මගේ ජීවිතේ රහස් නැහැ 

- දෙනුවන් සේනාධි
ජූලි 2, 2020

සමහරු ඉන්නවා ඒ අයගේ මුළු ජීවිතයම රහසක්. තවත් සමහරු ඉන්නවා ජීවිතේ කිසිම රහසක් නැති තරම්. රහස් ගැන කතා කරන්න අපිටත් එහෙම විවෘත රංගන ශිල්පියෙක්ව මුණගැහුණා. කරළියේ වගේම ඇත්ත ජීවිතයත් බොහොම විහිළුවෙන් සැහැල්ලුවෙන් ගත කරන ඔහු දෙනුවන් සේනාධි. මේ දෙනුවන් රහස් ගැන අපිත් එක්ක කතා කරපු දේවල්. 

දෙනුවන් සේනාධී කියන්නේ රහස් රකින කෙනෙක්ද?

‍ඔව්. මම රැකපු රහසුත් තියෙනවා. කඩපු රහසුත් තියෙනවා. රහස් රකින එක කෙනාට කෙනා අනුව වෙනස් වෙනවා. රහසුත් එක එක ඒවා තියෙනවානේ. යාළුවොන්ගේ, සහෝදරයන්ගේ, නෑදෑයොන්ගේ රහස් රැකලා තියෙනවා. රහසක් කියන්නේ ඉතිං රකින දෙයක්නේ. 

ඒ කඩපු රහස් ගැන කිව්වොත්?

මෙහෙමයි සමහර අය පොරොන්දු ගන්නවා අපෙන් රහස කාටවත් යන්න එපා කියලා. නමුත් සමහර වෙලාවට කාටත් කියන්න එපා කිව්වාට තව කාටහරි කියපු අවස්ථා තියෙනවා. ගොඩක් පොඩි කාලේ තමයි එහෙම වැඩ කරලා තියෙන්නේ. යාළුවෙක්ගේ කාටවත් කියන්න එපා කියලා කියපු දෙයක් සමහර වෙලාවට මගේ අතින් කියවිලා තියෙනවා. නමුත් මම වැඩි හරියක් රහස රකින්න උත්සාහ කරලා තියෙනවා. සමහර රහස් රැකලා ඒ රහස් දැන් මතකත් නැහැ. ඒ වගේ අමතක වෙච්ච රහස් අනන්තයි. කොහොමත් මම කෙනෙක්ගේ දෙයක් තව කෙනෙක්ට කියන්න යන්නේ නැහැ.

දෙනුවන්ගේ ජීවිතේ කාටවත් මෙතෙක් නොකියපු ‍රහසක් තියෙනවාද?

එහෙම දේවල් නැහැ. මම ගොඩක් අයට මගේ දේවල් කියනවා. මම open heart  මනුස්සයෙක්නේ. මගේ ජීවිතේ රහස් නැහැ. මම මොනදේ කළත් කියලා කරන්නේ. කරන වැඩේ විනිවිදභාවයකින් කරන්නේ. 

ඔබ පෞද්ගලිකත්වය කියන දේ රහසක් විදිහට ආරක්ෂා කරන කෙනෙක්ද?

 නැහැ. මගේ දේවල් හැමදේම හැමෝම දන්නවා. මගේ කියලා හංගපු දේවල් ජීවිතයේ නැහැ. ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය බැඳලාද ඉන්නේ, ළමයි ඉන්නවාද වගේ පෞද්ගලික  දේවල් හෙළි කරන්නේ නැහැ. ඒත් මම එහෙම මගේ ජීවිතේ හංගන කොටසක් නැහැ. 

දෙනුවන් විශ්වාස කරන විදිහට රංගන ශිල්පියෙක්ට හෝ නිවේදකයෙක්ට වැඩිමනක් සමාජයට නිරාවරණය නොවිය යුත්තේ ජීවිතේ මොන පැත්තද?

මම හිතන්නේ නැහැ එහෙම මොන පැත්තක්වත් ආවර්ණය කරන්න ඕනේ කියලා. බලන කෙනා තමයි තීරණය කරන්න ඕනේ "මම මෙයාගේ පෞද්ගලික දේවල් බලනවාද? නැද්ද?" කියලා. උදාහරණයක් විදිහට අපි ශාරුක් ඛාන්ට කැමති රංගන ශිල්පියෙක් නිසා. අපි එයාගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නවා. ඒවා ශාරුක් ඛාන් අපිට කියඖවා නෙමෙයිනේ. ඒවා අපි ගොයාගත්ත දේවල්. ඒ නිසා මම හිතනවා මිනිස්සු හොයන්නේ මිනිස්සුන්ට අවශ්‍ය කෙනා ගැන. අනවශ්‍යයි නම් හොයන්නේ නැහැ. ප්‍රසිද්ධ කෙනෙක්ගේ ජීවිතයේ කුමනහෝ පැත්තක්  ගැන හොයනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ හොයන කෙනා. 

වැඩිපුරම රහස් රකින්නේ කොල්ලොද කෙල්ලොද?

ඒක point of review එකක්. ගැහැනු සහ පිරිමි කියන්නේ මනුස්ස ජාතියට අයත් කොටස් දෙකක්නේ. මේ දෙගොල්ලොන්ගේ ගති ලක්ෂණ විවිධයි. සමහරක් පිරිමින්ගේ ගෑනු ගති තියෙනවා. සමහරක් ගෑනුන්ගේ පිරිමි ගති තියෙනවා. හොඳ නරක දෙකම අදාළයි. කෙනෙක්ගේ ගති ලක්ෂණ තීරණය වෙන්නේ අධ්‍යාපනය, සමාජ පරිසරය, දැනුම වගේ දේවල් මත. රහස් රකින එක කෙනාට කෙනාගෙන් වෙනස්. ඒකට ස්ත්‍රීපුරුෂ සමාජභාවය අදාළ නැහැ. 

මිනිස්සුන්ගේ  රහස්, රහස් ලෙසම පැවතීම ඔවුන්ගේ ජීවිතයට කොයි තරම් දුරට බලපානවාද?

රහසක් කියන්නේ ඇත්තටම කෙනෙක්ගේ ජීවිතයට බලපාන දෙයක්. අපි පුළුවන් තරම් අනුන් වෙනුවෙන් ඒක රකින්න ඕනේ. රහසේ ප්‍රභලත්වය තීරණය වෙන්නේ රහස අනුව නෙමෙයි අදාළ කෙනා සමාජයේ ඉන්න ආකාරය අනුව. ප්‍රසිද්ධ කෙනෙක්ගේ පුංචි දේත් අනිත් අයට හරි ලොකු දෙයක්. ඒ නිසා මිනිස්සු රහස් රහස් විදිහට රකින්නේ තමන්ගේ තැන ආරක්ෂා කරගන්න. ඒ නිසා කෙනෙක් තව කෙනෙක්ව විශ්වාස කරලා දෙයක් කිව්වාම ඒක රකින්න පුළුවන් කියන්නේ ඒ රහස රකින කෙනා හරි බුද්ධිමත් කියන කාරණාව. කෙනෙක්ට හානියක් වෙන රහසක් මම දන්නවා නම් ඒක ජීවිතය ඇති තුරු රකින්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා.