සුනාමි වැදූ මවගේත් හැදූ මවගේත් ආදරය පිළිබඳ සංග්‍රාමයයි

ආචාර්ය සෝමරත්න දිසානායක
පෙබරවාරි 27, 2020

 

පෝයත් නත්තලත් එකට යෙදෙන්නේ එහෙමත් දිනෙකය. මීට වසර දහසයකට කලින් අපූරු අයුරින් මේ සුසංයෝගී දිනය උදාවිය. ලොවටම අමතක නොවන ඒ දිනයේ සිදු වූ බොහෝ දෑ අතුරින් කලාකරුවකුගේ සිත සසල කළ එක් සිදුවීමක් විය. ඒ සුනාමියෙන් අතරමං වූ දරුවකු වෙනුවෙන් වැදූ මවගේත් හැදූ මවගේත් ආදරය පිළිබඳ සංග්‍රාමයයි. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකයන්ගේ නවවැනි සිනමා නිර්මාණය ලෙසින් රසිකයන් වෙත පිරිනැමෙන සුනාමි බොහෝ දෙනා හඳුන්වන්නේ සංහිඳීයාව පිළිබඳ හොඳම නිදසුනක් ලෙසය. ඒ ඔහු මේ සිනමා කෘතියට යොදා ගත් තේමාව මෙන්ම ගීතද සලකා බලන විටය. මේ වනවිට දින පනහකට ආසන්න කාලයක් ප්‍රදර්ශනය කර ඇති සුනාමිය පිළිබඳ අධ්‍යක්ෂවරයා සමඟ පැවැති පිළිසඳරකි මේ...

 

 සුනාමියට සම්බන්ධ ඕනෑතරම් සංවේදි පුවත් තිබුණා. ඒත් ඔබ මේ කතාවම තෝරා ගත්තේ?

 මෙය පුවත්පතක පළවුණු සත්‍ය සිදුවීමක් පසුපස හඹා යෑමෙන් ගොඩනැඟුණු පිටපතක්. සුනාමියෙදි නැතිවුණු දරුවෙක් ඉල්ලා පවුල් දෙකක් අතර ඇතිවන නඩුහබයක්. ඒ ප්‍රවෘත්තිය දැක්කාම මට හිතුණා මේ ළමයාගේ මානසිකත්වය කොයි ආකාරයකට ඇත්ද කියලා. මොකද ළමයා අවුරුදු දහයක් හැදිලා වැඩිලා තිබුණේ එක පවුලක. ඇත්ත දෙමාපියන් වෙන දිහාක. ජාතීන් දෙකක පවුල් දෙකක්. මෙය හොඳ වස්තුබීජයක් ජාතිවාදය, ආගම්වාදය කියන්නේ මොකක්ද කියන එක කියන්න. විරසක වුණු ජාතීන් දෙකක ආගම් දෙකක පවුල් දෙකක් එකම දරුවෙක් වෙනුවෙන් කියනවා නම් මේ අපේ දරුවා කියලා එතකොට මේ ජාතිවාදය මොකක්ද? අපේ වෙනස මොකක්ද? කියලා විශ්ලේෂණය කරන්න පුළුවන්.

ඔබ සත්‍යවශයෙන්ම ඒ පවුල් වෙත යන්න ඇති?

ඔව් මම ගියා ඒ පවුල් හමුවන්න. ඒ දරුවා හැදු වැඩූ පවුල් දෙකේම ගෙවල්, දරුවා යම් කාලයක් සිටි අනාථ නිවාසය, අධිකරණ කටයුත්තට සහභාගී වූ විනිසුරන්, නිතීඥයන් වගේ අය සොයාගෙන ගිහින් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මගේ නිරීක්ෂණ, ගවේෂණ කටයුතු සිදු කළා. ඒ සත්‍ය කතාවේ සමහර දේ චිත්‍රපටය වෙනුවෙන් වෙනස් කරන්න ම‌ට සිද්ධ වුණා. පිටපත ලියන්න තමයි මම වැඩිම කාලයක් ගත්තේ. වැඩිම කැපකිරීමක් කළේ. නිෂ්පාදන පැත්ත වෙනම යුද්ධයක්. (සිනාසෙයි.)

