ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි සමඟ

වසා වාසි රසද බලමු
ජූලි 2, 2020

 

'රතුකෙස් සුඅන්' ඔබත් හඳුනනවාද? ඔහු තනිකරම පාදඩයෙක්. පොඩි කාලෙදිම අම්ම අප්ප නැතිව පාරක් පාරක් ගානේ ඇවිද්ද අනාථයෙක්. කාලයක් බෙහෙත් තෙල් වික්කා, ටෙනිස් බෝල ඇහින්දා ඒ අතර ගැහැනු ඇඳුම් මාරු කරන කාමරවලට හොරෙන් එබිලා ගුටි කෑවා. හැබැයි කෙනෙක්ගේ වෙලාව ආවාම ගහන-ගහන බඹරෙ වැල්ලෙත් කැරකෙන්න ගන්නවා. ඒ නිසා තමයි ඒ රතුකෙස් සුඅන්ම වෛද්‍යවරයෙක්, ටෙනිස් මහාචාර්යවරයෙක් වගේම යුරෝපාකරණ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අවියෝජනීය චරිතයක් බවට පත් වෙලා රටේ අතිශය ප්‍රභූ පවුලක තරුණියක හා විවාපත්වන්න පවා සුදුසුකම් ලබන්නේ. ඒ නිකම්ම නෙවෙයි. ඔහු වටා ඒ වෙනුවෙන් පිරිසක් පෙළ ගැසුණා. ඔවුහු සියල්ලෝ වියට්නාම් ජාතිකයෝ. 1930 දශකයේ පළමු හා දෙවැනි ලෝක යුද සමයවල් අතර ජීවත් වූවෝ. මට මේ පිරිස හඳුන්වා දුන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි මහත්මයා, සුරස පොත් මැදුරෙදි ඔහුගේ 'වසා වාසි' පරිවර්තනයෙන්. මේ පිරිස, ඔහුට හමු වූ ආකාරයත් වසා වාසිවල රස ගුණත් ගැන අපි වැඩිදුර කථා කළේ මේ අයුරින්...

 

මේ චරිත හමුවන්න ඔබට මඟ පෑදුණේ?

මම පොත් පිස්සෙක් බව දන්න නිසා වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරිය, හසන්ති දිසානායක තමයි මාව මේ පොත් සාප්පුවට යොමු කළේ. එහි වියට්නාම් බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ විවිධ පොත් කීපය අතර 'වූ චොන්ග් ෆුංග්' කියන වියට්නාම් ලේඛකයාගේ 'සෝඩාව්' කියන නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය වන'ඩම්බ් ලක්' (ච්භථඡ ඹ්භජම්) පොත හමුවන්නේ අහම්බෙන්. ඒ 2015-16 වගේ කාලෙ. හැබැයි පොත කියවන්න වුණේ නෑ. ඒත් මම මහාචාර්ය සුනිල් ආරියරත්න එක්ක මේ පොත් ගැන කීවාම ඔහු තමයි ඒවා කියවන්න මාව උනන්දු කළේ. ඇත්තෙන්ම මේ පොත කියවද්දි මට දැනුණේ ඒක අපේම කතාවක්; මගේම පොතක් වගේ. ඒ බව මහාචාර්යතුමාට කීවා 'ඉතින් ඉක්මනින්ම පරිවර්තනය කරන්න' කියල උනන්දු කළා. මේ පරිවර්තනයේ මුල එහෙමයි.

 

වියට්නාමය ඔබට හුරුපුරුදු රටක්ද?

