සුපර්ණා හැදූ දුලීකා-සුජීවගේ නිවහනට ගියෙමු

පෙබරවාරි 20, 2020

“සඳ හිනැහී නැඟ එන විට

සිහින තොටිල්ලට
වඩිනු පුතේ......”

ඈ මට මුණගැහෙන්නේ මේ ගීතය ඇතුළත් ‘කටුයහන’ වේදිකා නාට්‍යය වේදිකා ගත කරමින් සිටින විටදී ය. එදා පටන්ම අද දක්වා ඈ රංගනයෙන් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක නිරත වූවා ය. වේදිකාව, පුංචි තිරය, රිදී තිරය තරණය කරමින් ඈ මේ පැමිණි ගමන් මඟ දිගු එකකි. ඒ ගමන් මඟේදී ඈව ඔබ සැමදෙනා නොදන්නා කෙනකු නැති තරම් ය. කලකට පසු මා පිවිසියේ ඇගේ කැදැල්ලට ය.

දුලීකා මාරපන

ඈ මෙන්ම ඇගේ දයාබර සැමියා සුජීව ප්‍රියාල් ද අද නිවෙසේ රැඳී සිටියි. බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන මේ දෙදෙනා මේ දිනවල මුලපුරා ඇත්තේ ඔවුන්ගේ ජීවිතයේ සුබම සුබ කාරණාවකට ය. ඒ සුජීවගේ කුලුඳුල් චිත්‍රපටය වන ‘සුපර්ණා’ චිත්‍රපටය තිරගත කිරීමේ කටයුතු කෙරෙහි ය. දිගු කලක සිට පුල පුලා බලාගෙන සිටි ඒ සිහිනය සැබෑ වූයේ පසුගිය දිනෙක ය.

“බොහොම දවසක ඉඳලා වන මහන්සියේ ප්‍රතිඵලයකුයි මෙලෙස එළිදැක්වුණේ. ඒක ගැන තිබෙන්නේ සතුටක්. මොකද මේ වගේ වැඩක් කරන්න අපි මුලින්ම තීරණය කළේ අපේ රටේ සිදු වන ස්වාභාවික ව්‍යසන සම්බන්ධයෙන් අපට දැනුණු කම්පනයක් නිසා. සුපර්ණා මඟින් කතා කරන්නේ ජාන මංකොල්ලකෑමේ සිට අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වෙන්නා වූ පරිසර විනාශය පිළිබඳයි. ඒක අද ලෝකයේම කතාබහ වෙනවා. ඒක අපේ රට ඇතුළේත් සිදු වෙමින් තිබෙනවා. ලංකාව කියන්නේ පාරම්පරික කෘෂිකාර්මික රටක්. එහි ඉතිහාසය සොයාගෙන යන කොට පෙනෙන්නේ මේ රටේ පොළොව කියලා කියන්නේ මෙහි මිනිස්සු ස්වභාවදහම හා බැඳුණු ජීවන රටාවක් සමඟ සිටි ජන කොට්ඨාසයක් බවයි. එවැනි පිරිසක් සොබාදහම සමඟ තිබෙන සම්බන්ධය කඩා බිඳ දමාගෙන ඈත් වෙලා සිටීම ඛේදජනක කාරණයක්. ලෝකයටම වුණත් කියා දෙන්න හැකි ඥානයක් මේ රටේ මිනිස්සුන්ට තිබුණා. ඒත් අද වෙද්දි ඔවුන් මේ සියල්ලෙන්ම ඈත් වෙලා සොබාදහම විනාශ කරමින් ඉන්නවා. ඒක රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිදු වෙනවා. ඒත් මේක කිසිවකුටත් වැටහෙන්නේ නැහැ. මේ රට වෙනත් විදියකට ආක්‍රමණය කරමිනුයි ඉන්නේ. එය සිදු වන්නේ සොබාදහම විනාශ කරන කාරණාවත් එක්කයි. ඒ වගේ ම මේ රටේ එකල තිබුණු හොඳ ආහාර සංස්කෘතිය නිසා ම ජනතාව මනා සෞඛ්‍ය සම්පන්නව ජීවත් වුණා. අද බලන්න, හන්දියක් හන්දියක් ගානේ පන්සල් පල්ලි කෝවිල් දේවාල තරමටම ෆාමසිත් තිබෙන විදිය. ඒකට හේතුව නම් අපේ රටේ මිනිස්සු ශාරීරිකව වගේම චින්තනමය වශයෙනුත් රෝගීන් වීමයි. මේක ඇත්තටම හිතන්න ඕන කාරණයක්. ඒ සියලු දේත් සමඟයි ‘සුපර්ණා’ නිර්මාණය වුණේ. ඒ නිසා ඇවිත් ‘සුපර්ණා’ නරඹන්න යැයි මා සිනමා ප්‍රේක්ෂකයා ඇතුළු සැමටම ආරාධනා කරනවා.”