 චිත්‍රපටයක් ලෙස පෞද්ගලික කතාවක්, විශේෂයෙන් පාසල් වයසේ දරුවකු සම්බන්ධ කතාවක් කිරීමට විරෝධතා ආවේ නැද්ද?

විරෝධතා තිබුණා. සමහරු ප්‍රසිද්ධියට එතරම් කැමති වුණේ නැහැ. දරුවාගේ සැබෑ දෙමව්පියන්ට වෙන වෙන පෞද්ගලික ප්‍රශ්නත් තිබුණා. ඒ නිසා ඒක සංකීර්ණ, අවුල්සහගත තත්ත්වයක්. ඔවුන් කැමති වුණේ නැහැ මුලින් අපට තොරතුරු කියන්නත්. පස්සේ ඒ අයට හානියක් වන්නේ නැහැ කීවට පස්සෙ තමයි තොරතුරු දෙන්න කැමැති වුණෙත්. පස්සේ අපි කතාව හදාගත්තා මිසක් ඒ හැමදේමත් ඔවුන්ගේ සත්‍ය කතාව නෙවෙයි. හුඟක් වෙලාවට මේ දෙමව්පියන්ට ගුවන්විදුලි, රූපවාහිනී වගේ මාධ්‍යවලින් ඇවිටිලි කරමින් විස්තර අහන එක පවා කරදරයක් වෙලා තිබුණා. ඒ නිසා අපවත් කරදරයක් ලෙස තමයි මුලින් පෙනුණේ.

කතාවේ මුළු අරුතට වඩා ඔබ උත්සාහ කළේ දරුවකුගේ මානසික තත්ත්වය ගැන කියන්න. ඒ සඳහා පරිකල්පනය වැදගත් වන්න ඇති?

විශේෂයෙන්ම මම හිතුවේ මේ වගේ ළමයකු අතරමං වුණානම් දරුවාගේ මනස කොයි ආකාරයෙන් වැඩ කරයිද කියන එක. ඒ සඳහා මම බොහෝ මනෝවෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කළා. ළමයකුගේ මතක ශක්තිය රැඳෙන්නේ මොනකාලයේ සිටද? මතක සිටින්නේ මොනවගේ දේවල්ද? ඒ වෛද්‍යවරුන් කී ආකාරයට අවුරුදු දෙකහමාරට පස්සේ තමයි ළමයකුට මතකයන් රැඳෙන්නේ. මේ දරුවාත් සුනාමියට හසුවන විට අවුරුදු දෙකහමාරයි. ඒ නිසා තමයි පවුල් දෙකම මතක. හැබැයි ඇත්ත කතාවේ දරුවා ඔයිට ටිකක් බාලයි. ඒකයි මම කීවේ අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු සමඟ තර්කානුකූල ආකාරයට තිරරචනය ගොඩනැඟුවා කියලා. දෙමළ වචන කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා ගුරුවරුන්ටත් ප්‍රශ්නයක් එනවානේ. ඒ වගේම එක එක අය මේ සඳහා විවිධ අර්ථ කථන සපයනවා. යක්ෂ දිෂ්ටියක් කියනවා. අපලයක් කියනවා. පූර්ව ආත්මයක බලපෑමක් කියනවා. ඒ වගේ අපේ විශ්වාසයන් ගැනත් කතා කරනවා, සුනාමියට අමතරව.

 ඔබ විශ්වාසයන් ගැන ගීතවලිනුත් කතා කරනවා?

