සිනමාව මගේ සිහිනය දේශපාලනය මගේ සේවය

සිංහල සිනමාවේ වාසනාවන්තම රූපණවේදිනිය ගීතා කුමාරසිංහ
පෙබරවාරි 27, 2020

ලොකු දුව, පාලම යට, කොළඹ සන්නිය වැනි ගීතා කුමාරසිංහ රංගවේදිනිය රඟපෑ නොයෙක් චිත්‍රපට පෙළක් මවමින් මම නාවලට ගියෙමි. විසල් ගේට්ටුව අසල වාහනය නැවැත්වූ විට මම ඇමතුමක් දුන්නෙමි.

"අක්කේ මම ගේට්ටුව ළඟ"

"ආනේ වෙලාවටම... කෝ අර ගේට්ටුව අරින්න" මට දුරකථනයේ අනෙක් පසින් ඇසෙයි. මොහොතින් ස්වයංක්‍රීයව එය විවෘත වෙයි. කොටකලිසමක් සහ ටිෂර්ටයක් හැඳී තරුණයකු පැමිණ මට කියයි.

"පඩිපෙළ දිගේ රවුම් කාමරේට යන්න මැඩම්"

"ගීතා නෝනා තාම සැරසෙනවාද?" මම ඔහුගෙන් ඇසුවෙමි.

ඔහු කිසිවක් නොකියා මාදෙස බලයි. රවුම් කාමරයට එහා පැත්තෙන් ඇගේ සුපුරුදු කටහඬ ඇසේ. මම ගෙල දිගුකොට බැලීමි. බතික් කෆ්ටාන් ගවුමකින් සැරසී, කොණ්ඩ මුඩියක් ගසාගෙන ඉතා සාමාන්‍ය ගැහැනියක ලෙස ඇය ඒ අවට සරයි. මගේ ඉහ මොළ රත් විය. දැන් ඡායාරූප ගැනීමට එක වැඩක් ඉවර කර ඡයාරූප ශිලිපායා එන බව කීවේය.

"ගීතක්කේ මෙහෙම"

"අනේ වස්තුවේ අද නම් පින්තූර ගන්න බෑ. මට හොඳටම උණ. එක දිගට වැඩ පේනවානේ මේ.."

ඇයට ඉසිඹුවක් නැත. යළිත් ඇමතුමකි.

"හරි මල්ලී.. හොඳයි නංගී.. හරි අය්යා.. හොඳයි මහත්මයා..." ආදි වූ විවිධ ආමන්ත්‍රණවලින් ඇය සංවාදවලට පිළිතුරු සපයයි. දුරකථනය දැන් ස්පීකර් දමලාය. ඇයට කනේ තබාගෙන ඒවාට පිළිතුරු දී නිවනක් නැති නිසා විය යුතුය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මට ඒවාට සවන් දීමට සිදුව තිබේ. දහසකුත් එකක් ප්‍රශ්නය. ඒවාට කේන්ති නොගෙන විසඳුම් දිය හැකි අයුරු ඇය සොයා බලයි.

ජීවිතේට දේශපාලනේ නම් නොකරන්නට මම දැඩි අධිෂ්ඨානයකට එළැමුණෙමි.

මේ සියල්ල අතරින් පතර ඇය මට ද පිළිතුරු දීමට සැදී පැහැදී සිටියි.

"මේවාද අක්කාගේ මේ දවස්වල රාජකාරි" මම ඉක්මනින් ආසා අවසන් කරමි.

"මම අවුරුදු දොළහක් සිනමාවේ නෙවෙයි හිටියේ ක්‍රියාකාරී දේශපාලනේ. මේ දවස්වල ලංකාවම බලාගෙන ඉන්න විදිහටම මේ මහමැතිවරණය විශාල සන්ධිස්ථානයක්. ඉතින් ඒකට මුහුණ දෙන විදිහ තමයි මේ දවස්වල හිතන්නේ. මම මේ දවස්වල ඉන්නෙත් ගමේ. මෙහෙ ගෙවල් දොරවල් තිබුණට මට අම්මලා දීපු අක්කර කීපයක ඉඩමේ අවුරුදු සියයකට වඩා පැරැණි අපේ සීයලා ආච්චිලා හදපු ගෙයක් තිබුණා. මම සියලු සැප පහසුකම් සහිතව විලා එකක් වගේ කාමර පහක් හයක් තියෙන ගෙයක් එතන හැදුවා මගේ සල්ලිවලින්. දැන් අවුරුදු දෙකතුනක් වෙනවා. කොළඹට වඩා සොබා සෞන්දර්යය අතින් හරිම පොහොසත් අපේ ගම. ඇත්තටම මෙහෙ ඉන්නවාටත් වඩා එහෙ ඉන්න ආසයි. සත්තු, ගහකොළ, හුස්ම ටික හොඳට තිබෙන නිසා."

