කුච්චවේලි කල්‍යාණි ඇත්තටම අභියෝගයක්

සුනාමි සමඟ එන කතා නායිකාව - නිරංජනී ශන්මුගරාජා
පෙබරවාරි 13, 2020

ශ්‍රී ලාංකිකයන් අත්විඳී දැවැන්තම ස්වභාවික ව්‍යසනය ලෙස සුනාමි ව්‍යසනයට ඉකුත් දෙසැම්බර් 26 වැනිදා වසර පහළොවක් සපිරෙද්දි සම්මානනීය සිනමා අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා විසින් සුනාමි ව්‍යසනය වටා ගෙතුණු කතා පුවතක් නැවත ප්‍රතිනිර්මාණය කරමින් රිදී තිරය මත සිත්තම් කළේය. පසුගියදා තිරගත වීම ආරම්භ කළ "සුනාමි" චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පිනි නිරංජනී ශන්මුගරාජාය. චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස විවිධ විචිත්‍ර චරිත ප්‍රේක්ෂක ඔබ හමුවේ ගෙනහැරපෑ ඇය සමඟ කළ කතාබහකි මේ.

නිරංජනී ශන්මුගරාජා කියන්නේ කවුද කියන තැනින්ම මේ කතාව පටන්ගමු?

නිරංජනී කියන්නේ හරිම සරල විදියට ජීවත් වෙන ජීවිතේ ගොඩක් අභියෝගවලට මූණදීලා අදටත් හොඳ ආත්ම ශක්තියකින් හෙට දවස ගැන හීන දකින සාමාන්‍ය කෙල්ලෙක්ට. වෘත්තිමය වශයෙන් නිවේදිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඔබ දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල් වෙනවාද?

මම රූපවාහිනී නිවේදිකාවක් ලෙස සේවය කරන්න ආරම්භ කළේ 2009දී. මේ වනතුරු මම ඒ වෘත්තියේ නියැළෙනවා. මම රංගනයට ආවේ 2011 වසරේදී.

ඔබ සම්බන්ධ වුණු සිනමා නිර්මාණ ගැන කතා කළොත්?

මගේ පළමු වැනි සිනමා නිර්මාණය "ඉනිඅවන්". අශෝක හඳගමගේ අධ්‍යක්ෂණයක්. ඉන්පසුව ප්‍රියන්ත කළුආරච්චිගේ "රතු සමනල සිහිනයක්", කිං රත්නම්ගේ "කෝමාලි කිංග්ස්" (දෙමිල) යන නිර්මාණවලට සම්බන්ධ වුණා. "පුත්තු සහ පියවරු" සුමති ශිවමෝගන්ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණයක් වුණු "ගිරිවැසිපුර" චිත්‍රපටයටත්, මාධවන් මහේශ්වරන්ගේ නිර්මාණයක් වුණු "සොප්පන සුන්දරී" චිත්‍රපටයටත් මම දායක වුණා. සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරපු "සුනාමි" තමයි මගේ අලුත්ම සිනමා නිර්මාණය.

සුනාමි අත්දැකීම මීට වසර පහළොවකට පෙර ජනතාව අත්දුටුවා. නැවත රිදීතිරයෙන් සුනාමි අත්දැකීමක් එක්ක නිරංජනී ප්‍රේක්ෂක හමුවට එනවා. මේ චිත්‍රපටය ගැන කතා කරමු ?

ඒ 2004 සුනාමිය ජීවිත නැති කළා. මිනිස්සුන්ගේ දේපළ නැති කළා. දුකක් දුන්නා. නමුත් 2020 සෝමරත්න දිසානායක මහත්මයාගේ සුනාමිය (චිත්‍රපටය) ජීවිතයට ජීවයක් දෙනවා. ජීවිතයට අර්ථයක් දෙනවා. ජීවිතය ගැන අලුතින් හිතන්න දෙයක් ඉතුරු කරනවා. ඒක තමයි මේ සුනාමි දෙකේ වෙනස. සෝමරත්න දිසානායක මහත්මයාගේ සුනාමි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මම පණ පොවනවා. චරිතයේ නම කල්‍යාණි. කල්‍යාණි කියන්නේ සුනාමි ව්‍යසනයේදි තමන්ගේ වසර දෙකහමාරේ දරුවාව නැති කරගත් අම්මා කෙනෙක්. දරුවා නැති වුණාට හැම තත්පරයක්ම දරුවා ඉන්නවා කියන බලාපොරොත්තුව ඇතිව ජීවත් වෙන අම්මා කෙනෙක්.

කුච්චවේලි කල්‍යාණි කියන චරිතය ඔබට අභියෝගයක් වුණාද?

අනිවාර්යනේම ලොකු අභියෝගයක් වුණා. මම අම්මා කෙනෙක් නෙමෙයි. මට දරුවෝ නැහැ. ඒ නිසා කල්‍යාණි කියන මව්වත් චරිතය මට ලොකු අභියෝගයක්. කල්‍යාණි කියන්නේ දරු දුක හඳුනන තමන්ගේ නැති වුණු දරුවා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අම්මා කෙනෙක්. මම හිතන්නේ රංගන ශිල්පිනියක්ට තියෙන ලොකුම අභියෝගය සැබෑ ජීවිතයේදී තමන් විඳලා නැති අත්දැකීමක් චරිතයක් ඔස්සේ නිරූපණය කිරීම. මම හිතනවා කල්‍යාණිට මම සාධාරණයක් ඉටු කළා කියලා.

සෝමරත්න දිසානායක වගේ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම කොහොමද?

සෝමරත්න දිසානායක මහත්මයාගේ නිර්මාණයකට මම දායකත්වය ලබාදුන් පළමු අවස්ථාව මෙය. අපි පොඩි කාලේ පාසල් නිවාඩුව එනතුරු බලාගෙන ඉන්නේ ඔහුගේ "සරෝජා" චිත්‍රපටය බලන්න. සරෝජා චිත්‍රපටය බලලා ඒ කාලේ මට හිතිලා තියෙනවා නිත්‍යවානිට වඩා හොඳට මට ඒ චරිතය දුන්නා නම් රඟපානවා කියලා. පසුකාලීනව ක්ෂේත්‍රයේදී සෝමරත්න දිසානායක මහත්මයාව මුණගැනුණාම මම අහලා තියෙනවා "ඇයි සර් අපිව චිත්‍රපටිවලට ගන්නේ නැත්තේ? අපි කළුද? අපි හොඳට රඟපාන්නේ නැද්ද?" කියලා. ඒකට ඔහු දුන් පිළිතුර "නිරංජනී, මම හොඳම වෙලාවට, හොඳම චරිතයට ඔයාව ගන්නම්" කියන එක. ඒ වගේම මම හිතනවා ඔහු සුදුසුම චරිතය සුනාමි චිත්‍රපටය තුළින් මට ලබාදීලා තියෙනවා කියලා. සෝමරත්න දිසානායක කියන්නේ වෙනස්ම ක්‍රමවේදයකට අනුව අධ්‍යක්ෂණ කටයුතු කරන අධ්‍යක්ෂවරයෙක්. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සෝමරත්න දිසානායක මේ හැම අධ්‍යක්ෂවරයෙක්ම තමන්ට අනන්‍ය ක්‍රමවේදයකින් අධ්‍යක්ෂණය කරන්නේ. ඒ නිසා මට ඒක හොඳ අත්දැකීමක් වුණා මගේ රංගන ජීවිතයට.

මේ චිත්‍රපටයෙන් ඔබ නැවතත් දර්ශන් ධර්මරාජ් සමඟ රංගනයේ යෙදෙනවා. ඒ අත්දැකීම ගැනත් කතා කරමු?

මේ මම දර්ශන් අයියා එක්ක චිත්‍රපටයක වැඩ කරන තුන් වැනි අවස්ථාව. මගේ පළමු චිත්‍රපටයේත් වීරයාගේ චරිතය නිරූපණය කළේ දර්ශන් අයියා. ඔහු තමයි මගේ වාසනාවන්ත වීරයා. අපි දෙන්නාගේ පුදුමාකාර සහෝදර බැඳීමක්, යාළුකමක් තියෙන්නේ. අපි දෙන්නා කතාබහ කරලා අපේ අඩුපාඩු හදාගෙනයි රංගනයේ යෙදෙන්නේ. ඒ නිසාම රංගනයේදී අපි දෙන්නාගේ සංකලනය ගැන හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙවරත් එහෙමයි. දර්ශන් අයියා මගේ අඩුලුහුඩුකම් මට පෙන්නලා දෙනවා වගේම මම දර්ශන් අයියාගේ අඩුලුහුඩුකම් පෙන්වලා දෙනවා. මම හිතන්නේ ඒක තමයි අපි දෙන්නාගේ සාර්ථකත්වයට හේතුව.

අනිත් රංගන ශිල්පිනියන් පුංචි තිරයේ පෙම්වතියගේ චරිතය රඟදක්වද්දි නිරංජනී විවිධ වෙනස් චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එනවා. නිරංජනී ඉදිරියටත් එලෙස චරිතාංග රංගන ශිල්පිනියක් වේවිද?

