මේ ‌‌මොහොතේ අපි.

අප්‍රේල් 2, 2020

වසංගත පිළිබඳ ලිඛිත ලෝක ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 430 තරම් ඈත යුගයට දිවෙයි. ඇතීනියානු හමුදාවෙන් හතරෙන් පංගුවක් පමණ මෙන්ම ඇතන්ස් නුවර වැසියන්ගෙන් හතරෙන් පංගුවක් වසර හතරක පමණ කාලයක් පුරා වනසා දමන්නට ඒ වසංගතය සමත් වී ඇත.  ක්‍රිස්තු වර්ෂ 165 පමණ කාලයේ ඉතාලියේ ඇති වූ වසංගතය මිලියන පහක් පමණ මරා දැමූ අතර රෝමයේ ඇති වූ සිප්‍රියන් වසංගතය ක්‍රි.ව 250-260 යුගයේ දිනකට මිනිසුන් පන්දහස බැගින් බිලිගත් බව කියයි. ඊජිප්තුවෙන් ඇරැඹි ජස්ටිනියානු වසංගතය ක්‍රි.ව 540 දශකය පුරා යුරෝපයේ ජනගහනය අඩක් දක්වා අඩු කිරීමට සමත් වූ බව වාර්තා වේ. ඉන්පසු 1331 සිට වසර විස්සක් පුරා ඇති වූ කළු මරණය හෙවත් කළු මහාමාරිය ආසියාවෙන් ඇරැඹී මධ්‍යධරි මුහුද ඔස්සේ යුරෝපයට පැතිරිණ. 1665 පමණ ලන්ඩනයේ පැතිරුණු වසංගතයෙන් වැසියන්ගෙන් අඩක් මිය ගියේය.  1855 චීනයෙන් ඇරැඹි වසංගතය ඇමෙරිකාවට පැතිරීම නිසා තනි වූ ඇතැමුන් තවමත් බටහිර ප්‍රදේශයේ ඇතැයි පැවසේ.  1918 පැතිරුණු ස්පාඤ්ඤ උණ වසංගතය ලොව පුරා දසලක්ෂ පන්සියයක් මිනිසුන් බිලිගත්තේය. අපේ ජීවිත කාලය තුළ අප දුටු විශාලතම වසංගත උවදුරු ලෙස සැලකුවේ කුරුලු‍ උණ සහ ඉබෝලා වෛරසයයි.

 එහෙත් අද වන විට ඊට වඩා දරුණු කොවිඩ්-19 මුළු ලෝකයේම මිනිසුන් සිරගත කොට ඇත. අප මෙයට මුහුණ දිය යුත්තේ කෙසේද? කලාකරුවන් එයට මුහුණ දෙන්නේ කෙසේද?අපි විමසමු.
 

 

රටේ නීතියට එකඟව සොබා දහම ඉව කරන්න

ආචාර්ය රවීන්ද්‍ර රන්දෙ‚ය

 

අපට ඉස්සෙල්ලාම හිතන්න තිබෙන්නේ මෑත ඉතිහාසයේ මනුෂ්‍ය සංහතියට මුහුණ දෙන්න නොවූ විරූ ආකාරයෙන් ආ දෙයක් මෙය. මීට පෙර ඇති වූ වසංගත බෝ වුණේ මෙහෙම නෙවෙයි.
 මේ නොපෙනෙන සතුරා ඇතුළු වුණොත් ඉන් එහාට ගැන ජීවිතය ගැන බලාපොරොත්තුත් නැති තරම්.  අපේ වගේ ඌන සම්පත් සහිත රට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිගේ පවා පැසසුම් ලබන ආකාරයෙන් මෙය කළමනාකරණය කරනවා.  ජනාධිපතිතුමා රජය හමුදාව දෙවිවරු වැනි වෛද්‍යවරු ඇතුළු පිරිස මේ තරම් වෙහෙසෙන්නේ මොකටද? ජනතාව මේ මහා ව්‍යසනයෙන් බේරාගන්න.
 ඔවුන්ගේ කැපවීම නොවෙන්න අපේ රට තවත් ඉතාලියක් වෙන්න ඉඩ තිබුණා.  අප වෙනුවෙන් ඒ අය කරන සේවය අපි අගය නොකර ඔවුන්ගේ කාර්යභාරය තව තව අපහසු කරවන්නත්,  මේ කළ මෙහෙයේ වටිනාකමක් නැති වෙන්නත් කටයුතු කළොත් එය ජාතික අපරාධයක් වගේම අපි අපටම, අපේ පවුල කරගන්නා හානියක්.
 අපි නීතියට අවනත නොවී එළියට ගිහින් ගේන්නේ කොරෝනා. එය අපේ වයසක අම්මා තාත්තාගේ ජීවිත අවදානමකට ලක් කිරීමක්. මට හරි කනගාටුයි අපේ රටේ මේ දේවල් මේ තරම් පැහැදිලි කරමින් කියද්දිත් තේරුම් නොගන්නා අමන පිරිසක් සිටීම ගැන. එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ අවිචාරවත් හැසිරිම් නිසා ගම්පිටින් හිර වෙන්න නොදී තමන්ගේ වගකීම ඉටු කරන්න.
 

මේ තත්ත්වයේ භයානක කම කොතරම්ද කිවොත් මට කියන්න වෙන්නේ අපට ජීවත් වෙන්න අවසර ලැබුණොත්, අලු‍තෙන් ලෝකය දිහා බලන්න, ජීවිතය දිහා බලන්න පුදුමාකාර අවස්ථාවක් ලැබිලා.
 අපි මේ මහ පොළොව හූරන් කාපු තරමට එරෙහිවයි මේ මහපොළොව නැඟිටින්නේ. මේ සුළු කාලය තුළ චීනයේ සියයට 600න්, යුරෝපයේ සියයට 300න් වායු දූෂණය නැති වෙලා.  ගංගාවල ජලය පැහැදිලි වෙලා වෙනිසියේ පුංචි මාළු පවා පේනවා,  ඩොල්ෆිල් මසුන් පීනන්න ඇවිත්. අපට පුංචි කුරුලු‍ හඬවල් පවා ඇහෙනවා. ගෙදරක තනිව ඉද්දි වාහන ශබ්ද නැති මේ නිශ්ශබ්දතාව කොයිතරම් සුන්දරද? අපිත් මේ සොබාදහමේ කොටසක් බව පැහැදිලි කරනවා මේ මොහොත.  මෙය දෙවියන් අපට වරදට දඬුවම් දෙන අතර ඇස් අරින්න අවස්ථාවක් දී තිබෙනවා. මේ මහපොළොවේ අන් සතුන්ටත් දී තිබෙන අයිතිය පවා හූරාගන්න නොවේ බෙදාහදාගෙන ජීවත් වන්න කියන ප‚විඩය විශේෂයෙන් බුදු දහමෙන් කියා ඇති දෙය පසක් කරගන්න අවස්ථාවක් මෙය.  මේ තනිකම ආතතියක් බවට පත් වෙනවා නම් අපේ මනස පැහැදිලිව යමක යෙදවීම වැදගත්.  මම ඒ සඳහා කරන්නේ මීට කලින් මම වැඩිදියුණු නොකළ හැකියාවන් වඩා ගන්න උත්සාහ කිරීම.  පරිගණකයේ මෙතෙක් අප අත නොගැසූ මෘදුකාංග භාවිත කරන ආකාරය,  පොත් රාක්කයේ ඇති කියවන්න බැරි වූ හොඳ පොත් කියවීම,  ටෙලිවිෂනය ඔස්සේ දැනුම ලබාගැනීම,  අන්තර්ජාලයේ තමන් කැමැති මාතෘකාවක් ඔස්සේ තොරතුරු එක්රැස් කිරිම වැනි දේ මඟින් මේ දුක් වේදනාවලින් මිදෙන්න අවස්ථාවක් ලබා ගන්නවා.  අපට මේ ව්‍යසනය නිම වන කාලයක් නැති නිසාත් පැය විසිහතරම බිත්තිවලට කොටු වීම අපට භීෂණ කාලවලවත් මුහුණ දෙන්න වුණු අත්දැකීමක් නෙවෙයි.  මේ අපට දෙන්නේ සොබා දහම ඉව කරන්න අවස්ථාවක්.