ඒ කතාබහ අතරට පිවිසුණේ සුපර්ණා ය. ඒ ‘සුපර්ණා’ චිත්‍රපටයේ සුපර්ණා මෙන් දුලීකා ද කුඩා කල පටන්ම ගහකොළට දැක්වූයේ අසීමිත ආදරයකි. ඒ සියලු දේ ඈට ලැබුණේ ඇගේ මාරපන පරම්පරාවෙනි. මාරපන වලව්වේ ගෙවත්ත ගමේ බොහෝ දෙනාට එකමුතුකම වගේම ස්වයංපෝෂිත ආහාර රටාවක් ලබා දුන්නේ ය. ඈ තවදුරටත් සුපර්ණා ගැන පැවසුවේ මෙවැනි කතාවකි.

“භීම කියන ග්‍රහලෝකයෙන් එන මිනිසකුට දාව පෘථිවියේ ගැහැනියකට උපත ලබන දරුවෙකුයි සුපර්ණ කියන්නේ. ඇගේ කාර්යය වන්නේ මේ මහපොළොව ආරක්ෂා කරන එකයි. මේ වගේ නිර්මාණයක් අපි ගෙනෙන්නේ අපේ බොහෝ දෙනා අපේ දේවල් ආරක්ෂා කරගන්න හිතන්නේ නැති වීම කියන කාරණය උඩයි. ඒත් වෙනත් රටකින් ඇවිල්ලා මේ දේවල් දාලා ඒක මරු කිව්වම ඒක විශ්වාස කරන අයයි අපට ඉන්නේ. ඒකයි මේ රටේ හැටි. ඒ නිසා සුපර්ණා පැමිණෙන්නේ මේ පොළොවේ වටිනාකම මිනිස්සුන්ට කියා දෙන්නයි. අපට ඒ කාලයේ තිබුණේ සශ්‍රීක ජීවන රටාවක්. ඒ සියල්ල අපට නැති වුණා. සුද්දා අපේ රටේ තේවගා කරන්න ගිහින් වනාන්තර පද්ධතිය විනාශ කරලා දැම්මා. මී ගස් ටික කපලා දැම්මා. ලේසියෙන්ම පොළොවට රසායනික දේ මුසු කළා. පොළොව සමතුලිත බව නැති කළා. ඒත් අපේ අය පිටරටින් මොනවද එන්නේ ඒ හැමදෙයක්ම රත්තරන් කැටයක් කියලා පෙට්ටියක දාලා වහලා තියා ගන්නවා. අපේ අයට අපේ කම පිළිබඳ කිසිම හැඟීමක් ඇත්තේ නැහැ. අදටත් අපි මේ ක්‍රමයට විරුද්ධව කටයුතු කරනවා. අපි තවමත් ස්වාභාවික විදියටයි කුඹුරු කරන්නේ. ඒ දේ අපි අනෙක් අයටත් දිය යුතුයි. කම්මැලි නැති මිනිස්සු ටිකක් අප නිර්මාණය කළ යුතුයි. මහන්සියෙන් වැඩ කරන සශ්‍රීක මිනිසුන් ටිකක් අප නිර්මාණය කළ යුතුයි. ඒකයි අප ‘සුපර්ණා’ මඟින් කතා කරන්නේ.”

‘සුපර්ණා’ මේ වන විටත් අන්තර්ජාතික සිනමා උලෙළ කිහිපයක්ම නියෝජනය කරමින් සිටියි. 17 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළත්, ඒසියා පැසිපික් සිනමා උලෙළ, එස්ටෝනියාවල ටාලින් බ්ලැක් නයිට් සිනමා උලෙළත් (තරගකාරී අංශය) ඒ අතර වෙයි. ටාලින්වලදි රටවල් 280කින් චිත්‍රපට හතක් අතරට පැමිණීමට ද ‘සුපර්ණා’ට හැකිවෙයි. ඒ ඔවුන් ලැබූ ජයග්‍රහණයකි.

“සුජීවගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන්නේ සුපර්ණා නේද?”