පෙම්වතියගේ චරිතයට සුදුසු රංගන ශිල්පිනියන් ඕනේ තරම් ලංකාවේ ඉන්නවා. මම පට්ට ලස්සන කෙනෙක් නෙමෙයි. මගේ මූණ කැතයි. මම කළුයි. මම ක්ෂේත්‍රයට ආපු මුල්වකවානුවේ මගේ රූපේ ලස්සන නැහැ කියලා මම ප්‍රතික්ෂේප වුණු වාර අනන්තයි. මගේ මූණටම සමහර අය කියලා තියෙනවා "ඔයා ලස්සන නෑනේ, ඔයාගේ මූණේ කුරුලෑනේ, කොහොමද අපි ඔයාව රඟපාන්න ගන්නේ?" කියලා. ඒ විඳපු අපහාස තමයි මාව "නිරංජනී ශන්මුගරාජා" කියන නිළිය කළේ. පෙම්වතියගේ චරිතය රඟපාන්න, මල් ගස් වටේ ඇවිදින්න අය හිටියාට ඊට වඩා වෙනස් චරිත රඟපාන්න අය නැහැ. ඒ නිසා මම කැමතියි දිගටම චරිතාංග නිළියක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට යන්න. ඒ වගේම පෙම්වතියගේ චරිතය කොහොමද වෙන්න ඕනේ කියලා තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයා. මගේ හැඩරුවට සමාන පෙම්වතියක් අවශ්‍ය වුණොත් මම හිතනවා මට පෙම්වතියගේ චරිතය ලැබේවි කියලා.

සිංහල සිනමාවේ මුල්භාගයේදී දකුණු ඉන්දීය සහ ලාංකීය දෛමිලරංගන ශිල්පීන්, සංගීඥයන්, කාර්මික ශිල්පීන් රාශියක් සිංහල චිත්‍රපට සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ඔබත් ඒ පරපුරෙහි එක් නියෝජනයක් නේද?

ලංකාවේ සිනමාවේ ආරම්භකයෝ බහුතරයක් දෛමිලඅය. ඩේසි රාසම්මා ඩැනියෙල් එහෙම නැත්නම් හැමෝම දන්න රුක්මණී දේවිය දෙමිල නිළියක්. එයා තමයි සිංහල සිනමාවේ පළමු නිළිය. ඇය රංගනයෙන් විතරක් නෙමෙයි ගායනයෙනුත් දායක වුණා. ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපටවල ගීත ගායනා කළෙත් ඇයමයි. පසු කාලෙක ඇය චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹුණු දැවැන්ත චරිතයක් වුණා. ඇය දිහා බලාගෙන තමයි සිංහල සිනමාවේ වත්මන් නිළි රාජිණියෝ පූර්වාදර්ශ ගත්තේ. රංගන ශිල්පීන් විතරක් නෙමෙයි රොක්සාමි වගේ සංගීත ශිල්පීන් ඒ වගේම බොහෝ දෙමිල කාර්මික ශිල්පීන් බොහෝමයක් සිංහල සිනමාවට තමන්ගේ දායකත්වය ලබාදුන්නා. පසුකාලීනව ඇති වුණු වාර්ගික ප්‍රශ්න, අවුරුදු තිහක යුද්ධය වගේ ගැටලු නිසා දෙමිල අය කරළියට එන්න මැලි වුණා. ඊටපස්සේ තමයි නිරංජනී කියලා දෙමිල කෙල්ලෙක් ගැන ටිකෙන් ටික එක එක චරිතවලින් හැමෝම දැනගන්න පටන්ගත්තේ. කොහොම වුණත් කලා නිර්මාණවලට ජාති ආගම් භේද නැහැ. කවුරු කොහොම දායක වුණත් නිර්මාණයේ අවසානයේ ප්‍රේක්ෂකයා අත්පුඩි ගහනවා නම් ඒ අත්පුඩිය මහන්සි වුණු හැමෝටම අයිතියි.

නිරංජනී ලංකාවේ දෛමිලසිනමාවටත් දායකත්වය ලබාදුන්නා. ඒ ගැනත් කියමු?

අවුරුදු හතළිහකට පසුව ලංකාවේ දෙමිල චිත්‍රපටයක් නිර්මාණය කළා "කෝමාලිකිංග්ස්" කියලා. මම, දර්ශන් අයියා, රාජා ගණේෂන් වගේ සිංහල සිනමාවට සම්බන්ධ වුණු රංගන ශිල්පීන් ඒ සඳහා උපරිම දායකත්වය ලබාදුන්නා. තවත් දෙමිලචිත්‍රපටයක් රූගත කළා. ඒ සඳහාත් මම සම්බන්ධ වුණා. එය මේ වසරේදී තිරගත වෙයි.

