විශාරද එඩ්වඩ් ජයකොඩිගේ දස වසරක මාරම්බරී සුගැයුම

ජනවාරි 30, 2020

සිංහල ගීතය හා සංගීතයේ ඓතිහාසික වටිනාකම යළි යළිත් කතාබහ කලයුතු යුගයකට අප එළඹ සිටී.එයට හේතුව වන්නේ වත්මනෙහි බිහිවන ගීත තුළ ගීතය යන්නෙහි සැබෑ අර්ථය වටහා ගන්නට අප කොතෙකුත් මහන්සි දැරිය යුතු නිසාවෙනි. ගීතයට සැබෑ වටිනාකමක් එක් කරන සුගායනීය ලක්ෂණයන්ගෙන් යුත් ගීත බිහි නොවේ යැයි අප කියන්නේ නැත. එහෙත් බහුතරයක් ඇසෙන ගීත , අප 60, 70, 80 දශකයන්හි ඇසූ ගීත සමඟ විමර්ශනය කොට බලනවිට ඒවාට ගීත කිව හැකිදැයි යන්න ප්‍රශ්නයකි.එදා අපේ හදබැඳ ගත් , අපේ සවන්පත් සැනහූ සුභාවිත ගීත කලාවේ අරුමැසි රාවය අදටත් හදගැබ ස්පර්ශ කරනා මොහොතක , අරුත් සුන් ගීතයන්හි ඇති නිස්සාරත්වය වත්මන් ගීත ක්ෂේත්‍රය වටකොට පැවතීම පිළිබඳ ඇති හද රිදවීම අපේ කාලයේ බොහෝ දෙනෙකු තුළ වැඩී වර්ධනය වන්නකි.මෙකී නිස්සාරත්වය තුළ සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි වැන්නකු ගේ හඬ පෞරුෂය සුපහන් සිතින් සිහිපත් කළ යුත්තේ එය නිබඳවම මේ රටේ සුභාවිත ගීත කලාව වෙනුවෙන්ම අවදි වූ නිසාය.

එඩිවඩ් ජයකොඩි ගේ ‘ මාරම්බරී‘ ඒක පුද්ගල ප්‍රසංගයේ දස වර්ෂ පූර්ණය එළඹෙන 31 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ඒක පුද්ගල ප්‍රසංගයක් දස වසරක් පුරා පවත්වාගෙන එනවාය යන්නද එක්තරා ආකාරයක අභියෝගාත්මක කරුණකි.එහෙත් ගායකයෙකු වශයෙන් තමන් ගොඩනඟා ගත්තා වූ නිර්මාණයන්හි මෙන්ම තමන්ටම අනන්‍යවූ හඩ පෞරුෂය මෙවන් දීර්ඝ ගමනාන්තයකට ඔහුට පාර කියුවේය.

ගෙවුණු දස වසර පුරා එඩ්වඩ් ‘මාරම්බරී‘ ප්‍රසංගයට විවිධ විශේෂාංග එක්කරමින් එය වර්ණවත් කරන්නට කටයුතු කළේය.ප්‍රේක්ෂකයා ප්‍රසංගයකින් බලාපොරොත්තුවන වෙනස ඔවුන්ට ලබා දීම පිණිස ඔහු තම ප්‍රසංගයට සරල ගීත, ටෙලි නාට්‍ය ගීත, වේදිකා නාට්‍ය ගීත, ළමා ගීත, ප්‍රේම ගීත, දේශභිමානී ගීත,උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරු කළ ගීත ආදී මෙකී නොකී ගී රුසක් එකතු කර ගත්තේය. මෙකී විවිධාංග සමඟ ඔහු පුරා වසර දහයක් දේශීයව මෙන්ම විදේශීයවද ‘ මාරම්බරී ප්‍රසංග ගණනාවක් පැවැත් වූයේය.මේවනවිට ඉතාලියේ පමණක් ‘මාරම්බරී‘ ප්‍රසංග 13 ක් පවත්වා ඇත. කැනඩාව, ලන්ඩනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඩුබායි, ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවකම පැවැත්වූ මෙකී ප්‍රසංග මාලාව අතිශයින්ම සාර්ථක වූයේය. දේශීය වශයෙන්ද මෙම ප්‍රසංගය නොපැවැත්වූ නගරයක් නොමැති තරම්ය.

