ඔබ Parasite නැරඹිය යුත්තේ ඇයි

සංජීව පුෂ්පකුමාර පිළිතුරු දෙයි
මාර්තු 5, 2020
Parasite  අධ්‍යක්ෂ බොං ජූන් හූ

මෙවර ඇකඩමි සම්මාන උලෙළ සම්ප්‍රදායෙන් මිදී උඩුයටිකුරු වූ තීන්දුවක් ගෙන තිබුණි. ඒ වසර හතළිස් නවයක් පිරිනැමූ හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට හිමි වූ වර්ගීකරණය හොඳම අන්තර්ජාතික චිත්‍රපටය නමින් සම්මානයට ලක් කරමිනි. ඒ වෙනසත් සමඟ තවත් අපූර්ව සිදුවීමක් වූයේ ආසියාතික රටක් වූ දකුණු කොරියාවෙන් ඉදිරිපත් කරන ලද පැරසයිට් (Parasite) හෙවත් පරපෝෂිත නම් වූ චිත්‍රපටය ඒ වර්ගීකරණ වෙනසේ පළමුවරට සම්මානය හිමිකර ගැනීමයි. බොං ජූන් හූ නම් අධ්‍යක්ෂවරයා Gisaengchung  නමින් එය දකුණු කොරියානු බසින් නම් කර ඉදිරිපත් කර තිබුණි. ඇකඩමි සම්මාන උලෙළේ මුල්ම වරට අමෙරිකානු නොවන විදෙස් භාෂා චිත්‍රපටයක් හොඳම චිත්‍රපටය ලෙස නම් වීම සිනමාවේ කිරුළු පලන් අනෙක් රටවල විස්මයටද හේතු වී තිබිණි. කෙසේ වුවත් පැරසයිට් අප නැරඹුවේ වැල්ලවත්ත සැවෝයි ශාලාවේ විශේෂ ප්‍රදර්ශනයේදීය. එය මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීම සඳහා අවස්ථාව සලසා දුන්නේ ඊඒපී සමාගමත් සමඟ එක්ව තරුණ සිනමාකරුවකු වන සංජීව පුෂ්පකුමාරයි. කොරියාවේදී සිනමාකරණය පිළිබඳ හැදෑරුවකු ලෙස ඔහු සමඟ පැරසයිට් චිත්‍රපටය ගැන කතාබහක් මෙසේ සටහන් කරන්නට සිතුවෙමු.

 

 

පැරසයිට් චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කරන්නට සංජීව බොහොම උනන්දුවෙන් කටයුතු කළා?

ඔව්. මම ඊ.ඒ.පී සිනමා සමාගමේ ජීවක පල්ලෙවත්ත මහත්මයාට යෝජනා කළාම මේ චිත්‍රපටය නැරඹීමට ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාව දෙමු කියලා ඔහු එකඟ වුණා. ඒකට හේතුව වෙළෙඳ වටිනාකමින් යුත් චිත්‍රපට පමණක් නොවේ, කලාත්මක වශයෙනුත් වැදගත් චිත්‍රපටවලට අපේ ප්‍රේක්ෂකයන් හුරුවිය යුතුයි කියන කාරණය වැදගත් වීමයි. ඒ වගේම මම කොරියාවේ ගිහින් සිනමාව ඉගනගත් කෙනෙකු හැටියට කොරියානු සිනමාව කොයිතරම් විශිෂ්ටද කියන දේ ගැන දැනගෙන හිටියත්, ඉතිහාසයේ කිසිම දවසක කොරියානු චිත්‍රපටයක් ලංකාවේ වාණිජමය වශයෙන් ප්‍රදර්ශනය කර තිබුණේ නැහැ. ඒ නිසා මට සිහිනයක් තිබුණා කොරියානු චිත්‍රපට ලංකාවට හඳුන්වා දෙන්න වාණිජමය වශයෙන් ප්‍රදර්ශනය සඳහා. ඒ අනුව අපට ලැබුණු හොඳම අවස්ථාව තමයි මේ.