 එයට ළංවෙන්න,  සංවේදී වෙන්න,  හඳූනාගන්න,  ගරුකරන්න, ආරක්ෂා කරන්න අවස්ථාවක්.  හැන්දෑවේ ආකාසේ බැලු‍වාම වෙනදාට වඩා පැහැබරයි,  හුස්ම ටික වෙනදාට වඩා පිරිසුදුබව දැනෙනවා.  මේ අවස්ථාව ආයේ අපට මේ ජීවිතේ ලැබෙන එකක් නැහැ. මේ ව්‍යසනය ඉක්මනින් පහව යයි. එවිට අපි වඩාත් පිරිපුන් මිනිසුන් ලෙස ලෝකය ඉදිරියට යන්න නම් මේ කාලය නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතුයි.  අපට වෙන කාටවත් මාර්ගයක් නිර්දේශ කරන්න බැහැ.  තම තමන්ගේ හැකියාව සහ කැමැත්ත පරිදි දේවලට යොමු වන්න හැබැයි රටේ නීතිරීතිවලට එකඟව.
 

 

මුරණ්ඩු ලෙස හැසිරුණොත් මුල්ම හානිය තමන්ටයි

ශ්‍රියානි අමරසේන

 

මේ සොබාදහමට ගස්වැල්,  වනසතුන්, දියඇලි,  ගංගා,  මහ මුහුදු සියල්ල අයිති බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.  කිසිම ආගමකින් දහමකින් මේ ලෝකයේ පැවැත්මට අහිතකර දේවල් කරන්න තිබෙනවා කියලා මම අහලත් නෑ.  බුදු දහමේ කියා තිබෙනවා පරිභෝජනයට නුසුදුසු මාංශ වර්ග පහක් ගැන.  සර්ප,  වවුල්,  මිනිස්,  බලු‍ වැනි මාංශ ඒවාට අයිතියි.  වසර 2500ටත් පෙර ඒ දේශනා කළ දේවල්වල වටිනාකම නේද මේ අද ඇස් පනාපිට අපට ඔප්පු වන්නේ@ ඉස්සර අපේ කෘෂිකර්මාන්තය සමඟ බැඳූණු කෙම් ක්‍රම තිබුණා.  ඒ ආශ්‍රිත පුද සත්කාර ක්‍රම තිබුණා.
 ඒ ධාරණ ශක්තීන්,  ආත්ම ශක්තීන් නිසා පෝෂණය වුණු කෙත්වතුවල අස්වැන්න සරු වුණා.  එවැනි අධ්‍යාත්මික බලයන් නැහැයි කියා අපට කියන්න බැහැ.  ඒ වගේම අපට පරිසරය ඕනේ.
 සොබාදහම අගය කරන්නේ නැතිව,  එයට විරුද්ධව ගිය ගමනේ අහිතකර ප්‍රතිඵල තමයි අද අපි මේ අත්විඳීමින් ඉන්නේ.  අපේ රටේ පමණක් නොවෙයි,  විදේශයන්වල පවා පරිසරය අගය කිරීම ගිලිහී ගිහින් පරිසර ැෂණයට‌ අවශ්‍ය සාධක වැඩි වුණු නිසා අද පරිසරය මුළු ලෝකයටම නිවාඩු දීලා.  වායුව පිරිසුදු වෙලා,  ඕසෝන් ස්ථරයේ හානි වූ තැන් සමහන් වෙමින් පවතිනවා.
 මේ දේවල් ගැන මිනිස් සමාජය නොදන්නවාටත් වඩා උනන්දු වුණේ නැහැ.
 ආතර් සී.  ක්ලාක් මහත්මයා කියලා තිබෙනවා 2050 වනවිට ලෝකයේම අවධානය බෞද්ධ දර්ශනය දෙසට නැඹුරු වෙනවා කියලා.  ඒ පරිසරය පිළිබඳ හොඳම සංකල්ප එහි තිබෙන නිසා.
 ඉතින් මේ අවස්ථාවේ අපි අපට වගේම අපේ අවට අන් අයගැනත් ආදරයෙන් බලන්න ඕනේ.  විද්‍යුත් මාධ්‍ය මඟින් මොහොතක් පාසා පුන පුනා දැනුම්වත් කරන උපදෙස් පිළිපදින්න.  මුරණ්ඩු ලෙස හැසිරුණොත් මුල්ම හානිය තමන්ට සහ තමන්ගේ පවුලේ අයටයි.  මේ මොහොතේ පාලකයන් කරන දේට පක්ෂ,  පාට,  උස්,  පහත්,  කුලමල භේද කිසිවක් සලකන්නේ නැතිව ඇහුම්කන් දෙන්න ඕනෙ.  එහෙම වුණොත් විතරයි අපට මේ ව්‍යසනයෙන් ගැලවෙන්න පුළුවන් වන්නේ.
 

කලාකරුවන් ලෙස අපට ගෙදරට කොටුවෙලා ඉන්න අපහසුයි.  අපට අත්වෙන්න තිබෙන ලාභ ප්‍රයෝජන,  ආර්ථික ශක්තීන් සියල්ල මේ නිසා ඇණහිටලා තිබෙන්නේ.  ඒත් අපි අපේ ගෞරවයට හානි වන අයුරින් නීතිරීති බිඳගෙන යන්නේ නැහැ.  අපේ යාත්‍රා චිත්‍රපටයට මොස්කව් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම කැමරාකරණය සඳහා සම්මානය ලැබුණා අයේෂ්මන්ත හෙට්ටිආරච්චිට.
 මේ තත්ත්වය යටතේ වුණත් ඒ ගැන සතුට භුක්ති නොවිඳ බැහැ.  ඒ වගේම මගේ ජීවිත කතාව ලියන එක කාර්යබහුලකම නිසා පැත්තක දාලා තිබුණේ.  දැන් හිත වගේම පරිසරයත් නිදහස් කර දී තිබෙන නිසා ආයෙත් ඒ පොත ලියන්න අවස්ථාව ලැබුණා.  අල්මාරි,  පොත්මේස,  ගෙවල් මිදුල් අස්කරනවා වගේම අපි කවුරුත් වගාකරන කටයුතුවලටත් පුළු පුළුවන් විදිහෙන් යොමු වුණොත් අනාතයේ හොඳ කාලයක් උදාවේවි.
 

