නෙහාරා පීරිස්

මාර්තු 5, 2020

 නෙහාරා දැන් කොපමණ කල් ද  ක්ෂේත්‍රයට පිවිසිලා?

අවුරුදු දොළහයි.

 ඔබ පරපුරෙන් පසු සෑහෙන්න නවකයින් පිරිසක් ක්ෂේත්‍රයට ඇවිල්ලා නේද?

ඔව් ටෙලිවිෂනය නරඹද්දී බොහෝ පිරිසක් ඇවිත් කියලා පේනවා.

 ඒ අය ගැන මොකද කියන්න තියෙන්නේ?

අලුත් අයට හරි ලෙහෙසියෙන් ක්ෂේත්‍රයට පිවිසෙන්න පුළුවන්. ඒ අතින් බලනකොට එයාලා ගොඩක් වාසනාවන්තයි. මමත් කට්ටක් කාලා ක්ෂේත්‍රයට ආව කෙනෙක් නෙවෙයි. අපි ආව කාලෙට වඩා අද අයට අවස්ථා වැඩියි. අලුත් අය එන එක හොඳයි. හැමදාම අපිටම රජ කරගෙන ඉන්නත් බැහැනෙ. 

 සමහර අධ්‍යක්ෂවරු නළු නිළියන්ව බෙදාගෙන ඉන්නවා. මේ තත්ත්වය ඔබට දැනෙන්නේ කොහොමද?

නළු නිළියෝ බෙදාගෙන ඉන්නවා කියන කාරණය වෙන්න පුළුවන්. සමහර ඩිරෙක්ටර්ලා එක කණ්ඩායමක් තමයි නිර්මාණ සඳහා ගන්නේ. චරිතයකට හරි යනවා නම් එහෙම ගත්තට කමක් නැහැ. එහෙම නොවුණම අවුලක් තියෙනවා.

 ක්ෂේත්‍රය  තුළ තරඟකාරිත්වයත් වැඩි වෙලා නේද?

මට හිතෙන විදිහට ඕනෑවට වඩා තරඟකාරිත්වයක් ඇති වෙලා. මේ තත්ත්වය නිසා ගොඩක් අය කුහක වෙලා. නාළිකා අතරේ වුණත් අනවශ්‍ය තරඟයක්. හැමෝටම තමන් නම්බර් වන් වෙන්න ඕනැ. ඔවුන් තමන්ගේ නාට්‍යවල ඉන්න නළු නිළියෝ පමණයි ප්‍රමෝට් කරන්නේ. හැමෝම මතක තියා ගන්න ඕන මේක  සර්කල් එකක්. අද නම්බර් වන් වුණත් හෙට පහළටම වැටෙන්න පුළුවන්. එතකොට පහළ හිටපු කෙනෙක් උඩට ඇවිල්ලා.

 නෙහාරාට දැන් කැපිලි කෙටිලි වැඩියි වගෙයි?

දෙදහස් හතේ ඉඳලා දෙදහස් පහළොව වෙනකම් මට හරි ලෙහෙසි ගමනක් තිබුණෙ. කැපිලි කෙටිලි තිබුණේම නැති තරම්. දෙදහස්               පහළොවේ මං රට යනවා. ආයේ එන්නේ දෙදහස් දහ අටේ. අන්න එවලේ ඉඳලා මට නොසෑහෙන්න කැපිලි ආවා. මගේ කනට ඇහිලා තියෙනවා නෙහාරා මෙන්න මේ වගේ කියලා කියනවා. නාළිකාවක් හෝ වේවා පුද්ගලයකු හෝ වේවා අද ඉහළ තැනක ඉන්නවා  වෙන්න පුළුවන්. හැබැයි එයාලා හිටියේ කොතැනද කියලා මතක තියා ගන්න ඕන.  මං තමයි පොර කියලා හිතාගෙන හිටියොත් කවදා හරි වරදිනවා. දෙදහස් නවයේ විතර අංක එකට හිටපු චැනල් අද කෝ . . . ඒ තැන වෙන අය අරගෙන. හැබැයි ඒ අයට අමතකයි පටන් ගැන්ම  සමහර අවස්ථාවලදී අපෙනුත් ප්‍රයෝජන අරගෙන තමයි ඔවුන් ඉහළට ගියේ. මට එන කැපිලි ගැන මං හිතන්නේ නැහැ. නමුත්  හිතේ පොඩි කලකිරීමක් තියෙනවා.

 ඔබ අලුත් කාර්යයක් පටන් ගත්තා.  ඒ ගැනත් කියමු?

නෙහාරා ඩාන්ස් ස්ටුඩියෝ කියලා තැනක් ආරම්භ කළා. දෙහිවල අත්තිඩියේ තමයි ඒක තියෙන්නේ. සියලු ඩාන්සිං අංග එතැන උගන්වනවා. මම නෙවෙයි ඒ ඉගැන්වීම් කරන්නේ. ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් ඒ කාර්යය කරගෙන යනවා. ඊට අමතරව වෙන ඉවෙන්ට්ලට ඒ කියන්නේ ෂූටිංවලට, වර්ක්ෂොප්වලට එතැන රෙන්ට් කරනවා. නෙහාරා ඩාන්සිං ස්ටුඩියෝ කියන  ෆේස් බුක් පිටුවෙන් සහ ඉන්ස්ටර් ග්‍රෑම් එක හරහා අවශ්‍ය අයට මේකට ජොයින් වෙන්න පුළුවන්.

 කොහොමද ඔබගේ ෆැමිලි ලයිෆ් එක?

බොහොම හොඳට ගෙවෙනවා. මට වඩා මේනක තමයි බිසී. ඒ වුණාට දෙන්නා විවේක වෙලාවල් හොයාගෙන ඇවිදින්න යනවා. 

 කොහෙද  අන්තිම වතාවට එහෙම ඇවිදින්න ගියේ?

ඇල්ල පැත්තෙ ඇවිදින්න ගියා.

 එහෙම ගිය වෙලාවල්වලදී නිදහසේ ඔබ දෙපොළට ඇවිදින්න පුළුවන් වුණාද?

මුතු කිරිල්ලි කරන කාලේ නම් හරියට ඇවිල්ලා මාත් එක්ක ෆොටෝ ගත්තා.   දැන් ඒ කල්චර් එක නැහැනෙ. හැමෝම මොකක්දෝ මාන්නයකින් ඉන්නේ. අපි හිනා  වුණත්  හිනා වෙන්නෙ නැහැ. සමහරු ඔරවනවා. අන්න අර ගොල්ලො ඉන්නවා බලන්නෙපා කියලා කියනවා. ඔන්න ඕකයි අද තත්ත්වේ. 

Add new comment