වීරයෝ හැදෙන්නේ හෘදසාක්ෂියයි මනුෂ්‍යත්වයයි එක්ක

තනූජා ජයවර්ධන
මාර්තු 12, 2020

වීරයෝ කියන අය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මිනිස්සුන්ට තමන් කැමති ඕනෑම චරිතයක් හෝ කිහිපයක් තමන්ගේ ජීවිතයේ වීරයෝ කරගන්න පුළුවන්. ඒ චරිත දිහා බලාගෙන තමන්ගේ ජීවිතය ඉදිරියට ගොඩනඟාගන්න පුළුවන්. දක්ෂ නිවේදිකාවක් වගේම සමාජ ක්‍රියාකාරිනියක් වෙන තනූජා ජයවර්ධනත් සමඟ අපි කතා කළා ඇගේ ජීවිතයේ වීරයෝ ගැන. තනූජා ජයවර්ධන ඇගේ වීරයෝ පෙළගැස්සුවේ මේ විදිහට.

තනූජාට පොඩි කාලේ වීරයෙක් හිටියාද?

ඔව්. පොඩි කාලේ මගේ වීරයා මගේ අම්මා. තාත්තා වගේම අක්කත් මගේ ජීවිතයට යම් බලපෑමක් ඇති කළා. මගේ අක්කා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. පාසලේ කැපී පේන ශිෂ්‍යාවක් වුණා. නමුත් කාන්තාවක් ලෙස ජීවිතයේ සමබරතාවය වගේම ජීවත් වීමේ කලාව මම ඉගෙනගත්තේ මගේ අම්මාගෙන්. එයා තමයි මගේ පවුලේ කේන්ද්‍රය.

ටික ටික ලොකු වෙද්දි වීරයොත් වෙනස් වුණාද?

අපි උසස් පෙළ ඉවර වෙද්දි ඉන්දියාවේ Music Television කියලා චැනල් එකක් එළිදැක්වුවා. ඒකේ සමහර වැඩසටහන් TNL නාළිකාවේ විකාශය කළා. Music Video කියන සංකල්පය අපි මුලින්ම දැක්කේ මේ නාළිකාව හරහා. ඒ නාළිකාවේ නිඛිල් කින්නප්පා කියන නිවේදකයා ඒ කාලේ මගේ වීරයෙක් වුණා. ඔහු නිදහස් ආරෙන් වැඩ ගොඩක් කළා. මම ටෙලිවිෂන් බලන්න කැමති වුණේ ඔහු නිසා. මේ නිවේදිකාවක් වෙන්න හීනෙන්වත් නොහිතපු කාලේ. මම පොඩි කාලේ ඉංඳලාම කැමති වුණේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියක් වෙන්න.

මාධ්‍ය ක්ෂේත්‍රයේ වීරයෝ හිටියේ නැද්ද?

අදටත් රේඩියෝ සහ ටෙලිවිෂන් යන ක්ෂේත්‍ර දෙකේම මගේ වීරයා නිමල් ලක්ෂපතිආරච්චි මහත්මයා. ඔහු ගොඩක් යාවත්කාලීන වුණු නූතනත්වයේ වැඩ කරපු කෙනෙක්. නිමල් මහත්මයා තරුණයන් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක්. ඒ නිසාම ඔහු විශාල තරුණ පිරිසකට අවස්ථාව ලබාදුන්නා ක්ෂේත්‍රයට එන්න. අද මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලුම අංශවලින් ප්‍රවීණයෝ වෙලා ඉන්නේ නිමල් ලක්ෂපතිආරච්චි අවස්ථාව ලබාදුන් අය. මම ටෙලිවිෂන්, රේඩියෝ ගැන ඉගෙනගන්නේ ඔහුගෙන්. පසුකාලීනව මට නිලේන්ද්‍ර දේශප්‍රිය මහත්මයා එක්ක ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ වැඩ කරන්න ඉඩහසර ලැබෙනවා. මම ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ න්‍යායන් ටික හසුකරගන්නේ ඔහුගෙන්. මගේ ටෙලිවිෂන් ලෝකේ ඔහුත් එක්තරා වීරයෙක්.

වීරයෝ කරගත්ත ජාත්‍යන්තර මට්ටමේ චරිතත් තනූජාට ඇති?

