ලිවීම මට සහනයක්

පී‍්‍රිති රන්දෙණිය
පෙබරවාරි 13, 2020

ළමා කතාවලට නම් අනිවාර්යයෙන් ස්වයං වාරණයක් තිබිය යුතුයි. පුංචි ළමයින්ට අපි දෙන්න ඕනේ ඇත්තටම ලස්සන දේවල්නේ. යථාර්ථය වුණත් දිය යුත්තේ ලස්සනත් එක්ක මුසු වෙලා පුංචි හිත් දූෂණය නොවන විදිහට.

මට දරුණු අපලයක් 
පළ දෙන්න ඇති බවක් 
නැකැත්කරු කීවාලු
මා මෙහෙණියක කළොත් 
එය එසේ නොවන බව 
හිතුවාද අම්මෙ ඔබ 
කීවාද කවුරු හෝ
...

...

සිතින් විඳී සියලු දුක් 
අමතකය අම්මෙ මට 
එදා ඔබ කී නිසා 
ගතින් මෙහෙණියක් වූ මා 
අම්මෙ අද ඔබ නිසාම 
සිතින්ද මෙහෙණියක් විය 
පින් සුවඳ විඳීන්නෙමි 
ඔබට පින්පුදන්නෙමි

කවි පන්තියක මුල හා අග කව් දෙකින් පමණක් සම්පූර්ණ අර්ථය ගෙනහැර පෑ නොහැකි වුවද මා මේ කොටස් තෝරා ගත්තේ වෙනස් කරුණක් ඔබට කියන්නටය. මේ කව්පන්තිය අයත් වන්නේ ප්‍රීති රන්දෙණිය නම් ලේඛිකාවගේ කුලුඳුල් නිර්මාණ වෑයමේය. ඒ 1991 වසරේ මුද්‍රණය වූ කාන්සියට ලියැවුණු කවි නම් පොතටය.

ප්‍රීති රන්දෙණිය නම ඇසූ පමණින් අපට සිහි වන්නේ ජ්‍යෙෂ්ඨ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ ප්‍රිය බිරිය යන්නය. එසේත් නැත්නම් මෑතක විජයබා කොල්ලයේ මවගේ චරිතයයි. එහෙත් පුංචියි ආච්චියි, වීරා වැනි යොවුන් නව කතා, මහගෙදර, චිත්තානුපස්සනා, කැට කිරිල්ලී, ළඟදීම තිරගත නොවේ වැනි නවකතා,පොල්කිච්චිගේ වාසනාව, පුල්ලියා, පුංචි හිමාලි, හොරගෙඩියා වැනි දුසිම් තුනක් පමණ වන ඇගේ ළමා කතා මෙන්ම කවි රසවිඳී අය ප්‍රීති රන්දෙණිය හඳුනන්නේ ලේඛිකාවක්, කිවිඳීයක් ලෙසය. ඇගේ නවතම යොවුන් නවකතාව වන්නේ ලොකූගේ ලෝකයයි. ඇගේ අතින් සාහිත්‍ය ලෝකයට ලොකූගේ ලෝකය මෙන්ම අනෙක් නිර්මාණ එක් වූ ආකාරය ගැන අපි ඇගෙන් විමසුවෙමු.

ඔබ සාහිත්‍යකරණයට පිවිසුණු ආකාරය දැනගන්න අපි කැමතියි?

ඇත්තටම අතිශය කාර්ය බහුල නළුවකුගේ බිරිඳක් ලෙස විවාහයෙන් පස්සේ මට පාළුව කාන්සිය දැඩිව දැනෙන්න ගත්තා. රවී බොහෝ වෙලාවට ගෙදර නැහැ. ඒ නිසා බලාපොරොත්තු වුණ ආදරයෙන් බැඳී ඉන්න තිබෙන අවස්ථා අඩු වුණා. දරුවන් එක්ක තනි වූණාම හිතට දැනෙන දේවල් ලියන්න ගත්තා. එහෙම මුලදිම ලීවේ කවි. ඇත්තටම මුල් කාලේ මගේ අතින් හොඳ කවිත් ලියැවෙන්න ඇති. ඒත් කාටද පෙන්වන්නේ කියලා හිතාගන්න බැරුව ලැජ්ජාවට විසී කරපු අවස්ථා ගොඩාක් තිබෙනවා. ඔහොම ලිය ලිය විසිකරකර ඉද්දි දවසක් ඒ. ඩී. රන්ජිත් කුමාර (සරසවිය හිටපු කර්තෘ) ආවා අපේ ගෙදර. ඔහු ඇහුවා මම තනියම ඉන්න වෙලාවට මොනවාද කරන්නේ කියලා. මම කීවා මම කවි ලියනවා. කමක්නැද්ද පෙන්නුවට කියලා. ඒවා බලලා රංජිත් කීවා ඇයි මේවා හංගගෙන ඉන්නේ? දෙන්න මම ගිහින් සරසවිය පත්තරේ දාන්නම් කියලා. ඒ තමයි මුල.

මුල්ම කවියට ප්‍රතිචාර ලැබුණද?

අම්මේ ඔව්. මට ධර්මසිරි ගමගේ මහත්තයා, (මහාචාර්ය) සුනිල් ආරියරත්න, මොනිකා රුවන්පතිරණ, සුමිත්‍රා රාහුබද්ධ වගේ අය කිව්වා මුල්ම කවි නිර්මාණය විදිහට හරිම ලස්සනයි කියලා. එහෙම කීවාම මට හිතුණා මට ලියන්න පුළුවන් ඇති කියලා. මගේ නිර්මාණයක් පෙන්වන්න තිබෙන ලැජ්ජා ගතිය දුරුවෙලා ගියා. පොඩි ධෛර්යයක් ඇති වුණා. ඊට පස්සේ දිගටම ලිව්වා.

ඔබත් නිළියක්නේ. ඉතින් ඔය තරම් පාළුවක්?

නෑ. නෑ. මම විවාහයෙන් පස්සේ රඟපෑවෙම නෑනේ. බඳීන්න කලින් රඟපෑවා. පස්සේ විවාහ වෙනකොට අපි දෙන්නම පොරොන්දු වුණා රංගනයෙන් ඉවත් වෙමු කියලා. ඒත් රවීට පොරොන්දුව ඉටු කරගන්න ක්ෂේත්‍රයෙන් ඉඩක් ලැබුණේ නැහැ. එයාට දිගටම රඟපාන්න වුණා. මම රඟපෑමෙන් ඉවත් වුණා. හැබැයි ඒ පොරොන්දුව ඉටු කළාට වඩා සිනමාවට රවීන්ද්‍ර රන්දෙණිය දුන් දායකත්වය ගැන සහ ඒ වෙනුවෙන් සහයෝගය දෙන්න පුළුවන් වීම ගැන මට සතුටුයි. ඊට අවුරුදු හතළිහකට පස්සේ තමයි විජයබා කොල්ලයේ මම රඟපෑවේ. ඉතින් ඒ වගේ තවත් ආරාධනයක් ආවොත් රඟපානවා.

කවියෙන් පස්සේ ළමා කතා, නවකතාවලට යොමු වුණේ?

පොඩි අය චූටි කාලේ දවසම ඒ අයත් එක්කනේ ඉන්නේ. ඉතින් බත් කවන්න කතා කියන්න ඕනේ. හැමවෙලේම අම්මෙ තව එකක් කියන්න කියනවා. මට සමහරවෙලාවට කලින් කියපු කතාව මතකත් නැහැ. සමහර දාට කලින් සතියේ කියපු කතාවල ඉතිරි කොටස් කියන්න කියලත් ඒගොල්ලො පෙරැත්ත කරනවා. මම ඉතින් බොරු කතා හද හද කියනවා. දුව හම්බුණාට පස්සේ එයා කතා අහගෙන ඉඳලා කීවා අම්මා කියන කතා ලස්සනයි ඒත් ඒවා ඔක්කොම මතක තියාගන්න බැරි නිසා ලොකු වුණාමත් බලන්න ලියලා තියන්න කියලා. එතකොට මට හිතුණා පොඩි අය ආසා ඇති මේවා කියවන්න කියලා. ටික ටික ලියලා තියන්න ගත්තා. එහෙම තමයි ළමා කතාවලට යොමුවුණේ. ඒවා ලීව‌ට පස්සේ නවකතාවලටත් බය නැතුව ගියා.

ගීත රචනාත් කර තිබෙනවානේ?

ඔවු. මගේ ගීතරචනා කැසට් එකකුත් තිබෙනවා. සමිතා මුදුන්කොටුව කියන පිපිච්ච මල් උඩ වැටිච්ච පිනිපොද, වික්ටර් රත්නායක, රූකාන්ත චන්ද්‍රලේඛා, නිරෝෂා විරාජිනී කියන ඔබකවියකැයි කීවට මම කවියක්ද, නොඅසන්න හිමි සඳේ සැරසෙන්නේ කිම මෙසේ, වගේ ගීත රැසක් රචනා වුණා මගේ අතින්.

ඉතින් ඔබට තිර පිටපත් රචනයටත් හොඳටම අවස්ථාව තිබෙනවානේ?

තිර රචනා කියන්නේ නවකතා, ළමා කතා වගේ නෙවෙයි ටිකක් බැරෑරුම් වැඩක්. ඉතින් මට ඒ ගැන අවබෝධයක් නැතුව අතතියන්න බයයි. හැබැයි මගේ පුංචියි ආච්චියි ළමා කතාවට තිස්ස අබේසේකර මහත්මයා ලියපු පෙරවදන කියවලා සුමිත්‍රා පීරිස් මහත්මිය චිත්‍රපටයක් කරන්න සැලසුම් කළා. ඒත් පිටපත ලියන්න හිටිය තිස්ස මහත්මයා හදිසියේ නැති වීමත් එක්ක දිගටම වුණු සිදුවීම් නිසා ඒ වැඩේ මඟහැරුණා.

ලොකූගේ කතාව ඔබේ අත්දැකීමක් වගෙත් මට දැනෙනවා?

ඕනෙම කෙනෙක් ලේඛනයට බැඳුණාම තමන්ගේ දේවලුත් ලියැවෙන්න ගන්නවානේද? එතටෙකාට තමයි මට හිතෙන්නේ සාර්ථක වෙන්නේ. ඒත් සමහර සිදුවීම් අපටම වෙන්න ඕනෙත් නැහැ. පරිකල්පනය කරලා ලියන්න පුළුවන්. 

ඔබ කාන්තාවක්, ළමා කතා රචිකාවක් ලෙස අනෙක් නිර්මාණවලටත් ස්වයං වාරණයක් පවත්වා ගන්නවාද?

ළමා කතාවලට නම් අනිවාර්යයෙන් ස්වයං වාරණයක් තිබිය යුතුයි. පුංචි ළමයින්ට අපි දෙන්න ඕනේ ඇත්තටම ලස්සන දේවල්නේ. යථාර්ථය වුණත් දිය යුත්තේ ලස්සනත් එක්ක මුසු වෙලා පුංචි හිත් දූෂණය නොවන විදිහට. නවකතා රචනයේදීත් මම කොතරම් නිදහස තිබුණත් මටම වාරණයක් පවරාගෙනයි නිර්මාණය ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් ලිංගිකත්වය වැනිදේ ඇතුළත් කර පොත ප්‍රචාරය කරගන්න මම කැමති නැහැ.

එයට හේතුව ඔබේ සැමියා ප්‍රසිද්ධ චරිතයක් වීමද? ඔබේ ආත්ම ගෞරවය ගැන සිතීමද? නැත්නම් වෙනත් හේතුවක්ද?