ගීතා කුමාරසිංහ රූපණවේදිනිය දේශපාලනඥවරියක් වුණේ අද ඊයේ නෙවෙයි.?

ඔව්. මම දේශපාලනේට ආවේ සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු වෙලාවේ. එතකොට මට අවුරුදු විසිගාණයි. මම තමයි එකම නිළිය කාන්තා අයිතිවාසිකමක් අහෝසි වෙනවා කියලා ඒ වෙනුවෙන් කතා කළ. ඒ තමයි මගේ දේශපාලනයේ මූලාරම්භය. ඒත් මම ගමට ගිහින් දේශපාලනේ කරන්න පටන්ගෙන අවුරුදු දොළහක් විතර වෙන්නේ. අපේ ගම් පළාත බෙන්තර ඇල්පිටියට කිසිම මන්ත්‍රී කෙනෙක් හිටියේ නැහැ. එහෙම තියෙද්දි ඔය ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයයි මාත් එක්ක ප්‍රශ්නත් ඇති කරගත්තා ඒ අයගේ දේශපාලන පිටියට එන්න කියලා තර්ජනය කරලා. ඒ කාලේ ඒක ලොකූ කතාබහක් වුණා. මම ඇත්තටම ආවේ ගාල්ල දිස්ත්‍රික්කයට කාන්තාවක් නොහිටිය නිසා. ඊට කලින් පළාත් සභාවට කාන්තාවක් කියන්නේ ටෙලි නාට්‍ය නිළියක් ඇවිත් ගියා. කිසිම දැනුමක් නැතිව. මිනිස්සු මාවත් ඒ ගාණින්ම මනින්න ගත්තා. පස්සේ මට ඕන වුණා ක්‍රියාකාරී දේශපාලනේට එන්න. මම ඒ දවස්වල ජීවිතේ වැඩි කාලයක් ගෙව්වේ පිටරටවල. ඒත් අන්තිමට මට සිද්දවුණා ස්විට්සර්ලන්තේ පුරවැසිකම පවා අතහරින්න. මම ඒ තීරණයට ආවේ මගේ ජනතාවට වැඩ කළ යුතුයි කියන මතය නිසා. මම පළාත් සභාවටත් ඉදිරිපත්වුණා ඒ නිසා. කොහොමහරි අවුරුදු දොළහෙන් හතරහමාරක් වුණ පහුගිය කාලේ මට ජනතාව වෙනුවෙන් වැඩකරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. මට ඕනෙ ඉදිරිකාලෙ හරි ජනතාවට සේවයක් කරන්න. එහෙම නැතුව මට මුකුත් අඩුපාඩු තිබිලා ගෙයක් හදාගන්න, වාහන ගන්න එහෙම දේවල්වලට නෙවෙයි.

පුංචි කාලේ විහිළුවටවත් දේශපාලනේ ගැන කැමැත්තක් දැක්වුවාද?

මට එහෙම හිතන්න තරම් පොඩි කාලයක් තිබුණේ නැහැ. 1975 වෙද්දි අවුරුදු 16න් වගේ මම සිනමා ක්ෂේත්‍රයට ආවේ. ඇවිත් අවුරුදු පහෙන් මම විවාහ වුණා. ඊටපස්සේ මම ව්‍යාපාරික කාන්තාවක් ලෙස කටයුතු කරන්න ගත්තා දිගින් දිගටම. සාර්ථක ව්‍යාපාර කීපයක්ම කරගෙන ගියා. සිනමා නිෂ්පාදිකාවක් වශයෙන් කටයුතු කළා. ඒ චිත්‍රපටත් අතිශයින් සාර්ථක වෙලා බොක්ස් ඔෆිස් වුණා. ඉතින් මට වෙලාවක් තිබුණේ නැහැ හිත හිත ඉන්න. මම වැඩ කළේ ඒ වෙලාවට අනුව මිස පුංචි කාලේ දැක්ක හීන අනුව නෙවෙයි නංගො.

නිෂ්පාදිකාවක් ලෙස අද සිනමාව දකින්නෙ?