 

කිසියම් සැකයකින් නිරන්තර පසුවන්න

ජැක්සන් ඇන්තනි

 

ඇත්ත කතාව නම් මගේ මනස ටිකක් ව්‍යාකූලයි.  නිදහසේ නිර්මාණ කටයුත්තක හෝ හැදෑරීමක යෙදෙන්න ඉස්පාසුවක් නැහැ.  භීම සමයක සලකුණු ලෝකය පුරාම. මමත් ගෙටවුණේ පිටපතක් ලියන්න,  නවකතාවක් ලියන්න විවේකයක් කියලා හිතාගෙන.  ඒත් හිත ප්‍රිය නැහැ.  ඒ නිසා මේ ඔස්සේම තමයි හැදෑරීමකත් යෙදෙන්න හිතෙන්නේ.  මේ කාලේ බොහෝවිට වසංගත ඉතිහාසය,
 මානසිකත්වය,  භීම සමයක රෝගාබාධ,  ආකල්ප,  මනෝවිද්‍යාත්මක ආදිය ඔස්සේ යම් කටයුත්තක් කරමින් ඉන්නවා.  මෙය ලෝකෙටම පොදු මානසිකත්වයක්.  එයින් මුක්තව වෙනත් තේමාවකට පිටපනින්න බැහැ.  අන්තර්ජාලයේ මගේ යූටියුබ නාළිකාව ඔස්සේ ඒවා පිළිබඳ වැඩසටහන් හයහතක් එවා තිබෙනවා.
 

මම ජනතාවට කියන්නේ මේ වෛරසය ඇතිකළ මනෝභාවයෙන් මිදෙන්නට උත්සාහ කරන්න එපා.  කිසියම් සැකයකින් නිරන්තර පසුවන්න.  බියක් සැකයක් හිතේ රඳවාගෙන ඉද්දි එයින් වැලකීමට අවශ්‍ය පියවර ගන්නවා.  හරියට ප්‍රභූ ආරක්ෂක සේවාවේ අය වගේ අද සතුරු ආක්‍රමණයක් සිදුවෙයි කියන අවදානම ගැන අවධානය කිසිම මොහොතක අඩුකරගන්න එපා.  තමන් තමා නැමැති ප්‍රභූවරයාව ආරක්ෂා කරගන්න.   අතපය අල්ලන්නේ විදුලි රැහැන් මැද ඉන්නා විට වගේ.  හැබැයි ඒ නිසා ආතතිය වැනි රෝගාබාධයක් වැලක්‍ෂෙන්න පුළුවන්.  එය කොරෝනා තරම් මාරාන්තික නෑ.
 ඉක්මනින් එයින් මිදෙන්න පුළුවන්.  කලාකරුවන් පවා ඒ වෙනුවෙන් කලාකටයුතුවල මේ කාලේ නිරත වෙනවා.  ලෝකේ වසංගත ඉතිහාසය හරි පුදුමයි.
 කළු මහාමාරියට පසු අපූරු සාහිත්‍ය කෘති බිහිවුණා. ඇල්බෙයා කැමූ‌ගේ ද ෆ්ලේක් වැනි ලෝකප්‍රකට කෘති බිහිවුණේ ඒ අනුවයි.
 

මේ අවුලෙන් අපි ඉක්මනින් මිදෙනවා.  අපේ රාජ්‍ය නායකත්වය,  හමුදා,  වෛද්‍ය,  හෙද ඇතුළු සියලු‍ සේවා කටයුතු කරන්නේ තාක්ෂණය මුසුව කෙරෙන න්‍යායාත්මක යුද මෙහෙයුමක් වගේ.
 මම මේ කටයුත්ත හඳූන්වන්නේ ඔපරේෂන් කොවිඩ් 19 කියලා.  ඒ වගේම අපටත් සිදුවනවා හමුදාමය විනයක් පවත්වාගන්න.  එක අණට එකඟවන්න.  අපිත් සොල්දාදුවන් වගේ.
 අපි අපව,  අපේ පවුල ආරක්ෂා කරන අතර සාමාන්‍ය මිනිසෙක්ට වඩා මේ ව්‍යායාමයේ සාමාජිකයකු විය යුතුයි.  එතකොට අපට වගකීම වැඩියි.
 

කොරෝනා ලෝක සිතියමෙන් රුසියාව,  චීනය,  උතුරු කොරියාව,  කියුබාව මිදුණේ කොමියුනිස්ට් රාජ්‍යවල සාමාජික විනය රුධිරගතව පුරුදු නිසා.  මාක්ස්ගේ දාස් කැපිටාල් බිහිවෙන්න හුඟක් කලින් ලංකාවේ තිබුණේ සමානාත්මතා සමාජයක්.  1815ට පෙර අපටත් තිබුණු උරුමයෙන් ලද රාජකාරී ක්‍රමය සමාජවාදී මුහුණුවරකිව් යුතු සාමාජිකයා සමාජයට වගකියන සමාජවාදී ක්‍රමයක්.
 රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්.  සැම කටුරෝදයක්ම වගකීමක් ඇතුව කැරකෙද්දි යාන්ත්‍රණය නිවැරැදිව වෙනවා.  අපි හික්මෙවුණේ බුදුදහමට අනුව.  එහි මූලික න්‍යාය මේ මනුසත්වයාගේ මමංකාරයෙන් මුදවලා සමාජ සත්ත්වයෙක් බවට පත්කිරීම.  මිනිසා සාමාජිකයකු වීම සහ මනුසත්වයා සමාජ සත්ත්වයකු වීම යන ක්‍රියාන්විත දෙකම සුබසාධනවාදී රාජ්‍යයකට හිමිකම් කියන ලක්ෂණ.
 අද අපි අවිධිමත් විවෘත වෙළෙඳ ධනවාදයක ඉඳීමින් ඒ සියල්ල අමතක කරලා.  එත් අපි අපට අයත් ඒ දේවල් පුහුණු කළොත් මේ උවදුරෙන් මිදෙන්න වගේම ඉන් පසු විශාල සමාජ ඥානයකින්,
 විනයකින්,  සාමාජික ධර්මයකින් ලෝකයට මුහුණ දෙන්න පුළුවන් වෙයි.  මේ ව්‍යසනය වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පත්කරගන්න පුළුවන් කියන සුබ සිතිවිල්ලෙන් තමයි මම ඉන්නේ ගෙටවෙලා.
 

 

 

අද සැබෑ ලෝක බලවතා කවුද?

සතිස්චන්ද්‍ර එදිරිසිංහ

 

මාසයක් පුරා අතිශය භයානක හා කනගාටුදායක ලෙස ලෝකය පුරා පැතුරුණු වසංගතය ගැන ලැබෙන තොරතුරු බලද්දි දැනගන්න ලැබෙන දෙයක් තමයි සමහර රටවලට මෙය ඇතුළුවෙලා නැහැ තාම.  විශේෂයෙන් ජපානය.  කුඩා කල සිට ජපන් දරුවන්ට පරිසරය පිළිබඳ දැනුම ලබා දෙනවා.  ජපාන හෝඩිය උගන්වන්නත් පෙර ඒ දරුවන්ට සෞඛ්‍ය තත්ත්වය ගැන අවබෝධය ලබා දෙනවා.  මෙය අපට ඉතාම වැදගත් ආදර්ශයක්.  අනෙක අපේ රටේ හෙළ සංස්කෘතිය සමඟ ගම්බද තිබුණ හොඳ හැදියාව වැඩිහිටියන්ගෙන් අපට ලැබුණා.  අද නිරෝධායනය කියලා දැන්වීමක් අලවනවා.  ඒත් අපේ වසර සියදහස් ගණනකට කලින් කොහොඹ අත්තක් අඹ අත්තක් එල්ලලා ඒ ප‚විඩය දුන්නා.  කහ,  ඉඟුරු,  කොත්තමල්ලි ගැන අද කතාකරනවා.
 අපේ රටේ හැදියාව හා සැකැස්ම,  ඒ කියන්නේ සංස්කෘතිය පරම්පරාගතව දායාද කළ දැනුම,  ප්‍රඥාව නවීන තාක්ෂණය සහ විද්‍යාවෙන් ගිලගෙන අහක දැමූ නිසා මිනිසාගේ චින්තනයේ කඩා වැටීමක් වෙලා තිබෙනවා.


 මේ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වගේම කලාකරුවකු ලෙස මම කම්පනයට පත් නොවුණත් දුකට පත්වෙනවා මිනිසුන්ගේ මේ අකල් විනාශය ගැන.  ඇයි මම විස්සෝප නොවන්නේ@ මම උපතින් බෞද්ධයෙක් වගේම උපතේ සිට මරණය දක්වාම බෞද්ධ දර්ශනය ටික ටික හදාරන කෙනෙක්.  අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුනෙන් තථාගතයන් වහන්සේ මේ සියල්ල කියා නිමයි.  අනෙක බුදු රජාණන් වහන්සේ වැඩ සිටි සියලු‍ම ස්ථාන වනාරාම. පරිසරය,  ගස්කොළන්.  ඔක්සිජන් වායුව අපට ලබාදෙන ප්‍රභවය.
 ලොව පුරා මිනිසුන් පරිසරය විනාශ කළා,  දැන් පරිසරය සූදානම්වෙලා තිබෙනවා තමන්ගේ ආරක්ෂාව සඳහා තමන්ව විනාශ කරන අයට දඬුවම් දෙන්න.  මෙය හැමකෙනෙක්ම අවබෝධ කරගත යුතුයි.


 අද අපේ ආහාර පාන,  ගමන්බිමන්,  සියලු‍දේ ඇණහිටලා තිබෙන්නේ.  එතකොට ලෝකයේ බලවතා කවුද? ඇමෙරිකාවද? ජර්මනියද? රුසියාවද? චීනයද? ඒ අය හදලා තිබෙන මිසයිල,  න්‍යෂ්ටික අවිවල ඇති වැඩේ මොකක්ද@ ඇයි මේ ඇණකොටා ගන්නේ,
 යුද්ධ කරන්නේ@ අද බලවතා වෙලා තිබෙන්නේ අදෘශ්‍යමාන වෛරසයක්.  මේ සත්‍යය ලෝකේ හැම නායකයෙක්ම අවබෝධ කරගත යුතුයි.  ශ්‍රී ලංකාවේ ඉන්න බෞද්ධ දර්ශනය දන්න අය මේ අනිත්‍යතාව ලොව අන් අයට පහදා දිය යුතුයි.
 1958 ලේක්හවුස් සභාපතිව සිටි රණපාල බොධින්නාගොඩ මහත්මයත් එක්ක ජේ. ආර්.  ජයවර්ධන මහත්තයා ජපානයට විමුක්තිය ලබා දෙන්න සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී නහී වේරේන වේරානී කියන බුදුදහමේ එක වාක්‍යයක් කීවා වගේ. මට වාසනාවක් ලැබුණා හොරපාවිට පන්සලේ වැඩ විසූ පිරිත් බලයෙන් බොහෝ ලෙඩ රෝග සුව කළ කපුැවේ සිරි ගුණාලංකාර කියන ඉතාම සිල්වත් භික්ෂූන් වහන්සේ ඇසුරු කරන්න 1980 කාලේ.  උන්වහන්සේ වෙත සිරිගුණාලංකාර බුදු පහන් ක්‍රමය වගේම බුදු වෙද පහන කියලා දේකුත් තිබුණා.  උන්වහන්සේ පසුගිය කාලයේ හා අනාගතයේ වගේම වර්තමානයේ සිදුවන දේවල් පිළිබඳවත් කියා තිබුණා.  ඒවා දැන් ඇස්පනාපිට සිදුවෙමින් පවතිනවා.  ඒ නිසා මට මේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබුණා.

 ගිය වසරේ මම කළ දේශනාවලදිත් මගේ කටින් කියැවුණා 2020 ලෝකයටම ඉතාම නරක වසරක් බව.  සිංහල බෞද්ධයාගේ ආඥා චක්‍රය රතන සූත්‍රය උදේ හවස කියන්න කියලා ගුරු හාමුදුරුවන් දේශනා කළ බව.  කිසිකෙනකු ගණන් ගත්තේ නැහැ.
 හැබැයි දැන් ඒ දේ සිදුවෙනවා.  අපේ අයට රිදෙන්න තමන්නටම වදින්න ඕනෙ.  අනිත් අයට වුණාට මට වෙන්නේ නැහැ කියලා අනුමාන ජීවිතයක් ගත කරන එක තමයි ජාතියක් හැටියට අපේ තිබෙන ලොකුම දුර්වලකම. 

මමත් බිරිඳත් දැන් කාලය ගත කරන්නේ අපේ අසල්වැසියන්,  ඥාති සහෝදර නිවෙස් ආදියේ අය සමඟ ලොකු එකමුතුකමකින් සහජීවනයකින් ආහාරපානාදිය බෙදා හදාගෙන බුද්ධිමත්ව.  මට කියන්න තියෙන්නේ වහින වැස්ස වහිනවාමයි.
 කුඩයක් අරගෙන යද්දි තෙමෙනවා අඩුයි.  කුඩය කියන්නේ දහම.  ප්‍රතිපත්තිමය වශයෙන් එහි යෙදුණොත් අපට සහනයක් ලබාගන්න පුළුවන්.  තමන්ගේ වගේම අනුන්ගේ ජීවිතත් බේරන්න.  මෙය එක්තරා විදිහක භයානක අවස්ථාවක් වුණත්,
 ජාතියක් ලෙස නැඟි සිටින්න අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න හොඳ පරිසරයක් නිර්මාණය වුණු ආශීර්වාදාත්මක අවස්ථාවක්.  අපි ජනාධිපතිතුමා ඇතුළු මේ ක්‍රියාන්විතයේ සිටින සියලු‍ දෙනාට ස්තුතිවන්ත වෙන්නත් ඕනා.
 එකමුතුව,  එක්සිත්ව කටයුතු කරමින් නීතිගරුක,  සදාචාරාත්මක මිනිස්සු විදිහට ජීවත්වෙන්නත් ඕනා.
 

