ආයෙත් මම සිංහල සිනමාවට එනවා

පෙබරවාරි 13, 2020

මතකද බිම්බාදේවී හෙවත් යශෝධරා චිත්‍රපටයේ සිදුහත් කුමරු? ඔහුගේ ඝන වූ දෙබැම, අව්‍යාජ බැල්ම, කෙළිලොල් සිනහව, හඳුන් පැහැ හීන්දෑරි උස සිරුර පියවි ඇසින් දකින්නට ලැබුණු මොහොතේ මට හැඟුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අර්පිත් චෞද්රි වෙතින් රජ කුමරුවකුගේ ඡායා මාත්‍රයක් දකින්නට ඇති බවයි. ඔහු වෙළෙඳ දැන්වීමක රූපගත කිරීමක් සඳහා ලංකාවට පැමිණි මොහොතේ අපට හමු විය. ඒ ප්‍රවීණ නිෂ්පාදන කළමනාකාරිනියක වන මනෝහරී හේවාවසම්ගේ ඔත්තුවකට අනුවය. අර්පිත් සරසවිය සමඟ යෙදුණු පිළිසඳරක තොරතුරුයි මේ...

දෙවැනි වතාවට ලංකාවට ආවාම මොකද හිතෙන්නේ අර්පිත්?

ඉතාම සොඳුරු දිවයිනක් බව තවත් වරක් මට තහවුරු වුණා. යශෝධරා චිත්‍රපටයට පින්සිදු වන්නට මගේ පළමු සංචාරයේදීම බොහෝ තැන්වල ඇවිදින්න මට අවස්ථාව ලැබුණා. රිවර්සටන්, දිගන, උද්භිද උද්‍යානවල, තිස්සමහාරාමය (ඔහු මදක් පටලැවිලි සහිතව උච්චාරණය කරයි) වගේ ස්ථාන මම රසවින්දා. ඔයාලාගේ රටේ අය හරිම නිහතමානී හරිම යහපත්. එය මාව පුදුමයට පත් කළා. 

යශෝධරා චිත්‍රපටය ගැන ඔබේ හැඟීම?

මම හිතන්නේ ඔවුන් සෑහෙන කාලයක් සහ මහන්සියක් මේ චිත්‍රපටය වෙනුවෙන් කැපකළා. තාක්ෂණික කාර්ය මණ්ඩලය, විශේෂයෙන් කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය ලොව පිළිගත් ශිල්පියෙක්. මම හිතන්‌නේ නැහැ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට හැකියාවන්ගෙන් යුත් පිරිසේ කිසිම අඩුවක් තිබෙනවා කියලා. යශෝධරා චිත්‍රපටය බොහොම සුන්දර, හදවතට, ආත්මයට දැනෙන චිත්‍රපටයක් වගේම එයට ශ්‍රී ලාංකිකයන් සමඟ ගැඹුරු බැඳීමක් තිබෙනවා.

ඔබ හින්දු ආගමිකයෙක්ද?

මම ඉපදුණේ හින්දු ආගමිකයෙක් ලෙස ඒත් මම ක්‍රිස්තූන් වහන්සේ අදහන්නෙක්. හැබැයි මම සියලු ආගම්වලට ගරු කරනවා.

ඔබ යශෝධරාහි රඟපාද්දි මොනවගේ අත්දැකීම් ද ලැබුවේ?

ඒ මුළු කණ්ඩායමම හරිම සහයෝගයෙන් කටයුතු කළා. විශේෂයෙන් මතක් කරන්න ඕනෙ දිනෙත් ද සිල්වා. ඔහු මට සැලකුවේ සහෝදරයකුට වගේ. විශේෂයෙන් ක්‍රියාදාම කොටස්වලදි ඔහු මට සෑහෙන උදවු කළා. කන්ථකට හිටිය අශ්වයා හරිම ලස්සන සුදු එක්කෙනෙක්. හැබැයි එයා තව වෙළඹක් ගැන උනන්දුවෙන් හිතමින් හිටියේ. ඒ දෙන්නා පේන මානේ තියන්න නිෂ්පාදන කණ්ඩායම නිතර කටයුතු කළා. ඒත් ඒ වෙළඹ පේන්න නැති වෙලාවක එයාගේ හිත කලබල වෙලා අපට එයාවපාලනය කරගන්න බැරුව ගියා. පිස්සුවෙන් වගේ දුවන්න ගත්තා. (සිනාසෙයි) මාව එයාගේ පිටෙන් වැට්ටුවා. මගේ කකුල පා විල්ලුවේ පැටලිලා හිටියේ. මම කකුල ඇදලා ගත්තා. ( අර්පත් පවසන්නේ ඒ මොහොතට ගියා මෙනි. ඔහුගේ මුහුණ රතු වී තිබේ)ඒක හරිම භයානක අනතුරක් වෙන්න ඉඩ තිබුණා දිනෙත්, මනෝහරී ඇතුළු අනෙක් සියලු දෙනා මට ඒ වෙලාවේ උදවු නොකරන්න. මට ඒ සිදුවීම වගේම උදවු කළ ආකාරය නොමැකෙන මතකයක් බවට පත් වුණා. ඒ වගේම අධ්‍යක්ෂ මහාචාර්ය සුනිලුත් නිර්මාණකරණයේ දක්ෂ නිහතමානී කෙනෙක්.

ඔබ මේ වතාවේ එන්න විශේෂ හේතුවක් තිබෙනවා?

සැබවින්ම. එක්තරා සුපිරි තේ නිෂ්පාදනයක සන්නාම ප්‍රවර්ධනය වෙනුවෙන් තමයි මම මේවර ලංකාවට ආවේ. එය බොහොම වෙනස්ම ආකාරයක වෙළෙඳ දැන්වීමකිනුත් සමන්විතයි. එයට මා සමඟ පෙනී හිටියේ බොහෝම රූපත් ඉන්දියානු නිරූපණ ශිල්පිනියක වන ගීතාංජලී සිං. මම මේ දේ බාරගත්තේ හේතු දෙකක් මත. එකක් අපි කරන දේවල් අන් අයගේ ඒවාට වඩා වෙනස් විය යුතුයි. ඒ වගේම ගුණාත්මක බවින් වැඩි විය යුතුයි. යශෝධරා වගේ චිත්‍රපටයක සිද්ධාර්ථ කුමාරයා ලෙස පෙනී ඉඳලා මට ගුණාත්මක බවින් අඩු වැඩකට අත ගසන්න බැහැ. ඒ නිසා මෙයටත් අපි අපේ උපරිමයෙන් දායක වුණා.

ඔබ සන්නිවේදන ඉංජිනේරුවෙක්?

ඔව්. මම උසස්පෙළින් පස්සේ මනිපාල් විශ්වවිද්‍යාලයේ වසර දෙකක් ඉගෙනගෙන ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයට තේරුණා. එහිදී විද්‍යුත් සන්නිවේදන ක්‍රමවේද පිළිබඳ උපාධිය හදාරලා විද්‍යාපති උපාධිය කළේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ ආයතනික වෙනස්වීම් පිළිබඳවයි. පසුව අහමදාබාද්හි ඉහළින්ම පිළිගත් ආයතනයක මම අන්තර්වාසික පුහුණු කාලය ගත කළා. හැබැයි මම පුංචි කාලෙ ඉඳන්ම හීන මැවුවේ නළුවෙක් වෙන්න. ඒ නිසා මම එංගලන්තේ ඉන්න කාලේ එක එක අමතර ආදායම් මාර්ග හොයාගත්තා.

අපි ආසයි ඒ කතාවත් අහන්න?