ඒක පුද්ගල ප්‍රසංග කලාව පිළිබඳ එඩිවඩ්ට ඇත්තේ සුවිශේෂී අත්දැකීම් සමුදායකි. ඒ ඔහු පාසල් ශිෂ්‍යෙයකුව සිටියදී නොයෙක්වර ප්‍රසංග නැරඹීමෙන් ලද අත්දැකීමෙන් සහ පසු කාලීනව ගායකයෙකු වශයෙන් ක්ෂේත්‍රයට පිවිසීමෙන් පසුව මෙරට ප්‍රධාන පෙලේ ඒක පුද්ගල ප්‍රසංගයන් පැවැත්වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, ආචාර්ය නන්දා මාලිනී, මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය අමරා රණතුංග, ආචාර්ය දයාරත්න රණතුංග වැනි ප්‍රවීනයන්ගේ ඒක පුද්ගල ප්‍රසංගයන්හි අත්වැල් ගායනයට එක් වීමෙනි.

මාරම්බරී දස වර්ෂ පූර්ණය සුවිශේෂී වන්නේ යුග යුග හදබැඳී එඩ්වඩ් ගේ සුගායනීය යුග ගී සරණියක ආනන්දය විඳ ගැනීමේ අසිරිය එදිනට හිමි වන බැවිනි.එදා මෙදා තුර ඔහු ගැයූ යුග ගී අතුරෙන් තෝරා ගත් ගීත රැසක් එදින ගායනා වනු ඇත. එඩ්වඩ් ගේ සංගීත දිවිය දෙස විමසුම් ඇසින් බැලූකල ප්‍රත්‍යක්ෂ වනුයේ ඔහුට විශිෂ්ට ගණයේ ප්‍රවීණයන් සමඟ යුග ගායනයේ යෙදීමට වාසනාවක් හිමි වූ ගායකයෙක් බවයි. මෙරට ප්‍රථම විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාව වූ කෝකිල දේවි වීරතුංග ගේ සිට ජී. එස් බී රාණි පෙරේරා, ලතා වල්පොල, නන්දා මාලිනි, ගේ සිට වත්මනේ බිහිවන නවක ශිල්පිනියන් දක්වාත්, ගුණදාස කපුගේ , වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, බන්දුල විජේවීර, රෝහණ බෝගොඩ ගේ සිට නවකයන් දක්වාත් යුග ගී ගැයීමට ඔහුට අවස්ථාව හිමි වී ඇත.මෙදින ඔහු සමඟ උමාරියා සිංහවංශ, පේෂල මනෝජ්, චන්දුප ජයකොඩි, ශාරණ්‍යා ජයකොඩි සහ රෂේන් අමරසේන ගායනයෙන් එක් වෙති.මාරම්බරී ආරම්භයේ සිටම සංගීතවත් කලේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ය.එහෙත් මෙවර දස වර්ෂ පූර්ණය සංගීතවත් කරනුයේ සංගීතවේදී සුසිල් අමරසිංහයන්ය.

එඩිවඩි සතු ආනන්දනීය හඩ මෙකී විෂයට මනාව ගැලපේ යැයි කෙනෙකුට වර්ගීකරණය කළ නොහැකිය. ඔහු ආදර ගීත ගායනා කරනා විට ඉන් ආදරය, ප්‍රේමය, විරහව අතුරන්නේය.එහෙත් ඔහුගේ හඩින් දේශාභිමානී ගීතයක් ඇසෙනවිට අපිට සිතෙන්නේ එම විෂයට ඔහුගේ හඩ මනාව ගැලපෙනවාය කියාය.මෙකී නොකී ආකාරයට විවිධ සංවේදනා විවිධ අයුරින් දැනවීමේ සුඛනම්‍ය හඩ පෞරුෂයක් එඩ්වඩ් සතුය. එය අලංකාරවත්ව භාවිතා කරමින් මේ රටේ ශ්‍රාවක සිත් සතන් ඔහු ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරයි.

තවදුරටත් අධ්‍යයනයේ යෙදෙන විට එඩ්වඩ්ට හිමි වී ඇත්තේ ජන්මයෙන් උරුම වූ සිංහල හඩක් කියා සිතෙන වාරද වේ. ඒ හඩ ඉතාමත්ම පැහැදිලිය. ඒ පැහැදිලි ස්වරය අපේ රටේ ශ්‍රාවක සිත් සතන් ආකර්ෂණීය ලෙස ඇද බැද තබා ගත්තේය. විටෙක මේ හඬ අපගේ අනන්‍යතාවයේ සංස්කෘතික සලකුණක් නොවේදැයි සිතන තරමට දේශීයත්වයට සමීප වන්නේය.

එඩ්වඩ් ගේ ප්‍රේමනිය හඬ මේ රටේ ප්‍රේමනීය හදවත් කොයි තරම් ස්පර්ශ කළාදැයි යන්නට උදාහරණ රාශියකි. එඩ්වඩ් චන්ද්‍රානි ගුණවර්ධන සමඟ ගැයු පහත යුග ගීතය එකී ප්‍රේමය කෙතරම් මනරම් දැයි කියා පාන්නේය.

‘‘ ලතා මඩුල්ලක් කතා කරනවා- සෙවණට එන්න කියා

මේ මල් උද්‍යානේ- නවතිමු හැන්දෑවේ

වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා

බෑ නවතින්න කියා

මේ මල් උද්‍යානේ- වෙන්වෙමු රූ යාමේ......

( සමන් චන්ද්‍රනාත් වීරසිංහ‍- සරත් දසනායක)

 

එඩිවඩ් ගුවන්විදුලි සරල ගීයක් ලෙසින් ගායනා කළ පහත ගීතය පෙරදා අපේ ගම් පියසේ තරුණයෙකු හා තරුණියක විඳී ස්නේහයේ අරුමය සිහිපත් කරන්නේය.

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා

ගලින් ගලට පා තබමින් දුවන්නට එපා

ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

ආල හැඟම් මං හින්දා නැඟෙන්නට එපා

දෑස තෙමාලන දුක් ගී නැඟෙන්නට එපා

දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි

( කුලරත්න ආරියවංශ- රෝහණ වීරසිංහ)

 

නන්දා පතිරණ සමඟ ගායනා කරන මෙම යුග ගීතය ගැමි තරුණයෙකු හා තරුණියක අතර ඇතිවන සංවාදයක ආකාරයෙන් ඉදිරිපත් වේ.තරුණයා තම සිත් ගත් යුවතිය අමතා සිය සිතැඟි ප්‍රකාශ කරනුයේ සිත් පුරා පිපි පෙම් හැඟුමින් යුක්තවය .මේ ආදරණීය හැඟීම් උද්දීපනය කරන්නේ එඩ්වඩ් සතු සුපැහැදිලි , දේශියත්වයට සමීප, ආදරණීය හඬ පෞරුෂයයි.මේ හා සමානවම ගැමි පරිසරයේ සුන්දරත්වය විඳීන ප්‍රේමවන්තයන් අතර වන ගීතමය සංවාදයක් ගෙන එන මේ ගීතයද එඩ්වඩ් ගේ යුග ගී අතර කැපී පෙනේ.

 

බකිනි ගහේ බකිනි මලින් පාර අසන්නේ

කුරුන්ද ළඟ දෙල්ගහයට නිවෙස තියෙන්නේ

කවදද එන්නේ- කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ

මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ

තනියමැ එන්නේ - තනියමැ එන්නේ

( ඩෝල්ටන් අල්විස්- රෝහණ වීරසිංහ)

