සේද මාවතේ යන ඊතලය

මාර්තු 12, 2020
කැලුම් ආර්යන් කුලරත්න

 

ඇත්තම කිව්වොත් මං මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න නෙවෙයි හිටියේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ පිටපත් රචක නාලක විතානගේ මාව හොයාගෙන ආවේ මෙහි ප්‍රධාන චරිතය මට බාර දෙන්න. එතකොට චිත්‍රපටයට වෙන නිෂ්පාදකවරයකු හිටියා. ඔහු මඟදි දාලා ගියා. ඊට පස්සේ තමයි මං මේක නිෂ්පාදනය කළේ.

 

ඩබල් හීරෝලා ඉන්න සිනමාපටයක් නිෂ්පාදනය කරන්න මං හිතාගෙන ඉන්නවා. මටත් ෆෑන් බේස් එකක් තියෙනවා. කැලුම්ටත් වෙනස් ෆෑන් බේස් එකක් තියෙනවානෙ. මේ දෙක එකට එකතු වුණොත් සෑහෙන පිරිසක් සිනමා ශාලාවන්වලට අපට ගෙන්න ගන්න පුළුවන් වේවි.


 

නව පරපුරේ සිනමා නළුවන් දෙදෙනකු නිෂ්පාදනයෙන් දායක වූ සිනමාපට යුගලයක් මේ දිනවලදී තිරගත වනු දක්නට ලැබෙයි. ඒවායේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ද ඔවුන් දෙදෙනාය. අනුජ් රණසිංහ නිෂ්පාදනය කළ සේද මාවතේ ඉන් එක් චිත්‍රපටයකි. අනෙක් සිනමා නිර්මාණය වනුයේ ඊතලයයි. එය කැලුම් ආර්යන් කුලරත්නගේ නිෂ්පාදනයකි. මේ අන්දමින් විශේෂත්වයක් ඇති සිනමාපටයන් ද්විත්වයක් එකම කාල වකවානුවකදී මුදා හැරීම විරල අවස්ථාවකි. එහෙයින් ඒ කතා නායකයන් දෙදෙනාම අපි සරසවියට කැඳ වූයෙමු. එකම ප්‍රශ්න කිහිපයක් ඔවුනට ඉදිරිපත් කරන අතරතුරදි දෙන්නාගෙන් දෙන්නා ගැන ඇසුවෙමු. මේ එම කතාවේ සටහනයි.

 

* අනුජ් ඔබ කැලුම්ගේ ඊතලය නැරඹුවාද?

ඔව්. නැරඹුවා.

*මොකද වැඩේ ගැන කියන්න තියෙන්නෙ?

හොඳ නිර්මාණයක්. අවසානය ඊට වඩා වෙනස් වුණොත් හොඳයි.

* කැලුම් සේද මාවත බැලුවද?

ඔව්. හොඳ කමර්ෂල් චිත්‍රපටයක්. ඊතලය සිනමාපටයේ යම් යම් තැන්වලට සමානකමකුත් දක්වනවා කියලා දැනුණා. මොනවා වුණත් මං හොඳට චිත්‍රපටය රස වින්දා.

* අනුජ් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න අවශ්‍ය නිසා ද චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ?

ප්‍රධාන චරිතය නෙවෙයි මට අවශ්‍ය චරිතය කරන්න තමයි නිෂ්පාදනයට අත ගැහුවේ. මටම ප්‍රධාන චරිතය කරන්න ඕන නම් සේද මාවතේ චිත්‍රපටයට කොල්ලො දෙන්නෙක් ගන්නෙ නැහැනෙ. මං විතරක් ඉන්න චිත්‍රපටයක් කරනවනෙ මං හයිලයිට් වෙන්න ඕන නම්.

* එතකොට කැලුම්?

ඇත්තම කිව්වොත් මං මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න නෙවෙයි හිටියේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ පිටපත් රචක නාලක විතානගේ මාව හොයාගෙන ආවේ මෙහි ප්‍රධාන චරිතය මට බාර දෙන්න. එතකොට චිත්‍රපටයට වෙන නිෂ්පාදකවරයකු හිටියා. ඔහු මගදි දාලා ගියා. ඊට පස්සේ තමයි මං මේක නිෂ්පාදනය කළේ.

* අනුජ් සේද මාවතේ නිසා ඔබට හිත රිදවා ගැනීමට සිදු වූ අවස්ථා මොනවාද?

මං චිත්‍රපට නිෂ්පාදනයට අලුත්නෙ. ඒ නිසා සමහර තැන්වලදී ටිකක් අප්සට් ගියා. චිත්‍රපටය රිලීස් වුණායින් පස්සේ අපි හෝල් විසිට් කරන්න ගියා. එහෙම ගියාම සතියේ දවස්වල චිත්‍රපටය බලන්න ඇවිත් ඉන්නේ දෙන්නයි තුන්දෙනයි. එතකොට මට ටිකක් අප්සට් ගියා. නමුත් සෙසු නිෂ්පාදකවරුන්ට ඒක සාමාන්‍ය තත්ත්වයක්. මං අලුත් නිසා සෙනඟ අඩු වුණාම දුකක් දැනෙනවා. නමුත් සමස්තයක් විදිහට චිත්‍රපටය සැලකිය යුතු මට්ටමකින් දුවනවා.

* ඊතලය නිසා කැලුම් අප්සට් වුණේ නැද්ද?

මොකද නැත්තෙ. චිත්‍රපටය රිලීස් එකේදී නානප්‍රකාර ප්‍රශ්නවලට මුහුණ දුන්නා. එම්. පී. අයි. සිනමා මණ්ඩලයේ කළමනාකර අධ්‍යක්ෂවරයාගේ පුතානෙ මං. එහෙම වෙලත් ප්‍රශ්න. මට මෙහෙම නම් අනෙක් සිනනමාකරුවන්ට කොහොම ඇතිද. ඒවට අප්සට් වෙන්නෙ නැහැ. මොකද ඕවා කාලයක් තිස්සේ මං අත්දකින, පෙනෙන්නට තියෙන දේවල්නෙ.

* අනුජ්ට මොකද හිතෙන්නේ කැලුම්ට ලැබුණු සිනමාවේ අවස්ථා ගැන?

මං හිතන්නේ ගෝරි චිත්‍රපටයේ තමයි ඔහුට හොඳට රගපාන්න ලැබුණේ. පුළුල් පරාසයක විහිදෙන චරිතයක් ඒක.

* කැලුම් කොහොමද අනුජ්ට ලැබුණු අවස්ථා ගැන කියන්න තියෙන්නේ?

ලංකාවෙ කාටත් හිතපු තරම් අවස්ථා ලැබිලා නැහැනෙ. ඒක මටත් අනුජ්ටත් පොදු කාරණයක්. කොහොම වුණත් අනුජ්ට සේද මාවතේ චිත්‍රපටයෙන් ලැබුණේ ලොකු අවස්ථාවක්.

 

 

* අනුජ්ට අදහසක් නැතිද කැලුම්ට ප්‍රධාන චරිතය දීලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න?

ඇත්තෙන්ම එහෙම අයිඩියා එකක් තියෙනවා. ලංකවේ සිනමා නිර්මාණයක නිතර දක්නට ලැබෙන්නේ තනි හීරෝ කෙනෙක්. එහෙම නොවී ඩබල් හීරෝලා ඉන්න සිනමාපටයක් නිෂ්පාදනය කරන්න මං හිතාගෙන ඉන්නවා. මටත් ෆෑන් බේස් එකක් තියෙනවා. කැලුම්ටත් වෙනස් ෆෑන් බේස් එකක් තියෙනවානෙ. මේ දෙක එකට එකතු වුණොත් සෑහෙන පිරිසක් සිනමා ශාලාවන්වලට අපට ගෙන්න ගන්න පුළුවන් වේවි නිසැකවම.

* කැලුම් ඒ අදහසට යමක් එකතු කළොත්?

මට නම් දැනට අදහසක් නැහැ අනුජ්ව දාලා චිත්‍රපටයක් කරන්න. නමුත් ඔහු කියූ කාරණය ඉතාම වැදගත්. බලමු ඉදිරියට හොඳ දෙයක් කරන්න.

* අනුජ්ට දැනෙන විදිහට කවුද කැලුම්ට ගැළපෙනම නිළිය?

මං හිතන්නේ විනු සිරිවර්ධන.

*කැලුම් කිව්වොත් අනුජ්ට ගැළපෙන නිළිය?

ඩිනක්ෂි ප්‍රියසාද්.

* අනුජ්ගෙන් මං මෙහෙම දෙයක් ඇහැව්වොත් . . . ඊතලය චිත්‍රපටය සමඟින් කැලුම් ඔබට වඩා බොහෝ දුර ගමන් කරනවා. මොකක් හිතේවිද ඔබට?

කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ වාසනාවනෙ. කැලුම් ඉදිරියට යන විට මට කිසිම අවුලක් නැහැ. ඊට ප්‍රතිවිරුද්ධව හිතනවා නම් ඔහු ප්‍රධාන චරිතය කළ ගෝරි චිත්‍රපටයේ මං සෙකන්ඩ් රෝල් එක කරන්නෙ නැහැනෙ.

* කැලුම්ටත් එම පැනය යොමු කළොත් සේද මාවතේ නිසා අනුජ් ඔබව අභිබවා යනවා?

ඇත්තෙන්ම සතුටු වෙනවා. කවුරු කාව අබිබවා ගිහින් හරි කමක් නැහැ අපේ සිනමාවට සෙතක් වෙනවා නම්. ඒක අනුජ් කළත් එකයි මං කළත් එකයි. වෙන කවුරු හරි කළත් එකයි. චිත්‍රපට බලන්න සෙනඟ එන්නයි ඕන.

* අනුජ් හිතපු තරම් සේද මාවතේ සාර්ථක නොවුණොත්?

මේ යන විදිහට චිත්‍රපටය හොඳට වැඩ කරයි. අර කතාවට කියන්නේ වැඩේ ගොඩ යයි.

* ඊතලය අසාර්ථක වුණොත්?

කැලුම් කියන්න බලන්න?

ඊතලය නෙවෙයි මෙහෙ චිත්‍රපට කොච්චර අසාර්ථක වුණත් සිනමාව අත හරින්නේ නැහැ. සිනමාවෙන් තමයි ගොඩ යන්නේ.



* සේද මාවතේ සහ ඊතලය යන චිත්‍රපට එකට තිරගත වන ශාලාවකට ඔබ දෙපොළ යනවා. එතනදි වැඩි රසික ආකර්ෂණය කැලුම්ට හිමි වෙනවා. අනුජ්ට මොනවා හිතේවිද?

ඒකටනෙ රසික ආකර්ෂණය කියන්නේ. හෙට ඔහුට තියෙනවා. තව දවසක තව තැනක මට තියෙනවා. එහෙම තමයි. රසික ආකර්ෂණය වෙනස් වෙනවා ඊට බලපාන කරුණු මත. ඒවා ගැන හිතලා වොරි වෙලා වැඩක් නැහැ.

* කැලුම් ඔය තත්ත්වයේ අනෙක් පැත්ත වුණොත්. ඔබට වඩා රසික ආකර්ෂණය අනුජ්ට ලැබෙනවා?

පොඩි ඉරිසියාවක් ඇති වේවි. ඒත් රසික ආකර්ෂණය බලෙන් ලබා ගන්න බැහැනෙ. ඒ තත්ත්වයට යන්න මං උත්සාහ කරන්න ඕන.

* අනුජ් ආයෙත් චිත්‍රපට නිෂ්පාදනයට අත තබනවාද?

සේද මාවතේ පාඩු නොවුණොත් වැඩේ අත හරින්නේ නැහැ.

* එතකොට කැලුම්?

මං දැනටත් ඊළඟ නිෂ්පාදනයට අත ගහලා ඉවරයි. ඒකෙ නම පට්ට. මේ දවස්වල මූලික වැඩ කටයුතු කරගෙන යනවා.

ඇත්තම කිව්වොත් මං මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න නෙවෙයි හිටියේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ පිටපත් රචක නාලක විතානගේ මාව හොයාගෙන ආවේ මෙහි ප්‍රධාන චරිතය මට බාර දෙන්න. එතකොට චිත්‍රපටයට වෙන නිෂ්පාදකවරයකු හිටියා. ඔහු මඟදි දාලා ගියා. ඊට පස්සේ තමයි මං මේක නිෂ්පාදනය කළේ.

ඩබල් හීරෝලා ඉන්න සිනමාපටයක් නිෂ්පාදනය කරන්න මං හිතාගෙන ඉන්නවා. මටත් ෆෑන් බේස් එකක් තියෙනවා. කැලුම්ටත් වෙනස් ෆෑන් බේස් එකක් තියෙනවානෙ. මේ දෙක එකට එකතු වුණොත් සෑහෙන පිරිසක් සිනමා ශාලාවන්වලට අපට ගෙන්න ගන්න පුළුවන් වේවි.

Add new comment