(සිනාසී) දන්නවානේ එංගලන්තෙදි අපි පාට් ටයිම් ජොබ්ස් හොයාගන්නවානේ. ඒ අතර මම හොලිවුඩ් චිත්‍රපටවල පොඩි පොඩි කොටස්වලට පෙනී හිටියා. අවාසනාවකට අන්තිමට බලද්දි ඒවා චිත්‍රපටයේ තිබුණේ නැහැ. ඒත් ඒ ඔස්‌සේ මට කෙටි චිත්‍රපට කීපයක් ලැබුණා. ඒ සමහර ඒවා පිළිගත් සිනමා උලෙළ නියෝජනය කළා. ඒ වගේම මම හුඟක් රංගන පාඨමාලා හැදෑරුවා. විශේෂයෙන් ඇක්ටිං ටෙම්පල්වල සහ ඇක්ටර්ස් ඊස්ට් ආයතනවලින් ලැබූ දැනුමෙන් හා පුහුණුවෙන් මට රංගනය ගැන ආත්ම ශක්තියක් ලැබුණා. ආපසු මුම්බායි ආවට පස්සේ මට හදිසියේම යශෝධරා චිත්‍රපටය ලැබුණා. මහාචාර්යතුමාට සිද්ධාර්ථ සහ යශෝධරා සඳහා ඉන්දියානු මුහුණුම අවශ්‍ය වුණා. ඒ නිසා ඔවුන් මුම්බායි ඇවිත් සම්මුඛ පරීක්ෂණ තිබ්බා. ඒත් ඔවුන්ට හරියන මුහුණ ලැබුණේ නැති නිසා වෙන්න ඇති තවතවත් අයව හොයන බව ආරංචි වුණා. ගීතාංජලීව දන්න අයත් අහලා තිබුණා සිද්ධාර්ථ කුමාරයාට ගැළපෙන කෙනෙක් ඉන්නවාද කියලා. අහම්බෙන් තමයි ඇය මා ගැනත් කියලා තිබෙන්නේ. ඉතින් මට චරිතය ලැබුණා. (ඔහු සිහිනය සැබෑ වූ සතුටින් මදහසක් පායි.) 

මොකද ඔය තරම් නළුවෙක් වෙන්න ආසාවක්?

හේතු දෙකක් තිබුණා. එකක් අපේ හින්දි සිනමාවේ දිදුලන තරු විශාල තිරයේ දකිනකොට මම විස්මයට පත්වුණා. ඔවුන්ගේ රශ්මි කදම්භයන් මාව කුල්මත් කළා. මටත් වීරයෙක් වෙන්න ඕනෙ වුණා. (ඔහු දෑත දෙපසට විහිදා දෙනෙත් ඉහළට යොමු කොට කියයි) ඒ වගේම මම වයසෙන් වැඩෙද්දි කතාවලට තියෙන ආසාව වැඩෙන අතරම අධ්‍යාපනයත් සමඟ රඟපෑම පිළිබඳ මගේ මතය වෙනස් වෙන්න ගත්තා. සැබෑ ජීවිතේ ඒ තරම් ලේසි නැති බව මට තේරුණා. ඒත් සිනමාව ගැන මගේ කැමැත්ත වෙනස් වුණේ නැහැ.

අධ්‍යාපනයට සුදුසු රැකියාවක් හා රංගනය අතරින් ඔබ වඩාත් කැමැති?

දෙකක් නෑ රංගනයට. අධ්‍යාපනය කියන්නේ ඕනෙම කෙනෙකුට අත්‍යාවශ්‍ය දෙයක්. අධ්‍යාපනයක් නැති සමාජය සතුන් වගේ. හැම කෙනෙක්ම යම් මට්ටමකට හෝ ඉගෙනීමක් අවශ්‍යයි. පුද්ගලයකු මනුෂ්‍යයෙක් වන්නේ අධ්‍යාපනය නිසයි.

යශෝධරා චිත්‍රපටය ඔබට තවත් අවස්ථා උදාකළා?

ඔව්. ඊට පස්සේ මගේ චිත්‍රපට දෙකක් රිලීස් වුණා. මුල්ම එක ඊව්නිං ෂැඩෝස්. එය අන්තර්ජාතික සම්මාන 23ක් දිනා ගත්තා. මේ වෙද්දි අන්තර්ජාතික උලෙළ හැත්තෑ තුනක ප්‍රදර්ශනය කරලා තිබෙනවා. එය සීමිත දර්ශනයක් පමණයි කළේ ජනවාරි මාසයේ පීවීආර් සිනමාස්වල. ඊළඟට ෆස්තේ ෆසාතේ කියන රොමැන්තික හාස්‍යෝත්පාදක චිත්‍රපටය ගිය වසරේ ජූනි මස තිරගත වුණා. මගේ අලුත්ම චිත්‍රපටය තමයි මගේ විශාලම සිනමා ව්‍යාපෘතිය මෙතෙක් කළ. එහි නම ගම තවම හෙළි කරන්න විදිහක් නැහැ. හැබැයි මම එහි කරන්නේ බොහොම සංකීර්ණ භූමිකාවක්. එහි අධ්‍යක්ෂවරයාත් අලුත්. එය සංගීතමය චිත්‍රපටයක්. මම ඒ ගැන බොහොම බලාපොරොත්තු තබාගෙන ඉන්නේ. ඒ වගේම තවත් චිත්‍රපට කීපයක් පිළිබඳ සාකච්ඡා කෙරෙමින් යනවා.

ආයෙත් සිංහල චිත්‍රපටයකට කතා කළොත් කැමතිද?

අනිවාර්යයෙන්ම. එහෙම කවුරුහරි ඉන්නවා නම් මගේ ඊමේල් එක දෙන්න. [email protected] මම කීවා වගේ මෙහෙ හුඟක් දක්ෂ, කැපවීමෙන් යුතු තාක්ෂණ හා අනෙක් ශිල්පීන් වගේම හොඳ වස්තුබීජ තිබෙනවා. හැබැයි මම ලංකාවේ අකමැති එක දෙයක් නම් කිව යුතුමයි. ශ්‍රී ලංකාවේ රසිකයන් දේශීය සිනමාවට දෙන සහයෝගය මදි. එය කනගාටුදායකයි. මම හිතන්නේ රජය සහ මහජනතාව මීට වඩා උනන්දුවක් සහයෝගයක් මේ රටේ නිර්මාණවලට දියයුතුයි, හොලිවුඩ් හෝ බොලිවුඩ් චිත්‍රපටවලට වඩා. රටේ ජනහනය ඉන්දියාවට වඩා බොහෝ අඩු නිසා කර්මාන්තයක් ලෙස ඒ මට්ටමට එන්න ඔබට යම් කාලයක් ගත වේවි. ඒත් රජය සහ ජනතාව තමන්ගේ කර්මාන්තය ගැන විශ්වාසය තැබිය යුතුයි. මෙහෙ පූර්ණකාලීන නළුනිළියන් හරි අඩුයි. එය ඉන්දියාවේ තරම් පහසු දෙයක් නොවුණත් එවැන්නන් වැඩිපුර අවශ්‍යයි. මේ දේවල් සිදු නොවුණොත් කර්මාන්තය කොයි අතේ යයිද දන්නේ නැහැ. මම මෙහෙමෙ කියන්නේ ඔබේ සිනමාවට තිබෙන ආදරේ නිසයි. වරදවා තේරුම්ගන්න එපා. 

දන්න අය කියනවා ඔබ රහට කන්න කැමැති කෙනෙක් කියලා? කොහොමද සිරුරේ හැඩය පාලනය කරගන්නේ?

