අපිත් කිරට අඬනා ළමයින් අම්මේ

අප්‍රේල් 23, 2020

චිත‍්‍රපට ප‍්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති

අනුරාධ බී රැකව

ඉකුත් මාර්තු මස විසිතුන් වැනිදා සිට මෙරට සිනමාශාලා තාවකාලිකව වසා දැමීය. කොරෝනා වසංගතය පැතිරයාම අවම කිරීමේ අරමුණින් මිනිසුන් එක්රැුස් වන එවැනි ස්ථානවලට එසේ දොරගුළු වැටිණ. සිනමාශාලා යනු හුදෙක් ගේට්ටුවට ඉබ්බා දමා අයිතිකරුට ගෙදරට වී සිටිය හැකි තැනක් නොවේ. පේ‍්‍රක්ෂකයන් ආවත් නැතත්, සිනමාශාලා වසා තිබුණත් ඒවා නඩත්තු කළ යුතු වන්නේය.එහෙයින් වර්තමාන තත්ත්වය මත සිනමාශාලා හිමියෝ මහත්වූ අසීරුතාවයට පත්ව සිටිති. ඔවුන්ට යම්කිසි සහනයක් තියනවාද, සිනමාශාලා වෙනුවෙන් වගකිවයුතු පාර්ශවයන්ගේ ඇස යොමුවෙලාද කියා දැනගන්නට අපිට අවැසි විය.ඒ කලාවේ අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් තරාතිරමක් නොබලා සරසවිය නිරන්තරයෙන් පෙනීසිටින නිසාවෙනි. අනුරාධ බී.රැුකව මේ සඳහා සුදුසුම පුද්ගලයාය. චිත‍්‍රපට ප‍්‍රදර්ශකයන්ගේ සංගමයේ වත්මන් සභාපතිවරයා ඔහුය.

 

මතුපිටින් නිකම් වහලා දාලා කියලා පෙනුණට සිනමාශාලා එහෙම තියන්න බැහැ?

 

ඔව්.සිනමාව කියන්නේ සමාජයට විනෝදාස්වාදය සපයන ප‍්‍රධාන මාධ්‍යක්. මේ වගේ ව්‍යසනයකදී මුලින්ම වහන්නේත් ඒවගේ තැන්. ඒ තීරණවලට අපිට හිසනමා ගරු කරන්න වෙනවා. නමුත් සිනමාශාලා එහෙම වහලා තියන්න බැහැ. අපේ බොහෝ ශාලා වල තියෙන්නේe හෝ d ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර. ඒවා දවස් දෙකෙන් දෙකට පණ ගන්වන්න ඕනේ.sound system එක වුණත් එහෙමයි. machine නිකම් on කරන්න බැහැනේ, ඒවට සේවකයෝ කැඳවන්න ඕනේ. ඔවුන්ට ගෙවන්න එපායැ. එහෙම මාසෙට පහළොස් වතාවක් විතර කරපුවාම සැලකිවයුතු විදුලි බිලක් එනවා. ශාලා වහලා තිබුණට මේ තත්ත්වය මත ශාලා විවෘත කරලා තිබුණු කාලෙ වියදම් වලින් සියයට පනහක් විතර මේ සඳහා වැය වෙනවා.

මේ බව ඔබ කණ්ඩායම චිත‍්‍රපට සංස්ථාවට දන්වන්න ඇති කියලා හිතනවා?

 

අපි කිව්වා. සංසථාවෙන් හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. චිත‍්‍රපට බෙදා හරින මණ්ඩල, ඒ කියන්නේ ඊ.ඒ.පී, සී.ඊ.එල්. වගේ ඒවා තමන්ගේ මණ්ඩලයට අයත් චිත‍්‍රපටශාලාවල පෙන්වන චිත‍්‍රපටවල ආදායමෙන් සියයට දහයක් ඒ මණ්ඩලයට යනවා. ඒ මුදල ශාලාවලට බෙදා හරින්න කියලා උපදෙස් දුන්නා. සංසථාවට අයිති රිත්මා මණ්ඩලයේ ශාලාවලින් තමයි ඒ වැඩපිළිවෙල පටන් ගත්තේ. ඊ.ඒ.පී.එකත් එයාලගේ ශාලාවලට දුන්නා. ඒ වගේම රුපියල් පනස්දහසක මුදලක් සෑම hall එකකටම දෙන්න plan කරලා තියනවා. තනි අයිතිකරුවන් සිටින ශාලාවලට ඒක සහනයක් වේවී.

 

රජයෙන් මේ වෙලාවේ මොනවගේ දෙයක්ද බලාපොරොත්තු වන්නේ?

 

ඇත්තටම අපි විෂය භාර අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළා. මම ඒකේ තියෙන කරුණු මොනවද කියලා කියන්නම්. පහුගිය මාසෙම ශාලා ලොස්ට්. මේ තත්ත්වයෙන් ගොඩ එන්න යම්කිසි ණය මුදලක් ඕනේ. ඒක අඩු පොළියකට ලැබෙනවා නම් ගොඩක් පහසු වේවි. ශාලා දැනට විනෝද බද්දක් ගෙවනවා. ඒක තාවකාලිකව හෝ අත්හිටවිය යුතුයි. ඒ වගේම ශාලාවල විදුලි බිල කර්මාන්ත ශාලා විදුලි බිලේ නිර්ණායක මත හැදෙනවානම් හොඳයි. බෙදා හැරීමේ මණ්ඩලවලට ශාලාවලින් ගෙවන සියයට දහය සියයට තුන දක්වා අඩු කරනවානම් චිත‍්‍රපටයක නිෂ්පාදකට ලොකු ලාභයක් ගන්න පුළුවන්. එතකොට නිෂ්පාදකවරු එන්නත් පෙළඹේවි. යළි කවදා හෝ චිත‍්‍රපට ශාලා ඇරෙන දවසට මේ කරුණු ඉටු වුණොත් ශාලා හිමියන්ට ලොකු සහනයක් වේවි.

 

මේ වගේ ව්‍යසනයකදී සිනමාවට එල්ල වන බලපෑම වැඩියි නේද?

 

ඉකුත් වසරේ පාස්කු දින ප‍්‍රහාරයෙන් පසු අපේ රටේ සිනමාව බොහොම පහළ තැනකට වැටුණා. ප්රේක්ෂකයෝ අඩු වුණා. යන්තම් දෙසැම්බර් ජනවාරි වෙද්දි තමා හිස උස්සාගෙන ආවේ. එතකොටම කොරෝනා. යළිත් අගාධයට වැටුණා. සිනමාව කියන්නේ රටක විනෝදාස්වාදයේ ප‍්‍රධානම මාධ්‍යක්. මේ තත්ත්වයෙන් පසුව වුණත් මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන්න සිනමාව උදව් වේවි. නමුත් මම දන්නේ නෑ මොනවගේ සෞඛ්‍යාරක්ෂිත නීති යටතේ ශාලා විවෘත වේවිද කියලා. මේකෙන් බොහෝ දෙනෙක් යැපෙනවා. එක් ශාලවක අඩුම තරමේ සේවකයෝ පහක්වත් ඉන්නවා. මේ ගැන අවධානය යොමුවිය යුතුයි.

Add new comment