කවුද මම කාගෙදෝ මම ගීතයේ තමයි කතාවේ සමස්තය තිබෙන්නේ. ජාතියක්, ආගමක්, භාෂාවක්, සංස්කෘතියක් වෙනස් වූ පමණින් මනුෂ්‍යකම වෙනස්වන්නේ නැහැ කියන එක මම එහි කියනවා. උදාහරණයට ගත්තේ සමන්මල. සමන් මලක් බුදු හාමුදුරුවෝ ඉදිරියේ තිබුණාම ඒක බෞද්ධ, ගණපති කෝවිලක තිබුණාම හින්දු, සමන් මලක ආගම කුමක්ද? පහන් සිළකත් එහෙමයි. පන්සලක බෝ මළුවක දැල්වුණාම බෞද්ධ. කෝවිලක දැල්වුණාම හින්දු, පල්ලියක දැල්වුණාම කිතුණු. එහෙත් පහන්සිලේ ආගම කුමක්ද? එය පහන්සිළක්ම පමණයි. ආගමක් ජාතියක් නැහැ. අපිත් මනුෂ්‍යයෝ හැටියට ජාති ආගම්වලට බෙදුණාට මිනිස් දහම, සොබාදහම කියන දේ පොදුයි. අපි ලෝකේ තිබෙන ආගම් ඇදහුවාට කමක් නැහැ ඇයි අපි ඒ වෙනුවෙන් ඇනකොටා ගන්නේ. එකා පරයා එකා නැඟී සිටින්න හදන්නේ. අපි කැමති කෙනෙක් කැමැති භාෂාවක් කතාකරලා, කැමැති ආගමක් අදහාලා, කැමැති කෑමක් කාලා, කැමැති ඇඳුමක් ඇඳලා හිටියා නම් ඉවරයිනේ මේ වෙනස්කම් හොයන්න යන්නේ නැතිව.

 ඒත් අපි චිරාත් කාලයක්, එකම භූමියක, එකම විදිහට හැසිරෙමින් ඉන්නකොට යම් සංස්කෘතියකට අයිති වෙනවානේ?

ඒකට කමක් නැහැ. ඒ්කෙ ඇති වැරැද්දක් නැහැ. තමන් අයිති පරිසරය, පරපුරෙන් ලැබෙන දේ, හිතන පතන විදිහ, විනෝදාංශ, කනබොන විදිහ වගේ තමන්ගේ වටපිටාවෙන් ලැබෙන දේ සතෙකුට වුණත් අයිතියිනේ. අපි ගෙදර පොල්සම්බෝල හදාගෙන කනකොට වෙනජාතිකයකු‌ට ඒක කන්න බැරුව ඇති. ඒ දෙකේම වරදක් නැහැ. හැබැයි අපට කියන්න බැහැ පොල් සම්බෝල තමයි හොඳම කෑම කියලා. ඒක කන එක වැරැදියි කියලා කාටවත් කියන්නත් බැහැ. අපි සිංහල කියලා අපි කියද්දි අපට පුරුදු වුණ සංස්කෘතික රටාවක් තිබෙනවා. ඒක තමයි හොඳම අනෙක්වා නැතිවෙලා යන්න ඕනෙ කියලා අපට කියන්න අයිතියක් නැහැ. ඒ වගේම සිංහල සංස්කෘතිය නෙවෙයි හොඳ වෙන එකක් කියලා කාටවත් කියන්නත් බැහැ. බුද්ධාගම වුණත් එහෙමයි. මේවා ඇත්තටම ගැටුම් නෙවෙයි. ඒවා ගැටුම් බවට පරිවර්තනය කරගන්න එකයි ප්‍රශ්නේ. ඒකයි වැරැදි.

 ඔබ ආගම් පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කරනවා අනෙක් ගීතයෙන්?

