තේජානි මාස දෙකකින් ගෙදර ගියේ නෑ

අප්‍රේල් 30, 2020

පාලුව කාන්සිය මගහරවා ගැනීමට ගුවන් විදුලියට සවන්දීමේ පුරුද්දක් අප අතරේ තිබේ.වෙනත් මාධ්‍යන් පැමිණුනද ගුවන්විදුලිය අත්නොහැරිය පිරිස බොහෝය.මේ දිනවලදී ඒ තත්ත්වය නිසැකවම වැඩිවී තිබේ.එසේ අසන්නන්ගේ මනදොළ සපිරවීම උදෙසා ගුවන්විදුලි නිවේදක නිවේදිකාවෝ නිවාඩු නොතකා සේවයේ නියැලෙති.තේජානි විජේසිංහද එවන් තැනැත්තියකි.ගුවන්විදුලියේ සිටි නාලිකාව සවන් දෙන අයෙක්නම් ඇගේ හඬ ඔබට නුහුරු නැත.එමෙන්ම ජාතික රූපවාහිනිය ඔස්සේද තේජානිගේ සුරූපි රුව දැකිය හැකිය.මේ රාජකාරි දිවිය හේතුවෙන් ඇය මාස දෙකකට ආසන්න කාලයක් ගෙදර ගිහින්ද නැත.

තේජානී,ගුවන්විදුලියෙ සහ රූපවාහිනිය අතරේ ගෙවන ජීවිතය කොහොමද ඔබට දැනෙන්නේ?

එක අතකින් ඉතාම සතුටුයි මේ අන්දමේ රාජකාරියක් කිරීම සම්බන්ධව.අපේ සේවය අත්‍යවශ්‍ය එකක්නේ.මේ වෙලාවේ මිනිස්සු විනෝදාස්වාදය සපයන මාධ්‍යවලට විශේෂයෙන් ගුවන්විදුලි මාධ්‍යට සමීප වෙලා තියනවා.ඉතින් එවැනි සේවාවක ඉඳගෙන රටට සෘජුවම සේවයක් කරන්නට ලැබීම වාසනාවක්.හැබැයි රටේ පවතින තත්ත්වය ගැන දුකකින් ඉන්නේ.

මාස දෙකකින් විතර ගෙදර ගිහින් නෑ කිව්වා?

ඔව් දිගටම වැඩනේ.ඒක නිසා අපිට පදනම් ආයතනයේ නවාතැන් පහසුකම් ලැබුණා.ලෙහෙසියිනේ එන්න යන්න.

මේ දවස්වල staff එකත් අඩු ඇති?

නිෂ්පාදන අංශය පමණයි වැඩට එන්නේ.අපි හතර දෙනෙක් එක්ක තමයි සිටි නාලිකාවේ වැඩකටයුතු වෙන්නේ.වෙනදා දොලහක් විතර හිටියා.අපි ටික තමයි හැමදෙයක්ම කරන්නේ.වෙනදට වඩා alert එකේ ඉන්න වෙලා තියනවා.වෙනදා වගේ එළියට ගිහින් ඇවිදින්න බැහැ.

මේ රාජකාරි තත්ත්වය නිසා අමතක නොවන අත්දැකීම් වලටත් මුහුණ දෙන්න ඇති?

ඔව්.එක්කෙනෙක් එනකම් අපිට studio එකෙන් නැගිටින්න බැහැනේ.එකෙම වුණාම දිගටම රැඳී සිටින්න වෙනවා.එහෙම බඩගින්නෙම හිටපු වෙලාවල් ඕනතරම් තියනවා.සමහර දිනවල උදේ කෑම කෑවට පස්සේ කෙලින්ම රෑ කෑම තමා.එහෙම දේවල් අස්සේ මෙහෙම දේවලුත් වෙනවා.අපි උදේ ඉඳලම ලැහැස්ති වෙලා මැදිරියට යන්න ඔන්න මෙන්න තියලා news alert එනවා රටේ අලුත්ම තත්ත්වය ගැන ඉතින් program එක වෙනස් කරන්න වෙනවා.කොච්චර මහන්සි වුණත් වැඩක් නෑ.

තේජානි සේවයට වාර්තා කරන්නේ කීයටද?

පාන්දර හතරට විතර එනවා සතියේ දවස්වල.හැමදාම මම උදේ හයහාමාරේ ඉඳලා නවය වෙනකම් ජීවිතය pretty කියලා program එකක් කරනවානේ.රූපවාහිනියෙත් කාලීන වැඩසටහන් වලට දායක වෙනවා.

මේ විදිහට වැඩකරන්න පුළුවන් වුණේ තේජානි තනිකඩ නිසාද?

ඒකත් වෙන්න පුළුවන්.මොකද මම කසාද බැඳලා හිටියානම් මේවගේ මට වැඩ කරන්න වෙන්නේ නැහැ.

ඔබ විවාහය පමාකරන්නෙත් නිවේදන වෘත්තියෙන් වැඩිදුර යන්න බැරි වේවි කියලද?

අපෝ නැහැ.ඒක විවාහය පමා වෙන්න හේතුවක් නෙවෙයි.