මට දැනෙන්නේ කනගාටුවක් මුතූ. අපේ කාලෙ තිබුණු සෞන්දර්යය අද සිනමාවේ නැහැ. ස්වර්ණමය යුගය 70 දශකයේ කියල කියනවා. අපි සිනමාවට ආවේ ඒ යුගයේ. රසිකයන් සිනමා ශාලාවට අද්දාගැනීමේ තරගයක් අද රූපවාහිනිය නිසා ඇතිවෙලා. ඒක කාටවත් නෑ කියන්න බැහැ. ඒ කාලෙ චිත්‍රපටයක් බලන්න ඒ තරම් වියදමක් යන්නේ නැහැ. අද එහෙම දරන්න බැරි නිසාම අකමැති වෙන පිරිසකුත් ඉන්නවා. කිසිම සැප පහසුවක් නැති සිනමා ශාලාවක වැටිලා ඉන්නවාට වඩා ගෙදර ඉඳන් රූපවාහිනිය බලන්න මිනිස්සු කැමතියි. අපි පාලම යට කරද්දි සිනමා ශාලා පිරීතිරී ගිහින් දොරවල් කඩාගෙන ඇවිත් මේක බලන්නම ඕනෙ කියලා කියපු කාලයක් සිනමාවට තිබුණා. අපට අද එහෙම චිත්‍රපටයක් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ. කෘෂිකාර්මික වටපිටාවකින් යුතු දකුණු පළාතේ මම ඉන්නේ. මිනිස්සුන්ට එහෙම වුණේ පහුගිය කාලේ හාල් ගණන් ගිහින්, තේ වතු පාළුවට ගිහින් කුරුඳු, ගම්මිරිස් මිල අඩුවෙලා විනාශ‌ වුණාම ප්‍රදේශවල මිනිස්සුන්ගේ ආර්ථිකය බින්දුවට වැටෙනවා. වෙනරටවල කුණු කඳු අපේ රටට ගෙනත් දාලා සමෘද්ධිය කියලා හිඟන සොච්චමක් දීලා ඇඟ බේරගන්න තමයි පහුගිය වකවානුවල කටයුතු සිදුවුණේ. ආර්ථික පරිහානිය මඟින් රැකියා විරහිතබව ඇතිවුණා, දළදේශීය ආදායම බැහැලා ගියා. මේවා බලපෑවේ අපේ සිනමාවට.

ඒ නිසා පමණද සිනමාව පරිහානියට ලක්වුණේ?

නෑ. අද තරුගුණය කියන දේ නැති වෙලා සිනමාවේ. එදා ගාමිණි ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, විජය කුමාරණතුංග වගේ අයගේ නම් ලැයිස්තුවේ මමත් ඉන්න එක ගැන මම එක අතකට සතුටු වෙනවා. මේ තරුටික නැති වුණ දවසට අපේ සිනමාවේ තරු නැත්තටම නැතිවෙලා යනවා. අපට ලොකු මුදලක් ගෙවලයි ඔවුන් චරිතවලට ආරාධනා කළේ. අහවල් නළුවා නිළිය ඉන්න චිත්‍රපට බලන්න ඕනේ කියන තැනට අද කවුරුත් නැහැ. විජය කුමාරණතුංග වෙන්න තියා අංශු මාත්‍රයක් ළඟින්වත් යන කෙනෙක් ආවද? නැහැ. මම සිනමාවට එද්දි මාලනී, ශ්‍රියාණි, නීටා, සුමනා අමරසිංහ වගේ තරු ගොන්නක් මැදට වැටුණේ ඒත් අපි ස්වාධීනව කවූුරුවත් වගේ නොවී ගීතා කුමාරසිංහ හැටියට නැඟී සිටියා. අද වෙද්දි නිළිය කියන නමටත් කැලලක් වෙලා. අවුරුදු දහයක් දොළහක් සිනමාවේ නැතිව සිටියට පස්සේ මම අද නිළියක් කියනවාටත් අකමැති හිතෙන තැනට වැඩ සිද්ධ වෙලා. ඒ වචනේ ඒ තරමට බාල්දු වෙලා. ඔය රෙකෝඩින් කතාවල ඉන්නෙත් නිළියොද? සම්මානයට පත්වුණු රංගනවේදිනියන් කවුරුත් ඕවයේ නැහැ. ප්‍රවීණ කියලා කියන්න පුළුවන් තත්ත්වයට මම පත්වුණේ සරසවිය එකම සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය, හොඳම නිළිය, ජනප්‍රියම චිත්‍රපටය හොඳම චිත්‍රපටය කියන සම්මාන හතරම ගන්න මට්ටමින් මිස නිකම්ම නෙවෙයි.

 

තරු ගුණය මෙච්චරටම නැතිව ගියේ මොකද?

ටෙලි නාට්‍ය නිසා. මම කළේ එකම එක ටෙලි නාට්‍යයයි. එතනින් එහාට වැඩක් නැහැ කියලා හොඳටම තේරුණ නිසා බලන්නකො අපි එක ටෙලියකවත් ඉන්නවාද කියලා. ටෙලි නාට්‍යවල ඉන්න බොහෝ දෙනෙක් ඊළඟ එකකදි අමතක වනවා. ඒක සාමාන්‍යයෙන් සෝප් ඔපෙරාවල ස්වභාවය. ඒවා එදිනෙදා කාලය කා දමන්න හොඳ දෙයක් මිස වෙන දෙයක් නෙවෙයි. හඬපට කතාවෙ වුණත් හොඳ නළු නිළියො කවුරුත් ඉන්නවාද? ඒ පුද්ගලයා වුණත් අපිත් එක්ක සෙට් එකකදි ඔහොම කතා කරන්න ආවේ නැහැ. සාමාන්‍ය විහිළුතහළු කරනවා. ඒ හැරෙන්න ඔය වගේ දේවල් කියන්න ආවානම් දෙනවා කම්මුල හරහා වන්ෂොට් දෙපිටින් යන්න. දැන්වෙලා තියෙන්නෙ ජාඩියට මූඩිය සෙට්වෙලානේ ටෙලිෆෝන් එකෙන්.