ඉතින් අපි ඉන්දියානු සමාගමකුත් එක්ක එකතුවෙලා ඊ.ඒ.පී සමාගම හරහා අපි මේ චිත්‍රපටය ආනයනය කළේ. ඒ වගේම මම සතුටුයි කියන්න මම ලියූ කොරියානු සිනමාව හා කිම් කී-ඩුක්ගේ සිනමා භාවිතය කියන පොත නිසා තමයි ලංකාවේ මිනිසුන් ගොඩාක් කොරියානු සිනමාව ගැන අවධානය යොමු කළේ. එතැන් සිට කිම් කී-ඩුක් ලංකාවේ හැමදෙනාගෙම වීරයෙක් වුණා. ජනප්‍රිය චරිතයක් වුණා. කොරියන් සිනමාවත් ලංකාවේ ජනප්‍රිය වුණේ ඉන් පසුවයි. බොන් ජුන් හූ කියන නමත් මුලින්ම ලංකාවෙ කියැවුණේ මගේ ඒ පොතෙන්. ඔහු ඒ පොතේ හැඳීන්වුණේ කොරියානු නව සිනමා රැල්ල නියෝජනය කරන්නෙක් ලෙසයි.

 

කොරියානු සිනමාව මේ තරම් විශිෂ්ටත්වයට පත්වන්න ඔවුන් සතු විශේෂ හේතු හැටියට ඔබට හඳුනාගන්න යමක් තිබේද?

ලෝකේ රටවල් අතරින් තම ජාතික සිනමාව ඉහළට ගෙන රැකගත් රටවල් කීපයයි තිබෙන්නේ. එකක් ඇමෙරිකාව, අනෙක්වා තුර්කිය, ඉන්දියාව සහ කොරියාව. කොරියාව ලෝක මට්ටමින් සිනමා ව්‍යාකරණයත්, තාක්ෂණයත් ගත්තහම හොලිවුඩ් සිනමාවටවත් දෙවැනි වෙයි කියලා මම හිතන්නේ නෑ. අනෙක රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස සිනමා කලා අධ්‍යාපනයට වැය කරන මුදල, කලාවක් ලෙස දක්වන කැමැත්ත, කැපවීම, පරිපාලනය සම්බන්ධව දක්වන කැමැත්ත, සිනමාව ව්‍යාපාරයක් සහ කලාවක් යන දෙවිදිහටම ඔවුන් බාරගෙන තිබීම වැනි දේ නිසා හැම මොහොතකම අලුත් සිනමාකරුවන් බිහි වී තිබෙනවා. ඒ නිසාම පුළුවන්කමක් ලැබී තිබෙනවා ඔවුන්ට නව නිර්මාණාත්මක අයුරින් චිත්‍රපට ලෝකය ඉදිරියට ගේන්න. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ තරම් විශිෂ්ට ප්‍රසාදයකට පැරසයිට් පත් වුණේ.

 

ඇකඩමි සම්මාන උලෙළට තේරුණු 1917, ජෝකර් වගේ චිත්‍රපට සමඟ සසඳන විට පැරසයිට් පිළිබඳ වෙනත් රටවලින් ලැබුණු ප්‍රතිචාර පිළිබඳ ඔබට අදහසක් තිබෙනවාද?

