සිතින් විතරක් පෙම්කළ ආරාධනා ඒකනායක

ආරාධනා ඒකනායක ලියූ ගීත
පෙබරවාරි 27, 2020

සිතින් විතරක් පෙම් කරන්නම්, මතකයන් ඔබේ (පළමු පෙම්වතා), සමා වෙලා, ළෙංගතුකම නෙතඟ තියා, කුමුදුලියේ සඳඑළියේ, හිත  හිමිහිට හදා ගන්න - චාමර වීරසිංහ / හිත අස්සට හීන ගොඩක්, මගේ කියා ඈත් වෙලා, අතුල අධිකාරි / අනුරාගිනි - සුරේන්ද්‍ර පෙරේරා / ආදරෙයි මං ඔය හිතට තාමත් - අසංක ප්‍රියමන්ත පීරිස් / ඔයා ළඟින් ඈත් වෙලා -              ලක්ෂ්මන් හේවාවිතාරණ / සිතින් ආදරේ කරන්නෙ - දමිත් අසංක/ රහසින් රහසින් පෙම් කරන්නෙ නෙලු අධිකාරි / ඔබව මට හිමි නෑ - දුෂ්්‍යන්ත් වීරමන්  

සිතින් විතරක් ගීතය ලියැවෙන්නේ කොයි කාලේ විතරද?

දෙදහස් තුනේ අවුරුද්දේ. මං එතකොට ඉස්කෝලෙ ගිහින් ඉවර වුණා විතරයි.

සිංදුව කියපු චාමරත් වඩාත් ජනප්‍රිය වුණේ ඔය ගීතයෙන් නේද?

චාමර කණ්ඩායම් සංගීිතයේ එතකොට ජනප්‍රිය චරිතයක්. මගේ ගීතයෙන් තමයි ඔහුගේ පළමුවැනි ගීත ඇල්බම් එක නම් කළේ.

සිතින් විතරක් ගීතය සඳහා ඔබට කීයක් ගෙව්වද?

රුපියල් දෙදහක් ගෙව්වා ඒ කාලේ හැටියට. පසුව ගීතය ජනප්‍රිය වෙලා ගීත ඇල්බමයක් මිනිස්සු අතරට ගියාට පස්සේ රන්සිළු ආයතනයේ රංජිත් ප්‍රේමලාල් මහතා වෙනම මුදලක් මට දුන්නා.

දැන් ඔබ සාමාන්‍යයෙන් ගීතයක් සඳහා කොපමණ මුදලක් අය කරනවාද?

ගාණ කියන්න බැහැ. සැලකිය යුතු මුදලක්,  සාධාරණ ගණනක් අය කරනවා.

ඔබ ලියූ ගීත ගයන ගායකයෝ ප්‍රසංග වේදිකාවෙන් උපයා ගන්නා මුදලින් කීයක්  හෝ ඔබට ඔවුන් ලබා දීලා තියෙනවාද?

එහෙම නැහැ. බොහෝ විට මං වැඩ කරන්නේ ආයතනත් එක්ක. එවායේ ගිවිසුම්වලට එළඹුණාම අපට ගෙවීමක් කරනවා ලියන ගීතවලට.

ඔබගේ වෘත්තීය ගීත රචනයද?

ඉස්සර සිංදු ලියන්න පෙළඹුණේ ආසාවට. ලියපු ගීතවලට ගෙවනවද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි දැන් ගීත රචනය ඉබේම වෘත්තියක් බවට පත් වෙලා.

ඔබේ පෞද්ගලික ජීවිතයේ විස්තර කිව්වොත්?

මගේ ගම කැකිරාව. කැකිරාව ප්‍රාථමික හා කැකිරාව මධ්‍ය මහ විදුහල්වලින් අධ්‍යාපනය ලැබුවා. මං විවාහකයි. මට පුතෙක් ඉන්නවා. 

Add new comment