මට වැරදිලා තියෙනවා හැබැයි පැරදිලා නැහැ

සුගත් ජානක
මාර්තු 19, 2020

සුගත් ජානක කියන්නේ මොන වගේ චරිතයයක්ද?

හුඟක් සරල චරිතයක්. මං කතාබහ කරන විදිහෙන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මං හරි පණ්ඩිතයෙක් කියලා. නමුත් එහෙම නෙවෙයි. මාව ඇසුරු කෙරු අය ඒක හොඳටම දන්නවා.

 

ඔබට සිදු වූ ලොකුම අසාධාරණය මොකක්ද?

නිතරම අසාධාරණකම්ම තමයි සිද්ධ වෙන්නෙ. ගොඩක් වෙලාවට මාව නාට්‍යවලින් කැපෙනවා. එහෙම කැපුණට ඒ අධ්‍යක්ෂවරයාගේම ඊළඟ නිර්මාණවලට මාව සම්බන්ධ කර ගන්න අවස්ථාවලුත් තියෙනවා. පස්සේ හොයලා බලද්දී මාව කලින් නාට්‍යයෙන් අයින් කරලා තියෙන්නේ බජට් ප්‍රශ්න නිසාලු.

කලාකරුවකුට රජයෙන් විය යුතු ප්‍රධාන රාජකාරිය කුමක්ද?

පෙන්ෂන් එකක් දිය යුතුයි. මං කියන්නේ හැමෝටම නෙවෙයි. අවශ්‍යතා ඇති කලාකරුවන්ට පෙන්ෂන් එකක් දෙනවා නම් ඒක තමයි හොඳම රාජකාරිය.

උපයන මුදල් කලාකරුවෝ අසීමිතව වියදම් කරනවා කියලා සමහරු කියනවා?

සීමා රහිතව වියදම් කරන්න වෙන අවස්ථා තියෙනවා. කලාකරුවෙක් වුණාම ඉන්න විදිහක් තියෙනවනෙ. කලාකරුවා සෑම සිතක්ම සුවපත් කරන අයෙක්. ඔවුන් ලස්සනට හැඳ පැලඳ ඉන්න ඕන. එක එක්කෙනා අනුවත් ඔය ක්‍රමය වෙනස් වෙනවා. කලාකරුවන්ට අත්‍යවශ්‍ය වියදම් ටිකක් තියෙනවානෙ. ඒවා නවත්වන්න අමාරුයි.

සමහර කලාකරුවෝ උපයන මුදල් අනවශ්‍යව වියදම් කරනවා නේද?

මං අර කලින් කිව්වා වගේ කලාකරුවන්ට වියදම වැඩියි. නමුත් ඇඟිල්ලේ තරමටනෙ ඉදිමෙන්න ඕන. බොරු සෝබනවලට වියදම් කළ යුතු නැහැ. එහෙම වුණොත් අන්තිම කාලේ අතේ සතයක් නැතුවයි ජීවත් වෙන්න වෙන්නේ.

සුගත් ජානකට ජීවිතයේ වැරදුණ අවස්ථා තියෙනවාද?

ඔව්. සෑහෙන අවස්ථාවලදී මට වැරදිලා තියෙනවා. ඒවා අයේ වතාවක් වෙන්න ඉඩ තියලා නැහැ. සුගත් ජානකට වැරදිලා තියෙනවා හැබැයි පැරදිලා නැහැ.

ඔබට අභියෝගයක් වූ නළුවො කවුද?

මට කාත් එක්කවත් තරගයක් නැහැ. ඒ හින්දා මට කිසිම අයකු අභියෝගයක් නෙවෙයි.

ඔබ මේ දවස්වල වෙනමම චරිතයක් රඟ දක්වනවා?

ඔය අහන්නේ රැස නාට්‍යයේ මං කරන පියාගේ චරිතය ගැන වෙන්න ඇති. මං ෆස්ට් ටයිම් තමයි මේ වගේ චරිතයක් කරන්නේ. ඒකත් හොඳ අත්දැකීමක්.

මේ ළඟදි ඔබට ගෞරව නාමයක් හම්බු වුණා?

ඔව්. මානව හිතවාදී කියලා ගෞරව නාමයක් ලැබුණා. තවත් ගෞරව නාම කිහිපයක්ම පෙර ලැබිලා තියෙනවා. මේක තමයි අලුත්ම ගෞරව නාමය.

 

 

ශාන් රඹුක්වැල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.