පුළුවන් නම් තාත්තාගේ සින්දු කියලා පෙන්වන්න

- සුනෙත් වල්පොල
ජූලි 2, 2020

පියාගේ ඇවෑමෙන් පුතුන් ගී ගැයීම සාම්ප්‍රදායිකය. ඊට නිදසුන්  ඕනෑතරම්ය.සිය පියාගේ හඬ පෞරුෂය ඊළඟ පරම්පරාවට ගෙනයෑමට මේ පුතුන් සමත්ව ඇති වගද පෙනෙන්නට ඇති කරුණකි. සුනෙත් වල්පොල එවන්වූ පුතෙකි. ධර්මදාස වල්පොල නැමැති ළයාන්විත හඬ මාධූර්යය සුනෙත්ට ලැබුණු සදාකාලික තිළිනයකි. සුනෙත් ධර්මදාස වල්පොල ප්‍රවීණ කලාකරුවාගේ ජේ්‍යෂ්ඨ පුත්‍රරත්නයයි. පියාගේ හඬ ජීවමාන කරන ඔහු කැලණිය වරාගොඩ සිය මහගෙදර අලුත් කටයුත්තක් ආරම්භ කොට තිබේ.

සුනෙත්, ඔබ ආරම්භ කළ මේ කර්තව්‍යය ගැන කියමු බලන්න?

ධර්මදාස වල්පොල කියන්නේ පළමු සිංහල හඬ කියලයි මම දකින්නේ. ඒ කාලේ ධර්මදාස වල්පොල කිව්වාම පුදුම විදිහට මිනිස්සු ගරු කළා. අපටත් මිනිස්සු ගරු කරන්නේ තවමත් ඒකයි. අපි ඒ හඬ ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා. මගේ අලුත් වැඩේ කියන්නේ මේකයි. මං අපේ මහගෙදර සංගීත ආශ්‍රමයක් කළා.ඒක පොඩි ඉඩක පවත්වාගෙන ගියේ. එතැන ටිකක් ලොකුවට හදලා නැවත ස්ථාපනය කරනවා. අද තමයි එහි සමාරම්භය සිදුවන්නේ. ගාමිණී සන්දනායක, මගේ බිරිය සුභද්‍රා ලියනගේ ගුරුවරුන් විදිහට එකතු වෙනවා.

මොනවගේ වයස් කාණ්ඩ සඳහාද ඔබ සංගීතය උගන්වන්නේ?

වයස් බේදයක් නැහැ. සින්දු කියන්න කැමති ඕනෑම කෙනෙකුට මේකට සහභාගි වන්න පුළුවන්. මේක මේ විභාග කරන පන්තියක් නෙවෙයි. සුනෙත් වල්පොල එක්ක හරියට ගයන්න එක්වෙන්න වගේ තේමාවක් තමයි මම යොදාගත්තේ. ඒකෙන්ම තේරෙනවනේ මේක මොනවගේ පාඨමාලාවක්ද කියලා.

ඔබ අලුත් නිර්මාණ කළේ නැද්ද?පියාගේ ගීත පමණක් ගයන්නද කල්පනාව?

අලුත් සින්දු කොච්චරනම් කිව්වාද. ඒවා මධ්‍යවලටත් දුන්නා. ඒත් ඉල්ලීම් කළේ නැහැ ප්‍රචාරය කරන්න කියලා.අපි ඉතින් මල්වට්ටි පූජා කරන්නේ නැහැනේ. ඒක නිසා අපේ අලුත් ගීත ඇහෙන්නේ නැහැ. කොහෙ ගියත් තාත්තාගේ ගීතම තමයි ඉල්ලන්නේ.මගෙන් විතරක් නෙවෙයි මගේ පුතාගෙනුත් ඉල්ලන්නේ ඒවා. බලන්න ධර්මදාස වල්පොල ගීත කොතරම් ජනප්‍රියද කියලා අදටත්.

නව පරපුරේ අයගේ ගීත අහන්නේ නැද්ද ඔබ?

ඒවා අහනවා නෙවෙයි බලෙන් අස්සවනවනේ (සුනෙත් සිනාසෙයි)එහෙම කියලා අපි ඒ අයව බැහැර කරන්න හොඳ නැහැ. මං හිතන්නේ අතීතයේ සහ අද ගීත නිර්මාණය වුණු විදිහ වෙනස් නිසයි ඒවායේ පැවැත්ම තියෙන්නේ. ඉස්සර සම්පූර්ණ සිංදුව හදාගෙනයි තාත්තා ළඟට ආවේ. ලිව්වේ අහවලා, සංගීතය අහවලාගේ.. කියලා තාත්තාව දැනුම්වත් කළා. තාත්තා සිංදුව හොඳට බලලා තමන්ට සුදුසුමනම් විතරයි කිව්වේ.නැත්නම් ප්‍රතික්ෂේප කළා. අද එහෙම නැහැනේ. ඕන කෙනෙකුට සින්දු කියන්න පුළුවන්.ප්‍රමිතියක් නැහැ.

ධර්මදාස වල්පොල සූරීන්ගේ ගීත නවකයෝ කිව්වාට කමක් නැද්ද, විශේෂයෙන් රියැලිටි තරඟ වලදි?

අනේ කමක් නැහැ. එහෙම කියපුදෙන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ තාත්තාගේ සිංදු එහෙමවත් කියන අය කෝ...එහෙම ලෙහෙසියෙන් තාත්තාගේ සිංදු කියන්න බැහ, අමාරුයි. ඒ වේරියේශන් එක්ක තමයි කියනවා නම් කියන්න ඕනේ. ඒකයි ධර්මදාස වල්පොල ගීත කියන අය අඩු.