නිරංජනී නිර්මාණ තෝරාබේරා ගැනීමක් කරනවාද?

ඔව්. මම මට සුදුසු චරිත ගැන වැඩිපුර සැලකිලිමත්වෙන කෙනෙක්. මම පිටපත හොඳීන් අධ්‍යයනය කරලයි නිර්මාණ භාරගන්නේ. මට හැම නිර්මාණයකටම ගිහින් සල්ලි හම්බ කරන්න අවශ්‍ය නැහැ. සල්ලි හම්බු කරනවාට වඩා ක්ෂේත්‍රයේ ගුණාත්මකබව රැකගන්නයි මට අවශ්‍යය. උදාහරණයක් විදියට මම සුනාමි චිත්‍රපටයේ කල්‍යාණිගේ චරිතය රඟපාලා ඊළඟ නිර්මාණයේ කොමඩි චරිතයක් රඟපෑවොත් සුනාමි චිත්‍රපටයට මම ලබාදුන් වටිනාකම මොකක්ද? ඒ සඳහා මහන්සි වුණු අයට ලබාදුන් වටිනාකම මොකක්ද?

එහෙම කියන නිරංජනීම රියැලිටි වේදිකාවල විසිල් ගහලා රංගනයේ නිරත වෙනවා අපි දැකලා තියෙනවා.

නිරංජනී ශන්මුගරාජා කියන්නේ හැම දෙයක්ම කරලා බලන, අත්දැකීම් ගන්න කැමති කෙනෙක්. ඒ නිසා ඒ රියැලිටි අත්දැකීමත් ගත්තා. ඒක අන්තිමටම මට එපා වුණා. ඒ විතරක් නෙමෙයි රූපවාහිනී චාර්ට් ශෝ, ගේම් ශෝ හැම එකකටම මම සහභාගී වුණා. නමුත් දැන් ඒ කිසි දෙයකට යන්නේ නැහැ. මම ප්‍රතික්ෂේප කරන නිසාම රූපවාහිනී නාළිකා මට ඒ වැඩසටහන්වලට ආරාධනා කරන්නෙත් නැහැ.

නිරංජනී කියන්නේ කෙළින් කතා කරන, නිදහසේ ඉන්න කැමති කෙනෙක්. මේ නිසා ක්ෂේත්‍රයේ ගැටලු ඇති වෙලා ඇති නේද?

සෑහෙන්න ගැටලු ඇති වෙලා තියෙනවා. ඇති වෙමින් පවතිනවා. නමුත් මම කෙළින් කතා කරලා අහිමි වෙන දේවල් ගැන හිතන්නේ නැහැ. තැන තැන අනවශ්‍ය විවේචන කරනවාට වඩා දෙයක් මූණටම අදාළ කෙනාගේ කියනවා නම් ඒක හිතට නිදහස්. ඒ වගේම අනිත් කෙනාගේ විශ්වාසය ආරක්ෂා වෙනවා. මිනිස්සු විවිධයි; විෂමයි. ඒක තේරුම් අරගෙන අසාධාරණයට කට වහගෙන ඉන්න කෙනෙක් නෙමෙයි මම. වැරදියි නම් කෙළින්ම වැරදියි කියනවා.

සුනාමි චිත්‍රපටයේ කල්‍යාණිගේ චරිතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඒක වචනෙන් විස්තර කරන්න බැරි දෙයක්. ඒ ප්‍රතිචාර අතිවිශාලයි කිව්වොත් හරියටම හරි. සුනාමි චිත්‍රපටයේ විශේෂ දර්ශන වාර කීපයක් පැවැත්වුවා. එහිදී කලා ක්ෂේත්‍රයේ බොහෝදෙනා කළේ චිත්‍රපටය බලලා මාව වැලඳගෙන අඬපු එක. සමහර අවස්ථා මට හිතාගන්න බැරි තරම් පුදුමයි. ඒ අය හැමෝම වචනයක්වත් නොකියා අඬා වැලපුණා. මම හිතනවා වචනවලට වඩා ඒ කඳුළුවලින් ඒ අය ගොඩක් දේවල් කිව්වා කියලා. ඒ වගේම අන්තර්ජාලය හරහාත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් මට ලැබෙනවා. සුනාමි චිත්‍රපටය ගැන ලියන විචාරකයන් රංගන ශිල්පීන් හැමෝම ගැන සඳහන් කරලා මගේ රංගනය ගැන විශේෂයෙන් සඳහන් කරනවා. මට ඒ හැමදේම මහමෙරක් වගේ වටිනවා.

තිලක් පෙරේරා