නපුරු වුණත් සෙලෙස්තිනා අහිංසකයි ස්වර්ණලතා

මාර්තු 12, 2020

ස්වර්ණලතා රණසිංහ ගැන කතා කරද්දී කෝරළේ මහත්තයා ටෙලි සිතුවම මතක් වන්නේ නිරායාසයෙනි. එහි සෙලස්තිනා ලෙසට ඇය රඟපෑ චරිතය බාල මහලු කොයි කා අතරත් ඉතාම ජනප්‍රියතාවට පත් විය. වෘත්තීමය රංගන ශිල්පිණියක වන ස්වර්ණලතා වඩා ප්‍රකට නපුරු චරිත රඟන්නියක් ලෙසටය. එමෙන්ම මවගේ චරිතය රඟපෑමට ද ස්්වරණලතා දෙවතාවක් සිතන්නේ නැත.

ස්වර්ණලතා ඔබ කලාවට යොමු වෙන්නේ?

ඉස්කෝලේ යන කාලේ ඉඳලා මං කලාවට පුදුම විදිහට ළැදියි. පාසලේ පැවති  සෑම කලා කටයුත්තටම මං සහභාගි වුණා. අම්මා තාත්තා කියන චරිත මට ආගන්තුකයි. මාව හදා වඩා ගන්නේ ආච්චියි සීයයි. ඔවුනට මගේ දක්ෂතා හඳුනාගෙන ඉදිරියට යන්න මඟ පෙන්වන්න තරම් දැනුමක් තිබුණේ නැහැ. මමම අවස්ථා හොයාගෙන කලාවට එකතු වුණා.

මුලින්ම රංගනයෙන් දායක වූ නිර්මාණය?

මං කලා ආයතනයකට සම්බන්ධ වෙලා හිටියා. එමඟින් නිර්මාණය කළ අකුරට යන වෙලාවේ සහ වහල් කෙල්ල කියන නාට්‍යවල තමයි මුලින්ම රඟපෑවේ. ඔය කාලේ දැඩි ආර්ථික ප්‍රශ්න නිසා මං රැකියාවකුත් කළා. ඒ අතරෙදි තමයි ඔය වේදිකා  නාට්‍යවල රඟපෑවේ. දවසක් අපේ නාට්‍ය බලන්න ඇවිත් හිටියා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා. ඔහු මගේ හැකියාව දැකලා චිත්‍රපටවල අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ කළා. එහෙත් යම් යම් පිරිස් ඒකට අකුල් හෙලුවා. හිතවතිය වගේ ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත රඟපාමින් හිටියා. ඔය අතරෙදි මං විවාහ වෙනවා. ජීවිතේ වෙනමම පැත්තකට යොමු වෙලා කලාවෙනුත් ඈත් වුණා.

ඉන් පසුව?

පළමු විවාහය අසාර්ථක වෙනවා. දෙවැන්නත් එහෙමයි.  මේ විවාහ දෙකෙන් මට ළමයි තිදෙනෙක්  ඉන්නවා. මං ඒ අය ලොකු මහත් කරගන්න වෙහෙසුණා. මේ කාලයේ මං ලේඛන කලාවට යොමු වෙනවා. නවකතා ලිය ලිය පත්තරවලට යැව්වා.  සමහර ඒවා පළ වුණා. මං ලියූ රාශියක් නිර්මාණ නවකතා පිටපත්, කවි අවාසනාවන්ත අන්දමින් පිච්චුණා.

ඔබ ආයෙ රංගනයට එන්නේ?

ළමයි ටිකක් ලොකු වුණාම තමයි මං ආයෙ රඟපාන්න ආවේ. සැරද සුගතං, සිහින කුමරිය, කිරි පබළු විල, වසූදා, ජිවිතය ලස්සනයි, රැජන, සරා,  සිටුගෙදර, සිහින කුමරිය, හිරුමලි, ගුරු ගීතය, හඳපාන, මොනර කඩදාසි, රුවන් මාලිගා, මිලා, දේදුන්නෙන් එහා, ගජමුතු යාය, අරුමයක අරලයක් වගේ නාට්‍ය ගොඩක මං රඟපෑවා. සතියකට මට රට බාර දෙන්න තමයි මං මුලින්ම රඟපාපු චිත්‍රපටය. සුභා, සිහිනය දිගේ  එන්න, සිකුරු යෝගය, ජය ශ්‍රී ඇමතිතුමා, ගුත්තිල, මොනර විලක යෝගය මං රඟපාපු අනෙක්  චිත්‍රපට.

ඔබ වඩාත් ජනප්‍රිය වුණේ කෝරළේ මහත්තයා නාට්‍යයේ සෙලස්තිනා නිසා නේද?

මං ටිකක් මිනිස්සු අතරට ගියේ වසූදා නාට්‍යයේ පුංචිගෙ චරිතයෙන්.  ඒක හරිම නපුරු චරිතයක්. දිගින් දිගටම නපුරු චරිත ලැබුණා. අර නපුරු චරිතලට මිනිස්සු වැඩිය ආස  නැහැනෙ. හැබැයි සෙලස්තිනා හාත්පසින්ම වෙනස්  චරිතයක්. අහිංසකයි. කොටස් දෙසීයක විතර චරිතය තිබුණා. ඒ අහිංසකකම නිසම ගොඩක් ජනප්‍රිය වුණා.

මොනවද ඔබේ ඉදිරි නිර්මාණ?

කැලෑහඳ නාට්‍ය එන්න තියෙනවා. මෑතකදී විකාශය වන නාට්‍ය කිහිපයකම සුළු චරිත රඟපෑවා. මට චරිතයක් ලැබුණාම දිග පළල බලන්නේ නැහැ. ඒවා බාර ගන්නවා. හැබැයි දිගටම යන චරිතවලට තමයි සම්බන්ධ වෙන්න වඩාත් කැමැති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.