ගිය පාස්කුවත් දුකින් මේ පාස්කුවෙත් දුකින්

-ක්ලීටස් මෙන්ඩිස්
අප්‍රේල් 16, 2020

කොරෝනා කියන්නේ වෙනම ප‍්‍රශ්නයක්.අර සතුර ඇහැට පේනවා.මේ සතුරා පේන්නේ නැහැ.නොපෙනෙන සතුරෙකු එක්කයි මේ අපි සටන් වදිමින් ඉන්නේ.

ඉකුත් වසරේදී කතෝලිකයන්ට පාස්කු මංගල්‍යය සමරන්නට හැකියාව ලැබුණේ නැහැ.ඒ රුදුරු අන්තවාදීන්ගේ බෝම්බ ප‍්‍රහාරය නිසා.මෙම පාස්කුවද ඊට දෙවනි නැහැ.කොරෝනා වසංගතය නිසා කාටවත් නිවසින් එළියට යන්න නොහැකි වෙලා.ප‍්‍රවීණ කලාකරු ක්ලීටස් මෙන්ඩිස්ටත් මේ තත්ත්වය පොදුයි.කතෝලික කලාකරුවකු වන ඔහු මේ පාස්කුවේද හිටියේ කනස්සල්ලෙන්.සමාජ සේවකයකු හැටියටද ප‍්‍රකට ක්ලීටස් පාස්කු දින ප‍්‍රහාරයෙන් පසුව අවතැන්වූවන්ට සහන දීම වෙනුවෙන් පෙරමුණ ගත්තා.මේ සැරේ එහෙම කරන්නත් බැහැනේ.ඒ අතරේ ඔහු සරසවිය හා මෙසේ එක්වෙමින් පුංචි කතා බහක නියැලූ‍ණා.

ක්ලීටස් අයියේ,ගිය පාස්කුව වගේම මේ පාස්කුවෙත් අපි කම්පනයෙන් ඉන්නේ?

ඒක ඇත්ත.බෝම්බ ප‍්‍රහාරය නිසා ජීවිත ගණනාවක් අහිමි වුණා.තවමත් ඒ කම්පනය අපේ සිත් වල තියනවානේ.කොරෝනා කියන්නේ වෙනම ප‍්‍රශ්නයක්.අර සතුර ඇහැට පේනවා.මේ සතුරා පේන්නේ නැහැ.නොපෙනෙන සතුරෙකු එක්කයි මේ අපි සටන් වදිමින් ඉන්නේ.නීතියට ගරු කරමින් මේ පාස්කුවත් ගෙදර ගතකළා. නිවසේ ගතකරන කාලය ගැන මොකද කියන්න තියෙන්නේ?මගේ කාර් එක ගරාජ් එකේ පාක් කළා කළාමයි මාසයක් තිස්සේ එතන.මම හිතන්නේ මම මේ වැඩිම කාලයක් ගෙදර හිටියාමද කොහෙද.එහෙම වුණා කියලා සතුටු වෙන්න පුළුවන් කමක් නැහැනැ.ඒ පැත්තෙන් එහෙම හිතුණට යම් යම් දේවල් නිසා හිතට තෘප්තියක් දැනෙනවා.නෝනට උදවු කළා.මුකුණුවැන්න,ගොටුකොළ ගස්ලබු ආදිය වගා කළා.වගා කරපු බෝග උයලා කෑවා.ඒක මගේ ජීවතයේ ලබපු වෙනස්ම සතුටක්.

මා දන්නා පරිදි,පාස්කු ප‍්‍රහාරයට ලක්වූවන්ට ඔබ මේ පාස්කුවේදි යම් සහන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්න හිටියා?

ඔව්.ඒ වෙනුවෙන් විශාල පිරිසක් ලැහැස්ති වෙලා හිටියා මාත් එක්ක ඔවුනට උදව් කරන්න.මේ තත්ත්වය එක්ක මුකුත් කරගන්න බැහැනේ.හැබැයි මේ වෙලාවේ මට නිකම් ඉන්නත් බැහැනේ.මේ පළාතේ ඒ කිව්වේ මීගමුව අවට ඉන්න උදව් අවශ්‍ය,විශේෂයෙන් කලාකරුවන්ගේ නම් යැව්වා අදාළ තැන් වලට.එතකොටවත් ඒ අයට සහනයක් ලැබේවිනේ.

ක්ලීටස් අයියාගේ දුකසැප හොයන්න බොහෝදෙනෙක් කතා කරනවා ඇති?

අනේ ඔව්.ගොඩාක් දෙනා කතා කරනවා.මේ වෙලාවේ අපේ යාළු මිත‍්‍ර සබඳකම් තියා ගන්න පුළුවන් චයදබැ එකෙන් විතරනේ.මමත් එහෙම කතා කළා.

ප‍්‍රවීණ කලාකරුවකු විදිහට ඔබට මේ වෙලාවේ කියන්න විශේෂ තව මොනවා හරි තියනවද?

ඔව්.මගේ වයසත් එක්ක අපි වගේ උදවිය මේ රටේ වෙච්ච විශාල පෙරළි දැක්කා.දේශපාලන වේවා ස්වාභාවික දේවල් හෝ වේවා අපි ඒවා අත්වින්දා.ඇතැම් අවස්තාවලදී කලකිරෙනවා.ඒත් මානසිකව නොවැටි අපි හිටියා.මේකත් එවැනි තත්ත්වයක්.අප වගේ පුංච් රටවල්වලට නැගිටින්නට ඉඩ නොදුන ලෝක බලවතුන්ට මොකද වෙලා තියෙන්නේ අද.කෙසේ හෝ අපේ රටේ තවම මනුස්සකම ඉතිරි වෙලා තියනවා.මෙහෙම්මම මේ වසංගතයත් ජයගමු.අපිට වැඩිය දේවල් නැහැනේ කරන්න.ගෙදරට වෙලා ඉන්න විතරයි තියෙන්නේ.අඩුම තරමේ ඒකවත් කරමු.

Add new comment