සේද මාවතේ සී.අයි.ඩී ඔෆිසර්

අනුජ් රණසිංහ
පෙබරවාරි 27, 2020

චරිතයට අනුව ඒ තරුණයා කම්පනයක් ඇති වුණාම නින්ද යනවා. ඒක අති දුර්ලභ ලෙඩක්. එහෙම දෙයක් තියාගෙන තරුණයා ගැටළු රැසකට මුහුණ පානවා. හරිම අභියෝගාත්මක චරිතයක්. හයි බජට් යන ෆිල්ම් එකක්. ඒක තමයි පළමුවරට හදන්න හිතුණු චිත්‍රපටය.

අනුජ් රඟපාන සිනමාපටයක් රිලීස් වුණා නේද?

ගිය සතියේ විසි වැනිදා තමයි ඒක රිලීස් වුණේ. සේද මාවතේ චිත්‍රපටයේ නම.

ඔබ එහි රඟපෑවා පමණක් නෙවෙයි?

ඔව්. මං චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුණා. ෆර්ස්ට් ටයිම්  තමයි නිෂ්පාදකවරයකු වුණේ.

නිෂ්පාදනයට පිවිසෙන්න පොඩි ඩවුට් එකක් තිබුණෙ නැතිද?

ඇත්තටම ඩවුට් එකක් තිබුණා.  මං කලින් චිත්‍රපටවල රඟපෑවා පමණයිනෙ. ඒවායේ ඉන්කම් එක කොහොමද පබ්ලිසිටි කරන්නේ කොහොමද කියලා මොකවත් දැනගෙන හිටියේ නැහැ. චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිටින අතරතුරදි ක්‍රමයෙන් මං ඒවා පිළිබඳ දැනගත්තා.

සේද මාවතේ ඔබේ චරිතය?

සී. අයි. ඩී. ඔෆිසර් කෙනෙක්. අර හොලිවුඩ් චිත්‍රපටවල ඉන්නේ සී. අයි. ඩී. ඔෆිසර්ලා අන්න ඒ වගේ චරිතයක්.  සෑහෙන්න කාලෙක ඉඳලා මම මේ වගේ චරිතයක් කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. විදෙස් චිත්‍රපට නරඹද්දී මං ඒවයේ තිබුණු චරිත අධ්‍යනය කළා. මටත් මේ වගේ චරිතයක් කරන්න තිබුණා නම් කියලා හිතුණා සෑහෙන වාරයක්. දැන් ඒකත් හරි.

අනුජ්ට සී. අයි. ඩී. පොලිස් චරිතවලට නිතරම ඇරැයුම් ලැබුණා?

චිත්‍රපට තුනක ඒ වගේචරිත කළා.

ඔබ එක තැනක කොටු වෙලා වගේ?

නැහැ. මං හිතන්නේ නැහැ මට මුල් කාලේ ලැබුණේ ප්‍රේමවන්තයන්ගේ චරිත. අන්න එතකොට මට හිතුණා මං ප්‍රේමවන්තයට හිරවේගෙන එනවදෝ කියලා. නමුත් මට වෙනස් චරිත ලැබෙන්න ගත්තා. එතකොට තමයි මට යම් සැනසීමක් ලැබුණේ. මේ වන කොට සාපේක්ෂව එකිනෙකට වෙනස් චරිත මට ලැබෙනවා.

ඔබ කැමැති චරිතයක් තියෙන පිටපතක් ලියාගෙන රඟපාන්න ආස නැද්ද?

එහෙම පිටපතක් ලියලා තියෙන්නේ. චරිතය මෙන්න මෙහෙමයි. චරිතයට අනුව ඒ තරුණයා කම්පනයක් ඇති වුණාම නින්ද යනවා. ඒක අති දුර්ලභ ලෙඩක්. එහෙම දෙයක් තියාගෙන තරුණයා ගැටලු රැසකට මුහුණ පානවා. හරිම අභියෝගාත්මක චරිතයක්. හයි බජට් යන ෆිල්ම් එකක්. ඒක තමයි පළමුවරට හදන්න හිතුණු චිත්‍රපටය. එච්චර ලොකු මුදලක් වියදම් කරලා අවුලක් වේවි කියලා හිතුණු නිසා තමයි සේද මාවතේ චිත්‍රපටය හවුලේ නිෂ්පාදනය කළේ. 

අනුජ්ට කොහොමද රසික ආකර්ෂණය දැනෙන්නේ? විශේෂයෙන්ම තරුණියන්ගේ?

ආකර්ෂණය කොහොමත් තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. මොකක්ද දන්නවද, දැන් බලන්න කොච්චර රසික ආදරය තිබුණත් අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔය කවුරුවත් අපිට නැහැ. පුළුවන් තරම් තලා පෙළා දාන්න තමයි බලන්නේ.

කාවිංග පෙරේරාට වුණා වගේ?

ඔව් මං මේ   කාවිංගව සුද්ධ  කරන්න  හදනවා  නෙවෙයි.  කලාකරුවෝ හිතලා වැරැද්දක් කරන්නේ නැහැනෙ. කලාවේ නියැළුණත් අපි හැමෝම මිනිස්සු. බලන්න කාවිංගගේ සිද්ධියෙන් පසුව ගොසිප් සයිට් අපේ සමහර මිනිස්සු හැසිරුණ විදිහ. කාවිංග මෙච්චර කල් හදාගෙන හිටපු සියලුම දේවල් නැති කළා. හෙට මට ඔය දේ වුණත් ඔච්චරයි. ඒක දැනගෙන අපි ජීවත් වෙන්න ඕන.

අනුජ් සිනමාවේ විතරක් හිරවෙලා වගෙයි?

මං ටෙලි නාට්‍යවල රඟපෑවා. චිත්‍රපටවලත් රඟපෑවා. මට ඉල්ලුම ආවේ සිනමාවෙන්. ඉතින් මට තියෙන තැන එතන නම් මං වඩා සමීප වෙන්න ඕන  සිනමාවටනෙ.

ඔබේ පරපුරේ අනිත් රණසිංහ . . .

කවුද  හේමාල්ද . . .

ඔව්.  හේමාල් රණසිංහ ඔබට අභියෝගයක්ද?

හේමාල් චැලේන්ජ් එකක් ලෙසට නෙවෙයි මං දකින්නේ. ඔහු හා මම එකම පාත් එකේ ආවේ. ඔහු ගිය තරගාවලිවලට මමත් ගියා. ඔහු මට වඩා තැනක ඉන්නවා. මං ටිකක් කම්මැලි කෙනෙක්. නමුත්  හේමාල් එහෙම නැහැ. ඔහු ක්ෂේත්‍රය ගැන ලොකු ටච් එකක ඉන්නේ. හේමාල් වගේ කෙනෙකුගේ  වැඩ බලා සිටීම මට උත්තේජනයක් ගැම්මක්.

 

Add new comment