මම මුලින්ම පැරසයිට් දැක්කේ බර්ලින් නුවර ජුලි මාසෙදි. එහිදී එය නැරඹූ ජර්මන් ජාතිකයන් සියලුදෙනාම ඉතාම ආස්වාදයට පත්වුණා. ඒ වගේම මම ශිෂ්‍යත්වයකට ඇමෙරිකාවේ ගොස් සිටි අවස්ථාවේ ලොස් ඇන්ජලිස් නුවර ආක්ලයිට් ශාලාවේ පැරසයිට් පෙන්වූ මුල්ම අවස්ථාවේ එය නරඹන්න අවස්ථාව ලැබුණා විශේෂ ප්‍රදර්ශනයකදි. එහිදී සිටි අයගේ තිබුණු අදහස වුණේ මේ චිත්‍රපටයේ සෑම තලයක්ම සාකල්‍යයෙන්ම එකට බැඳී පවතිනවාය යන්නයි. එකක් කතා සන්දර්භය සහ සෞන්දර්ය ප්‍රකාශනය ඒකමතිකව සමපාත වන අයුරින් මුහු වී ඇති බවත් ඔවුන් කීවා. ඒ වගේම මේ චිත්‍රපටයට ඇතුළු විය හැකි කවුළු ගණනාවක් තිබෙන බව ඔවුන්ගේ අදහස වුණා. එකක් තේමාව. දුප්පත් සහ පොහොසත් පන්ති අරගලය මෙහි හොඳීන් නිරූපණය වනවා.

එහි ගැඹුරට ගොස් බලන විට අප දේශපාලනික වශයෙන් සූරාකන්නන් ලෙස හඳුන්වන්නේ ධනපතියන් වුවත් මේ චිත්‍රපටය තුළ නිර්ධන පන්තිය සූරාකන්නේ ධනපතියන්ද, නැත්නම් ධනපතියන් සූරා කන්නේ නිර්ධනපන්තිය විසින්ද යන්න හඳුනා ගන්න බැරි උභතෝකෝටිකයක් මතු කරනවා. මෙහි දෙගොල්ලන් දෙගොල්ලන්වම සූරාකනවා. හැබැයි මෙහි මූර්තිමත් වන්‌නේ දකුණු කොරියානු නිර්ධන පන්තියේ ආසාව. ඒ තමයි හොඳ නිවෙසක හොඳීන් ජීවත්වීම. එයට තිබෙන බාධකය ධනපති පන්තිය නිර්ධනපන්තිය සතුවිය යුතු බව සිතන සියලු ධනය තමන් තුළ පමණක් සංකේන්ද්‍රණය කර තිබීම. ඒ වගේම මාටින් ස්කොසේසි (ඇමෙරිකානු සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවෙකි) කියනවා චිත්‍රපටයක් නිර්මාණය කියන්නේ ගෘහනිර්මාණ ශිල්පියකුගේ ක්‍රියාවලියක් වගේ කියලා.

ඉතින් මේ චිත්‍රපටයේ ගෘහනිර්මාණය හැම අනුශාංගික අංග මේ කතා තේමාව තීව්‍ර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. එකක් මිනිස් බුද්ධිය අවදි කිරීම සහ තෘප්තිමත් කිරීම එකවිට කළ නොහැකි දෙයක්. ඒ නිසා තමයි චිත්‍රපටවල බෙදීම ඇවිත් තිබෙන්නේ. මිනිස්සු හිතනවා කලාත්මක චිත්‍රපට මිනිස් බුද්ධිය අවදි කරනවා පමණයි රසාස්වාදය නැහැ කියලා. අනෙක් අතට ජනප්‍රිය ගණයේ චිත්‍රපටවලින් රසාස්වාදය ඇතිවනවා පමණයි මිනිස් බුද්ධිය අවදි කරන්නේ නැහැ කියලා. පැරසයිට් කියන්නේ මේ කලාත්මක සහ වාණිජ කියන ගුණාංග දෙකම එක් කළචිත්‍රපටයක්. ලෝකේ බොහෝ චිත්‍රපටවල මේ ගුණය නැහැ. විශේෂයෙන් ආසියානු කලාපයේ චිත්‍රපටවල මේ ගුණය ඉතා විරලයි. මේ ලක්ෂණය තමයි ලෝක ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගන්න පැරසයිට් හට උදවු වුණේ.