මම නැවතත් ගුවන්විදුලියේ වැඩ කරනකොට ඔප්රා වින්ෆ්‍රී වගේ වෙන්න ඕනේ වුණා. එයා මගේ වීරවරියක් කරගත්තා. ඒ වගේම ලෝකප්‍රකට නිවේදිකාවක් වන එලන් ඩිජෙනරස් මම මගේ වීරයෝ ගොඩට එකතු කරගත්තා. මම ඒ අයව හැදෑරුවා. ඒ අයගේ චරිත කතා කියෙව්වා. ඒ අය මෙහෙයවන වැඩසටහන් නැරඹුවා. ඒ හැමදේකින්ම මම මගේ ජීවිතයට අලුත් දේවල් එකතු කරගත්තා. ඒ වගේම ශාරුක් ඛාන් මගේ වීරයෙක්. ඒ හැමෝම දකින බොළඳ ශාරුක් ඛාන් නෙමෙයි. ඔහුගේ සම්මුඛ සාකච්ඡා එකක් නොහැර මම බලලා තියෙනවා. ඒ වගේම මයිකල් ජැක්සන් මගේ වීරයෙක්. මේ හැමෝම යම් දෘෂ්ටිවාදයක් එක්ක ගොඩනැඟුණු මිනිස්සු. මේ හැම කෙනෙකුගෙම ජීවිතේ තැන් තැන්වල වැටිලා තියෙනවා. ඒ වැටුණු තැන්වලින් නැඟිටලා ජීවිතේ ගොඩනඟාගෙන තියෙනවා.

මිනිස්සු වීරයෝ හදාගන්නේ කොහොමද?

මිනිස්සු වීරයෝ කියන්නේ තමන්ගේ පරමාදර්ශී චරිතවලට. මිනිස්සුන්ට ජීවිතේ ඉලක්ක තියෙනවා. මිනිස්සු ඒ ඉලක්ක සපුරගත්ත අයව හොයලා ඒ චරිත ජීවිතේ වීරයෝ කරගන්නවා. නමුත් සමහර වීරයෝ කරගත්ත චරිත ළඟින් ඇසුරු කරද්දි හිතෙනවා මේ අයටද මම ආශ්‍රය කළේ කියලා. ඒ නිසා වීරයෝ හදාගන්න හේතුවෙන ප්‍රධාන දේ විශ්වාසය.

වීරයෝ මිනිස්සුන්ගේ ජීවිතවලට කොච්චර බලපෑම් කරනවාද?

උදාහරණයක් විදිහට මගේ වීරයෙක් වුණු ඔප්රා වින්ෆ්‍රීගේ ජීවිතය දිහා බලනකොට හිතෙනවා කොයිතරම් යාවත්කාලීන වෙන නැවුම් ජීවිතයක්ද කියලා. ඒ දේවල් මගේ වෘත්තිය ජීවිතයට මම අරගෙන තියෙනවා. ඒ වගේම තාක්ෂණික ක්‍රමශිල්ප, ඇය අඳීන පලඳීන විදිහ ආදී හැමදෙයක්ම මගේ ජීවිතයට බලපාලා තියෙනවා.

තනූජා ජයවර්ධනව වීරයා කරගත්ත අය මුණගැහිලා තියෙනවාද?

ඔව්. ගොඩක් අය මුණගැහිලා තියෙනවා. මගේ පිංතූර ළඟ තියාගෙන ඉන්න අය, මගේ පිංතූර කාමරේ බිත්තියේ ගහගෙන ඉන්න අය, මගේ පුවත්පත් ලිපි එකතු කරන අය මට මුණගැහිලා තියෙනවා. "ඔයා ගෑනියෙක් විදිහට පොළොවේ පයගහලා ඉන්න එක ගැන සතුටු වෙනවා. ඇත්ත කතා කරන එක ගැන සතුටු වෙනවා" කියලා ගොඩක් අය මට කියලා තියෙනවා. සමහරු තරුණියෝ මම අඳීන පලඳීන විදිහ පවා අනුකරණය කරනවා.

අන්තිම ප්‍රශ්නේ... වීරයෙක් වෙන්නේ කොහොමද?

වීරයෝ හැදෙන්නේ හෘදසාක්ෂියයි මනුෂ්‍යත්වයයි එක්ක. ඒ දෙක තියෙනවා නම් ඔබ මොන තත්ත්වයක තරාතිරමක හිටියත් වීරයෙක්.

නිර්මාණි බණ්ඩාරනායක 
නිශ්ශංක විජේරත්න 
සැකසුම - ප්‍රසාද් සමරතුංග

Add new comment