කලාකරුවන් පාර්ලිමේන්තු ගියාට කලාවට වැඩක් වුණේ නැහැ කියන චෝදනාව ගැන මොකද හිතන්නේ?

මම පාර්ලිමේන්තු යන්නේ කලාවට වැඩ කරන්න නෙවෙයිනේ. ජනතාවට වැඩ කරන්න. ඇත්තෙන්ම මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය වගේ කලාකරුවන් පාර්ලිමේන්තු ගියේ කලාවට වැඩ කරනවා කියන අදහසින්. ඒ අය ගමක් නියෝජනය කරලා ගමකින් ඡන්දය අරන් ගිය අය නෙවෙයි ජාතික ලැයිස්තුවෙන් ගිය අය. ඔවුන් එහෙම දැම්මෙ කලාව ගැන කතා කරන්න. හැබැයි මට ඒක අදාළ නැහැ. මම කලාකාරියක් වුණාට මම ගියේ සාමාන්‍ය බිම් මට්ටමේ දේශපාලනඥයෙක් හැටියට ගමට ගිහින් සංවිධාන කටයුතු කරලා, ආසන සංවිධායකවරියක හැටියට අවුරුදු ගණනාවක් ඒ කටයුතු කරලා. ඒක වෙනම කතාවක්. හැබැයි කලාවට අනිවාර්යයෙන් සේවය කළ යුතු අවස්ථාවක අපි ඉන්නේ කියන දේ මම පිළිගන්නවා. මේ රටේ කොච්චර හොඳ චිත්‍රපට හැදුවත් පෙන්වන්න හෝල් නැතිකම විසඳගත්තෙ නැත්නම් සිංහල සිනමාව අභාවයට යන එක කාටවත් නවත්වන්න බැහැ. ගාල්ලට හොඳ සිනමා ශාලාවක් තියෙනවාද? ඇල්පිටිය වගේ ජනාකීර්ණ ප්‍රදේශයකවත්? අපට දක්ෂ ශිල්පීන් ඉන්නවා. හැම අතින්ම ඒ අය දක්ෂයි. අන්තර්ජාතික වශයෙන් සම්මාන ලබන අය කොච්චර ඉන්නවාද? ඒවා පෙන්වන්න තැනක් නැත්නම් මුලින්ම මේ එන අමාත්‍යවරයාට තමයි ලොකුම බලය තිබෙන්නේ. ඒ නිසා හරි තැනට හරි කෙනාව යොමු කරන්න ඕනේ. ණය මුදලක්, බදු සහනයක් දීලා රටේ සිනමා ශාලා ගොඩනඟන්න ඕනෙ.

සිනමා ශාලා ගොඩනැඟූ පමණින් දැන් තිබෙනවාය කියන පෝලිම් ප්‍රශ්නයට එහෙම විසඳුමක් ලැබෙයිද?

පෝලිම් ප්‍රශ්නය විසඳන්න එකම ක්‍රමයයි තිබෙන්නේ. සැපයුම තිබෙන්න ඕනෙ ඉල්ලුමට සරිලන විදිහට. මේ ලංකාවෙන් බාගෙකටවත් චිත්‍රපට පෙන්වන්නේ නැතුව, චිත්‍රපට ගොඩක් කළොත් රිලීස්වන්න පෝලිමක් එනවා තමයි. ඒ නිසා තමයි මම කියන්නේ සිනමා ශාලා වැඩිකරලා, තත්ත්වය හොඳ කරලා, නිෂ්පාදකයන්ට විශ්වාසය ගොඩනඟන්න ඕනෙ මාසයකින් වගේ තමන්ගේ ආදායම ලබාගන්න පුළුවන් කියලා. අනෙක සිනමා සංකීර්ණ ගොඩනඟලා තමයි ලෝකෙ බොහෝ රටවල සිනමා ප්‍රදර්ශනය කරන්නේ. ඒ වගේම පළමුවෙන්ම වාණිජ චිත්‍රපටවලට හරි ආකාර තරුගුණයක් සමඟ රසිකයන් සතුටු වන මට්ටමක් ඇතිවන්න ඕනෙ. අපි මොනවා කීවත් හොඳ වාණිජ සිනමාවක් කර්මාන්තයට අවශ්‍යයි. මගේ මතයේ හැටියට නම් මේ සිනමා කර්මාන්තයේ යෙදී සිටින තරුණ පරපුරට සියලුම රසික රසිකාවන් ණය ගැතියි. ඔවුන්ගේ ශක්තිය, කැපවීම නැත්නම් අද සිනමාව ඉවරයි. මේ වගේ සිනමා ශිල්පීන් සිටීම ගැන අපි ඉමහත් සතුටට පත්විය යුතුයි. ඒ වගේම චිත්‍රපට සංරක්ෂණය හොඳීන් ක්‍රියාත්මක කළ යුතුයි. මගේ පාලම යට, ලොකුදුව වගේ චිත්‍රපට ඇරිසෝනා විශ්වවිද්‍යාලයෙන් සංරක්ෂණය සඳහා බාරගත්තා. අනෙක් වැදගත් චිත්‍රපටවලටත් මේ දේ සිදු විය යුතුයි කියා මම හිතනවා. ඒ දේවල් යාමනයට තමයි චිත්‍රපට සංස්ථාව තිබෙන්නේ.

රඟපාන්න දැන් හිතක් ඇත්තෙම නැදද?

මට වෙලාවකට හුඟක් දුක හිතෙනවා. අපරාදෙ මගේ ජීවිතෙන් හොඳම කාලයක් මම අපතේ හැරියා නේද කියලා. දේශපාලනයෙන් ඉවත් වුණු දවසක නැවත රඟපාන්න වගේම හොඳ චිත්‍රපට කීපයක් නිෂ්පාදනය කරන්න මම හිතාගෙන ඉන්නවා. මගේ අන්තිම චිත්‍රපටය රාජ්‍ය සේවය පිණිසයි. ඒ වෙනුවෙන් මම කැපවුණා. හොඳම නිළිය සම්මානයත් ලැබුණා. නිෂ්පාදන කටයුතුත් එහෙමයි. අනෙක් නිෂ්පාදකවරු වගේ සල්ලි හම්බකරන අදහසින් නෙවෙයි ඒවා මම කළේ. සමභාව්‍ය චිත්‍රපට හදලා මම ඒවායේ රඟපාලා ඒ වෙනුවෙන් කැපවෙලා මගේ ආදරණීය කටයුත්තක් ලෙසයි චිත්‍රපට නිෂ්පාදන කටයුතු කළේ. හැබැයි මේ දෙක පටලවගෙත යන පුරුද්දක් මට නැහැ. මොකද ඒක සාපරාධී ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. චිත්‍රපට සීයක රඟපාන්න පුළුවන් එක අවුරුද්දක් දේශපාලනය කරනවාට වඩා ලේසියෙන්. දේශපාලනය කියන්නේ දිගු කාලීනව යෙදී සිටිය යුතු කටයුත්තක්. විශේෂයෙන් දිස්ත්‍රික්කයක පාරක් තොටක් ගානේ හරියට හඳුනාගන්න අඩුම තරමින් අවුරුදු දහයක් දේශපාලනය කරන්න ඕනෙ. හැම තිස්සෙම මඟුල්ගෙවල් වගේ සතුටුදායක දේවල් නෙවෙයි මිනිස්සු අරන් එන්නේ, ප්‍රශ්න.

ඒ කියන්නේ පහුගිය අවුරුදු 12ගැන දුකක්ද තියෙන්නේ?

අපෝ නෑ.නෑ. මම දුක්වෙන දේවල් කරන්නේ නැහැනේ. ඔයහැටි දුක්වෙන්න මට කවුද ඕවා කරන්න කීවේ? මගේ කැමැත්තෙන් මේවා කරන්නේ. හැබැයි මට කනගාටුවක් තියෙනවා ලක්ෂ පන්සීයක පමණ බඩුමූට්ටු ගෙනත් තිබුණු මගේ ප්‍රඩක්ෂන් හවුස් වගේ ව්‍යාපාර දේශපාලනය නිසා නැතුව ගිය එක ගැන. දේශපාලනය වගේම සිනමාව කියන්නේ වයසක් නැති ක්ෂේත්‍ර දෙකක්. මම දේශපාලනයේ යථාර්ථය හොඳීන්ම දන්නවා දැන්. මම ගොඩක් කල් නිහඬව හිටියාම සිනමා රසිකයන් මාව අමතක කරයි කියලා හිතුවා. ඒත් එහෙම නැහැ. අමතක කළා නම් මට හිත හදාගන්න තිබුණා. ඒත් රසිකයන් දකින හැම මොහොතකම මගෙන් අහන්නේ සිනමාව අතහැරියේ ඇයි කියලා.

ඔබ මේ ක්ෂේත්‍ර දෙකෙන් වඩාත්ම රුචි?

සිනමාවට. සිනමාව කියන්නේ මගේ සිහිනය. ඒත් දේශපාලනය කියන්නේ මගේ සේවය. සිනමාව දියුණු කරන්නත් අදාළ අමාත්‍යාංශයෙන් වැය ශීර්ෂය පාස් කරගන්න එපැයි. රංගන පාසලක් දකුණෙන් බිහිවිය යුතුයි කියලා මම හිතනවා. සිනමා රංගනය පමණක් නෙවෙයි උඩරට, පහතරට, සබරගමු නැටුම් සම්ප්‍රදායන්ට පසු තිබෙන්නේ බෙන්තර නැටුම්. ඒවා රැකගන්න අපි කැපවිය යුතුයි. අපේ කාලේ රංගනය ගැන ඉගෙන ගත්තේ මුල් කාලයට වඩා ටික ටික ඇඟට දැනිලා දැනිලා මේ වැරැද්ද මෙතන නොකළානම් හොඳයි කියලා හිතට දැනිලයි. අනෙක හොඳ රංගන ශිල්පියෙක් බිහිවන්නේ නැහැ හොඳ අධ්‍යක්ෂවරයෙකු නැතුව. අධ්‍යක්ෂ විසින් මෙහෙයවන ආකාරය තමයි වඩාත් වැදගත්. රංගන ශිල්පියා හෝ ශිල්පිනිය තමන්ගේ අතින් දාගන්න කොටසක් තිබෙනවා. එය මතුකරගන්න අධ්‍යක්ෂවරයා සමත් වියයුතුයි.

ඔබේ සැනසීම ලැබෙන්නේ?

මම කළ හොඳ දේවල් සිහිවෙද්දි. සිනමාවේ හොඳ දේවල් ගැන හිතලා, 1975 ඉඳන් මම රඟපෑ හොඳ චරිත වෙනුවෙන් මම දැක්වූ දක්ෂකම් තළින් කළ දේ ගැන මම නිරන්තර සතුටු වෙනවා. දේශපාලනයේ අභියෝගාත්මක චරිතයක් බවට පත්වෙලා ඉන්නවා මම. ගාල්ල දිස්ත්‍රික්කයේ සමහරු මාව වටකරගෙන පහර දෙනවා. එය සිනමා නිළියක්ද ගෙවිලියක්ද වනසංරක්ෂණ නිලධාරිනියක්ද කියලා අදාළ නැහැ. මම එය දකින්නේ කාන්තා හිංසනයක් විදිහට. මේක කොහොමහරි ලියන්න රත්තරන් නංගියෝ අද සමහර බොරු ෆේස්බුක් හදාගෙන පඩිදීලා අනුන්ට පහරගහන්න යොදවන පිරිසකුත් ඉන්නවා. ඒවායේ තිබෙන තිත්ත කුණුහරුප අම්මාකෙනෙක් ඉන්න මනුස්සයෙක්ට කියන්න පුළුවන් ඒවා නෙවෙයි. දවසක් මම බලමණ්ඩලයක් වැඩ ඉවර වෙලා, රූපවාහිනී වැඩසටහනකට ආවේ හොඳටම මහන්සියක් නොබලා. ඒක ඉවරවෙද්දි මැදියම් රැයත් පහුවෙලා, ගෙදර ඇවිත් මූණකට හෝදගෙන ඇඳුම් මාරුකරගෙන ආපහු යද්දි වෙනකතාවක් මට හදලා ප්‍රචාරය කරනවා. නින්දිතයි මේ වැඩ. ඒත් අහිංසක ජනතාවගේ දුක් කඳුළු දකිද්දි ඒවා මට අමතක වෙනවා.

ඔබට සිනමා නිළියකගේ බලය වගේම දේශපානඥයකුගේ බලය තිබෙනවා?

