මං කාටද මේ ගැන කියන්නේ?

ඊතලය නිෂ්පාදක ප්‍රධාන නළු කැලුම් ආර්යන්
ජූලි 9, 2020

 

 

කලා ලොව තුළ කිසියම් වූ කෙනෙකුට යම් අසාධාරණයක් වූ තැන සාධාරණයක් පතා ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සරසවියේ පිහිට පැතීම නිතරම සිදුවන්නකි. ඒ එදා මෙන්ම අද දක්වා සරසවිය පුවත්පත සියලු කලාකරුවන්ට ඉතා මධ්‍යස්ථ අන්දමින් සලකන බැවිනි. එවන් වූ අසාධාරණයක් ගැන හැඟෙන අවස්ථාවන් වලදී ද එකී සියලු පාර්ශ්වයන් තම අදහස් හුවමාරු කර ගැනීමට පාලම් සේ භාවිත කළේ අප සරසවියයි. වාරණයක් සහිතව අපි එම සිද්ධීන්ට අදාළ පුද්ගලයන්ගේ අදහස් පාඨකයන් වෙත ගෙන ආවෙමු. නව පරපුරේ සිනමා නළු නිෂ්පාදක කැලුම් ආර්යන් කුලරත්න තමන්ගේ නවතම සිනමාපටය වන ඊතලයට යම් අසාධාරණයක් සිදු වූ බව පුන පුනා අපට දන්වා සිටියේය. ඒ කුමක් දැයි අප විමසීය.

 

 

 

 

''කතාව මුල ඉඳලා මං කියන්නම්. මං මොන දේ පැවසුවත් ඒවා කියන්නේ කිසිදු පුද්ගලයකුට අපහාස කරන්න නෙවෙයි. මං පොඩි කාලෙ ඉඳලා හැදුණෙ වැඩුණෙ සිනමාවත් එක්ක. මගේ පියා නිමල් කුලරත්නට සිනමාශාලා තිබුණා. මතක ඇති කාලෙ පටන් මං ඒවා ඇතුළෙ ගැවසිලා සිනමාවට ආදරය කරන්න පටන් ගත්තා. ඒ හින්දා තමයි සිනමාවට මොනවා හරි අසාධාරණයක් වෙනවා නම් දෙවතාවක් හිතන්නේ නැතුව කතා කරන්නේ. මෙතැනදි මං නිහඬ නොවී හිටියෙත් ඒකයි. කොරෝනාවලට ඇඳිරි නීතිය දමන්නට පෙර චිත්‍රපට කිහිපයක් අපේ සිනමාශාලාවල තිරගත වෙමින් තිබුණා. ඇඳිරි නීතිය මාර්තු විසි වැනිදා පනවද්දි මගේ ඊතලය චිත්‍රපටය තිරගත වෙන්න පටන් අරන් සති දෙකක් ගතවුණා පමණයි. ඒ වන විට හොඳ කලෙක්ෂන් එකක් පවා තිබුණා. ඇඳිරි නීතිය එහෙම ඉවත් වුණාට පසුව හෝල් විවