මාස්ටර්ලා ලේසි පාසු අය නොවේ

ගාන්ධර්ව අපදාන ලියන මහාචාර්ය සුනිල් ආරියරත්න
මාර්තු 12, 2020

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත ගාන්ධර්ව අපදාන පොත් පෙළෙහි දෙවැනි අදියර ලෙස සංගීතඥයින් 12 දෙනෙකු පිළිබඳ ලියවුණු පොත් 06ක් මෙම මස 17 වැනි දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී  දොරට වඩී. එම ග්‍රන්ථ පිළිබඳ ඔහු සමඟ කළ කතා බහකින් මෙම ලිපිය සැකසිණ.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙම පොත් පෙළෙහි පළමු අදියර ප්‍රකාශයට පත්කළේ මීට වසර විස්සකට පමණ ඉහතදීය.අපේ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී ගාන්ධර්වයින් කිහිපදෙනෙකු වන ගවුස් මාස්ටර්, මුත්තුසාමි, රොක්සාමී, මොහොමඩ් සාලි, එඩ්වින් සමරදිවාකර ඇතුළු සංගීතඥයින් දස දෙනෙකු පිළිබඳ මෙම ග්‍රන්ථ ඔස්සේ ඇගයීමට ලක් කෙරිණ. එළඹෙන දාහත්වැනිදින ප්‍රකාශයට පත් වන්නේ එහි දෙවැනි අදියරයි.

‘‘ අපදානය කියලා කියන්නේ චරිත කතාව කියන එකටයි. මේ ග්‍රන්ථ ප්‍රධාන වශයෙන් චරිත කතාව, කෙටි ඇගයීමක්, දුර්ලභ ඡායාරූප, නිර්මාණ සහ ස්වර ලිපිවලින් සමන්විතයි. මේ ග්‍රන්ථ කිහිපය බොහෝ දෙනා ගේ ප්‍රශංසාවට භාජනය වුණා. අපි මුත්තුසාමිලාගේ රොක්සාමිලාගේ ගීත කොච්චර රසවින්ඳත් , පුවත්පතක සඟරාවක ඔවුන්ගේ ලිපියක් පළවී තිබුණා ඇරෙන්න මේ අය කවුද ? මොනවද කරපු මෙහෙය කියන එක ගැන පොත පතක නම් ලියවිලාම තිබුණේ නෑ. ඉතින් ඒක නිසා මම ඒ කටයුත්ත කළා. මේවායින් සංගීත      ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම පාසල්වල , පංති කාමරවල සංගීත ගුරුවරු ප්‍රයෝජන ගත්තා. සංගීත රසිකයන් ප්‍රයෝජන ගත්තා. ඒ නිසා තවත් සංගීතඥ යන් 12 දෙනකු පිළිබඳ එවැනිම ග්‍රන්ථ හයක් නිකුත් කරන්න හිතුවා. 

කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මේ එකපාරටම මෙහෙම පොත් නිකුත් වෙන්නේ කියලා. මේක එකපාරටම වෙච්ච දෙයක් නොවෙයි. අර මුල් පොත් හය පිටවුණු කාලෙ ඉඳලම මේ පොත් සඳහා මගේ පර්යේෂණය පටන් ගත්තේ. මේ සංගීතඥයන් දොළොස් දෙනා අතරේ ඉන්නවා ඇම්.ජී. පෙරේරා කියලා සංගීතඥයෙක්. ඔහු පිළිබඳ ඒ ෆෝ ප්‍රමාණයේ කොල කෑල්ලක් තරම් තොරතුරු ටිකක් හොයා ගන්න අමාරු වුණා. නමුත් ඔහු නිසා තමයි අපේ රටේ ශාස්ත්‍රීය සංගීතය උත්තර භාරතීය රාගධාරී සංගීතයේ පදනම ඇති වුණේ. කොටින්ම සුනිල් ශාන්තයන් ඔහුව හඳුන්වන්නේ “ලංකාවේ භාත්ඛන්ඩේ පඬිතුමා” කියලයි. ඇම්.ජී. පෙරේරා මියයන මොහොත වන විට සුනිල් ශාන්තයන් ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත පීඨයේ ඉගෙන ගන්නවා. ඔහු ඇම් .ජී. පෙරේරාගේ වියෝවීම නිමිත්තෙන් පුවත්පතකට ලියලා එවලා තියෙනවා මේ මිය ගිහින් තියෙන්නේ ලංකාවේ භාත්ඛන්ඩේ පඬිතුමා කියලා. ඒකෙන්ම අපට හිතා ගන්න පුවවන් ඔහු මොන තරම් වටිනා කියන පුද්ගලයෙක්ද කියලා.

ඇම්. ජී. පෙරේරා සංගීතය ඉගෙන ගෙන තියෙන්නේ ඒ කාලේ ලංකාවට ආව ඉන්දියානු සංගීතඥයින් ගෙන්. ශාස්ත්‍රීය පදනමකින්ම තමයි ඔහු සංගීතය ඉගෙනගෙන තියෙන්නේ. ඉන්දියානු සංගීතඥයන් ඔක්කොම විශිෂ්ට ගණයේ ශාස්ත්‍රීය සංගීතඥයෝ. ඒ එක්කම ඔහු හින්දි, මරාති, ඉංග්‍රීසි, සිංහල, සංස්කෘත වගේ භාෂාවනුත් ඉගෙන ගන්නවා. ඔහු ‘ගීත ශික්ෂක‘ කියලා පොත් මාලාවකුත් කළා. සංගීත පොත් 10 ක් විතර සිංහලෙන් ලියලා තියෙනවා. ඒත් එක්කම සංගීත සංගම් පටන් ගත්තා. සංගීත පන්ති පටන් ගත්තා. ඒවායින් දැනුම බෙදා දුන්නා. මුදලට නොවේ . නොමිලයේ. අනිත් පැත්තෙන් ඔහු උපතින් සල්ලි කාරයෙක්. ඒ කාලේ ඔහුට තිබිලා තියෙනවා පිටකොටුවේ විදුලි අමතර කොටස් විකුණන කඩයක්. ඔහු සංගීත පන්ති පවත්තලා තියෙන්නෙත් මෙතැනමයි. ඔහු අවිවාහකයි. ඔහු ගැන දීර්ඝ විස්තර හොයන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා. පළවෙනි වතාවට ඔහුගේ ඡායාරූපයක් පළවෙන්නේ මේ පොතේ. 

මහාචාර්ය තුමන්ගේ එම පොතේම ලියවුණු ඊළඟ සංගීතඥයා වූයේ ලයනල් එදිරිසිංහයන්ය. ඔහු පිළිබඳ බොහෝ තැන්හි විවිධ විස්තර පළවී තිබුණද ඔහු ගේ නිර්මාණ කාර්ය දෙස සාධාරණව බලමින් මධ්‍යස්ථව කරුණු ඉදිරිපත් කරන්නට ඔහු උත්සාහ දරා ඇත. 

‘‘ ලයනල් එදිරිසිංහයන් පිළිබඳ  තිබුණු සමහර කරුණු ලියවිලා තියෙන්නේ භක්ති පූර්වකව. එක්කෝ නැත්නම් තමන්ගේ ගුරුවරයා ගැන අතිශයෝක්තියෙන්. නමුත් මම මේ සියලුම දේවල් ලිව්වේ මධ්‍යස්ථ මතධාරියෙන් හැටියට. ඔහු සහ මකුලොලුව අතරේ ඇතිවුණ හැප්පීම නිසා සිදුවුන ප්‍රශ්න දිහා වුණත් මම බැලුවේ මධ්‍යස්ථ.”

