මිෂෙල් දිල්හාරා

මං රඟපාලා ලැබෙන මුදල්වලින් සියයට හැටක් සමාජ සේවය සඳහා වෙන් කරනවා
මාර්තු 12, 2020

මිෂෙල් දිල්හාරා පුංචි සන්ධියෙ දැකපු හීන අද වන විට සැබෑ වෙලාද?

ඔව්. මගේ  හීන දෙකක් තිබුණා. එකක් ගුරුවරියක්වීමේ සිහිනය. අනික රංගන ශිල්පිනියක් වීමේ සිහිනය. අද වන විට ඒ හීන දෙකම යථාර්ථයක් කරගෙන මා ඉන්නේ. 

නිළියක් හැටියට ඔබ අපි හඳුනනවා. ගුරුවරියක් විදිහට ඔබ කොහෙද  සේවය කරන්නේ?

අපේ රටේ අසරණ ළමයින් ඒ කියන්නේ කාත් කවුරුවත් ඥාතීන් නැති අය  සිටින ළමා නිවාස රාශියක් තියෙනවා. ඒවා ගැන කවුරුවත් දන්නෙවත් නැහැ. මං ඒ වගේ තැන් කිහිපයක ස්වෙච්ඡා ගුරුවරියක විදිහට සේවය කරනවා.

 මේ ළඟදී ඔබ ග්‍රන්ථයක් එළි දක් වූවා. ඒ ගැන විස්තරයක් පැවසුවහොත්?

පොතේ නම සමාජ අදෘශ්‍යමානතාව මිථ්‍යවක් නොව එය පවතින්නක්. 2019 වසරේ තමයි පොත අවුට් කළේ. අවුරුදු හතරක් මං මේක ලියන්න වෙහෙසුණා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඇන්ටනෙට් පෙරේරා සහ විශේෂඥ වෛද්‍ය පරාක්‍රම වර්ණසූරිය යන අය මට උදවු වුණා පොතේ  අන්තර්ගතතයට කරුණු රැස් කරන්න.

 ඇයි ඔබ මේ වගේ ග්‍රන්ථයක් ලියන්න පෙළඹෙන්නේ?

සමාජ අදෘශ්‍යමානතාවය ලක් වූ අය කවුද කියන එක පැහැදිලි කළොත් මව්පියන් ඥාතීන් කවුරුවත් නැතුව ළමා නිවාසවල තනි වෙච්ච ළමයි, වැඩිහිටි නිවාසවල තනි වුණ වැඩිහිටියෝ, විවිධ අනතුරු නිසා ආබාධිත වුවත් සමාජය විසින් කොන් කර දැමූ අය වගේ පිරිස මෙයට ඇතුළත් වෙනවා. ඔවුන් සිතන්නේ තමන්ව හුදකලා කරලා කියලා. මේ තත්ත්වය ගැන බහුතරය දැනුවත් නැහැ. සමාජ අදෘශ්‍යමාන වූවන් දිගින් දිගටම කොන් වෙන්නේ ඒකයි.  මට වුවමනා වුණා ඔවුන් ගැන ලියන්න. මේක ඔවුන් පිළිබඳ හෙළිදරව් කිරීමක්.

 ඔබ ඇයි සමාජ අදෘශ්‍යමානතාවයට පත් වූවන්  ගැන මෙතරම් උනන්දු?

මම මේක කියන්න පැකිළෙන්නේ නැහැ. මමත් කාලයක් සමාජ අදෘශ්‍යමානතාවයට පත් වූ කෙනෙක්. පුංචි කාලෙ ඉඳලා මං ෆෝවර්ඩ් චරිතයක් නෙවෙයි. මට යාළුවො හිටියා. නමුත් ඔවුන් අතරෙ මං හිටියත් නෑ වගේ. මං ඒ අයගෙන් ඉවත් වුණත් එයාලට දැනෙන්නේ නැහැ. අර හිටියත් නැහැ වගෙයි. මං එහෙම තත්ත්වයකින් පෙළෙනවා කියලා එක්තරා අවස්ථාවකදී මට දැනුණා. ඊට පස්සේ ඉන් මිදෙන්නට මට පුළුවන් වුණා. සමාජ අදෘශ්‍යමානතාවයෙන් පෙළුණ කෙනෙකු විදිහට මට දැනෙනවා එහෙම කෙනෙකුගේ මානසික තත්ත්වය. ඔවුන් ඉන් මුදවන්න යම්තාක් දුරකට මට පුළුවන් කියලා හිතාගෙන තමයි සමාජ සේවා වැඩ කටයුතු කරන්නේ. මම මැදිහත් වෙලා ධනුෂ්ක ක්ලාක් කියන ගුරුවරයත් එක්ක භාෂා බාධනයට ලක් වූ ළමයින් පන්සියයකට නොමිලේ ඉංග්‍රීසි උගන්වනවා. විශ්‍රාමික වැඩිහිටියන් ඉන්න ප්‍රජා මධ්‍යස්ථානයක් මේ වන විට ඉදිවෙමින් පවතිනවා. මනුෂ නවරත්න තමයි ඊට සහාය වන්නේ. 

 මා දන්නා පරිදි ඔබ වෘත්තීමය  රංගන ශිල්පිනියක්. මේ වගේ සමාජ වැඩ කටයුතුවලට කොහොමද මුදල් හොයා ගන්නේ?

මං රඟපාලා ලැබෙන මුදල්වලින් සියයට හැටක් මං සමාජ මෙහෙවර සඳහා වෙන් කරනවා. මං ලියූ ග්‍රන්ථය අන්තර්ජාතික වෙළෙඳපොළේ විකිණෙනවා. එමඟින් මට එය බෙදා හරින්න දුන් ආයතනයෙන් යම් මාසික ගෙවීමක් ලැබෙනවා. ඒවා තමයි මං භාවිත 

කරන්නේ. මේ වෙලාවේ ගනේවත්ත පුරාණ බෝධිමළු විහාරාධිපති අති පූජ්‍ය පණ්ඩිත වරාදැල විමලබුද්ධි  ස්වාමීන් වහන්සේවත් මතක් කරන්න ඕන. උන් වහන්සේ තමයි සමාජ වැඩ කටයුතුවලට අනුශාසකත්වය දෙන්නේ.

 ඊළඟට අපි කතා කරමු සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමා ගැන?

ඔය නාට්‍යයට නවකයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. මං ඒකට යන්න හදද්දි දිනේෂ් අයියා දිනේෂ් සුබසිංහ කිව්වා නාට්‍යයේ අධ්‍යක්ෂ සුනිල් කොස්තා  සර් ගැන දැනගෙන යන්න කියලා. මං ඔහු පිළිබඳ හැදෑරීමක් කරලයි එතැනට ගියේ. දවස් දෙකක් උදේ අටේ ඉඳලා සවස පහ වෙනකම් මං ස්ක්‍රීන් ටෙස්ට් එකේ හිටියා. අන්තිමේ තමයි තෝර ගත්තා කිව්වේ. මට ගොඩක් සීනියර් ආර්ටිස්ලා එක්ක මට හැකි උපරිම අන්දමින් චරිතයට සාධාරණයක් ඉටු කළා. මං හිතන්නේ ඒ දාඩිය මහන්සිය නිසාම තමයි අයෝමා චරිතය නිරූපණය වෙනුවෙන් මාව මේ පාර රයිගම් සම්මාන උලෙළේ හොඳම නැඟී එන නිළියට නිර්දේශ වුණේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.