මට හිතෙන්නේ අපි එක එක්කෙනා හැදිච්ච වැඩිච්ච පිළිවෙළක් තිබෙනවානේ... සමහරු බොහොම විවෘතව කතාකරන, ගොඩක් පිරිමි අය සමඟ ගැටෙන අකාරයට වැඩුණාම ඒ අයගේ අදහස් විවෘතව කියනවා. අපේ කාලේ එහෙම සමාජයක් නෙවෙයි තිබුණේ. ඒ නිසා වෙන්න ඇති අපට ඒ වාරණය කියන අදහස හිතට වැටුණේ. හැබැයි කවුරුහරි විවෘතව අදහස් ලියන අය ගැන මම වරදක් දකින්නෙත් නැහැ. මම සාමාන්‍යයෙන් ඕන පොතක් රසවිඳීනවා වුණාට බලන්න ගම්පෙරළිය වගේ කතා ලියලා තිබෙන සංයමය. මම ඒ වගේ පොත්වලට වැඩි කැමැත්තක් දක්වනවා. චිත්‍රපට වුණත් එහෙමනේ. රන්සළු බලලා ලබන වින්දනය මට ගහමරාගන්න චිත්‍රපටයකින් ලබන්න බැහැ. ඒකට හේතුව ඉතින් රසයේ සාපේක්ෂබව වෙන්න ඇති.

ලොකූගේ ලෝකයේ ළමයින්ගේ දඟවැඩ වගේම මෙහි අවසානය ඔබ ගෙන එන්නේ ඔබේ අත්දැකීම් ඇසුරෙන්ද?

ඇත්තෙන්ම මම විවාහයෙන් පස්සේ ලබපු අත්දැකීම් තමයි දරුවන් සමඟ මාමා එහෙම කරන දඟවැඩ හැටියට ලීවේ. කතාවේ අවසානය මම හිතුවාට වඩා ලියද්දි වෙනස් වුණා. මම විවාහයෙන් පසු කතෝලික බවට හැරුණු බෞද්ධයෙක්. ඉතින් මගේ හදවතේ තිබෙන බෞද්ධ දර්ශනයේ කොටස් මෙයට ඉබේම එක් වෙනවා. ඒ වගේම මගේ යාළුවන් සමඟ කතාබහ කරද්දි ඒ අයගේ දෙමව්පියන්ට අද අත්පත් වී ඇති ඉරණම, දරුවන් වෙනුවෙන් කැපවුණු දෙමව්පියන් අවසාන කාලයේ අත්විඳීන අත්දැකීම්, ඔවුන්ගේ තනිකම මට අවබෝධ වෙනවා. ඒ නිසා තමයි කතාවේ අවසානය ආකාරයට වුණේ.

කතාව ලියන්න පෙර ආකෘතිය සහ භාෂාව ගැන හිතනවාද?

මට එහෙම හිතලා ලියන්න පුළුවන් කමක් නැහැ. මට ලේසි මට පුළුවන් භාෂාවෙන් තමයි මම ලියන්නේ. ඉගෙන ගත් දේවල් සහ කියවීමෙන් ලැබූ දේවල් විතරයි මම දන්නේ. මට හිතේ පොඩි සාංකාවක් තිබෙනවා මගේ භාෂාව වැඩිදියුණු කරගත යුතුයි කියලා. සමහරවිට මේ පොත්වලත් ව්‍යාකරණ දෝෂ එහෙම තිබෙන්න පුළුවන්. ඒත් මට ලිවීමෙන් ලැබෙන සහනය නිසා පුළුවන් විදිහට ලියාගන්නම තමයි හිත කියන්නේ. (සිනාසෙයි)

ඔබ අලුතින් නිර්මාණයක් කරන්න හිතනවාද?

ඔව්. මගේ යාළුවන් එහෙම කතා කරද්දි ඒ අයගේ ජීවිතවල සත්‍ය සිදුවීම් මට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒවා ඇසුරින් තවත් නවකතාවක් ලියන්න මම හිතාගෙන ඉන්නවා. වස්තු බීජ කීපයක්ම හිතේ දුවනවා. කොයික මුලින් ලියනවාද කියලා තමයි හිතාගන්න බැරි. හැබැයි මම ආසයි තරුණ ළමයින්ගේ පිස්සු වැඩ ගැන පොඩ්ඩක් හාස්‍යය මුසු කතාවක් ලියන්න.

ගයාන් පුෂ්පික

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.