මට සම්පූර්ණයෙන් Actor කෙනෙක් වෙන්න බැරිවුණා

ජනවාරි 30, 2020

මා කැමැතිම ක්ෂේත්‍රයේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා නිසා සිතට දැනෙන්නේ සතුටක්. නැත් නම් වෙන ක්ෂේත්‍රයකට ගියා නම් මට මේක සම්පූර්ණ නැහැ කියලා හිතෙයි. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න ලැබීම ගැන මා සතුටුයි.

විශ්වා යන ආදරණීය නාමයෙන් හඳුන්වන විශ්වනාදන් කලක් ජාතික රූපවාහිනි ආයතනයට ප්‍රවෘත්ති නිවේදකයකු හා නිෂ්පාදකවරයකු ලෙස උපරිමයෙන් සිය දායකත්වය සැපයූ ශිල්පියෙකි. ඔහු කළ මෙහෙවර වෙනුවෙන් පසුගිය කාලයේ විවිධ ඇගයීම්වලට ලක් විය. එහෙත් එස්. විශ්වනාදන් තවමත් සිය වෘත්තීය දායකත්වය ක්ෂේත්‍රයට සපයමින් සේවයේ නියැළෙන්නෙකි. මේ කලක පසුව හමු වූ ඔහු සමඟ ‘සරසවිය’ට කළ පිළිසඳරකි.

ඔබ ජාතික රූපවාහිනියෙන් විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම සුවයෙන් කල් ගෙවනව ද?

මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු විදියටත් මගේ දැනුම මා එහි ළමයින්ට බෙදා දෙනවා. ඒ වගේම එක් එක් චැනල්වල ඉදිරිපත් කරන්නකු විදියටත්, වැඩසටහන් නිෂ්පාදකවරයකු විදියටත් කටයුතු කරන ගමන් ම බොහෝ කලා කටයුතුවල නිරත වීමයි මගේ දින චර්යාව වී තිබෙන්නේ. ඒ අතර ඉඳලා හිටලා චිත්‍රපටයකට, ටෙලි නාට්‍යයකට මගේ රංගන දායකත්වය ලබා දෙන්නත් මා අමතක කරන්නේ නැහැ. දැන් මේ සියලු දේවල් මා කරන්නේ නිදහස් මාධ්‍යවේදියකු විදියටයි. මා ජාතික රූපවාහිනියෙන් විශ්‍රාම ගියත් එතෙක් කරගෙන ආ කටයුතු ඒ විදියටම අද දක්වා කරගෙන යන නිසා සිදු වී තිබෙන්නේ එක් ආයතනයකින් එළියට පැමිණිම පමණයි. ඒ නිසා මාධ්‍ය කලා ජීවිතයෙන් මා තාම සමුගෙන නැහැ. මේ නිසා මා විශ්‍රාම ගියත් එහෙම වුණා කියලා මට කියන්න බැහැ.

පසුගිය කාලයේ ඔබ සම්මානයටත් පාත්‍ර වුණා. ඒ ගැන තිබෙන්නේ මොන වගේ අදහසක් ද?

සංස්කෘතික අමාත්‍යාංශයෙන් ලබා දුන් කලා භූෂණ සම්මානයත්, ජාතික සමගිය හා ඒකාබද්ධ අමාත්‍යාංශයෙන් ලැබුණු සම්මානයත්, රාජ්‍ය රූපවාහිනි සම්මාන උලෙළෙන් ලැබුණු යාවජීව සම්මානයත් කියන සම්මාන තුනයි මට ලැබුණේ. 2019 වසරේ මට ලැබුණු යාවජීව සම්මානය ලැබෙන්නේ ලෝක රූපවාහිනි දිනය දවසේයි. ඒ මා මේ ගමනේ කළ සේවයට ලැබුණු අගය කිරීම්.

රූපවාහිනියට ඔබව යොමු කරන්නේ ඔබගේ පවුල මඟින් ලැබුණු හුරුව ද?

මගේ අම්මා විජය ලක්ෂ්මි. ඈ සිංහල නිවේදිකාවක් විදියට ඒ ග්‍රේඩ් එකේත් වැඩ කළා. තාත්තා ෂංමුගම් පිල්ලේ. ඔහු සංගීතඥයෙක්. සුපර් ග්‍රේඩ් එකේ සංගීතඥයකු විදියට වැඩ කළා. මං පුංචි කාලයේ නිවෙසේදි අම්මාත්, තාත්තාත් කලාව ගැන සංගීතය ගැන, චිත්‍රපට ගැනයි කතා කළේ. ඒ කතාබහ නිසාමයි මට කලාව පැත්තෙන් වැඩ කරන්න ඕන කියන ආසාව ඇති වුණේ. ඒ කාලයේ තාත්තා නම් කියන්නේ ඒ පැත්තට එන්න උත්සාහ කරන්න එපා, ඒක බොහොම අමාරු කාර්යයක්, වෙන දෙයක නියැළෙන්න කියලා. ඒත් මගේ ආසාව වුණේ රඟපාන්න ඕන, සින්දු කියන්න ඕන, මාධ්‍යවල වැඩ කරන්න ඕන කියන එකයි. මුලින්ම මම ගීතයක් ගයන්නේ ගුවන්විදුලියේ පාසල් සේවයෙයි. ඒ 1965 වසරේයි. එයට පස්සේ ගුවන්විදුලියේ ළමා පිටියේ වැඩසටහන්වලට සහභාගි වුණා.