 

 

ඔබ දකුණු කොරියාවේදී සිනමාව හැදෑරූ කෙනෙක් ලෙස පැරසයිට් හි පෙන්වන පන්තිභේදය හා ඒ මඟින් ඇති වුණු ආර්ථික පරතරය අත්දකින්නට ලැබුණාද?

දකුණු කොරියාව කියන්නේ ලෝකයේ දහතුන් වැනි ආර්ථිකය සහිත රට. එහෙත් ජනගහණය එන්න එන්නම වැඩිවෙනවා. ඒ නිසා පුද්ගලයන් සතු ක්‍රය ශක්තිය හීන වෙමින් පවතිනවා. ඒ නිසා ඔවුන්ට ජීවත්වීමේ අරගලයක් කිරීමට සිදුව තිබෙනවා. උදාහරණයකට ලෝකයේ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව වැඩි රටක්. ඔවුන් රාජකාරියට ඇබ්බැහි වී තිබෙන නිසා නිරන්තර ආතතිය තිබෙන බව පවසන අය වැඩියි. එයට හේතුව සම්පත් බෙදීයාමේ අසමතුලිතතාව. කොරියානු ආර්ථිකය මෙහෙයවන්නෙත් බලගතු පවුල් කීපයක්. මේ නිසාම කොරියාවේ ජනතාවට තමන්ගේ කියලා ඉඩමක් ගන්නත් අමාරුයි. ඒ නිසා තට්ටු නිවාස අධිකයි. ඒ වගේම ඔවුන්ගේ පොළොවෙන් සියයට 75ක්ම කඳු ප්‍රදේශ නිසා භූමිය කළමනාකරණයත් ඉතා දැඩියි. මම මුල්ම සැරේ ඒ තට්ටු නිවාස දැකලා පුදුම වුණා. ඒ වගේම පසුව මේ කිම් පවුල වගේ බේස්මන්ට් එකේ ජීවත්වන අය සිටීම. ඒ අය අපට විශාල වශයෙන් දැක ගත හැකිවා වනවා. ඒක අරුමයක් නොවනවා වගේම එහි මිලත් අඩුයි.

මේ චිත්‍රපටයේත් කිම් පවුල බේස්මන්ට් එක යට ඉද්දි ධනවත් පාක් පවුල පොළොවෙන් මතුපිට. පාක් පවුලේ මෙහෙකාරියගේ ස්වාමියා නියෝජනය කරන නිර්ධනපන්තිය ආයෙත් ඉන්නෙත් බේස්මන්ට් එකේමයි. බොං ජොන් හූ අධ්‍යක්ෂවරයා හැමවිටම මේ තල දෙක බොහෝ සංකේතාත්මකව යොදා ගන්නවා. කිම්ගේ පළමු පුතා හැම විටම පාක්ලාගේ ගෙදර යන්නේ පඩිපෙළේ ඉහළ අතට. පාක් පවුලෙන් පළා යන්නේ පහළ බේස්මන්ට් එකට. මේ ආකාරයට පොළොව යට ඉන්න නිර්ධන පන්තියේ සමාජ තීරු අතර පන්ති සහයෝගිතාවක් නොමැතිවීමත් පෙනෙනවා. මොකද කිම් පවුල සහ පාක්පවුලේ මුල් මෙහෙකාරියගේ සැමියා සමඟ නිරන්තර ඇති වන්නේ ගැටුමක්. එකම සමාජ තීරුවේ කණ්ඩායම් අතර තමන් කවුද යන්න තේරුම් නොගැනීම මෙහි නිරූපණය වෙනවා. බොං ජුන් හුගේ හත්වැනි චිත්‍රපටය තමයි පැරසයිට්. ඔහු තැනූ අනෙක් නිර්මාණ සියල්ලෙත් මේ පන්ති ගැටුම අඩුවැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මොකද එය දකුණු කොරියාවේ නිරන්තර දක්නට ලැබෙන දෙයක්.