මට බලයක් අවශ්‍ය නෑ. මම බලය පාවිච්චි කරන්නෙත් නැහැ. බලයට වඩා වැදගත් තමන් කරන්න ආ දේ ගැන කැපවීමෙන් කටයුතු කිරීම. මම බොහෝ දේවල් අහිමි කරගෙන මේවා කරන්නේ. දැන් ඔයා මගෙන් අහයි ඇයි එහෙම කරන්නේ කියලා. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ඇයි මම මේවා කරන්නේ? කියලා හිතෙනවා වෙලාවකට. ඒත් අද මා ගැන නොහිතන මිනිස්සු කවදා හරි කතාකරයි මෙහෙම ගැහැනියක් හිටියා තමන්ගේ සියලු සැප සම්පත් වරදාන වරප්‍රසාද අතහැරලා ජනතාව වෙනුවෙන් කැපවුණු කියලා. නැත්නම් මට යන්න තිබුණනේ මෛත්‍රීපාල මහත්තයා කතා කරපු වෙලාවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙලා. නියෝජ්‍ය ඇමතිවරියක් කරන්නත් සූදානම් වුණා. ඒත් මම මගේ ප්‍රතිපත්ති නිසා ඒවා ප්‍රතික්ෂේප කළා. අපි චිත්‍රපට කළෙත් එහෙම. තිරපිටපත බලලා මම මේකේ රඟපාන්න කැමති නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. සල්ලි කොච්චර දුන්නත් අපි බාරගත්තේ නැහැ. සමහර නළුනිළියෝ බිහිවුණේ අපි ඒ ප්‍රතික්ෂේප කරපුවායේ රඟපාලානේ. ඒවා ලේසි වැඩ නෙවෙයි. සමහරවිට මිනිසුන්ගේ දෛවයේ ලියැවිලා ඇති මෙහෙම විය යුතුයි කියලා. මම පාර්ලිමේන්තු ගියේ අවාසනාවන්තම කාලෙක. අපි විපක්ෂයත් නෙවෙයි. ඒකාබද්ධ කණ්ඩායමක්. ඒත් අපි පුළුවන් තරම් කතාකරන්න අවස්ථාව ගත්තා බොහොම අමාරුවෙන්. මිනිස්සුන්ට සේවය කළා බොහොම අමාරුවෙන්. වෙලාවට මට සල්ලි තිබුණා. වෙන අය වගේ දේශපාලනෙන් හම්බකරන්න මට ඕනවුණේ නැති නිසා සමහර නළුනිළියන් කරනවාට වඩා වෙනස් දෙයක් මිනිසුන් වෙනුවෙන් කරන්න මට හැකියාව ලැබුණා. අද ඡන්ද බලය වැඩියෙන්ම තියෙන්නේ කාන්තාවන්ට. ඕනැම ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් කාන්තාවන්ට. ඒත් ඒ බව කාන්තාව දන්නේ නැහැ. තමන්ගේ වටිනාකම දන්නේ නැහැ. මෙහෙණි සස්න ගැන බලන්න. බුදුහාමුදුරුවෝ දුන්න නිසි තැන කෙසේවෙතත් හැඳුනුම්පතවත් නෑ.

මේ තරම් කාන්තාවන් වෙනුවෙන් කැපවෙන්න හේතුව?

ඒක සිනමාවට ආවට පස්සේ මට හිතිච්ච දෙයක් වෙන්න ඕනේ. මොකද පොඩිකාලේ ඉඳන්ම මම නායකත්වය දරපු නිසා පොඩිකාලේ එහෙම දැනුනේ නැති කෙනෙක්. පාසලේ නෙට්බෝල් කණ්ඩායමේ වුණත් නාට්‍ය කණ්ඩායමේ, කථික තරගවල, ඉංග්‍රීසී දින තරගවල කප් එක ගන්න නායකත්වය ලැබුණා. පවුලෙ වැඩිමලා විදිහට ඒ නායකත්වයත් ලැබුවා. පොඩි පොඩි බටුඇට වගේ සහෝදර සහෝදරියෝ ටික මගේ පස්සෙන් වැටිලා මගෙන් උපදෙස් ගන්නවා. ඒ නිසා මට පොඩිකාලේ එහෙම අඩුවක් දැනුණේ නැහැ. ඒ වගේම මම මගේ අධ්‍යාපනය දියුණු කරගන්නවා. පිටරට ගිහින් රූපලාවණ්‍ය පිළිබඳ වගේම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මගේ ඩිප්ලෝමාවල සම්මාන සහතික සහිතව ගන්නවා. භාෂා කීපයක් හදාරපු නිසා ලෝකෙ කොහේහරි අතරමං වුණොත් කතාකරලා බේරෙන්න මට හැකියාව තිබෙනවා. හැබැයි ඒ එකක් වත් මම තව දෙයක් සඳහා කළේ නැහැ. මම මගේ කාලය අපතේ යවන්න අකැමැති නිසා කරපුවා.

දැන් අක්කගේ ජීවන දර්ශනය බවට පත්වෙලා තියෙන්නේ?

බොහොම සරල බොහොම සුන්දර දර්ශනයක්. ගැහැනියක් හැටියට මේ රටේ කාන්තාවන්ට සිදුවන හිංසනයට විරුද්ධව කටයුතු කිරීම. දේශපාලනයේ, සමාජයේ පමණක් නෙවෙයි කලාවේ පවා එහෙමයි. අපි එන කාලේ සිනමාවෙත් චරිතවල ආධිපත්‍යය ගෙනගියේ පිරිමි. කතා නායකයා තමයි ප්‍රධාන. අපි ඒවා වෙනස් කරලා කතා නායිකාව, වීරවරිය සහිත කතාබවට පත්කළා. පිරිමියා අබිබවා ගිය චරිත සහිත චිත්‍රපට හොඳට දිව්වා. මල්ගස්වටේ දුවන එක නෙවෙයි චිත්‍රපට කියන්නේ. හැබැයි ඒවාත් නැතුව බැහැ සිනමාවට.