ඔබ නිවේදකයකු බවට පත් වන්නේ කුමන කාලයක ද?

1978 වසරේ. ස්වාධීන රූපවාහිනිය පටන් ගන්නේ 79 වසරේ. ඒ කාලයේ ටෙලිවිෂන් මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලාවක් තිබෙන බවත්, ඒ සඳහා කැමැති අයට අයැදුම් කළ හැකි බවත් පවසමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් පුවත්පතක දැන්වීමක් දාලා තිබුණා. ඒකට මා ඉල්ලුම් කළා. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් මාව පාඨමාලාවට තෝරාගෙන තිබුණේ ශිෂ්‍යත්වයක් සමඟින්. පාඨමාලාව මාස නවයක්. ඒ පුහුණුවෙන් පස්සේ අපව ජාතික රූපවාහිනියට බඳවා ගත්තා. ඒ වැඩසටහන් නිෂ්පාදකවරයකු විදියටත්, ප්‍රවෘත්ති නිවේදකවරයකු විදියටත්. මේ ආකාරයෙන් මා වසර විසිපහක් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයකු විදියට කටයුතු කර තිබෙනවා. මේ කාලය අතරතුරදියි මට දෙමළ වැඩසටහන් අධ්‍යක්ෂ විදියට උසස් වීමක් ලැබෙන්නේ. ඉන් පස්සේ නේත්‍රා රූපවාහිනි සේවයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරමින් මට හැකි උපරිමයෙන් මගේ සේවය රූපවාහිනියට ලබා දුන්නා. මේ වන විටත් මා ඒ කටයුතුවලින් ඉවත් වුණත් මගේ දැනුම මා අලුත් පරපුරට ලබා දෙමිනුයි කාලය ගත කරන්නේ. ඉස්සරහට පැමිණිය යුත්තේ ඔවුන්. ඒ නිසා අපේ දැනුම ඔවුන්ට වැදගත් වේවි.

ඔබ නිවේදකයකු පමණක් නොවෙයි; රංගන ශිල්පියෙක්?

මුලින්ම එච්.ඩී. ප්‍රේමරත්නගේ ‘දුලාරි’ කියන ටෙලි නාට්‍යයේ මා රඟපෑවේ. ඉන් පස්සේ තිලක් ගුණවර්ධනගේ ‘උතුරු කුරු සටන’, ඉන් පසු ‘දේදුනු පාලම’, ‘කොදෙල් වැසියෝ’, ‘එඑඑ.ඛ්ර්‍ණර්’ ඇතුළු ටෙලි නාට්‍ය දහයකට වඩා වැඩි ගණනක මා රඟපා තිබෙනවා. සිංහල චිත්‍රපටයක් වන ‘පාංශු’ නිර්මාණයේ ආරාධිත රංගනයක නිරත වුණා. ‘මදර් තෙරේසා’ කියන අන්තර්ජාතික චිත්‍රපටයේ මා චරිතයක් රඟපෑවා. මේවා අමතරව ශක්ති රූපවාහිනියේ කරන ටෙලි නාට්‍යවල මා රඟපෑවා. යම් අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකට මාව අවශ්‍ය නම් මම රඟපාන්න කැමැතියි. ඒත් මට සම්පූර්ණයෙන්ම ඇක්ටර් වෙන්න බැරි වුණා. ඒ මම නිවේදක, නිෂ්පාදක, ප්‍රවෘත්ති නිවේදක, සංස්කෘතික වැඩසටහන්වල ඉදිරිපත් කරන්නකු විදියටත් කටයුතු කළ නිසයි. ඒත් රඟපාන්න ලැබුණු අවස්ථා මා සතුටින් කළා. මෙතෙක් ගෙවුණු මගේ නිර්මාණ ජීවිතයට වසර හතළිහක්.

ඔබ ඒ ගෙවුණු වසර හතළිහක ජීවිතයේ භාෂා තුනෙක්ම වැඩ කළ හැකි නිර්මාණකරුවෙක්?

සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂාවලින් වැඩ කළ හැකියි. ඒවා ලියන්න, කියවන්න මට හොඳට පුළුවන්.

යුද්ධය කාලයේ දමිළ නිවේදකයකු ලෙස ඔබට යම් බලපෑම් එල්ල වූවා ද?

යුද්ධ කාලයේදි එක එක අභියෝග තිබුණා. විවිධ තර්ජන තිබුණා. ඒවා කොයි පැත්තෙන් ආව ද කියලා මා දැනගෙන හිටියේ නැහැ. ඒ වෙලාවේ ආයතනය මාව රැක ගත්තා. ඔවුන් කිව්වේ ඔයා පරිස්සම් වෙන්න. එන යන වෙලාවල්, ගමන වෙනස් කරගෙන යන්න කියලා. ඒත් මා හිතුවේ වැඩ කරන ආයතනයට අවංකව වැඩ කරන්න ඕන කියලා. කිසිම දවසක මා ආයතනයට වැරැද්දක් කරලා නැහැ. මා අවංකව වැඩ කළ කෙනෙක්. ඒත් අපෙන් පිටත වැඩ කරන අය අපි ගැන කොහොම හිතනවා ද කියලා දන්නේ නැහැ නේ. ඒ කොහොම වුණත් මා වැඩ කළ ආයතනයේ මාධ්‍යවේදීන් මට බොහෝ උදවු කළා.

ඔබ අලුත් පරපුරත් එක්ක කටයුතු කරන කෙනක්. ඔබට ඔවුන් ගැන තිබෙන්නේ මොන වගේ අදහසක් ද?

ඔවුන් සමඟ මා හැමවිටම වැඩ කරනවා. ඔවුන් දක්ෂයි. මගේ දැනුම සියල්ල ම, අත්දැකීම් මා ඔවුන්ට ලබා දෙනවා. ඒ අය තාක්ෂණය පැත්තෙන් වඩාත් දියුණුයි. ඔවුන් ගැන මට සතුටුයි.

ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය විවිධ නම්වලින් නේද?

බොහෝ දෙනා මට මා රඟපෑව චරිතවල නම් කියලා කතා කරනවා. ශිවා, සුබ්‍රමනියම් යන නම් ඒ අතර ජනප්‍රියයයි. ජාතික රූපවාහිනියේ හැමෝම මට කිව්වේ විශ්වා කියලා. සමහරු මගේ නමින් ම කතා කරනවා. දමිළ, මුස්ලිම් අය මට කතා කරන්නේ නමින්මයි.

ඔබ රූපවාහිනියෙන් සමුගත්තත් කලාවට ආදරේ බවයි පෙනෙන්නේ?

මම කලාවට ආදරෙයි. කවදාවත් මා කලා ක්ෂේත්‍රයෙන් හා මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත් වන්නේ නැහැ. මගේ හුස්ම ටික යනකම් මා මෙහි වැඩ කරනවා. ඒ වුණත් ඒ ගැන මා ලොකු ටාගට් එකක් තියා ගන්නේ නැහැ. එතකොට පීඩාවට පත් වන එක පමණයි වෙන්නේ. ඒක අනවශ්‍ය පීඩනයක්. මෙතෙක් මට ලැබෙන දේවල් මා හොඳීන් කරලා තියෙනවා. ඉදිරියටත් ඒ ලැබෙන දේවල් මා හොඳීන් කරනවා. හරියට කරනවා. අන්තිම හුස්ම තියෙනකම් මා හරියට වැඩ කරනවා.

ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දි දැනෙන්නේ සතුටක් ද?

මා කැමැතිම ක්ෂේත්‍රයේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා නිසා සිතට දැනෙන්නේ සතුටක්. නැත් නම් වෙන ක්ෂේත්‍රයකට ගියා නම් මට මේක සම්පූර්ණ නැහැ කියලා හිතෙයි. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න ලැබීම ගැන මා සතුටුයි. මට ලැබෙන්න ඕන දේවල් ලැබුණා. ඒ ගැන සතුටුයි.

ඔබගේ පවුලේ තොරතුරුත් කියමු?

බිරිය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගුරු උපදේශකවරියක් විදියටයි කටයුතු කරන්නේ. ඇය ශාන්ති. විජය අභිනන්දන් පුතා. අම්රිතා දුව. ඔවුන් දෙදෙනාම ඉගෙනීමේ කටයුතු අවසන් කරලා රැකියා කරනවා. පුතා විවාහකයි. ඔහු ක්ලැසිකල් මියුසික් කළා. රැකියාව කරන අතරතුර රූපවාහිනියේ අමතර වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. දුව භරත නාට්‍යම් අරංගේත්රම් කරලා අවසන්. නිවේදකවරියක ලෙස කටයුතු කරනවා.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.