කවුද කියන්නේ? (ඔහු තරහෙන් මෙන් රඟපායි. සැණෙකින් සිනාසෙයි) ඇත්ත. ඇත්ත. මම හොඳට කනවා. හැබැයි ව්‍යායාම කරනවා. හැබැයි මට විශ්වාසයෙන් කියන්න පුළුවන් මම කන්නේ හරි විදිහේ කෑම විතරයි කියලා. අනෙක මම කියන්නම ඕනෙ දෙයක් තමයි මම ප්‍රමුඛතාව දෙන්නෙ කෑම පාලනයට වඩා මට කරන්න තිබෙන චරිතයේ ස්වභාවයට කියලා. ඒ වෙනුවෙන් මම අවශ්‍ය විදිහට ආහාර වෙනස් කරගන්නවා. මේක අවධාරණය කරන්න ඕනේ. සමහරු හිතනවා වැඩියෙන් කෑවාම මහත් වෙනවා කියලා. ඒක බොහොම වැරැදි මතයක්. ඔබ ආහාරයක් ගත යුත්තේ බඩගිනි වෙලාවට මිස වේල් ගණන සම්පූර්ණ කරන්න නෙවෙයි. ඔබ ඔබේ සිරුර ගැන අවබෝධයෙන් ඉන්න. වැරැදි වෙලාවට කෑම කන එකත් වැඩක් නැහැ. කෑම නොකා හිටියට කෙට්ටු වෙන්නෙත් නැහැ. පෝෂණය සිරුරට ඉතා වැදගත්. ජිම්වලට ගිහින් ව්‍යායාම කරන්න ඕනෙ කියලා එකක් නැහැ. මහන්සි වෙලා වැඩ කරන්නයි ඕනෙ. එහෙම මහන්සිවෙලා හොඳට නෑවට පස්සේ දවස ප්‍රබෝධයෙන් ගෙවන්න පුළුවන්. ෆිට්නස් කියන්නේ ලොකු ඇඟක් තිබීම නෙවෙයි. ශක්තිමත් හදවතක් තිබීමයි.

ඔහුගේ පවුලේ විස්තර ලෙස කීවේ මව පූර්ණකාලීන ගෘහණියක් බවත්, පියා ඉන්දියාවේ තෙල් සමාගමක රැකියාවේ නිරත වන බවත් මල්ලී බැංගලෝරයේ බහුජාතික සමාගමක සේවය කරන බවත්ය. ඔහු පවසන ආකාරයට ඔහු තවමත් පෙම්වතියක සොයන්නෙකි. ඒ තොරතුරුවලට පසුව මා ඇසුවේ ඔහුගේ ජීවන දර්ශනය කුමක්ද යන්නයි.

මගේ ජීවන දර්ශනය තවම ගොඩ නැඟෙමින් තිබෙන්නක්. මම හිතන්නේ දැඩි ස්ථාවරයකට එන්න තරම් මම තවම තරුණ වැඩියි. ඒත් මට දැනෙන දේ තමයි අපි යමක් ලබා ගන්නේ අපට එය අවශ්‍යම නිසයි. අපි යමක් කරනවා නම් එයට හේතුව අපි පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. අපි පුද්ගලික හෝ වෘත්තීය වශයෙන් යමක් ලබන්න අරගල කරද්දි සමහරු එයින් දුර්වල වෙනවා. තවත් සමහරු තවතව ශක්තිමත් වෙනවා. ඒ වගේම අප වටේ ඉන්න අය අපට වචනයකින් හරි උදව් කරන අය අපට ලැබෙන්නේ, අපි යම් යම් ජයග්‍රහණ ලබන්නේ අපේ කැපවීම සහ දෙවියන්ගේ කරුණාව නිසාම විතරයි. ඒ නිසා කෙනෙකුගේ ජය හෝ පරාජය ගැන කිසිම පුද්ගලයකුට වගකියන්න බැහැ. ඒ වගේම මම වචන තුනක් ගැන දැඩිව විශ්වාස කරනවා. ආදරය, කරුණාව සහ කෘතඥතාව. මුළු ලෝකයම අද එය වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. අපි පුද්ගලයන් හැටියට කුමන තරාතිරමක සිටියත් කුමක් කළත් අපට වගකීමක් තිබෙනවා මේ ගුණාංග ලෝකයට බෙදන්න. මොකද බින්දු බින්දු එක්වෙලා තමයි මහමුහුදක් හැදෙන්නේ. ඒ නිසා අපි අපි විසින්ම එය ආරම්භ කළයුතුයි. අනෙක් කරුණ නම් පුළුවන් තරම් සරල වීමයි. සරල වුණ තරමට අපට පෙනහලු පිරෙන්න හොඳ හුස්මක් අරගෙන නිදහසේ ඉන්න පුළුවන්.

අරුණි මුතුමලී‍ 
සන්දේශ් බණ්ඩාර 
නිශ්ශංක විජේරත්න

ඇඳුම් - ඇඳුම් ලිනන් 
වෙස්ගැන්වීම - ඉරේෂ් එරංග

Add new comment