ඒ ලෞකික දර්ශනයනේ? ආධ්‍යාත්මික වශයෙන්?

මම සියයට සියයක්ම බෞද්ධ. රජකම ලැබෙනවා කීවත් එය අතනොහරින කෙනෙක්. ඒ දර්ශනයේ තිබෙන්නේ බොහොම වැදගත් දේවල්. ඒත් අද ආගම් කරපින්නගෙන ඉන්න අය තමයි වැඩියෙන් වැරැදි කරන්නේ. මම අදහන සහ දන්න දේ තමයි මෙලොවදි කරන පවුවලට මේලොවදීම පටිසන් දෙනවා කියන එක. විශේෂයෙන් කාන්තාවන්ට කරන හිංසා බලාගෙන ඉද්දි පටිසන් දෙනවා. මේ තත්ත්වය ඉන්දියාවේ වෙනස්. බලන්න ජයලලිතා ජයරාම් එද්දි අම්මා කියාගෙන ඇය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න පිරිස හිටියා. බස් එකේ කාන්තාවකට හිටගෙන යන්න දෙන්නේ නැහැනේ. ඒ අයගේ සංස්කෘතියෙන්ම කාන්තාවට ගරුකරනවා.

හැබැයි බමුණු මත ආවෙත් ඉන්දියාවෙන්?

බමුණු මත තිබුණත් ගැහැනිය අපිරිසුදුයි, ඉදිරියට එන්න බැහැ කියන දේ ගැන මෑතකදී ඒ සියල්ල වෙනස් වෙලා ගියා. දේශපාලනේ එය වෙනස් කළා. මම දෙමළ චිත්‍රපට කරනකොට දැනගත් දේ තමයි ප්‍රධාන නළුවාට සමානවම ප්‍රධාන නිළියටත් එකවගේ ගරු සැලකිලි කරන්න ඕනේ බව.

ඔබටත් ජයලලිතා කෙනෙක් වෙන්නද ඕනේ?

අපෝ නෑ නෑ. මම කැමති නැහැ. ජයලලිතා කියන්නේ මගේ දේශපාලනයේ වීර චරිතය නෙවෙයි. මගේ වීරවරිය මමමයි. අවුන්සාන් සුඛී වගේ අයගේ චරිත කතා කියෙව්වාම, ඉන්දිරා ගාන්ධි, සිරිමාවෝ මැතිනිය වගේ අය, ආසියාතික දේශපාලනයේ ඊටවඩා හොඳ ආදර්ශයන්. මෑත කාලීන අයගැන මම වැඩිය අධ්‍යයනය කරලා නැති නිසා ඒ ගැන මට කියන්න බැහැ. හැබැයි සෝනියා ගාන්ධි ඒ අතර කැපී පෙනෙන චරිතයක්. ජයලලිතා අවසානයේ බොහෝ දූෂණවලට සම්බන්ධ වුණා. මම එක සතයක්වත් හොරකම් මංකොල්ලකෑම් කිසිම තැනකින් නොකරපු කෙනෙක් හැටියට ඒ දේවල් හෙළා දකිනවා. අපේ රටේ කාන්තාවන් දේශපාලනයට නොඑන්නේ මොකද කියලා නංගි දන්නවාද? කාන්තාවකට දෙන හිරිහැර කරදර විඳගන්න ඔවුන් ඔරොත්තු නොදෙන නිසා. හොඳ වෙලාවට මගේ නායකයෝ කේලාම් අහන අය නෙවෙයි.

අන්තිම ප්‍රශ්නේ. කවදාහරි ආයේ රිදී තිරයෙන් ගීතා කුමාරසිංහ දැකගන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලැබෙයිද?

මම දන්නෙ නැහැ. ඒක මගේ දෛවය විසින් තීරණය කරන දෙයක්. මම එහෙම අනාගතය ගැන සැලසුම් හදාගෙන ඒවාට පිළිතුරු හොයන කෙනෙක් නෙවෙයි. මම කරන්නේ දැන් කරන කාර්යය හරියට, පූර්ණ අවධානයෙන් කරන එක. ජනතාව විසින් තේරුම්ගත යුතු එකම දෙයක් තිබෙනවා. මම දේශපාලනයට ආවේ ජනතාවට සේවයක් කරන්න. ඒකයි මගේ අවංක අදහස.



ටෙනිසන් එදිරිසිංහ

Comments

neil costa (තහවුරු වී නොමැත)
well said geetha. Good luck and you will win the general election for sure .
ඉරි, 03/01/2020 - 05:24

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.