රඟපාන්න චරිත ලැබෙන්නේ දැනුයි

හිරුණි රණසිංහ
පෙබරවාරි 13, 2020

 

මං හරිම ආසයි වේදිකා නාට්‍යවල රඟපාන්න. ඒවායින් ආව අය තමයි අද ටෙලි නාට්‍යවල සිනමාවේ කැපී පෙනෙන්නේ. ස්ටේජ් ඩ්‍රාමා නිළියක් විදිහට මාව හඳුන්වනවටත් ආසයි.

ඔබේ නම සඳහන් කරමු?

හිරුණි රණසිංහ.

හිරුණි වෘත්තීමය නිළියක්?

ඔව්.

ඒ නිළි හීනය නිසා ඔබ ඔබේ විශ්ව විද්‍යාල ප්‍රවේශය පවා මඟහැරියා?

මාව සෞන්දර්ය කැම්පස් තේරුණා. ඒත් ගියේ නැහැ. රංගනය පැත්තෙන් දෙයක් කරන්න බැරි වේවි කියලා හිතුණා. ඩාන්සිංවලින් තමයි මට ඩිග්රිය කරන්න වෙන්නේ කැම්පස් ගියා නම්.

රංගන දිවිය ඔබ ආරම්භ කරන්නේ?

මහරගම යූත් එකේ ඩ්‍රාමා ස්කූල් ගියා. කරන්න පුළුවන් හැම කෝස් එකක්ම කළා. එහිදී නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය. මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය ඇතුළත් වුණේ දෙයියන්නෙ රටේ නාට්‍යයේ. ඒකෙ මං සුදු නංගි.

රඟපෑ නිර්මාණ පෙළ මතක කළොත්?

වේදිකා නාට්‍ය නම් ගොඩක් කළා. ගොන්ඩෝලා, හතේ කාමරේ, මේක යකාගෙ කතාවක් වගේ ඒවා. මං හරිම ආසයි වේදිකා නාට්‍යවල රඟපාන්න. ඒවායින් ආව අය තමයි අද ටෙලි නාට්‍ය සිනමාවේ කැපී පෙනෙන්නේ. ස්ටේජ් ඩ්‍රාමා නිළියක් විදිහට මාව හඳුන්වනවටත් ආසයි. ටෙලි නාට්‍ය ගැන කතා කළොත් සඳ දිය සිත්තම්, රාවණා, සිද්ධාර්ථ ගෞතම, සඳ හැංගිලා, අඩෝ වගේ නාට්‍ය තියෙනවා.

මේ දවස්වල ඔබ වඩාත් ජනප්‍රිය?

මගේ නාට්‍යය දෙකක් ටෙලිකාස්ට් වෙනවා. එකක් අහස් මාලිගා. ඒකෙ මං අමාලි. අමාලි කියන්නේ ඇමැති බිරියක්. චරිතයේ හැටියට මං හරිම වසයි. මං ඉන්න අනෙක් නාට්‍යය රැස්. ලින්ඩා කියන චරිතය තමයි මං ඒකේ කරන්නේ. ලින්ඩා කියන්නේ අවුරුදු 23 ක දරුවෙක් ඉන්න මවක්. වැඩේ කියන්නේ මගේ දරුවට රඟපාන නළුවට වයස විසි නවයයි. මට වයස විසි තුනයි. ඒත් මං ඒ චරිතය කැපවීමෙන් රඟපානවා.

ඔබේ වයසෙ නිළියෝ ප්‍රතික්ෂේප කරන චරිතයක් ඔබ රඟපාන්නේ?

ඔව්. මගේ පරපුරේ අය බාර ගන්නේ නැහැ ඔය වගේ චරිත. මං ආසයි අභියෝගාත්මක චරිතවලට. මේක බාර ගත්තෙත් ඒ හින්දම තමයි.

ඔබේ පියා නිෂ්පාදකවරයෙකු නේද?

තාත්තා සම නිෂ්පාදනයෙන් දායක වුණා නාට්‍යයකට. නෑනලා තමයි ඒ නාට්‍යයේ නම. නාලන් මෙන්ඩිස් මහත්මයා තමයි නෑනලා අධ්‍යක්ෂණය කළේ මමත් ඒකේ ප්‍රධාන චරිතයක් රඟපෑවා සුභානි කියලා. පියාගේ නම අනුෂ් රණසිංහ.

හිරුණි රඟපාන්න ඇවිත් කොපමණ කල්ද?

අවුරුදු 3 විතර.

මේ කාලය අතරතුරදි ඔබට වෙන නිළියකට නොලැබෙන අවස්ථා ගණනාවක් ලැබුණා?

ඔව්. නාට්‍ය ගොඩක් ලැබුණා තමයි. ඒත් දැන් දැන් තමයි මට රඟපාන්න තරම් චරිත ලැබෙන්නේ.

හිරුණිගෙ ගම කොහෙද?

ගම්පහ මොරගොඩ.

උපන් දිනය?

අනූ හයේ ජුලි දහනවය.

ඉගෙන ගත්තු පාසල?

ඉස්කෝල දෙකකට ගියා. ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහල සහ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ විදුහල තමයි ඒ ඉස්කෝල.

හිරුණි මේ වන විට පෙම්වතියක්ද?

පෙම්වතියක් කියන්න බැහැ. ගොඩක් දුරට මං විවාහ නොවී ජීවත් වේවි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.