වියට්නාමය මට එතරම් පුරුදු නෑ. අනෙක 1930 දශකයේ එහි පසුබිම ගැන ලොකු අවබෝධයක් තිබුණෙත් නෑ. ඒ නිසා පරිවර්තනය කරන්න පෙර මම ඒ කරුණු හැදෑරුවා. එතකොට තමයි අහුවෙන්නේ මේ අන්තර් යුද සමය බව. වියට්නාමය ඒ කාලයේ ප්‍රංශයේ යටත් විජිතයක්. පාලන බලතල නැති නාමික ර‌ජෙක් හිටියේ. ප්‍රංශ ආණ්ඩුකාරවරයෙක් පාලනය ගෙනියන්නේ. මේ අතර වියට්නාමයේ පොදුජන ව්‍යාපාරය බලයට පත්වෙනවා. එහි නිදහස් මතධාරී, ලිහිල් යටත් විජිත පාලනය සමඟ අලුතෙන් සමාජ පන්ති නිර්මාණය වද්දි බිහිවන අලුත් පන්තියක් පිළිබඳවයි ලේඛකයා ඉතා තියුණු විචාරයකින් බලන්නේ. ඒ ගැන හැදෑරූ පසුවයි මම පරිවරිතනය කරන්නේ.

 

මුළු කතාවම උපහාසය සහ ව්‍යංග්‍ය පිරිණු දේශපාලන විචාරයක් වගේ?

ලෝකේ බොහෝ රටවල් ඔය වගේ සංක්‍රාන්ති සමවලට මුහුණ දෙනවා. යම් කාලයක් ගෙවුණු පසුවයි ඒවා ඔපමට්ටම් වෙලා හරියන්නේ. එහෙම නොවන තැනුත් තිබෙනවා. ඕනෙම රටක කාර්මික විප්ලවය වගේ දේ සිදුවද්දි අලුත් සමාජ පන්ති බිහිවෙනවා. ඒවාට ප්‍රතිලාභ, වරප්‍රසාද, මුදල් ලැබෙනවා. දැනුම නැති නිසා ඒවා දරාගන්න බැරිවෙන අවස්ථා එමටයි. අපේ රටේ වුණත් මහාපරිමාණයෙන් ගොඩ නැඟුණු පවුල් ව්‍යාපාර කීයක් දෙවැනි තුන්වැනි පරම්පරාවලදි නැති වුණාද? අම්මා තාත්තලා විඳපු දුක් නොදන්න සැපට හැදෙන ළමයින් අතින් ව්‍යාපාර බිඳවැටුණු අවස්ථා කොයිතරම් තිබෙනවාද? ඒ ගැන තමයි ලේඛකයා උපහාසයෙන් බලන්නේ. ඒවා එක රටකට සීමා වූ හුදෙකලා අත්දැකීමක් නොවන නිසායි අප‌ටත් සමීපව දැනෙන්නෙ. ඇත්තෙන්ම මෙය සර්ව භෞමික කතාවක් ලෙසයි මට හැ‌ඟෙන්නේ.

 

ඒ වගේම මෙය බොරුව ඇත්ත වීමේ කතාවක්?

බොරුව ඇත්තක් වනවානේ... මේ පාදඩයාටත් යම් කුසලතාවක් තිබෙනවා. සමාජයේ තවත් අයගේ අවශ්‍යතාව මත ඒ කුසලතාව පාවිච්චි වෙනවා. පාදඩයකු දොස්තරකෙනකු වගේම ටෙනිස් මහාචාර්යවරයකු වන්නේ ඒ අයගේ අවශ්‍යතාව හා යැපීම වෙනුවෙන්. සුඅන්ගේ යම් යම් හැකියාවන් සහ ඒ අන් අයගේ අවශ්‍යතා මත ඔහුට රැකවරණය ලැබෙනවා. ටික දවසක් ගියාට පස්සේ තම තමන්ටම සත්‍යය අමතක වෙලා විශ්වාසයක් ගොඩනැඟෙනවා ඒ දේවල් ගැන.

 

මෙහි භාෂා ව්‍යවහාරය සෑහෙන වෙනස්?