ඇත්තටම මම හේතුවාදියෙක්. හේතුවක් නැතුව මම කිසිම දෙයක් කවුරුවත් කීව පළියට පිළිගන්න කෙනෙක් නෙවෙයි. ප්‍රධාන ආගම් හතරක් සහ තිස්තුන් කෝටියක් දෙවියන් විසින් රකින රටේ මේ ස්වාභාවික ව්‍යසනය සියලුදෙනාටම පොදුවේ විඳවන්න සිදු වුණා. ඒ නිසා මේ සොබාදහම කියන දේ සියලු දෙනාටම පොදුයි. අපි ගැටුම් ඇති කරගත්තාට සොබාදහමට සියලු දෙනා යටයි. මිනිසකුට උදවු කරන්නේ මිනිසෙකුමයි. අපි නිවහල් චින්තකයන් විය යුතුයි. ඒ පිළිබඳ කතිකාව අප ගෙන යා යුතුයි. කලාකරුවන් හැටියට අපි ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඒකයි මම මේ කතිකාව සුනාමි චිත්‍රපටයේ ගීතයෙන් කියන්න උත්සාහ කරන්නේ. බුදු රජාණන් වහන්සේ, ජේසුන් වහන්සේ වගේම නබිතුමා වැනි දාර්ශනිකයන් එකම යුගයක ජීවත් වුණා නම් හොඳ මිනිස් දහමක් එකතුව දේශනා කරන්නත් ඉඩ තිබුණා. මෙය සුනාමි චිත්‍රපටයට අදාළ නැතත් මම කිව යුතුයි හැම දෙනෙක්ම සත්‍ය අවබෝධ කරගෙන ජීවත් වන්න සිතට ගත යුතු බව.

 ඔබ හේතුවාදියෙක් කීවා. ඔබේ චිත්‍රපට බොහොමයක සොබාදහම ගැන කතාවෙනවා. සොබාදහම සම්පූර්ණයෙන් පරීක්ෂණ නිරීක්ෂණ නිගමනවලින් තහවුරු කරන්න බැහැ?

හැම දේම එහෙම විය යුතු නැහැ. හැබැයි පිළිගන්න පුළුවන් සාධකයක් නැතුව මම දෙයක් පිළිගන්නේ නැහැ. කාලයක් මිනිස්සු ඉරට හඳට මහපොළොවට වැන්දා. ඒකට කමක් නෑ. ඉර හඳට ගහකොළට මහපොළොවට වැන්දට කමක් නෑ මොකද ඉරෙන් හඳෙන් තමයි අපට ජීව ශක්තිය දෙන්‌නේ මහපොළොවෙ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒවා දේවත්වයෙන් සැලකුවත් කමක් නැහැ. මගේ බොහෝ චිත්‍රපටවල සොබාදහමේ අසිරිය පෙන්වන්නේ පරිසර විනාශය ආදියට අප එරෙහි විය යුතු නිසා. බුද්ධිමත්ම සත්ත්ව කොටස විදිහට මනුෂ්‍යයාට වගකීමක් තිබෙනවා සියලු සතුන්ට තිබෙන මහපොළොවේ අයිතිය ආරක්ෂා කිරීමට.

 පොඩි දරුවන් සම්බන්ධ නිර්මාණවලට ඔබ බොහෝ සුහුරුයි?