 

කොරියාවට පමණක් නොවේ මුළු ලෝකයටම මේ තේමාව දැනෙන නිසාද මේ තරම් සැලකීමක් චිත්‍රපටයට ලැබුණේ?

ඔවු මෙය අපි හැමෝටම පොදු දෙයක්. මෙය ලෝකේ පවතින යථාර්ථමය සන්ධර්භය. හැබැයි මෙය සම්මානයට පාත්‍ර වන්නේ සන්ධර්භය නිසාම පමණක් නොවේ සිනමා ව්‍යාකරණයේ තිබෙන විශිෂ්ටත්වය නිසා. මම මෙය දකින්නේ විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට සමාන තත්ත්වයකිනුයි. එහි හාස්‍යය, සැහැල්ලුබව, බරපතළ දෙබස්, තීව්‍ර ගැටුම් සහිතයි, සරලයි, ගැඹුරුයි, සංකීර්ණයි. කලාකෘතියක් ලෙස සියලු ප්‍රේක්ෂක ස්ථරයන්ට ඇතුළුවිය හැකි කවුළු තිබෙනවා. අධ්‍යක්ෂවරයා එහිදී මුකුත්ම තේරුම් ගත නොහැකි ප්‍රේක්ෂකයාට මෙහි සංගීතය ඔස්සේ හෝ චිත්‍රපටයට ඇතුළු වීමට කවුළුවක් නිර්මාණය කර තිබෙනවා. හන්ඩෙල්ගේ රොඩෙලින්ඩා ඔපෙරාවේ (ඩචදඤඥත'ඵ පධඤඥතඪදඤච ධනඥපච) කොටස්, 1964 ඉතාලියානු ජනප්‍රිය ගීතයක්, අයි නීඩ් අ ග්ලාස් ඔෆ් සෝජු කියන නූතන, සමකාලීන කොරියානු සංගීත ක්‍රම සහ ශාස්ත්‍රීය කියන සංගීත සංයෝගයන් මෙහි දකින්න පුළුවන්. ලෝකයේ බිහිවුණු විශිෂ්ට කලාවන් සියල්ලෙන්ම බිහිවුණු චිත්‍රපටයක්. එකක් කතා කලාව. ආඛ්‍යානය එක්වරම වෙනස් කරනවා.

කිම් පවුල අපි බලාපොරොත්තු නොවන විදිහට පාක් පවුලට එකතුවෙනවා, පසුව මෙහෙකාරිය යළි ඒ මඟ වෙනස් කරනවා. සාම්ප්‍රදායික කතා කලාවේ ගුණයන් ඔක්කොම මෙයට ගෙනත් තිබෙනවා. ඒ වගේම මේ නිවෙස ගොඩනඟන විට හොඳම නිර්මාණ ශිල්පීන්ගෙන් උපදෙස් මත ආලෝකය වැටෙන ආකාරය, කොළ පැහැය පවතින ආකාරයට සැලසුම් කළ ජනේල වීදුරු පවා සකස් කර තිබෙන්නේ. ගෘහ අභ්‍යන්තර සැලසුම්කරණ, කොරියාවේ විශිෂ්ටතම කලාකරුවන්ගේ නිර්මාණ පසුතලයට භාවිත කිරීම වැනි බොහෝ දේ මෙහි සැලසුම් කර තිබෙනවා. බ්ලැක් කොමඩි, රොමැන්ටික් සහ ඩ්‍රාමා, ෆැන්ටසි කියන ශානර මිශ්‍රකර තිබෙනවා. අනෙක රූපරාමු වේගවත් ඡේදන නොවන අවස්ථාවල සංගීතයෙන් වගේම චිත්‍රපටයේ අදියර සකසන ආකාරයෙන් එය සඟවා තිබෙනවා.

 

මට හිතෙනවා මේ චිත්‍රපටයේ ඇතැම් කොරියානු සම්ප්‍රදායන් හා මිථ්‍යාව යම් ප්‍රශ්න කිරීමකට ලක් කරනවා කියලා?