ඇත්තෙන්ම මෙය පරිවර්තනය කර තිබුණේ ඉංග්‍රීසි දැනුම සහිත වියට්නාම් ජාතික ව්ඨභරඥද ව්ඨභරඥබ ඛ්චථ සහ වියට්නාම් දැනුම සහිත ඉංග්‍රීසි ජාතික ර්‍ථඥබඥප ඛඪදධථචද.ඒ දෙදෙනාටම ප්‍රංශ භාෂාව පිළිබඳ යම් අවබෝධයක් තිබෙනවා. ඒ යුගයේ සෑහෙන දුරට ප්‍රංශ භාෂාව ප්‍රභූ භාෂාව ලෙස භාවිත වුණු නිසා එයත් කෘතියට බලපානවා. ඒ පිළිබඳ ඔවුන් දෙදෙනාත් පර්යේෂණ කරනවා. ඉංග්‍රීසි පරිවර්තනයේත් ඔවුන් ප්‍රංශ යෙදුම් භාවිත කරනවා, ඒ ඒ අවස්ථා අනුව. ඒ නිසා මටත් ඒ යුගයේ වියට්නාම් බසේ ස්වභාවය වගේම ප්‍රංශ යෙදුම් ගැන ඒ භාෂාවන් දන්නා අයගෙන් උදවු උපකාර ගන්න සිදුවුණා. හරි පෙළ අවබෝධ කරගන්න ඕනෑ වගේම ඒ වචනවලින් කියන දේට රිද්මය, විචිත්‍රත්වය සහ යටිපෙළ ආදි සියල්ල ගළපා ගන්න වනවා. පොතෙන් ඉල්ලන භාෂාවට සමවන සිංහල වචන සහ යෙදුම් භාවිත කරන්නත් එපැයි, ඉතින් ඒවා සොයා ගත්තා.

 

 

මෙය ලිංගිකත්වය ඉස්මතු වන බව කියා එකල වියට්නාමයේ තහනම් වූ පොතක්? ඒත් ඔබේ පරිවර්තනය කියවද්දි අතිශය ශ්‍රෘංගාරාත්මක අවස්ථා දැඩි සංයමයකින් ඉදිරිපත් කැරෙන්නේ. මෙය ඔබේ ස්වාධීන තීරණයක්ද? නවකතාවේම පැවැති ස්වභාවයද?

ඔව්. අවුරුදු පනහක් පුරා මෙය තහනම් කෘතියක් වෙලා තිබුණා, සමාජ සදාචාර විරෝධී වගේම ලිංගිකත්වය ඉස්මතු කරන නවකතාවක් යැයි කියා. මේ පොත ප්‍රකාශයට පත් කිරීම නිසා ලේඛකයාට නීතිය ඉදිරියේ පෙනී සිටීමටත් සිදු වූවා. ඒත් වියට්නාමය මහජන රාජ්‍යයක් වුණාම තහනමෙන් වසර 80කට පමණ පසු 1986 වසරෙදි ඒ තහනම ඉවත් වුණා විතරක් නෙවෙයි, කමිටුවක් දාලා උසස්පෙළ පෙළපොතක් ලෙස නිර්දේශ කරනවා. එහි මී අත්තා මැරුණට පස්සේ ඒ අවමංගල්‍ය උත්සවය සංවිධානය කරන ආකාරය විස්තර වන 15 වැනි පරිච්ඡේදය තමයි පෙළ පොතට ගෙන තිබෙන්නේ. මගේ පරිවර්තනයේ වගේම ඉංග්‍රීසි පරිවර්තනයේත් ශ්‍රෘංගාරාත්මක කොටස් ලියැවී තිබුණේ ඔය තරමින් තමයි. හැබැයි ඒවා ඉතා රසවත් විදිහට ඉදිරිපත් කරලා තිබුණා.

 

එවැනි දක්ෂතාවක් තිබූ ලේඛකයාගේ වගතුග දැනගැනීම වැදගත්?