ගැමි පරිසරයේ ගැමි සුවඳ ආඝ්‍රාණය කරමින් වැඩෙන සුන්දර ප්‍රේමයක මේ ගීතය නිතැතින්ම අපට මවා පාන්නේය.මේ ගීතයේ ගැමි පරිසරයේ රුව ගුන තේජස වර්ණවත් කරනුයේ එඩ්වඩ් ගේ ගැඹුරු ආනන්දනීය කටහඬෙනි.පෙම්වතා හා පෙම්වතිය අතර එකිනෙකා කෙරෙහි හට ගන්නා ආලය ගී පද මාලාවෙන් ප්‍රකාශිත වුවත් එඩ්වඩ් ගේ ගැඹුරු හඬින් එය ශ්‍රාවක සිත් සතන් තුළ සජීවි රූප මවමින් තමන්ගේ අත්දැකීමක් බවට පත් කරලනු ලබයි. පුන්‍යා කත්‍රිආරච්චිගේ සිහින් ගී රාව එඩ්වඩ් ගේ හඬට එක්ව සංවේදනය වඩාත් තීව්‍ර කරයි.ප්‍රේමයෙන් ඔබ්බට ගොස් ඔහු ගැයූ අපූරු යුග ගීතයක් මේ මොහොතේ සිහියට නැගේ.මෙය විශාරද මාලිනී බුලත්සිංහල සමඟ ගැයූවකි.

 

‘‘ බුදු බණ කිව්වවත් නිරන්තරේ

බුදුබණ ඇසුවත් නිරන්තරේ

ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ- වනන්තරේ

( පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි- එච්.එම්. ජයවර්ධන)

එහෙත් මාලිනී බුලත්සිංහල සමඟ එඩ්වඩ් ගැයූ යුග ගී අතර ආදරණීයම ප්‍රේම ගීතය මෙය යැයි මට හැඟේ. ප්‍රේමයේ විරහව සදා ශ්‍රාවක හදවත් තුළ දල්වාලීමේ විස්මිත භාවයන් එඩ්වඩ් ගේ හා මාලිනී ගේ හඩ මිශ්‍ර වීමෙන් ලැබෙන අයුරු මේ දැනුත් සිහිපත් වේ.

සුසුමක උණුසුම නොම විඳී හදකට

සුසුමක් වුණේ ඔබයි.......

කඳුළක සිසිලස නොහැඟුන නෙතකට.

කඳුළක් වුණේ ඔබයි......‘‘

( කුලරත්න ආරියවංශ- රෝහණ වීරසිංහ)

 

එඩ්වඩ් ගේ යුග ගීත අතර නිර්මලා රණතුංග සමඟ ගයන මෙම ගීතයද විශේෂිතය. ප්‍රේමයක අරුත් දනවන එයද නොමද ශ්‍රාවක ප්‍රතිචාර දිනාගත්තකි.

මිටින් මුදාහැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා.....මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුනෙමි

සත්තයි නුඹ ඇවිදින් හෙවනැල්ලක් වී....

( රත්මලේ බන්දුල ගුණවර්ධන- විජේරත්න රණතුංග)

 

එදා මෙදා තුර එඩ්වඩ් ගේ සංගීත දිවි ගමනේ යුග ගී ගැයු ගායිකාවන් අතර ආචාර්ය නන්දා මාලිනිය අපට අමතක කල නොහැකිය. ඇයත් සමඟ එඩ්වඩ් ගැයූ අමරණිය චිත්‍රපට පසුබිම් ගීත ගායනය මේ මොහොතේ අපේ සිහියට නැඟේ.

 

‘ සක්වල එතෙරට ඇසෙනා

අනන්ත ඈතට දැනෙනා

මුළු මිහිතලයම කම්පා කරවන

එකම හඩයි අම්මා

මෙතේ බුදුන් දැක නිවන් දකිනු මැන

ගෙදර බුදුන් අම්මා......

( උපාලි ධනවලවිතාන- සරත් දසනායක)

 

රෝයිද සිල්වා අධ්‍යක්ෂණය කළ ගෙදර බුදුන් අම්මා චිත්‍රපයටය ගැයූ මෙම යුග ගීතය සඳහා එම වසරේ ස්වර්ණ සංඛ සිනමා උලෙළේ හොඳම ගායකයාට හිමි සම්මානයද එඩ්වඩ්ට හිමි විය.