ඔව්. ඔබ කියන විදිහටම කිම් පවුලේ පුතාට යහළුවෙකු වන මින් විසින් ලබා දෙන කළුගල් කැටය කොරියානු සම්ප්‍රදා‌යේ වසර තුන්දහසක් පමණ පැරැණි විශ්වාසයක්. මෙයට කියන්නේ ස්කොලර්ස් ස්ටෝන් කියලා. චිත්‍රපටයකත් යම් වස්තුවක් භාවිත කළා නම් එය කතාවේ අවසානයට කරන බලපෑම ඉතා වැදගත්. ඒ ගල් කුට්ටියෙන් තමයි වාසනාව ගේන්න පටන් ගන්නෙ. එය සම්ප්‍රදායික විශ්වාසය. ඒත් කතාව අවසානයේ කෙවින්ගේ ඝාතනය සිදුවන්නේත් ඒ ගලෙන්. ඒ වගේම දුගඳ සහ සුවඳ කියන දේ මේ චිත්‍රපටයේ දිවෙන සංකල්පයක්. කිම් ගේ පවුල දැඩිව අසරණ කරනවා ඒ ආවේණික ගඳ, ඔවුන්ට එය ලැබෙන්නේ බේස්මන්ට් එකේ ඉන්න නිසා. පාක්ට මේ ගඳ ඉවසගන්න බැරිව සිදුකරන ප්‍රතික්ෂේප කිරීම නිසා තමයි කිම් ඔහුව ඝාතනය කරන්නේ. එය පාක් පවුලේ පොඩි දරුවා ඉදන්ම පෙන්වන ලක්ෂණයක්.

 

මේ චිත්‍රපටය කොරියානු බසින් නිර්මාණය වුවත් එහි පණිවිඩය ලෝකයට ලබා දෙන්න, වත්මන් කොරියානු සමාජයේ යම් පැතිකඩක් පිළිබඳ අවබෝධයක් ලබන්න වගේම කොරියානු සමාජයේ අපේක්ෂාවන් පිළිබඳ මෙහි මොනවට විදහා දක්වනවා?

කොරියානු ජනයා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ලොකු ඇල්මක් දක්වනවා. ඔවුන් හිතන්නේ ඉංග්‍රීසි නොදැනීම යම් අඩුවක් කියලා. ඒත් ඔවුන්ට ඒ ශක්‍යතාව ලබාගැනීම හරි අපහසුයි. ඒ වුණා කියලා ඉංග්‍රීසි නැතුවට ඔවුන්ට අහිමිවන කිසිම දෙයක් නැහැ. මොකද ලෝකයේ බිහිවන විශිෂ්ටම පොත්පත් සහ දැනුම එසැණින් කොරියානු භාෂාවට පරිවර්තනය වනවා. පාක් හෙයුන් හේ කියන ජනාධිපතිනියගේ කාලේ විශාල ප්‍රතිශතයක් අයවැයෙන් යෙදවුවා ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා. ඔවුන් හිතනවා ලෝකයේ අනෙක් රටවල් අතික්‍රමණය කරන්න ඉංග්‍රීසි වැදගත් වෙනවා කියලා. ඒ ලක්ෂණය මේ කතාවේ තිබෙනවා.

