. ඒ නිසා අපි එයාව අයින් කළා.’ මම මේ ප්‍රවෘත්තියට මුල් තැනක් දීලා ‘රවිරැසට‘ ලිව්වා. ‘ගාමිණී පුරන් අප්පු චිත්‍රපටයෙන් අස් කරයි’ කියලා. මේක මම ‘රිවිරැස’ කර්තෘ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රට දුන්නා. සුරේන්ද්‍ර ඉන්නේ මේ වගේ ප්‍රවෘත්තිවලට මුල් තැන දෙන්න බලාගෙනයි.

‘මරු නිවුස් එක මචං. මේක ලීඩ් එකට ගම්මු’ සුරේන්ද්‍ර කිව්වා.

ඉරිදා පත්‍රය නිකුත් වුණා. අඟහරුවාදා ගාමිණී නීතිඥයෙකුගේ මාර්ගයෙන් එන්තර වාසියක් එවනවා තමාට වූ අපහාසයට හා චරිත ඝාතනයට ලක්ෂ තුනක් වන්දි ඉල්ලලා.එන්තරවාසිය දැකපු ධනපාල මහතා මාව කාමරේට කැඳෙව්වා. සුරේන්ද්‍රත් ලොක්කගේ කාමරේ.

‘අමරසේන මෙන්න ගාමිණී ලක්ෂ තුනක් ඉල්ලලා තියෙනවා. තමුසෙට ගෙවන්න පුළුවන්ද? කවුද මේ නිව්ස් එක දුන්නේ’ 

‘සර් මේ නිවුස් එක දුන්නේ ටයිටස් තොටවත්තයි ශේෂා පලිහක්කාරයි.

‘හරි තමුසෙ ගිහිල්ල ටයිටස්ගෙනුයි ශේෂාගෙනුයි ලියුමක් අරං එන්න පුළුවන්ද?’

‘පුළුවන් සර්’

මම කැමරා ශිල්පී අනුර ගුණසේකර සමඟ කාර් එකක නැගලා රාජගිරියට ගියා තොටවත්තයි, ශේෂවයි හමු වෙන්න.

‘මචං උඹ ටොප් එකට අර නිව්ස් එක දාලා තිබුණා’ ටයිටස් කිව්වා.

‘ටොප් තමයි, අන්න ගාමිණී ලක්ෂ තුනක් ඉල්ලලා නඩු දාලා’

‘අපි බලා ගන්නං ඒක. අපිනේ ගාමිණීව අස් කළේ. උඹ නෙවෙයිනේ. අප දෙන්නා අස්සන් කරලා ලියුමක් දෙන්නං’

අපි ලියුමත් අරං ධනපාල මහත්තයා ගාවට ගියා.

‘එයාට නාඩු දාල බලන්න කියමු’ ලොක්කා කිව්වා.

ධනපාල මහත්තයා කිසිවකුට ප්‍රචාරය දෙන්න එපා කියලා කෙළින් කියන්නේ නැහැ. හැබැයි ‘වහෙන් ඔරෝ’ භාෂාවෙන් ඒක කියන්නේ.

‘තමුසෙලා එක එක අය බොරුවට පුම්බනවා පත්තරෙන්. මීට පසසේ පරෙස්සමින් කල්පනාවෙන් මිනිස්සුන්ට ප්‍රචාරය දෙන්නේ.’

ගාමිණීට මාස දෙකක් දවස පත්‍රවලින් ප්‍රචාරය දුන්නේ නෑ. ‘පරසතු මල්’ කරන කාලේ චිත්‍ර බාලසූරිය ඇවිත් තමා නිෂ්පාදනය කරන කාලේ ගාමිණීගේ පින්තූර ගෙනත් ප්‍රචාරය ඉල්ලුවා. මම ධනපාල මහත්තයාගෙන් අවසර අරං ගාමිණීගේ තහනම් නියෝගය ඉවත් කර ගත්තා. ඒත් ඊට පසු ගාමිණී මිය යනතුරුම ඔහු මගේ සමීපතම මිත්‍රයෙක් වුණා. මමත් ශ්‍රියාණිත් නිපද වූ ‘රිදී තැල්ල‘ චිත්‍රපටයට මුදල් නොතකා උදව් කළා.

ඔබ ශ්‍රියාණි කෙනෙක් ගැන කිව්වා. ඇය ඔබේ ජීවිතයට සම්බන්ධ වන්නේ කොහොමද?

‘රිවිරැස’ පත්‍රයේ පටන් අරං තිබූ කාලයේ ධනපාල මහත්තයා ‘මංගල යෝජනා’ තීරයක් ආරම්භ කරලා, ‘තමුසෙලාම දැන්වීම ටිකක් හදලා දානවා දැන්වීම් එනකං’ කියලා. සුරේන්ද්‍රත් මමත් ඒ කාලේ තරුණයො. අවිවාහකයෝ. අපි කවුරු කවුරුත් අපේ සුදුසුකම් ලියලා මංගල යෝජනා පළ කළා. මේ 1963 වසර. දවස බාරේ එන නිසා අපේ නම් ගම් වසං කළා. මම ලියපු මංගල යෝජනාවට ලියුම් 300 ක් විතර ආවා. මේ ලියුම් අතරේ ලස්සන තරුණියකගේ ඡායාරූපයක් තිබුණා. ඇගේ නම ශ්‍රියානි වීරකෝන්. ලියුම එවලා තිබුණේ අම්මා. මේ පින්තූරය මගේ හොඳම මිතුරා වූ ඔගස්ටස් විනායගරත්නම්ට පෙන්නුවා. අපි ගියා අර තරුණිය බලන්න. දෙමව්පියන් වගේම ශ්‍රියාණිත් කැමති වුණා. අපි විවාහ වුණා.

‘මංගල යෝජනාවලින් හරි ගියේ තමුසෙටයි’ ධනපාල මහත්තයා අපේ විවාහ උත්සවයට ආ දවසේ කිව්වා. 

අමරසේන මහත්තයා ‘විසිතුර’ පත්තරෙන් සිනමා ප්‍රේක්ෂකයාගේ රසඥතාවය දියුණු වන ලිපි පළ කළා නේද?

ඒ කාලේ සිංහල වේදිකාවේ විප්ලවයක් කළ ‘අපේ කට්ටියේ’ පිරිස නිතර මා හමුවෙන්න එනවා. බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්, සකළ බුජන් පැනල ගිහිං, රන්තෝඩු, හරිම බඩු 6 ක්, සහන් එළිය වගේ නාට්‍යවලට විසිතුරෙන් ඕනෑවටත් වඩා උදව් කළා. ඒ නිසා මට පුළුවන් වුණා ලෝක සිනමාව ගැනත් චිත්‍රපට රස වින්දනය පුළුල් කරන ලිපි අපේ කට්ටියේ බුද්ධිමත් තරුණයන් ලවා ලිපි ලියවා ගන්න. සුගතපාල ද සිල්වා, සිරිල් බී. පෙරේරා, නාමෙල් වීරමුනි, ධර්මසිරි වික්‍රමරත්න වගේම ඔගස්ටස් විනායගරත්නම්, තිස්ස අබේසේකර, සුනන්ද මහේන්ද්‍ර, නීල් අයි. පෙරේරා, ලෙස්ලි බොතේජු, පියසිරි නාගහවත්ත වගේ අයගේ ලිපි, විචාර අපි පළ කළා. විශේෂයෙන් පෝලන්ත, ප්‍රංශ, ඉතාලි, ස්වීඩන්, බෙංගාලි චිත්‍රපට උලෙළවලට අපි අනුග්‍රහ දැක් වූවා. ඒ උසස් සිනමාව නඟා සිටුවීමේ අරමුණින්. ඊට සමාන්තර ලංකාවේ සියලුම නළු නිළියන් සහභාගි කරගෙන ‘බෙන්තොට තරු පේන දවස’ මහා සංදර්ශය සිනමා රසිකයන් ඉලක්ක කරගෙන පැවැත්තුවා. විචාරක හා ලේඛක සංගමයට අත හිත දුන්නා. විචාරක සම්මාන උලෙළට උදව් කළා. සුනන්ද මහේන්ද්‍ර ‘වරරුචි’ නමින් නාට්‍ය හා චිත්‍රපට විචාර ලිව්වා. සිරිලාල් කොඩිකාර සාහිත්‍ය කොලමක් ලිව්වා.

නවක ලේඛකයන්ට ඔබ තරම තිරම හා අඩුම වශයෙන් මුහුණවත් නොදැක උදව් කළා. ඔවුන්ගේ ලේඛන ජීවිතයට අත දුන්නා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයේ ඉහළට ගිහිං.

මගේ ජීවිතයේ ලොකුම සතුට ඒක. මම පත්‍ර කලාවෙන් කිසිවක් උපයා නැහැ. මගේ දරුවෝ වගේ මම හදපු ඒ ලේඛක පිරිසට අත හිත දුන්න ඒක මා ලැබූ සම්මානයක්. මහාචාර්ය සුනිල් ආරියරත්න මගේ ‘සිංහල සිනමා වංශය’ කෘතියට ඒ අයගේ අසම්පූර්ණ ලේඛනයක් ඇතුළත් කර තිබුණා. ප්‍රේමකීර්ති ද අල්විස්, බන්දුල පද්මකුමාර, ඩී. කීරගලආරච්චි, ඩබ්ලිව්. කේ. ඩී. නවරත්න, රොඩ්නි විදානපතිරණ, සෑම් පෙරේරා, දයාරත්න රටගෙදර, කුමුදු කුසුම් කුමාර, වින්සන්ට් පෙරියප්පෙරුම, කුලරත්න ආරියවංශ, අනුර සොලමන්ස්, ජගත් කුමාරසිංහ, රෝහණ වෙත්තසිංහ, සත්‍යජිත් මාඉටිපේ, තිලක් රත්නායක, අනුර සොලමන්ස්, කාරියවසම් ජී. ජී. කාරියවසම්, හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්, ඒ. ඩී. රන්ජිත් කුමාර ආදී වශයෙන්.

ඔබ සිනමාව ගැන පොත් කිහිපයක් ලිව්වා නේද?

1989 මම ‘සිංහල සිනමා වංශය’ 2008 ‘සිංහලේ මහා සිනමා වංශය’ ‘වං හුං’ හා 2008 ‘60 වසරක සිංහල සිනමා ප්‍රකාශන’ යන කෘති ලිව්වා. ලාංකික සිනමා සාහිත්‍ය ය පෝෂණය කළ ලේඛකයන් 45 දෙනෙකුට මගේ සංවිධානයෙන් මම විසින් සම්මාන පිදීමට ලැබීමත් මට ලොකු සතුටක්.

ඔබේ දූ දරුවන් ගැන...

මගේ ලොකු දියණිය ඉනෝකා නිල්මිණි අමරසේන චිත්‍රපට නිළියක්. පුතා සම්පත් චන්දන අමරසේන තේ රස පරික්ෂකයෙක්. ඔහු දැනට ඇමසන් තේ සමාගමේ සාමාන්‍යාධිකාරී ලෙස සේවය කරනවා. මම දැන් සීයා කෙනෙක්.

ඒ.ඩී.රන්ජිත් කුමාර 
ලාල් සෙනරත්

Add new comment