වූ චොංග් ෆුංග් (ඍභ ඊපධදඨ ර්‍ථඩභදඨ) ජීවත් වුණේ අවරුදු 27කට සතියක් අඩු කෙටි ජීවිත කාලයක්. 1912 ඔක්තෝබර් 20 උපන් ඔහු අඩු වයසින් මියගියේ ඔහුගේ පියා වගේම ක්ෂය රෝගයෙන්. ඒත් ඒ කුඩා කාලය තුළ ඔහු නව කතා 8ක්, නාට්‍ය 7ක්, කෙටි කතා ගණනාවක්, දිගු පරිවර්තන, විචාර, විශේෂාංග, කතුවැකි, පුවත්පත් වාර්තා අති විශාල සංඛ්‍යාවක් ලියූ අසාමාන්‍ය චරිතයක්. මේ 'වසා වාසි' කෘතියත් ඔහු හැනොයි පුවත්පතට කොටස් වශයෙන් ලියූ නවකතාවක්. හැනෝයි නුවර සාමාන්‍ය පන්තියේ පවුලක ඉපිද අතිශය දරිද්‍රතාවට පත්වීම නිසා අවුරුදු 16දි පාසල් අධ්‍යාපනය නිමා කර මුලින් ලිපිකරුවකු ලෙස සිට පසුව තමයි කැපිටල් ඩේලි නිවුස් පුවත්පතට සම්බන්ධ වන්නේ. වූ චොංග් ෆුංග් සැලකෙන්නේ වියට්නාමයේ බලගතු, ආන්දෝලනාත්මක සහ අතිදක්ෂ, ශ්‍රේෂ්ඨ ලේඛකයා හැටියට. ඔහුගේ අවමංගල්‍යෝත්සවයේදී හා පසුකාලීනව විචාරකයන් ඔහු හැඳීන්වූයේ 'වියට්නාමයේ බල්සක්' (විශිෂ්ට ප්‍රංශ නවකතාකරු හොනොරේ ද බල්සක්) හැටියටයි.

 

පොතේ ඇතැම් සංස්කෘතික ලක්ෂණ අපේ පාඨකයාට පැහැදිලි වන අයුරින් සකසා ගත්තේ?

එය මහා බරපතළ ප්‍රශ්නයක් වුණේ නැහැ. යම් යම් අවස්ථාවල සංස්කෘතික ලක්ෂණ පෑහෙන්න තියෙන්නත් පුළුවන් නොපෑහෙන්නත් පුළුවන්. ඒත් පණිවිඩය හරියට දෙනවා නම් ඒ ගැළපීම සිදුවෙනවා. උදාහරණයකට 'අංකාර' කියන්නේ අපේ රටේ නම් 'ගොනාට ඇන්දා' නැත්නම් 'මෝඩකමක් කරගත්තා' කියන පොදු තේරුමෙන්. ඒත් වියට්නාමයේ අංකාර කියන්නේ ඒ ස්වාමි පුරුෂයාගේ භාර්යාව අනිවාර්යයෙන් වෙන පිරිමියකු සමඟ සම්බන්ධකමක් තිබෙනවා කියන එකයි. ඉතින් අපි නම් ඡායාරූප ගද්දි විහිළුවට අං තියනවානේ... එහේ ඒ විදිහට කළොත් විශාල විනාසයක් තමයි. ඒ වගේ වෙනස්කම් තිබෙනවා. ඒත් අන්තර් යුද සමයේ වගේම යටත්විජිතකරණයේ පැවැති සමාජ පසුබිම, ප්‍රගතිගාමීත්වය, විද්‍යාව, සමාජ ප්‍රතිසංස්කරණ, නවීනත්වය, සදාචාරකරණය, කාන්තා අයිතිවාසිකම්, ක්‍රීඩා ව්‍යාපාරය ආදී බොහෝ දේ සෑම රටකටම පාහේ පොදුවේ අත්විඳීන්න වුණ නිසා යම් යම් සමානකමුත් තිබෙනවා.