“මා කලින් වැඩ කළ සියලු අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගත් දැනුම මේ නිර්මාණය කරද්දි බලපෑවා. ඒ වගේම රංගන ශිල්පියකු විදියට විවිධ ක්ෂේත්‍රවල වැඩ කිරීම මඟින් ලබා ගත්ත පළපුරුද්ද හා අත්දැකීම් සමඟයි මෙවැනි කටයුත්තක මා නිරත වූයේ. ඒ සියල්ලටම අමතරව චිත්‍රපටයක් කරන්න මා යොමු කළේ ජීවන අත්දැකීම් වෙන්න ඇති. නැත්නම් බයිස්කෝප් එකක් කරලා මිනිස්සුන්ගේ පොකට් එකට විදලා ඒ අයව යවන්න පුළුවන්. ඒකට වඩා මේ රටේ හිතන්න පුළුවන් ජනතාවක් නිර්මාණය කරන්න අපට වුවමනා වුණා. මගේ පළමු අධ්‍යක්ෂණය ඇතුළේ සතුටු විය හැකි කාරණාවක් කතා කරන්න හැකි වුණා. ජනතාවට වැදගත් වූ කාරණාවක් රැගත් සිනමා පටයක් කරන්න අවස්ථාව උදා වුණා. ඒ සම්බන්ධයෙන් මට තිබෙන්නේ සතුටක්. මගේ චිත්‍රපටයේ නිෂ්පාදිකාව කල්‍යාණි රණවක මැතිනිය (නෝත් බෙස්ට් ෆිල්ම්ස් වෙනුවෙන්), ආනන්ද සිල්වා මහතා, සුපර්ණා චිත්‍රපටයේ කණ්ඩායම, ඒ වගේ ම දුලීකාවත් මා මේ අවස්ථාවේදි සිහිපත් කළ යුතුයි. චිත්‍රපටයේ කටයුතුවලට වගේ ම අන්තර්ජාතික සිනමා උලෙළවලට යෑමේදී අගෙන් ලැබුණේ සහයෝගය අපමණයි. මෙහිදී ඈෂ්ලි රත්නවිභූෂණ මහතාවත් සිහිපත් කළ යුතුයි.”

ඔහු පළමුව අධ්‍යක්ෂණය කරන්නේ සෙනෙහබර ධනුද්දර නම් වේදිකා නාට්‍යයයි. එයට පසු ඔහු ලෝරන්ස්ගේ මනමාලි නාට්‍යය කරමින් මුළු රට පුරාමත්, විදේශ රටවලත් තවමත් සැරිසරයි.

“ඒ මඟින් ලැබුණු ප්‍රතිචාර ද ඔබව සිනමා පටයක් කරන්න පෙලඹුවේ”

“ලෝරන්ස්ගේ මනමාලිට බොහොම ප්‍රතිචාර ලැබුණා. ඒ ඉන්න අතරේදියි මට චිත්‍රපටයක් කරන්න අදහසක් ඇති වුණේ. එහෙම නැතිව කාන් යන්නවත්, ඔස්කා යන්නවත් නොවෙයි මා චිත්‍රපටයක් කළේ. මේ මොහොතේ කරන්න තියෙන දේ සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් කරනවා. යළිත් ඕන නම් මා වේදිකා නාට්‍යයක් කරාවි.”

මෙ‍ලෙස සුජීව පවසන විට දුලීකා මාරපන සිය කාලය ගෙවෙන්නේ මේ පොළොව හා ස්වාභාවික පරිසරය ආරක්ෂා කරන්න ය. ඒ සඳහා ඈ පිරිසක් සමඟ එකතු වී ඈත ගම්දනව්වලට ගොස් දේශීය පැළ බෙදා දෙන්නී ය.

“ඒ විතරක් නොවෙයි මීමැසි පාලනයක් ඇති කරන්නත් මහන්සි වෙනවා. අද මී මැස්සෝ වඳ වෙලා ගිහින්. මේ සියලු දේ ඇති කළ හැක්කේ පරිසරයේ ගහකොළ ආරක්ෂා කිරීමෙන්. ඒ තේමාවම අරගෙනයි අපි ‘සුපර්ණා’ නිර්මාණය කළේ. මේ තේමාව රැගත් ‘සුපර්ණා’ පවුලේ සැමටම නැරැඹිය හැකි නිර්මාණයක්. මේ හැම දෙයක්ම කරන්නේ අපේ පරිසරය රැක ගැනීමටයි. එහි වටිනාකම අපේ අයට කියා දීමටයි.”

මේ කුමන දේ කළ ද ඔවුන් දෙදෙනා සිය ජීවිතය ගෙවන්නේ සැහැලුවෙනි. සරල බව ඔවුන් දෙදෙනාගේ හේතු පාඨය සේ යැයි මට හැඟුණේ ඔවුන්ගේ ඇසුරේ ගෙවුණු හෝරා කිහිපයේ ය.

“ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගෙවෙනවා. අපි දෙන්නම කාර්යබහුලයි. ඒ කාර්යබහුල බව නැති වෙන්න ගෙදරම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. දුලීකා දන්නවා මම නිතරම ගෙදර එන්නේ ඒ දෙන්නාව බලාගෙන. ටෙරී හා බින්ගෝ කියන මේ සුරතලුන් දෙදෙනාගේ තිබෙන ආදරය හරිම අව්‍යාජයි. ඔවුන් ආදරෙයි නම් ආදරෙයි. නැත්නම් නැහැ. ඔවන්ගේ ජීවිතය සරලයි වගේම කෙටියි. ඒ කෙටි සහ සරල බවට මා කැමැතියි. ජීවිතය සරල වගේම කෙටි විය යුතුයි. වත්තේ තියෙන දෙයක් කඩාගෙන කාලා අපි දෙන්නා බොහොම සරලව ජීවත් වෙනවා.”

ඒත් මේ දවස්වල දුලීකා වැඩිපුර පුංචි තිර‍යේ පෙනෙන්නට නැත.

“සමහරු නිර්මාණවලට මට කතා කරනවා. මම එතකොට පිටපත ගැන අහනවා. ඉන් පස්සේ ආයෙත් ඔවුන් මට කතා කරන්නේ නැහැ. මම හිතන්නේ මේ දවස්වල කරන නිර්මාණවලට පිටපත් නැතිව ඇති කියලයි. තවත් අය දවසකට අය කරන ගණන අහනවා. එතකොට මට හරිම ලැජ්ජයි. ඒත් වෙනදා නම් මුලින්ම ලැබෙන්නේ පිටපතයි. ඉන් පස්සෙයි ගණන් කතා කරන්නේ. පිටපත හොඳ නම් අපි ගණන ගැන හිතන්නේ නැහැ. ඒත් ගණන කියන්න කලින් පිටපත ඇහුවාම ඔවුන් අපට කතා කරන්නේ නැහැ.”

මේ අතර මගේ ඇස ගියේ සුජීවගේ සුදු පැහැති කොණ්ඩය දෙසට ය. “මොකද එකපාරටම කොණ්ඩය සුදු වුණේ?”

“මට මතක විදියට මගේ අවුරුදු විසිපහේ ඉඳලා කොණ්ඩය ඉදෙනවා. මගේ තාත්තා‍ගෙත් මේ වගේම බව මට මතකයි. මම කාලයක් කොණ්ඩය පාට කරගෙන හිටියා. මට ලැබුණේ තරුණ චරිත. ඒත් හැමදාම ඒ වගේ වෙන්න වුවමනා නැහැ. දුලීකා කාලයක් තිස්සේ කිය කිය හිටියා ඔය කොණ්ඩේ පාට හරි ලස්සනයි. ඒ නිසා පාට කරන්න එපා කියලා. මේ කොණ්ඩයේ මේ විදියට කට් එකක් කැපුව එක ගැන කර්තෘ භාගය දෙන්න ඕන දුලීකාට. එහි නිර්මාණ කටයුත්ත කළේ රවි.”

ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නේ ද නාට්‍යයකිනි. එහි රඟපෑම නිසා ඇති වන හිතවත්කම මිත්‍රකමකට පෙරළෙන අතර ඒ මිත්‍රකම ආදරයක් බවට පරිවර්තනය වීමට ගත වන්නේ වැඩි කාලයක් නොවේ. මේ වන විට ඔවුන් විවාහ වී වසර පහකි.

“අපේ අතර තිබෙන්නේ තවමත් මිත්‍රත්වයක්. ඒ කියන්නේ අප දෙදෙනා අතර අඹුසැමියන් අතර පවතින සම්බන්ධයක් නැහැ කියන එක නොවෙයි. දුලීකා හරිම විවෘතයි. මමත් කැමැතියි විවෘතව හැමදෙයක්ම කතාබහ කරන්න. කියන්න ඕන දෙය මූණට කියා ගත්තා. රණ්ඩු වුණා. එතැනින් ඒ දේ අවසානයි.”

ඒ නිසා ඔවුන්ගේ ජීවිතය සැහැල්ලු ය; සුන්දර ය. බොහොම ආදරණීයව සෙමෙන් ගලා යයි. ඒ සැහැල්ලු සුන්දර බව විඳීමින් මම ඔවුන්ගෙන් සමුගතිමි.

 
 
 

Add new comment