ඒ මේකප් ආර්ටිස්ට්ට මම කිසිම බලපෑමක් කළේ නැහැ

තණමල්විල කොල්ලෙක්‍ හි දම්මි - කසුනි කාවින්දි
ජූලි 2, 2020

රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට තම කලා ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන චරිත තිබෙනවා.එතැන් පටන් ඔවුනගේ කලා ගමනට එක්වන්නේ නවමු ආලෝකයක්.ඇතැම් විට ඔහුගේ හෝ ඇයගේ ඇත්ත නමට වඩා මිනිස්සුන්ට මතක ඒ චරිතයේ නම. ඒවාට ඕනෑ තරම් උදාහරණ අප කලා ලෝකය තුළ තිබෙනවා. කසුනි කාවින්දි නැමැති සුරූපී යොවුන් රංගන ශිල්පිනියටත් තම කලා ජීවිතයේ සංධිස්ථානයක් වන චරිතයක් ලැබුණා. ඒ තණමල්විල කොල්ලෙක්‍ නාට්‍යයේ. එහි ඇගේ චරිතය දම්මි. තව තවත් හඳුන්වාදීම් අවශ්‍ය නැහැ. තණමල්විල කොල්ලෙක්‍ නැරඹූ ඔබ ඉතාමත් හොඳීන් මේ දම්මිව දන්නවා. කසුනි අද සරසවියට ආවා. දම්මිව හිතේ තියාගෙනමයි කතාව ඉදිරියට ගෙන ගියේ.

තණමල්විල කොල්ලෙක්‍ නාට්‍යයට කතා කරද්දි දම්මි ඔබේ කලා ජීවිතයට මෙතරම් බලපෑමක් කරයි කියලා හිතුණද?

ඇත්තටම එහෙම හිතුණේම නැහැ. සමහර චරිත දැනෙන්න පටන් ගන්නේ දර්ශනතලයට ගියාම.තණමල්විල කොල්ලෙක්‍ පිටපත කියෙව්වාම මට හිතට නැඟුණ කාරණයක් තමයි දම්මි කියන්නේ මට අභියෝගයක් කියන එක. මේ වගේ චරිතයක් මට මීට කලින් ලැබිලා නැහැ. පොඩි නෙවෙයි ලොකු තිගැස්මක් තිබ්බා අධ්‍යක්ෂවරයා කොහොම මගෙ රංගනය පිළිගනීද කියලා.

ඔබ නිතර දකින්නට ලැබෙන නිළියක් නෙවෙයි?

ඔව්. මම චරිත රඟපාන්නේ තෝරා බේරාගෙන.

වර්තමානයේ එහෙම චරිත තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන්න පුළුවන්ද?

එහෙම කරන්න අමාරුයි තමයි. ඒත් මට දැනෙන්නේ නැති චරිතයක් බාරගන්න හිත හදාගන්න අමාරුයි. ජීවත් වෙන්න සල්ලී ඕනේ තමයි. එහෙම වුණා කියලා හිතට එකඟ නැති නිර්මාණවලට දායක වන්න මට බැහැ.

ඔබ වෙනත් වෘත්තීයක නියැළෙන ගමන්ද රඟපාන්නේ?

නැහැ. රංගනය සහ හඬ කැවීම තමයි මගේ වෘත්තීය.

මේ දෙකෙන් මොන වෘත්තියෙන්ද ඔබට මුදල් වැඩිපුරම ලැබෙන්නේ?

ඉක්මනින් මුදල් අතට ගලා එන්නේ හඬ කැවීමෙන්.නාට්‍ය රඟපාන කොට මුදල් කොටස් වශයෙන්නේ ලැබෙන්නේ. සමහරවිට ගොඩක් කල්‍ යනවා. ෂෙඩුල් එකක් ඉවර වෙන්නම ඕනේ ෆුල් පේමන්ට් එකක් ලැබෙන්න. හඬ කැවීම එහෙම නැහැ.

තණමල්විල කොල්ලෙක්‍ දම්මි නිසා ඔබේ සම අව පැහැගන්වන්න සිද්ද වුණා. සමහර නිළියන් කැමැති නැහැ ඩාර්ක් මේකප් එකක් පාවිච්චි කරලා කැමරාව ඉදිරියට එන්න?

එහෙම තමන්ගේ චරිතයට ගැළපෙන මේකප් එකක් කරන්න අකැමැති නම් ඇයි නිළියෝ වෙන්නේ. නිළියක් කියන්නේ හම සුදු චරිත කරන අයම නෙවෙයිනේ. දම්මි වෙනුවෙන් මගේ ස්කින් ටෝන් එක හුඟක් බැස්සූවා. මට ඒක කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම මේකප් ආර්ටිස්ට කිසිම බලපෑමක් කළේ නැහැ. එහෙම කරන්නත් බැහැනේ. කතාව ගලා යන්නේ කාෂ්ටක ගම්මනයක. ඒකේ මිනිස්සූන්ගේ හම  අව්වට පිච්චිලා තියෙන්නේ. දම්මිත් ඒ ගමේ කෙනෙක්. නිළියක් වුණාම තමන්ට ලැබෙන චරිතයට අනුගත වෙන්න ඕනේ. නැත්නම් රංගන ශිල්පිනියක් වෙන්න බැහැනේ.