කොරියානු සමාජයේ මිනිසුන්ට නම් දෙකක් තිබෙනවා. එකක් ඉංග්‍රීසි එකක් කොරියන්. කෙවින්, ජෙසිකා වැනි නම් උදාහරණ. ඒ වගේම නූතන තාක්ෂණය අතින් ගත්තත් කොරියාවේ තිබෙනවා කකාවෝ ටෝක් කියලා ක්‍රමවේදයක්. එය ඇත්තටම පරිවර්තනය වන්නේ වට්ස් ඇප් ක්‍රමය වගේ. සෝල් ජාතික විශ්වවිද්‍යාලයට ඇතුළු වීම විද්‍යාර්ථීන්ගේ ලොකුම සිහිනය. කතාව තුළ කෙවින් අර්ථ නිරූපණය කරන්නේ සෝල් විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ලෙස. එය චිත්‍රපටය තුළ පරිවර්තනය වන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිසුවෙක් ලෙස. කලා චිකිත්සාව කොරියාවේ දැන් තිබෙන ප්‍රවණතාවක්. ඔවුන් කලා රසාස්වාදයට බෙහෙවින් ප්‍රිය කරන ජාතියක්. ඒ නිසා එයට මඟපාදන අය සමාජයට අවශ්‍ය වෙලා තිබෙනවා. එයින් රැකියා අවස්ථා උපදවනවා. එයත් කොරියානු සමාජයේ එක්තරා පැතිකඩක්.

මේ කෘතිය වාණිජ වශයෙන් ලංකාවේ සාර්ථක වන බවක් ඔබට පේනවාද?

මේ වෙද්දි හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබෙන බව පේනවා. හැබැයි ලංකාවේ ප්‍රේක්ෂකයන් නිතර උත්සාහ කරන්නේ කතාවේ පණිවිඩය ගන්න මිස එය රසවිදින්න නෙවෙයි. ඔවුන් හිතනවා හොර කොපියක් අරගෙන ලැප්ටොප් එකේ දාලා බැලුවාම කතාව බැලුවා කියලා. හැබැයි පූර්ණ සිනමාස්වාදය ලබාගන්න නම් සිනමා ශාලාව තුළට යා යුතුයි. තමන්ට වඩා විශාල රූප, ශබ්ද ලෝකය සමඟ ලබන ආස්වාදයට අපි පුරුදු වෙනවා නම් මේ තත්ත්වය හරියයි.

 

අපේ සිනමාවට පැරසයිට්වලින් ගත යුතු යම් පණිවිඩයක් තිබෙනවාද?

බොං ජොන් හූ කියන්නේ සිනමාව අධ්‍යයනය කළ කෙනෙක්. එය පේනවා ඔහුගේ හැම චිත්‍රපට වියමනකම. ඒ නිසා චිත්‍රපට හදාරන්නේ නැති කෙනකුට ප්‍රශස්ත ආඛ්‍යානයක් ගොඩනැඟීම ලේසි නැහැ. ඒ නිසා කෙසේ හෝ සිනමාව අධ්‍යයනය කළ යුතුයි. කොරියාව තුළ සිනමාව බිහිවන්‌නේ දැනඋගත් කලාකරුවන්ගෙන්. ඇමරිකානු ඩොලර් මිලියන 11ක් පමණ වියදමක් දරලා හදපු චිත්‍රපටය මේ වෙද්දි ඩොලර් මිලියන 234 ඉක්මවලා. මේ ධනස්කන්ධය ඔවුන්ට ගේන්න පුළුවන් වුණේ රජය වියදම් කරලා බොං ජොන් යූ වැනි සිනමාකරුවන් ගොඩ නැඟු නිසා. කොරියාවට සිනමාව කියන්නේ ඔවුන්ගේ ආත්මය, අවියෝජනීය සංස්කෘතික ක්‍රියාවක්. එය ඔවුන්ගේ අධ්‍යාත්මයේ තිබෙන දෙයක්. එය අපේත් තිබුණා. යළිත් අපට එය නිර්මාණය කළ හැකියි. ඒත් අපේ රටේ පාලකයන්ට හෝ නිලධාරීන්ට මේ සිනමා අධ්‍යාපනයේ වැදගත්කම අබැටක් තරම්වත් වටින්නේ නෑ. තේරෙන්නේ නැහැ. ඒ නිසා අපට බොංජොන් හූ ලා යන දුර යන්න තව කල්පයක්වත් ගතවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.