 මෙම පොත් පෙළ අතර වන තවත් සුවිහේෂි ග්‍රන්ථයක් වනුයේ  ‘විශ්වනාත් ලවුජි සහ භාරතීය සංගීතඥයෝ ‘යන ග්‍රන්ථයයි.ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් භාරතීය සංගීත ශිල්පීන් රැසකගේ තොරතුරු මේ ග්‍රන්ථයට ඇතුළත් වේ.

‘‘ සංගීත ඉතිහාසයේ අපට හම්බවෙන ආදිතම භාරතීය සංගීතඥයා වන්නේ විශ්වනාත් ලවුජි. ඊට කලින් එක එක නම් වලින් අය හිටියා නමුත් ඔවුන් කරපු දෙයක් නෑ. නමුත් ලවුජී 1903 දී ජෝන්ද සිල්වා ගේ ‘‘සිරිසඟබෝ ‘නාට්‍යයෙන් පටන් ගතම ජෝන්ද සිල්වා ගේම නාට්‍ය ගනණාවකම ගී තනු සිය ගණනක් නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරේ නූතන භාතිය - සන්තුෂ් පවා ජනප්‍රිය කරවන්නට සමත් වූ ‘‘ සිරි සඟබෝධි මාලිගාවෙදී‘‘ වැනි ගීතනු තියෙනවා. ඒ විතරක් නොවෙයි ශක්ති සංගීත කණ්ඩායම ජනප්‍රිය කරලූ ‘‘ ශ්‍රියා මනමත් වී ‘ වැනි ගීයක තනුවත් ඔහුගේ .1903 දී ඔහු දායාද කරපු ‘ දන්නෝ බුදුන්ගේ ‘ ගීතය අද පවා නොදන්නා කුඩා දරුවෙකුවත් හොයා ගන්න නැතුව ඇති. ඉතින් මේ තරම් තුඩ තුඩ රුව් දුන් ගී තනු කරපු විශ්වනාත් ලවුජි ගැන ලියවුණු තැනක් නෑ. ඔහුට පස්සේ ආව සංගීතඥයන් අතරින් විශාල පිරිසක් සිංහල චිත්‍රපට වලට සංගීතය සපයලා තියෙනවා. ඒ අතරින් අපට ටී .ආර් පාපා ගැන සඳහන් නොකර බෑ එදා ටී. ආර් පාපා ජෝතිපාලයන් ප්‍රතික්ෂේප කළා නම් අදටත් අපට ජෝතිපාල කෙනෙක් නෑ. ටී. ආර්. පාපා කියන්නේ ඒ කාලේ ඉන්දියවේ දැවැන්ත සංගීතඥයෙක්.ඔහු ඒ වෙනකොට තමිල්නාඩුවේ වැඩිම මුදලක් අය කරපු වයලීන් වාදකයා.ඔහුව සතුටු කරන්නට අපේ ජෝතිපාලට පුළුවන් වුණා. මේ පොතේ ඉන්දියානු සංගීතඥයන් 15 දෙනෙක් පමණ ගැන සඳහන් වෙනවා.සදාත් හුසේන්, දක්ෂිණ මූර්ති ඇතුළු විශිෂ්ටයෝ රැසක් ඉන්නවා. හැබැයි මේ හැම දෙනාම කරලා තියෙන්නේ අලුත් තනු නිර්මාණ නොවෙයි. උදාහරණයක් විදියට අපි ගත්තොත් ටී. ආර් .පාපා ගේ ‘උම්බෑ කියකියා මරණ බයේ ‘ගීතයේ තනුව ඔහුගේ පරණ තනුවක්. ඔහු සුජා ගේ රහස චිත්‍රපටයට නිර්මාණය කළ ගීත කිහිපයක් පමණක් මම විශ්වාස කරනවා අලුත් තනු වෙන්න ඕන කියලා. දක්ෂිණ මූර්ති වුණත් එහෙම තමයි. ඔවුන් අලුත් තනු නිර්මාණය කරලා නෑ අපිට. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඒ කාලේ අපේ අධ්‍යක්ෂවරු ඉල්ලා තියෙන්නේ කොපි නිසා. ඒක අපේ සංගීත ක්ෂේත්‍රයට සිද්ධවුණු ලොකු අභාග්‍යයක්.‘

මහාචාර්යතුමන් ගේ මීළඟ පොත වෙන්වනුයේ මකුලොලුව සහ සී.ද එස් කුලතිලක සංගීතඥයන් වෙනුවෙනි. මේ දෙදෙනාම ශාන්ති නිකේතනයේ ඉගෙන ගත් අයය. දේශීය සංගීතය පිළිබඳ වත්මනෙහි කතා කරන්නට ඉඩ ප්‍රස්ථාව සැලසූවේ මේ දෙදෙනා විසිනි.

“‘ ඇත්තටම මේ දෙන්නා නිසා තමයි අද අපට දේශීය සංගීතයක් කියලා දෙයක් ඉතිරිවෙලා තියෙන්නේ. මේ දෙන්නම එක කුලකයක දෙන්නෙක්. ඒ කාලේ ශාන්ති නිකේතනයෙන් ඉගෙන ගත් අයයි භාත්ඛන්ඩේ වලින් ඉගෙන ගත් අයයි අතරේ ගුරුකුල ගැටුමක් තිබුණා. ලයනල් එදිරිසිංහයන් මේ දෙන්නව හැඳීන්වූයේ ‘‘ කාඩ්බෝඩ් තාගෝර්ලා ‘ කියලා. මකුලොලුව සහ කුලතිලකයන් නොහිටියා නම් අද අපි සිංහල සංගීතයක් ගැන කතා කරන්නේ නෑ. අපේ ගීත කොයි තරම් නම් තියෙනවද සිංහල ජන ගී වලින් පෝෂණය වුණු. සී.ද එස් කුලතිලක, ලයනල් රංවල, රෝහණ බැද්දගේ වැන්නෝ නියම් හෝ අනියම් අයුරින් මකුලොලුව ආභාසයෙන් ආපු අය. ඔහු තමයි ලංකාවේ පළවෙනි සංගීත සංධ්වනිය කරපු තැනැත්තා.

මේවා ඇත්තටම හැංගිලා තිබුණු කාරණා. ඔහු ‘‘ ගොයම්දා මඟුල, මහභිනිෂ්ක්‍රමණය කියලා සංධ්වනි දෙකක් කරනවා. සංධ්වනිය කියන එක බටහිර සංකල්පයක්. නමුත් ඒ බටහිර සංකල්පය ඔහු ඒ විදියට ගත්තේ නෑ. බටහිර සංකල්පය අරගෙන සිංහල ජන නාදමාලා ඇසුරින් තමයි ඔහු ඒවා කළේ. ලංකාවේ ප්‍රථම ඔපෙරාව නිර්මාණය කළෙත් ඔහුයි.

බටහිරින් ආපු ඔපෙරා සංකල්පයක් ඔහු දේශියත්වයට හැරෙව්වා. බෙර සංධ්වනි නිර්මාතෘවරයාත් ඔහු.  ඔහු තරම් සංගීත පර්යේෂණ කරපු සංගීතඥයෙක් ලංකාවේ තවත් නෑ. ඔහු සංගීතය ලංකාවේ ප්‍රචලිත කළේ අධ්‍යාපන මාධ්‍යයක් හැටියට. සිංහල සංගීතය නොදන්නා කෙනෙකුට ගුරු පත්වීමක් නොදෙන තරමට ඔහු සාහසික වුණා.