මම අදහන දෙයක් තමයි මේ ලෝකයේ වයසත් එක්ක මනුස්සකම ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික වනබව. ඒ කියන්නේ අපි කිරි දරුවෙක් විදිහට උපදිනකොට අපේ මනුස්සකම උපරිමයි. කිසිම කණ්ඩායමක් නෑ, ආගමක් නෑ, ජාතියක් නෑ, භාෂාවක් නෑ, දේශපාලනයක් නෑ, කුලයක් නෑ. පස්සේ තමයි ඔය සියලු දේ ළමයට ලැබෙන්නේ. වයස්ගත වනවිට ඒ ඒ කූඩුවලට රිංගගත්තාම මනුස්සකම එන්න එන්න අඩුවෙනවා. පොඩි ළමයි ළඟ අව්‍යාජ මනුස්සකම එනවා. අපි ළමයි කණ්ඩායමක් ක්‍රීඩා කරන්න දැම්මාම පාට මොකක්ද, කාගේ කවුද නොබලා කුරුලු පැටවු ටිකක් වගේ එක රොත්තට නටයි. ලොකු වුණාම තමයි බලන්නේ අනෙක් ඔක්කොම. සිනමාව වගේම සියලුම කලාවන් කියන්නේ අපි සන්නිවේදනයක් කරන මාධ්‍යයන්නේ... අපේ සංවේදිතාවක් සන්නිවේදනය කිරීමට තමයි අපි සංගීතය, නර්ථනය, සාහිත්‍යය, නාට්‍ය, සිනමාව මේ කුමන හෝ මාධ්‍යයක් යොදාගෙන කරන්නේ. ඒ සඳහා අර මනුස්සකම ඇති චමත්කාරයෙන් පිරි ළමාවිය තෝරා ගැනීම වඩා සාර්ථකයි සහ ප්‍රබලයි කියා මම විස්වාස කරනවා. ඒ නිසා තමයි මම ළමයින් ඔස්සේ බොහෝ දේවල් කතා කරන්නෙ. බොහෝදෙනෙක් මේවා ළමා චිත්‍රපට කීවට මම එය විශ්වාස කරන්නේ නැහැ. ළමයින් සිටි පමණින් චිත්‍රපටයක් ළමා චිත්‍රපටයක් වන්නේ නැහැ. හැබැයි ඒවා ළමයින්ට වගේම පවුලේ සියලුදෙනාට බලන්න පුළුවන් චිත්‍රපට. උදාහරණයකට සරෝජා, පුංචි සුරංගනාවී, සුනාමි මේ සියල්ලෙන්ම මම කතා කරන්නේ ජාතිවාදයෙන් අප බෙදිලා ඉන්නේ මොකටද කියලා කියන එකනේ. ඒක පොඩි ළමයින්ගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒ වැඩිහිටියන් ඇති කළ ප්‍රශ්න. හැබැයි ඒ වෙනුවෙන් දරුවන් වාහකයන් කරගත්තාම සංවේදි බව වැඩියි.

 අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රවීණයන් සහ අතිශය නවක, කැමරාවක් ඉදිරියට කවදාවත් නොපැමිණි දරුවන් සමඟ කටයුතු කිරීම ඔබ අත්විඳීන්නේ කොහොමද?

(සිනාසී) ඔව් ඒක හරිම උපක්‍රමශීලීව කළ යුතු දෙයක්. මෙය මා ගැන ආත්ම වර්ණනාවක් නෙවෙයි. එය වෙනම හැදෑරිය යුතු දෙයක්. ළමයින් සමඟ කටයුතු කරන අධ්‍යක්ෂවරයකු පමණක් නෙවෙයි, ගුරුවරයකු හෝ වෙන කුමන කටයුත්තක් හෝ කරන්නකු මොන අධ්‍යාපන පාඨමාලාව හැදෑරුවත් වැඩක් නැහැ ළමයාගේ මනෝභාවයන් තේරුම් ගන්නේ නැත්නම්. සිනමාකරුවෙක් වුණත් ළමා මනස, සිතුම් පැතුම් අවබෝධ කරගත්තේ නැත්නම් වැඩක් නැහැ. ළමයින් නළුනිළියන් නෙවෙයි. ඔවුන් රඟපාන්නේ නැහැ. පුහුණුවක් අභ්‍යාසයක් කළ අය නෙවෙයි. අපි මෙතන අඬන්න, හිනාවෙන්න කීවට ඒ අය කරන්නේ නැහැ. ඒ අය ළඟ තිබෙන්නේ ළමා ලෝකේ. අපි එය හොරකම් කරගන්න දැනගන්න ඕනෙ. මගේ සෑම චිත්‍රපටයකදීම ළමයාට පෙරහුරුවක් දෙනවා කැමරාව ඉදිරියට යන්න පෙර. මෙය වැඩිහිටි අයටත් පොදුයි. ඒ වගේම ළමයාට අධ්‍යක්ෂවරයෙකුගෙන් වැඩක් නැහැ. මාමා කෙනකුගෙනුත් වැඩක් නැහැ. අපි ළමයින්ට යාළුවෙක් වෙන්නයි ඕනෙ. පොඩිවුන් එක්ක මඩේ නටන්න ඕනේ, පෙරළෙන්න ඕනේ, නටන්න සින්දු කියන්න ඕනේ, වතුරට පනින්න ඕනේ. එතකොට අපි ගැන පොඩිවුන් විශ්වාස කරනවා. සමහර විට ඔවුන් දන්නේ නැහැ මොනවද කරන්නේ කියලවත් අපි එය හොරකම් කරගන්නකල්.

