රැඩිකල් චරිතවලට මාව ගැළපෙන්න ඇති

රංගන ශිල්පී කුමාර කරුණානන්ද
මාර්තු 19, 2020

1980 වර්ෂයේ ඔහු තම රංගන දිවිය අරඹනුයේ වේදිකාව තුළිනි. රංගන දිවියේ තම තිඹිරි ගෙය වේදිකාව කොට ගත් මේ රංගවේදියා පුංචි තිරය මෙන්ම රිදී තිරයේ ද කැපී පෙනෙන චරිතයක් බවට පත් වනුයේ ප්‍රේ්ක්ෂක රස  මනස තම රංග භූමිකාවන්ට නතු කර ගනිමිනි. මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන හිරු ඇවිදින් ටෙලි නාට්‍යයේ හා හිරු නාළිකාවේ විකාශය වන උරුමයක අරගලය ටෙලි නිර්මාණයන් ඔස්සේ ප්‍රේ්ක්ෂකයන් අතරට එක්වන මේ රංගවේදියා කුමාර කරුණානන්දය. 

වේදිකාව තිඹිරිගෙය කොටගත් රංග ශිල්පියෙක් ඔබ?

මම සලකන්නේ රංග ශිල්පියෙකුට හොඳම ඇරඹුම වේදිකාව කියලා.  මෙතනින් ගමනක් අරඹන කෙනෙක්ට කවදාවත් වරදින්නේ නැහැ 1980 වේදී මම වේදිකා රංගන ශිල්පියකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඒ රෝහණ දන්දෙණිය රචනා කොට විමලරත්න අධිකාරි අධ්‍යක්ෂණය කළ පරාස්ස වේදිකා නාට්‍යයෙන්. ඒ තමයි මගේ ප්‍රසිද්ධ වේදිකා රංගනයේ ඇරඹුම. පරාස්ස වේදිකා නාට්‍යයෙන් අරඹන මගේ වේදිකා රංගනය ප්‍රසිද්ධ නාට්‍යකරුවන් රැසකගේ නිර්මාණ ඔස්සේ දීර්ඝ ගමනක් පැමිණෙනවා. බන්දුල විතානගේ වැනීසියේ වෙළෙන්දා, සෙනෙහෙබර ඩොලී, විල්සන් ගුණරත්නගේ පොකුරු වැස්ස, රෙජිනොල්ඩ් ජයමාන්නගේ විකල් සමය, අසෝක නිශ්ශංකගේ නීරෝ රඟමඬල, අශෝක සෙනරත් මුදලිගේ සිකියුරිටි සින්නතම්බි, කේ. බී. හේරත්ගේ නාගගුරුළා, දෝන කතිරිනා, සුනිල් චන්ද්‍රසිරිගේ ගිනිදඬු සෙවණ ආදී නාට්‍ය රාශියකට රංගනයෙන් දායකවීමේ මං පෙත මට විවර වෙනවා.

 මේ වෙන කොට වේදිකාව අමතක කරලද?

අපෝ නෑ. මට මුල හොඳට මතකයි. මගේ රංගන දිවිය පුරාවට වැඩිම ප්‍රමාණයක් රඟපාලා තියෙන්නේ වේදිකා නාට්‍ය. මතකයේ හැටියට නාට්‍ය විසි පහක් විතර. මේ දවස්වලත් සුනිල් අරුණ වීරසිරි නිෂ්පාදනය කළ ජයලාල් රෝහණ අධ්‍යක්ෂණය කළ ගොන්ඩෝලා වේදිකා  නාට්‍යයේ රඟපානවා.

 කොහොමද ගොන්ඩෝළට ලැබෙන ප්‍රතිචාර?

හුඟක් හොඳයි. මේ දවස්වල ජයලාල් රෝහණ මහතාට වෛද්‍ය උපදෙස් ලැබිල තියෙනවා හයියෙන් කතා කරන්න එපා කියලා. ඒ නිසා මේ දවස්වල නාට්‍ය වේදිකා ගත කිරීම ටික දිනකට නතර කරලයි තියෙන්නේ.

 වේදිකාව ඔස්සේ රංගන දිවිය අරඹන ඔබ රිදී තිරය වගේම පුංචි තිරයත් ආක්‍රමණය කරන්නේ රංග ශිල්පියකු ලෙස දිගු ගමනකට අත්තිවාරමක් දමමින්?

මලට නොඑන බඹරු චිත්‍රපටයේ රඟමින් තමයි මම සිනමාවට එක් වන්නේ. සිනමා රංග ශිල්පියකු ලෙස රංගනයේ මංපෙත් විවර වන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පුරහඳ කළුවර චිත්‍රපටයේ වන්නිහාමිගේ ලොකු බෑනා ලෙස රඟපෑමත් සමඟ. සිනමා නිර්මාණ ගත්තොත් මම රඟපාලා තියෙන්නේ අඩු නිර්මාණ ප්‍රමාණයක. සරත් වීරසේකර අධ්‍යක්ෂණය කළ ශ්‍රී සිද්ධා චිත්‍රපටය මම මෑතකදී රඟපෑ ඉදිරියේදී තිරගත වෙන්න තියෙන චිත්‍රපටයක්. 

 පුංචි තිරය ඔබ ග්‍රහණයට ගන්නේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයක් ලබමින්?

අසූව දශකයේ රූපවාහිනිය අපේ ජනහද ග්‍රහණයට නතු කර ගත් අවධියේ පටන් මම ටෙලි නාට්‍ය සඳහා දායක වුණා. ඒ ඇරඹුම අද දක්වාම නොකඩවා පවතින දෙයක්. ටිකිරි නිලමේ මගේ පුංචි තිරයේ මුල්ම ටෙලි නාට්‍යය. එහි නවරත්න කියන පීඩිත පන්තියේ තරුණයාගේ චරිතය මම රඟපෑවා. මට එයට හොඳ ප්‍රතිචාරත් ලැබුණා. රන් කහවණු, මිහිකතගේ දරුවෝ, සංක්‍රාන්ති, අසල්වැසියෝ, සරා, නිල් අහස ආදී ටෙලි නාට්‍ය රැසක  මම රඟපෑවා. ඒ අතරින් ඒකාංගික ටෙලි නාට්‍ය 15 විතර ඇති. ප්‍රසාංගික ටෙලි නාට්‍ය නම් පණහකටත් වැඩියි.

 මේ දවස්වල හිරු ඇවිදින් නිර්මාණයට කොහොමද ප්‍රතිචාර?

බොහොම හොඳ ප්‍රතිචාර තියෙනවා. මම රඟපාන්නේ තාත්තාගේ චරිතය

 රංග ශිල්පියකු වීමේ ආභාසය ඔබට ලැබෙන්නේ කොයි ආකාරයෙන්ද? 

මගේ  ගම මාතර මාකඳුර. මාකඳුර මහා විද්‍යාලයෙන් මම මූලික අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනය සඳහා මම කොළඹ පැමිණියා. උසස් අධ්‍යාපනය සඳහා මම ඇතුළත් වුණේ කොළඹ ලුම්බිණි විද්‍යාලයට. ඒ වෙන කොට කොළඹ තිබුණු හොඳම රංගන ශාලාව තමයි ලුම්බිණි රංගන ශාලාව. මගේම පාසලේ රංග ශාලාවේ වේදිකා ගත වන සෑම නාට්‍යයක්ම පාහේ මම නැරඹීමට පුරුදු වුණා. එයින් ලත් වින්දනය රංගන ශිල්පියෙක් දක්වා මාව කැඳවාගෙන ගියා. 70 දශකයේ වේදිකා නිර්මාණවල තිබූ අරුත් බව, හොඳ නිර්මාණ බිහි වීම, වේදිකා නිර්මාණවල තිබූ ගීතවල හරවත් බව අපේ ජීවිත වෙලා ගත්තා. අපේ බුද්ධිය මනස රසඥතාව මේ නිසා තවත් වර්ධනය වුණා. කලා නිර්මාණ දැකීම තුළින් මා තුළත් රංගනවේදය පිළිබඳ ආශාවක් ඇති කළා. 

 අද  වෙන කොට ඔබ වෘත්තියෙන් කලාකරුවෙක්?

ඔව්. කලකට ඉහතදී මම ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පොත් බැඳුම් කරුවෙක් ලෙස රැකියාව කළා. 2008 වසරේ සිය කැමැත්තෙන්ම මම විශ්‍රාම ගියා. ඊට පස්සේ පූර්ණකාලීනව රංගනය වෙනුවෙන් කැප වුණා.

 දශක හතරක් පුරා විහිදෙන ඔබේ කලා ජීවිතයේ ආපසු හැරිලා බලන කොට ඔබ වඩාත් කැමති වේදිකාවට ද? සිනමාවටද? රූපවාහිනී මාධ්‍යයටද?

වේදිකාවට. වේදිකාව කියන දේ රංග ශිල්පියෙක් දවසින් දවස අලුත් කරන තැනක්. සජීවීව ප්‍රේක්ෂකයා හා බද්ධ වෙන තැනක් තමයි වේදිකාව. කරන චරිතයට ලැබෙන ප්‍රතිචාර සජීවීව අත්දකින්න පුළුවන් තැනක් වේදිකාව. එකම චරිතය දර්ශන වාර දහයකදී කළත් ලබන ප්‍රතිචාර එකිනෙකට වෙනස්. වේදිකාව කියන්නේ රංගන ශිල්පියෙකුට තමන්ගේ රංග වින්‍යාසය එළිදක්වන්න තියෙන උල්පතක් තක්ෂිලාවක් කියලයි මට හිතෙන්නේ.

 ඔබ දේශපාලනයට පිවිසුණා?

පොඩි කාලේ ඉඳලම මම සමාජ සේවා කටයුතුවලට බොහොම ලැදියි. පාසලේ වැඩවලදී පවා මම නායකත්වය ගෙන කටයුතු කළා. ශ්‍රී. ල. නි. ප. යේ ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කළා. මම පදිංචි කිරුළපන ජනතාවගේ පොදු පහසුකම් වෙනුවෙන් මම වැඩ කටයුතු කළ නිසා ගමේ ජනතාවගේ ඉල්ලීමට 2002  වසරේ කොළඹ මහ නගර සභාවට නැගෙනහිර කොළඹ අපේක්ෂකයකු හැටියට මම ඉදිරිපත් වී ජයග්‍රහණය කළා. එහිදී මට  දේශපාලන නියෝජිතයකු ලෙසත් කලාකාරයකු ලෙසත් දෙයාකාරයෙන් ජනතාව වෙනුවෙන් වැඩ කොටසක් කළා.

 දැන් ඔබ දේශපාලනය කියන මඩ ගොහොරුවෙන් අත්මිදිලද?

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස මම  දීර්ඝ කාලයක් කටයුතු කළා. මාව මුලින්ම ජනතාව හඳුනා ගත්තේ කලාකාරයෙක් විදියට. ප්‍රේක්ෂයන්ගෙන් මට ලැබුණේ කලාකාරයෙක් ලෙසින් දිගටම කටයුතු කරන්න කියලයි. රංග ශිල්පියෙක් ලෙස මාව දකින්න තමයි මිනිස්සු කැමති. මට පේන විදියට කලාවෙන් ලබන සතුට හරි සුනදරයි. මානසික සුවයටත් කලාව එක සාධකයක්. මම දකින්නේ දේශපාලඥයෙක් වෙන්නම ඕනෑ නැහැ ජනතාවට සේවය කරන්න. කලාකාරයාටත් පුළුවන් ජන හදවත් තේරුම් අරගෙන ඔවුන්ට සේවය කරන්න. ජනතා  සේවය වෙනුවෙන් නැවතත් මට ආරාධනා ආවොත් දේශපාලනය මම  හදවතින් බාරගන්නවා ජනතා සුව පිණිස.

 රංගන ජිවිතයේ ඔබ ලැබූ භාග්‍යයක් කොට සලකන්නේ මොන වගේ නිර්මාණයක්ද?

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පුරහඳ කළුවර චිත්‍රපටය. දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක ජීවිතය ගැට ගහ ගන්න තනන  බෑනා කෙනෙක්ගේ චරිතය මම රඟපෑවා. මෙහිදී මට ජෝ අබේවික්‍රම කියන මහා රංගධරයා සමඟ සමීප වෙන්න අවස්ථාව උදා වුණා. ඔහු වැනි සොඳුරු රංගධරයකු සමඟ රඟපාන්න ලැබීමත් මම ලැබූ ලොකු භාග්‍යයක්. ප්‍රසන්න විතානගේ වැනි අධ්‍යක්ෂවරයකුගේ සිනමා නිර්මාණයක රඟපාන්න ලැබීමත් තවත් පැත්තකින් මගේ රංගන දිවියේ සදා  අනුස්මරණීය භාග්‍යයක්.

 කලා දිවියේ ඔබේ මතකයන් අතර අමතක නොවන පුද්ගලයන් එහෙමත් ඇති?

බොහොමයක් ඉන්නවා. ඒ අතරින් විමලරත්න අධිකාරි, දයාරත්න රටගෙදර, විල්සන් ගුණරත්න, කේ. බී. හේරත් වගේම සුනිල් අරුණ වීරසිරි මට සුවිශේෂයි. 

 දශක හතරක් පුරා ඔබට ලැබුණු චරිත ගැන ඔබ තෘප්තිමත්ද?

බොහෝ විට මට ලබුණේ රැඩිකල් චරිත. ඒකට සමහර විට මගේ රූපය, හඬ ගැළපෙන්න ඇති. නිර්මාණ ඉල්ලගෙන මම කවදාවත් කාගෙවත් පස්සේ ගියේ නැහැ. ලැබුණු දේ පුළුවන් නම් භාර ගත්තා. අද මගේ වෘත්තීය රඟපෑම වුණත්  එදා මගේ වෘත්තීය වුණේ රඟපෑම නොවෙයි. කලා ශිල්පියෙක් ලෙස  දිගටම රැඳෙන්න තියෙන ආශාව  නිසා තමයි මම රැකියාවෙනුත් අයින් වුණේ.

ලිපිනය මතක කළොත්?

අංක 48, නාගස්වත්ත පාර, කිරුළපන, කොළඹ 06.