 

සෑම දුකකම ආශීර්වාදයක් තිබෙනවා

ඉන්දිරා ජොන්ක්ලස්

 

මම හිතන්නේ අපේ නායකයන් කියන විදිහට හැසිරුණොත්,  කීකරු වුණොත් මේ ව්‍යසනයෙන් බේරෙන්න පුළුවන්.  අපි ඇමෙරිකාව දිහා බැලු‍වොත් ඒ රට ලොකු නිසාත් එක එක්කෙනාගේ මත වෙනස් නිසාත් අපේ රටේ වගේ ඉක්මන් තීරණ ගන්න අමාරු වෙලා තිබෙනවා.  අපේ ලොකු ජනගහනයක් තිබුණට ලොකුම රටක් නොවන නිසා රටට ගැළපෙන විදිහට වෙලාවට හොඳ තීරණ ගෙන තිබෙනවා.  ඉතින් ජනතාව හැටියට සමාජයට කළ හැකි ලොකුම උදව්ව තමයි කීකරු වීම.  මම ප්‍රාර්ථනා කරන්නේ ඒක.
 එයින් කියන්නේ ආත්මාර්ථකාමීව දොරවල් වහගෙන ඉන්න නෙවෙයි.  ටිකක් වටපිට බලන්න.  අපට ඇස් තිබෙනවා,  අපට දුරකථන තිබෙනවා,  උපකාරක අංක දීලා තිබෙනවා.  අපට දැනෙනවා නම්,  අපි දන්නවා නම් යම් පෙදෙසක හෝ යම් කෙනකුට ආහාර බෙදා දීම වැනි කරුණු නිවැරැදිව සිදු නොවන බව අපට ඒ අංකවලට,  ග්‍රාමසේවකට කතා කරලා ඒ බව දැනුම්දෙන්න පුළුවන්. අපි ගෙවල්වල කොන්වෙලා අසරණ වෙලා නෑනේ. හැමෝටම වගේ අන්තර්ජාල පහසුකම් හෝ දුරකථන තිබෙනවා.  මේ කාලය අපට තනි නොවී ජීවත් වෙන්න ක්‍රම ලැබී තිබීම වාසනාවක්.  ඔබ පවා විද්‍යුත් පුවත්පත පළ කරනවා.  ගෙදර ඉඳගෙන වැඩකරන්න පුළුවන්. ඒවා අප ප්‍රයෝජනයට ගත යුතුයි.

 

මම කිතුණු බැතිමතියක් හැටියට දෙවියන් වහනසේ ගැන,  යාඥාව ගැන මම විශ්වාස කරනවා.  මෙතෙක් කල් අපට තිබුණු කාර්යබහුල ජීවිතය දැන් නැති නිසා ඒ දේවල්වලට වැඩි වැඩියෙන් යොමු වන්න පුළුවන්.  පිටරටක මගේ යාළුවෙකුට කොරෝනා වැලඳීලා නිසා එයා ගැන වගේම මුළු ලෝකේ ගැනම යාඥා කරනවා.  සූම් කියන මෘදුකාංගයෙන් අපි ඊමීටිං තියනවා.  මම ඉස්සර ඉඳන් මැහුම් ගෙතුම් වගේ අත්වැඩවලට කැමති නිසා ඒවා කරන්න,  පුළුවන් තරම් පෝෂ්‍යදායි ආහාර ක්‍රම හොයා ගන්න,  සමහර විට අපේ රාක්කවල හැංගිලා තිබෙන පාවිච්චි නොකළ කෑම එළියට ගෙන අරපිරිමැස්මෙන් භාවිත කරන්න,  ඕන තරම් වෙලාව තිබෙනවා.  ඉතින් මම හිතන්නේ ඕනෙම දෙයක් අපේ යහපතට හරවා ගන්න අපට පුළුවන් අපේ ආකල්ප හොඳ නම්.
 මේ වෙලාවේ දුක්වෙලා,  වැලපිලා වැඩක් නැහැ.  සෑම දුකකමත්,  ලොකුම විපතකත්,  ආශීර්වාදයක් තිබෙනවා.  ඒ වගේ ධනාත්මක ආකල්ප ගොඩ නඟාගෙන හිත හදාගෙන මගේ ජීවිතයට වගේම අන්අයගේ ජීවිතවලටත් යහපතක් වන විදිහට හැසිරෙන්න අපට අවස්ථාව උදාවෙලා තිබෙන්නේ.
 

 

පරතරය තියාගෙන හදවතින් ළංවෙන්න

ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි

 

පෞද්ගලිකව මම මාධ්‍යවේදියකු වගේම ආයතනයේ වගකිවයුතු නිලධාරියකු හැටියට ආරක්ෂිත ක්‍රමවේද ඇතුව රාජකාරී කරනවා ආයතනයට යන එන වාර ගණන අවම කරගනිමින්.  අපිත් ආදර්ශවත් විය යුතු නිසා.  මම අයිටීඑන් ටෙලිවිෂන් ඉස්කෝලේ කියලා අලු‍ත් වැඩසටහනකුත් පටන් ගත්තා ළමයින් ගෙවල්වල නිසා දරුවන්ටත් දෙමාපියන්ටත් ගැලපෙන ආකාරයට සතියේ දින පහේම විකාශය වන පරිදි.  එය බොහොම ජනප්‍රියත් වුණා.  අපෙන් සේවයක් විය යුතුයිනේ සමාජයට.  ඒවගේම මෙවැනි සෞඛ්‍යමය ආපදාවක් ඇති වෙලාවක මහජනතාව දැනුම්වත් කිරීම ඉතාම වැදගත් නිසා මාධ්‍යවලින් බලාපොරොත්තු වන සේවය අප කළ යුතුමයි.  මාධ්‍ය වහලා දාන්න බෑනේ. ඉතින් අටපට්ටම,  දොරමඬලාව වගේම අනෙක් වැඩසටහන් සම්පාදනයට අවශ්‍ය කටයුතු කරද්දි ඒ සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. අමතරව අපේ ැලා දෙන්නාගේ අධ්‍යාපන කටයුතු ආදිය ගැන උනන්දු වෙන නිසා ඒ සඳහාත් යම් කාලයක් ගත වෙනවා.  ඒ අතරම මගේ ආචාර්ය උපාධි නිබන්ධනය පොතක් ලෙස පළ වීම ප්‍රමාද වෙමින් තිබුණා කාර්යබහුලත්වය නිසා.  ඉතින් දැන් ලැබුණු විවේකය ඒ කටයුතු කරගන්න යොදවනවා.

 

මේ වෙලාවේ ඇත්තෙන්ම අත්‍යාවශ්‍ය සේවා ලෙස අපට රාජකාරියට යන්න සිදු වෙලා නිසා මිස ජනතාව ලෙස අප කළ යුත්තේ නාවෙසේ රැා සිටීමයි.  ඒ වගේම අපට අනාගතයේ මුහුණ දෙන්න සිදුවන ආහාර ප්‍රශ්න ආදියට විසඳූම් ලෙස තමන්ට ඇති පොඩි ඉඩකඩක හෝ ආහාරයට ගත හැකි පැළයක් කාබනික පොහොර යොදා සිටුවාගත හැකි නම් හොඳයි.  මෙය අපට පමණක් නොවේ ලොවටම සිදු වුණ දෙයක්.  අපට වඩා ලොකු බලවත් රටවල් පවා අසීරුවට පත් වී තිබෙන අවස්ථාවක්.
 රටේ නීතිය බලාත්මක කර ක්‍රියාත්මක කරන්න වෙලා තිබෙන්නේ අපේම හොඳටයි.  ඉන්දියාවේ එහෙම පහරදීම් පවා සිදුවෙනවා.  ඒ තැනට තාම අපි ආවේ නැහැ.  ටික දෙනකුගේ ආකල්පමය ප්‍රශ්න තිබෙනවා තමයි.
 ඒත් කැප කිරීමක් නැතුව මේවා ජයගන්න බැහැ.  යම් කොනකින් පත්තු වුණොත් අපට දරාගන්න බැරි විදිහට දිගටම ඇදිලා යයි.  ඊළඟ අදියර බොහොම භයානක වෙන්න පුළුවන්. ඔරොත්තු නොදෙන තැනට දේවල් සිදුවුණොත් මේ මෙහෙයුම් අතෑරලා දාන මට්ටමකට වුණත් එන්න පුළුවන්.  ඉතින් මනුස්සකම් ඈත් නොකර ඈත්වෙලා ඉන්න. පරතරය තියාගෙන හදවතින් ළංවෙන්න කියලා සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
 

 

රෝගයෙන් වැලකෙන්න ආත්මාර්ථකාමී වෙන්න

නීටා ප්‍රනාන්දු

 

මෙය දඬුවමක් හෝ කුමක් හෝ ලෝකෙටම මුහුණ දෙන්න වුණා.  හැබැයි ලෝකයේ අනෙක් රටවල් එක්ක සසඳන විට අපි තවමත් වාසනාවන්තයි.  මොකද රජය ගත් පියවර, මේ අවස්ථාවේ ජනාධිපතිතුමා,  හමුදාවන් සියල්ල,  බුද්ධි අංශ,  සෞඛ්‍ය සේවය,
 අනෙක් අත්‍යවශය සේවා තමන්ගේ දිවි පරදුවට තියලා මේ වෛරසය පැතිරීම වළක්වන්න කරන කැපවීම ගැන මගේ තිබෙන්නේ අප්‍රමාණ ගෞරවයක්. ලෝකයේ දියුණු යැයි කියන ආර්ථික,  සෞඛ්‍ය අතින් බලවත් රටවල් අන්ත අසරණ බවට පත්වෙලා තියෙනවා කොහොමද මෙයට මුහුණදෙන්නේ කියලා.  ඒ අතින් අපේ අය දුරදිග බලලා කටයුතු කළා.  ඒ නිසා අපි පුරවැසියන් වශයෙන් කුමන රැකියාවක් කළත් කුමන තරාතිරමකට අයත් වුණත් අන්ත අසරණ යාචකයාගේ සිට රටේ ඉහළම පුද්ගලයා දක්වා මේ රටේ එකම සහෝදර නෑදෑ පිරිසක්. ඉතින් අපි එකතුවෙලා මේ අවස්ථාවේ සහාය දිය යුත්තේ අද දක්වාත් අපි කොහොම හරි කාලා බීලා ගෙදරට වෙලා ඉන්න තරම් වාසනාවන්ත වෙලා ඉන්නේ අනිත් අයගේ කැපකිරීම නිසා.  අපට කොහොම හරි කෑම ලැබෙනවා.  නිදහසේ ඉන්නවා.  ඉතින් අපි කළ යුත්තේ හැංගිලා බොරු කිය කිය ඉන්නේ නැතුව ඇත්ත කියලා අපඅපිවම අමාරුවේ දාගෙන ජාතියක් වශයෙන් අමාරුවේ නොවැටී කටයුතු කරන්න ඕනේ.
 

සමහරු නිරෝධායනය කියන දේට බයයි.  ඒත් මාධ්‍යවලින් හරි දකින්න පුළුවන් නේද ඒ නිරෝධායනය කියන්නේ බිය විය යුතු දෙයක් නොවන බව.  ඔවුන්ට කොයිතරම් හොඳට සැලකුවාද කියන දේ පිටව යන අය කියනවා ඇහෙන්න ඇතිනේ@ ඉතින් අපි හොර වැඩ කරලා,  හොරෙන් පැනලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ.  පළමුවෙන්ම හිතන්න තමන්ගැන.  ඒ වෙනුවෙන් ආත්මාර්ථකාමී වෙන්න කියලා වුණත් මම කියන්න කැමැතියි. අනෙක් අය ගැන හිතන්නේ නැතුව තමන් ගැන හිතුවොත් මුලින්ම මේ ලෙඩෙන් අපහසුවට පත් වන්‌නේ ජීවිත අවදානමක් ගන්නේ තමන්.  ඊට පස්සේ තමන්ගේ පවුලේ අය.  ඒ ආත්මාර්ථකාමී හැඟීමෙන් හරි කමක් නැහැ නිරෝධායන ක්‍රියාවලියට එකතු වෙන්න.  වෙන කිසිම රටක කරන්න බැරි වුණු දෙයක් ඒ නිරෝධායන මධ්‍යස්ථානවල සිදුවෙනවා.  ඒ මධ්‍යස්ථානවල සේවය කරන අයටත් පවුල් තිබෙනවා.  දරුවන් ඉන්නවා.  ඔවුන්‌ ගැන පවා නොතකා අපි වෙනුවෙන් ඒ අය කටයුතු කරන්නේ ගෙවල්වලවත් නොගිහින්.
 

ඉතින් මේ ලැබුණු විවේකය මම විශ්වාස කරන්නේ මේ සොබාදහමට,  විශ්වයට මනුෂ්‍යයන් අතින් වුණු අපරාධයක් නිසා ලැබුණු දෙයක් ලෙසයි.  විශ්වයට අපි ගරු කළේ නැහැ.  මේ විශ්වය මැවූ හෝ පාලනය කරන කවුරුන් හෝ දෙවිවරු හෝ අධිපති හෝ ස්වභාව ධර්මයේ නීතියට ගරු නොකිරීමේ දඬුවම තමයි අද අපි විඳවන්නේ.  මෙයට කළ හැකි හොඳම දේ තමයි අපි නැවත විශ්වයත් සමඟ එකතු වීම.  මම දන්නවා අපේ සමහර දරුපවුල්වල දරුවන්ගේ මුහුණු නොදැක්ක දෙමාපියන් ඉන්නවා.  කාර්යබහුල ජීවිතයක් ගෙවූ පවුල් සාමාජිකයන්ට අද එකතු වෙලා කතා කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා.  මෙතෙකේ කල් හැම අනතුරකින්ම අපි බේරිලා තිබෙනවා.  අපේ මේ රත්තරන් පොළොවේ මොනවා හිටෙව්වත් පැළ වෙනවා. ඒවාට යොමු වෙන්න.  බැරි වුණු පොත් කියවගන්න,
 මැහුම් ගෙතුම් කරගන්න,  තමන් කැමති,  ආසාකරන දේවල යෙදෙමින් නීතිගරුකව නිවෙස්වල ජීවත්වෙන්න.
 

 

නිවෙසේ මෙන්ම හදවතේ කවුළුව විවර කරගන්න මෙය අවස්ථාව කරගන්න

ප්‍රසන්න විතානගේ

 

කෝවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන් සියල්ල ඇණහිටි තත්ත්වයකට පත් කළත් අප කළ යුතු දේ තමයි අපේ විචාර බුද්ධිය සහ මානසික මට්ටම ඇණහිටුවා නොගැනීම. එමඟින් ලෝකය දෙස බැලීම.  ජීවිතේ වැදගත් යැයි සිතූ‌ දේ නොවැදගත් වෙලා,  නොවැදගත් යැයි සිතූ දේ වැදගත් වෙලා නිසා මූලික අවශ්‍යතා සපුරාගෙන ඉන්න වෙලා තිබෙනවා.  තවම බෙහෙතක් සොයාගෙන නැති නිසා සමාජ දුරස්ථීකරණය මඟින් තමනුත් අන් අයත් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න කියලා සමස්ත සමාජයෙන් ඉල්ලා සිටින්න සිදුවෙනවා.

ඉතින් මේ අවස්ථාවේ මගේ අත්දැකීම තමයි මට මෙතෙක් කියවන්නට නොහැකි වුණු පොත් කියවගන්න වෙලාව සපයා දී තිබෙනවා. අහවර කරගන්න බැරි වුණු තිරරචනයක් ලියා නිම කිරන්න වේලාව සපයා දී තිබෙනවා.  කවුරුන් හෝ මානසික පීඩනයට පත් වෙලා නම් පෙර ගිය ගමන් බිමන් යා නොහැකියි කියා කණගාටුවෙන් හෝ ඒ අයට කියන්නට තිබෙන්නේ මෙය අහවල් දින කෙලවර වෙයි කියා කියන්න බැහැ. තම මානසිකත්වය වර්ධනය කරගත යුත්තේ එයට ඔරොත්තු දීම සඳහායි. අනෙක කවුරුන් හෝ හිතනවා නම් මම ශක්තිවන්තයි මට මේ වසංගතය හැදෙන්නේ නැහැ, මගේ විශ්වාසය නිසා හැදෙන්නේ නැහැ කියලා,  එය මිථ්‍යාවක් බව මේ වනවිට ලෝකයම පසක් කරගෙන තිබෙනවා.  ඒ නිසා හැකි සියලු‍ම ආකාරවලින් තමන්ගේ නිවෙස්වලට වී සිටීම අත්‍යාවශයයි.  හැබැයි තමන්ගේ පීඩනය තව කෙනෙකුට පෑමේ අපේ වගේ රටවල ස්වභාවය මේ අවස්ථාවේ කරන්න එපා.  සමාජ මාධ්‍යවල තිබෙන තොරතුරු අනවශ්‍ය ලෙස විශ්වාස කරන්නත එපා.  මොකද නිරන්තරයෙන් ඒවාට යොමු වීම සහ අතිශයෝක්තියෙන් කියන සමහර තොරතුරු නිසා මානසික තත්ත්වය දුර්වල වෙන්න හේතු වෙන්න පුළුවන්.  මේ වෙලාව භාවිත කළ යුත්තේ තමන්ට මෙතෙක් කියවන්නට බැරි වුණ පොතපත කියවන්න,  සාත්තු කරගන්න බැරිවුණු ගහකට කොළකට සාත්තු කරන්න.
 අපේ පරිසරය බැලීමට පොළඹවා තිබෙන අවස්ථාවක ඉර නඟින බහින හැටි පවා වටිනාකමකින් යුතුව දකින්න අපට අවස්ථාව ලබා දී තිබෙනවා.  ස්වභාව ධර්මය විසින් මේ සියල්ල මෙහෙයවන බව සහ ජීවිත ධර්මය නිවෙසේ සිට තේරුම් ගන්න.
 ඒ සඳහා නිවෙසේ කවුළුව වගේම හදවතේ කවුළුව විවර කරගන්න මෙය අවස්ථාව කරගත්තොත් මේ තත්ත්වය පහව ගිය පසු අපි වඩා හොඳ මිනිසුන් වී ඉාවි.
 

 

 

මෙතෙක් වුණු වැරැදි හදාගත්තොත් ප්‍රගතියක් අත්වෙයි

චාන්දනී සෙනෙවිරත්න

 

සොබාදහම කොතරම් අපට වැදගත්ද කියලා කට කැඩෙනකල් කීවත් අපේ ජීවිත සමඟ එය එකතු කරගන්නේ කොහොමද කියන දේ ගැන සංවේදී වුණේ නැහැනේ ලෝකේම මිනිස්සු. බුදු දහමත් එහෙමයි.   අනෙක අපේ බොහෝ දෙනෙක් හිතන්නේ මේ හානිදායක දේවල් මට වෙන්නෙ නැහැ අනෙක් කෙනාට තමයි වුණොත් වෙන්නේ කියලා.  මම පිරිසුදුයි කියලා.  ඒ මානසිකත්වය ලොකුම ප්‍රශ්නය.  අපි හැමෝටම කවදා හෝ ඇස්ලෙඩ වැනි බෝවන රෝග හැදිලා තිබෙනවානේ.  ඒ වෙලාවෙදි අපි දෑත් සෝදා පරෙස්සම් වෙන්නේ නැද්ද@ මේ පොඩි දේ තේරුම් නොගෙන ආගම සිහි කරන්න හෝ වෙන යම් දේකට එක්රැස් වෙන්නේ නැතුව ගෙවල්දොරවල්වල ඉඳන් ඒ දේවල් කරන්න බැරිද? ඇත්තෙන්ම අපට ලෝකෙම හදන්න බැහැ.
 හැබැයි තමන් හැදෙන්න පුළුවන්නේ.  ඒ ටික තමයි හැම දේටම නැත්තේ.
 

සමාජය මුලින්ම කළ යුත්තේ තමන් මෙතෙක් කල් කළ දේවල් ගැන මෙනෙහි කිරිමයි.  තමන්ගේ බඩක‌ට පුරවාගැනීම ඇරුණාම අපෙන් සමාජයට වුණේ මොනවාද? අපි ගහට කොළට, මිනිසෙකුට,  සතකුට යම් හානියක් කර තිබෙනවාද කියලා හිතා බලලා යම් වැරැද්දක් වෙලා තිබෙනවා නම් එය යළි නොවෙන විදිහට නිවැරැදි කරගන්න පුළුවන් නම් එයින් ලොකුම ප්‍රගතියක් ලබන්න පුළුවන්.  ඒ ඇරුණාම අපට හොඳ දේවල් බලන්න කියවන්න කීවට ඒ හොඳ දේ කියන දෙය අපට මේ වෙලාවේ තේරුම් කර දෙන්න අමාරුයි.  එය තෙරෙන පිරිසක් ඉන්නවා වගේම නොතේරෙන පිරිසකුත් ඉන්නවා.  ඉතින් වඩා ඵලදායී අයුරින් ගහක් කොළක් සිටුවීම වගේම මේ වෙලාවේ අපේ ආහාරයක් නිෂ්පාදනය නොකළොත් මොකද වෙන්නේ කියලා හිතන එක.
 මට මතකයි අපි පොඩි කාලේ මට මතකයි සලාක ක්‍රමයට පාංගන්න පෝලිමේ හිටියා. ඒ කාලේ අපේ නිවෙස්වල පොඩි ඉඩක හරි බතල,  මඤ්ඤොක්කා පැළයක් හිටෙව්වා.  කෙනෙක් කියයි අපට ඉඩ නැහැ කියලා.  හැබැයි ඒවාටත් ක්‍රම දැන් යූ ටියුබය බැලු‍වොත් ඕනෑතරම් තිබෙනවා. සමහරු යූ ටියුබයේ ගොසිප් බලන වෙලාවේ තම තමන් වෙනුවෙන් ආහාරයක් නිපදවන්න පුළුවන් විදිහට හැඩ ගැහුණේ නැත්නම් ඉදිරියේ ලෝකයේම එන ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපහසු වෙයි.
 