කීවොත් නිවැරදියි.උත්තර භාරතීය සංගීතය පමණක් ප්‍රචලිත කිරීමෙන් අපේ ජන නාද මාලාව යටපත් වෙනවා කියලයි ඔහු කීවේ. ඇත්තටම ඔහු කරපු දේවල් පිළිබඳ ලියන්න ඕන මම නොවෙයි ඔහුගේ ගෝලයෝ. ඔහු ගැන කිසිම පොතක් මෙතෙක් ලියලා නෑ ලියන්න උත්සාහ කරනවා කියලා පේන්නෙත් නෑ.

ඔහුගේ අනුප්‍රාප්තිකයා වුණේ සී.ද .එස් කුලතිලත.ඔහු ගුවන්විදුලියේ පර්යේෂණ අංශයට සම්බන්ධ වෙලා අති විශාල වැඩ කොටසක් කළා. පුත්තලම් බයිලා, යාපනේ දෙමළ ජන ගී, කැරොල් පසන්, කන්තාරු වැනි ජන ගී රැසක් ඔහු ගුවන් විදුලියට එකතු කළා. ඒ විතරක් නොවෙයි ජන ගී ඇසුරු කරගෙන නව නිර්මාණ බිහි කළා. ටී එම් ජයරත්න කියන්නේ සම්පූර්ණයෙන්ම කුලතිලක ගෙ හඳුන්වාදීමක්.

ටී එම් ගුවන්විදුලියට ගේනකොට ඔහු ඔඩිෂන් පාස් වෙච්ච කෙනෙක් නොවෙයි. කුලතිලක ගුවන්විදුලියේ සභාපතිතුමා ගෙන් විශේෂ අවසරයක් අරගෙන තමයි ගීත රෙකෝඩ් කරන්නේ. ඒ ගීත අතිශයින්ම ජනප්‍රිය වෙනවා. ඔහු සංගීත පර්යේෂණ කෘති 15 ට ආසන්න ප්‍රමාණයක් දායාද කරලා තියෙනවා. පර්යේෂණ පත්‍රිකා 50 ට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. අදටත් ඔහුව අතික්‍රමණය කරපු කෙනෙක් නෑ මට හිතෙන්නේ.‘‘

මහාචාර්ය තුමන් ගේ අවධානය මීලඟට යොමු වන්නේ රූපසිංහ මාස්ටර් හා සාදිරිස් මාස්ටර් වෙතය. මේ දෙදෙනාද ඉන්දියානු සංගීතඥයන් ගෙන් සංගීතය හැදෑරූවන්ය. 

‘‘ නාඩගම් නූර්ති යුගයටත් පස්සේ තමයි මාස්ටර් යුගය එන්නේ . අපේ රටේ එක්තරා කාලයක ලංකාවේ ඕනෑම සංගීත කටයුත්තකට ඉන්දියාවෙන් සංගීතඥයන් ආනයනය කලා. අපේ අය ඒ අයගෙන් සංගීතය ඉගෙන ගත්තා එහෙම ඉගෙන ගත්තු දෙන්නෙක් තමයි රූපසිංහ මාස්ටර් හා සාදිරිස් මාස්ටර් කියන්නේ.මේ මාස්ටර් කියන වචනය ලේසියෙන් හම්බවෙන දෙයක් නොවේ. මුස්ලිම් අය කියන්නේ ‘ උස්තාද්‘ කියලා. බටහිර රටවල කියන්නේ ‘ මහෙස්ත්‍රෝ‘ කියලා .

ඒක තමයි කෙටි කරලා ‘ මාස්ටර් වෙන්නේ. සාදිරිස් මාස්ටර් ඇම්. ජී. පෙරේරා ගෙනුත් සංගීතය ඉගෙන ගත්තා. ඒ කාලෙ ලංකාවේ ප්‍රභූවරු සතුටු කරන්න ‘ බජව් පැවැත්වූවා. මේ ගායනා වලට ඒ කාලේ ආවේ ඉන්දියාවෙන් ඇවිත් හිටපු සංගීතඥයන්. ගායනා කලේ ශාස්ත්‍රීය සංගීතය. ඉන්දියානුවෝ අපේ අයට අභියෝග කළා ඔවුන් සමඟ තරගයට එන්න කියලා.