 හැබැයි මට දැනෙන විදිහට සුනාමියේ ප්‍රභාගේ චරිතය කරන මෙනාරාගේ මූඩ් එක ඔහොම හොරකම් කරන්න පුළුවන් එකක් නම් නෙවෙයි?

ඒක ඇත්ත. (සිනාසෙමින්) හොරකම් කරන්න පුළුවන් වෙන්නේ ඒ හැකියාව, චරිතයට කාවැදෙන ගතිය ඒ ළමයා ළඟත් තිබුණොත් විතරයි. මෙනාරා මම හඳුනා ගත්තේ සරිගම චිත්‍රපටය කරන කාලේ. සරිගම චිත්‍රපටයේ බෝනික්කත් එක්ක ඉන්න ළමයා තමයි මෙනාරා. දරුවෙක් දැක්ක පළියට, ඥාති මිත්‍රකම් තිබුණු පළියට මම තෝරාගන්නේ නැහැ. වැඩමුළු තියද්දි මට දැනෙනවා දක්ෂතාව තිබෙන දරුවා කවුද කියලා. ඒ ළමයින් මම සටහන් කරගන්නවා. සමහර චිත්‍රපටයකට ඔවුන් නොගත්තත් ඊළඟ එකකට තෝරනවා. ඒත් පරීක්ෂණයට ලක් කරලා මිස ඇස්දෙක පියාගෙන කලින් සමත් වූ ළමයින් මම ගන්නේ නැහැ. අනෙක් ළමයි සමඟ තරගයක් දීලා දිනුවාම තමයි තෝරගන්නේ. මෙනාරාගේ දක්ෂතාව ගැන බොහෝ දෙනෙක් පුදුම වෙනවා මේ තරම් පොඩි දරුවෙක් කොහොමද මේ වගේ රඟපාන්නෙ කියලා. ඒ දරුවාගේ ප්‍රතිභාවක් තිබෙනවා. එය උකහා ගැන්ම තමයි අධ්‍යක්ෂ ලෙස මගේ කාර්යය වන්නේ.

 දින පනහකට ආසන්න වෙද්දි සුනාමියට ප්‍රතිචාර කොහොමද?

සාමාන්‍යයෙන් නිර්මාණකරුවකුට බයක් තිබෙනවා තමන් මනසින් දුටු නිර්මාණය අන් අය කෙබඳු ආකාරයකින් ග්‍රහණය කරගනීද, ජීර්ණය කරගනීද කියලා. මුලින් බැලූ මාධ්‍යවේදීන්, විචාරකයන් සහ හිතවතුන් ලබා දුන් ප්‍රතිචාර අනුව මගේ සන්නිවේදනය සාර්ථකයි කියා හිතුණා. ඒ වගේම රසික ප්‍රතිචාරත් සාර්ථක වුණා. අපේ රටේ චිත්‍රපටවල තිබෙන ලක්ෂණයක් තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා සතියක් දෙකක් ගියාට පස්සෙ තමයි නියම ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන්නේ. එය ප්‍රේක්ෂකයන්ගේ මුවින් මුවට යන ප්‍රචාරය. එය තමයි වඩාත්ම සාර්ථක ක්‍රමවේදය.

දැන් සුනාමිත් ආවා. ඊළඟට?