එඩ්වඩ් ගේ යුග ගී ගායනාද විවිධාකාරය. ඔහු ඒ වෙනුවෙන් තෝරා ගන්නා සංකල්පයන් හා ගායක ගායිකාවන්ද විවිධය.එකල කුඩා ළමා ගායිකාවක වූ නතාෂා පෙරේරා සමඟ ගැයූ ‘‘ සුළඟක් වී මං යනවා‘‘ ගීතය ශ්‍රාවක සිත් කෙතරම් ඇද බැද ගත්තාදැයි අමුතුවෙන් විස්තර කළයුතු නැත.

එඩ්වඩ් ගායිකාවන් සමඟ මෙන්ම ගායකයන් සමඟද යුග ගී ගැයුවෙකි.එකම මලට පෙම් කළ බඹරුන් දෙදෙනෙකු පිළිබඳ සුනිල් එදිරිසිංහයන් සමඟ ගැයුණු මේ ගීතය අදටත් අප සිත්තුළ නිධන් ගත වූවකි.

 

‘‘ පළංචියේ ලී ඉරුවේ අපි එකට

මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට

එක වාඩියේ කල් හැරියත් හිත හොඳට

ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට

( වසන්ත කුමාර කොබවක- රෝහණ වීරසිංහ)

එසේම ඔහු එච්. ඩී ප්‍රේමරත්නයන්ගේ ‘‘ මංගල තෑග්ග‘‘ චිත්‍රපටයට සුනිල් එදිරිසිංහයන් හා බන්දුල විජේවීර සමඟ ගැයු මේ ගීතයද සුවිශේෂීය

එකයායේ කකා වැටී

එකා වගේ එකට සිටී

එක පවුලේ උපන් ලෙසේ කළ ආරක්ෂා

නාස් ලණුව දමනවාලු කරත්තයක බඳීනවාලු

අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා..

( ප්‍රේමකීර්තිද අල්විස්- එච්. එම් ජයවර්ධන)

එඩ්වඩ් සුභාවිත ගීතයට ප්‍රභාමත් සඳ මඩලකි. මේ සඳ මඩල සෞම්‍ය එළි පතුරුවන්නේ පුරා දශක ගණනාවක් අධ්‍යයනයෙන් , අත්දැකීමෙන්, විෂයය කෙරෙහි වන්නාවූ ප්‍රාමාණික බුද්ධියෙන් , පුහුණුවෙන් හා මනා ශික්ෂණයෙනි.මේ සා සුවිශාල වූ සුභාවිත නිර්මාණයන් කෙරෙහි ඔහු මෙහෙයවාලූ චින්තනය සකස් වූයේ එකී ශික්ෂණයෙනි.

එඩ්වඩ් ගේ ජීවන ගමන් මඟේනොසැලෙන සෙවනැල්ල ප්‍රියාදර බිරිය චරිතාය. චරිතාටද වෙනම අනන්‍යතාවයකින් යුත්ස්වාධීන ගමන් මඟක් ඇත්තියකි. එහෙත් ඇය සිය සැමියා ගේ ගමන් මඟට සවියක් වෙමින් ඔහු ගේ සියළු අභිප්‍රායයන් මුදුන් පත් කරවීම පිණිස නිර්ලෝභීව සිය සියළු ශක්තීන් ප්‍රදානය කරන්නීය. ඔවුන් දෙදෙනා එක්ව ගැයූ යුග ගීතද රාශියකි. පන්සලේ පල්ලියේ, සිකුරු තරුව රැයේ, ඔබයි මමයි කඳුළු අතර , මේ ප්‍රේම කතා නවතා මොහොතක් ඇතුළු යුග ගී තවත් යුග යුග ගණන් මෙරට ශ්‍රාවක සිත් පිනවනු ඇත. මව්පිය අඩිපාරේ යමින් වත්මනෙහි දූ සරණ්‍යා හා පුතු ඔන්දුපද මේ ගමනේ හවුල් කරුවන් වී සිටිය.

දයාන් විතාරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.