 

 

නාස්තිය අවම කරන්න වැඩිපුර දේ බෙදාහදාගන්න

දුලීකා මාරපන

 

මේ දේ මෙහෙම වෙයි කියලා අපි ඇතුළු පරිසරවේදීන් කට කැඩෙනකල් කීවා.  ඒ නිසා අනෙකාගේ වත්ත පිටිය ගැන හොයනවාට වඩා තමන් වෙනුවෙන් තමන්ට එළවළුවක් පළතුරක් හිටවාගන්න කියලා කිව්වා. ඒවාට රසායනික පොහොර යොදන්නේ නැතුව වවන්න.  ඒකට දැන් නිවාඩුව ලැබිලා තිබෙනවා.  දැන් කවුරුහරි කියනවා නම් ඒකට අපට බීජ කොහෙන්ද කියලා.  ගෙදරට ගන්න වට්ටක්කා,  කැකිරි ගෙඩිවල ඇටටික පැළ කරන්න.  පළා මිටියේ අගිසි කපලා හිටවන්න.  ඒවා අමුතුවෙන් සල්ලි දීලා ගන්න ඕනෙ නැහැ.  හිතන්න විතරයි තිබෙන්නේ.  ඊළඟට අපට කොරෝනාවලට වඩා ලොකු ප්‍රශ්න එන්න පුළුවන්.  මම මේ ඉඟියක් දෙන්නේ. මේ ගතකරන කාලය තව දීර්ඝ වෙන්න පුළුවන්. තවත් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා එතකොට. ඒකට තමයි අරපිරිමැස්ම කියන දේ අපේ අම්මලා ආච්චිලා අපට ඉගැන්නුවේ. මම ඇතුළුව අපි හැමෝම කොතරම් දේවල් විසි කරනවාද? බත් වැඩිපුර උයනවා.


 ශීතකරණයේ තියලා කන්න බැහැ කියනවා.  බෙහෙතේ දාපු ආහාර ඉක්මනින් නරක් වෙනවා.  ඒ නිසා අපට අවශ්‍ය තරම් පමණක් උයන්න.  අහකදාන්න එපා. මේ අවස්ථාව දීලා තිබෙන්නේ අපට සියල්ල ගැන හිතන්න.  පරිසරය, වසවිසෙන් තොර ආහාර,  සෞඛ්‍ය,  අපේ දරුවන්,  පවුල, බුද්ධිය වර්ධනය කරගන්න අවශ්‍ය දේවල් හිතන්න,  පවුලේ අය සමඟ ආදරය කරන්න,  අවස්ථාව දීලා තිබෙනවා. කොරෝනා එක්ක අප ඉගෙන ගත්ත දේ තමයි අතේ කොපමණ මුදල් තිබුණත් වැඩක් නැති බව.  සල්ලි නැහැ කියලා විනාශ වෙලා යන්නේත් නැහැ.  කොහොම හරි පැවැත්ම හදාගත්තොත් ජීවත්වෙන්න පුළුවන්.
 

මේ තත්ත්වය අපට සැරින් සැරේ එන්න පුළුවන්.  ඒ නිසා සොබාදහම වෙත අපි තව තව නැඹුරු විය යුතුයි.  මට වැඩිපුර තිබෙන දේ තව කෙනෙකු සමඟ බෙදාහදා ගත යුතුයි.  ඇස් ඇර වටපිට බැලු‍වාම ආර්ථික දුෂ්කරතා තිබෙන අය පෙනෙයි.  ඒ අයට උදව්වක් කරන්න.  අර විසිකරන,  අහක දාන ප්‍රමාණය ගැන හිතලා දෙයක් බෙදාගන්න.  සොබාදහම විසින් මතක් කරලා දීලා තිබෙනවා උඹලා මේ යන ගමන වැරැදියි,  ආත්මාර්ථකාමීයි,  කුහකයි.  දැන්වත් ඒ ගැන හිතපල්ලා කියලා දරුණුම දඬුවමක් දීලා තිබෙන්නේ.
 හොඳම උදාහරණය මුහුණු පොත.  නරක විදිහට මිනිසුන් එකිනෙකාට තිත්ත කුණුහරුපෙන් බැණ අඬගහ ගන්නවා. මේවා කතා කරද්දි මගෙන් දේශපාලනය මොකක්ද අහනවා සමහරු. සොබා දහම වෙනුවෙන් මිනිසුන්ගේ බඩගින්න වෙනුවෙන් සටන් කරන එක දේශපාලනයක් තමයි. හැබැයි මගේ දේශපාලනය පක්ෂ පාටවලට කොටු වුණු පටු අරමුණුවලට බැඳූණු එකක් නෙවෙයි. මේ රටේ සාමාන්‍ය මනුෂ්‍යයා වෙනුවෙන් මගෙන් ඉටු විය යුතු යුතුකම ඉටු කිරීම විතරයි.  ඒක මට ඡන්දෙ හිඟලා ඒ ඡන්දෙ දෙන අය වෙනුවෙන් කරන දේකුත් නෙවෙයි.

 

අපේ ගෙවල්වල කබඩ් අල්මාරි අස්සේ කොච්චර දේවල් තියෙනවාද@ හැබැයි මම ගියා යුරෝපයේ ඉතාම ධනවත් රටක් වන එල්ස්තෝනියාවට.  එහි ගෙවල්වල අල්මාරි නැහැ. ඒ අය කියන්නේ අනවශ්‍ය දේවල් රැස් වෙනවා ඒවා තිබුණාම කියලා.
 ලොකු මන්දිරවලවත් අනවශ්‍ය භාණ්ඩ නැහැ.  ඒ අයගේ ගෙවල් පිරිලා නැහැ ඔළු පිරිලා. හැබැයි අපේ ගෙවල් පිරිලා ඔළු හිස්.  මේ ලැබුණු අවස්ථාව යොදාගෙන අපේ ආකල්ප වර්ධනය කරගන්න පුළුවන් නම් කොරෝනා වැනි අවස්ථාවලට අපට ඉදිරියේදී යෙදෙන එකක් නැහැ. ඒ වගේම හැමදේම කඩෙන් ගන්න ඉන්නේ නැතුව පුළු පුළුවන් විදිහට පුංචියට හරි තමන්ගේ දෙයක් වවාගන්න.

Add new comment