ඒ කාලේ ආනන්ද බායි කියන ඉන්දියානු සංගීතඥවරිය සමඟ සාදිරිස් මාස්ටර් තරග කරලා ජයග්‍රහණය කරලා තියෙනවා. අන්තිමේ ඇය ඔහුට ඉන්දියාවට යන්න පවා කතා කරලා තියෙනවා. ඒවා ඒ කාලෙ පත්තර වල වාර්තා වෙලා තියෙනවා.රූපසිංහ මාස්ටර් හොඳ තබ්ලා වාදකයා. ඔහුට හොඳ ගෝල පරම්පරාවක් ඉන්නවා. ඒ අතරින් ශ්‍රේෂ්ඨතමයා ෂෙල්ටන් ප්‍රේමරත්න. ඔහු තමයි දැනට ලංකාවේ ජීවතුන් අතර ඉන්න මහා සංගීතඥයා කියලා මට හිතෙන්නේ. 

ඊළග පොත් දෙක වෙන්වෙන්නේ ලයනල් අල්ගම, ඔස්ටින් මුණසිංහ, ස්ටැන්ලි පීරිස් හා සරත් දසනායක වෙනුවෙන්.

‘‘ අපේ රටේ විශිෂ්ට ගනයේ ගීත රචකයෝ ඉන්නවා. ගායක ගායිකාවෝ ඉන්නවා. නමුත් හොඳ තනු නිර්මාණකරුවන් නෑ.ඉතින් අපට ලයනල් අල්ගමයන්ගේ, ස්ටැන්ලි පීරිස්ලාගේ , සරත් දසනායකලා ගේ ඔස්ටින් මුණසිංහලා ගේ අගය වඩවඩාත් දැනෙන්නේ ඒ හින්දයි.

ඔවුන් සිවු දෙනාම බොහොම මෑත කාලවලදී අප අතරින් වියෝ වුණත් ඔවුන් පිළිබඳ තොරතුරු සෙවීම ටිකක් දුෂ්කර වුණා. විශේෂයෙන් සරත් දසනායකයන්ගේ ඡායරූප සොයාගැනීම. කොහොම වුණත් මේ කාර්යය සිද්ධ කිරීමේදී මට විශාල පිරිසක් සුවිශේෂ සහයෝගයක් ලබා දුන්නා. පර්යේෂණ කාර්යයේදී සුනිල් මිහිදුකුල මිය යන්නට ප්‍රථම මට එක්රැස් කර දුන් කරුණු රැසක් තිබුණා. ඒ වගේම ප්‍රණීත් අභයසුන්දර, ගීතනාත් කුඩලිගම වැන්නෝ විශේෂයෙන් සඳහන් කල යුතුයි

ස්වර ලිපි සැතසීමේදී රංජිත් බාලසූරිය, අනුර වන්නි ආරච්චි, සහ සුසිල් අමරසිංහ. , පොත් දොරට වැඩීමේ උත්සවයේදී ගීත ගායනා කීරීමට එක්වන ආචාර්ය නන්දා මාලිනී, ආචාර්ය වික්ටර් රත්නායක, ටී. එම ජයරත්න, නිරෝෂා විරාජිනී, මහාචාර්ය කෝලිත භානු දිසානායක ඇතුළු පිරිසක් මෙන්ම සංගීතයෙන් එක්වන ආචාර්ය රෝහණ වීරසිංහයන්ටත් ප්‍රේම් දිසානායක හා සිරිසුමන ගොඩගේ මැතිඳුන්ටත් මගේ නොවක් තුතිය හිමිවිය යුතුයි. මෙය පන්සිළු නිර්මාණ කේන්ද්‍රය වෙනුවෙන් ලාලිත්‍ර පල්ලෙගංගොඩ ගේ ඉදිරිපත්කිරීමක්

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.