සංකල්ප කීපයක් නම් තිබෙනවා. ඒත් ඊට කලින් විසඳගත යුතු ගැටලු ටිකක් තිබෙනවා සිනමා ක්ෂේත්‍රයේ. මුලින්ම චිත්‍රපට කරන්න පුළුවන්ද කියන තැනට ඇවිත් තිබෙනවා. ප්‍රධාන හේතුව චිත්‍රපට හදන්න ලේසියි පෙන්වන්න අපහසුයි කියන තත්ත්වයට පත්වෙලා. හරිනම් සිදුවිය යුත්තේ චිත්‍රපටය හදන්න අපහසු වීමයි. හැදුවට පස්සේ ප්‍රදර්ශනයට අවශ්‍ය පහසුකම් බලධාරීන් විසින් තනා දිය යුතුයි. අපට සිනමා ශාලා හදන්න බැහැ. පෙන්වන නීතිරීති හදන්න බැහැ, බෙදාහැරීම් කරන්න බැහැ.

නිර්මාණකරුවන්ගෙන් පිටස්තර දේශපාලන අධිකාරිය, පරිපාලකයන් කළ යුතු දේවල් තමයි ඒ. හරිනම් චිත්‍රපටය හදලා මංගල දර්ශනය පෙන්නුවට පස්සේ අපි නිදහස් වෙන්න ඕනේ. ඊළඟ නිර්මාණයට හිත යොමු කරන්න. ඒත් අවාසනාවකට ඊට පස්සේ තමයි අපට ඔක්කොම ප්‍රශ්න එන්නේ. ඒ නිසා මේ ගැන අදාළ නිලධාරීන් සහ බලධාරීන්ගේ අවධානය යොමුවෙලා මේ ප්‍රශ්න නිරාකරණය කළේ නැත්නම් සකලවිධ කලාකරුවන්ට ප්‍රශ්න එයි අපි කලාවේ රැඳී ඉන්නේ මොකටද කියලා. රජය මේ ගැන අවධානය යොමු කරලා ප්‍රශ්නය නිරාකරණය කළ යුතුයි.

ඉතින් ම‌ට මේ අවුරුද්දේ තව චිත්‍රපටයක් කිරීමට අවශ්‍යයි. අපට හොඳ චිත්‍රපට කරන්නත් පුළුවන්, අන්තර්ජාතික සම්මාන දිනන්නත් පුළුවන්. හැබැයි ප්‍රශ්න නිරාකරණය වුණේ නැත්නම්, ලංකාවේ ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය පෙන්වන්න නිරවුල් වාතාවරණයක් තිබුණේ නැත්නම් අපට වියදම් පියවගන්නවත් බැහැ. මේ ගැන දේශපාලකයන්ගේ අවධානය යොමුවිය යුතුයි. කලාකරුවන් දේශපාලකයන්ට අවශ්‍ය වන්නේ ඡන්දකාලෙට මල්පෝච්චි වගේ වේදිකාව මත තබන්න පමණයි.

අපි පෞද්ගලික ප්‍රතිලාභ ඉල්ලන්නේ නැහැනේ. සුබසාධන කටයුතු කරන්න කියන්නේ නැහැ. හැබැයි හොඳ නිර්මාණකරුවන්ට අතහිත දෙන්න. හොඳ ශාලා හදලා ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට බලන්න අවස්ථාව හදල දෙන්න. අද තිබෙන හොඳ ශාලා සියල්ල ගත්තත් පෞද්ගලික අංශයේ මිස රජයෙන් හැදූ ඒවා නෑනේ. තරංගනී ශාලාව රජයට අයිති වුණත් එහි ප්‍රදර්ශනයට අපට අයිතියක් නැහැ. ඒ නිසා චිත්‍රපට හදන්න පුළුවන්. කොහෙද කොහොමද කාටද පෙන්වන්නේ කියන ප්‍රශ්නය අපට විසඳලා දෙනවා නම්.

 

නිශ්ශංක විජේරත්න

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.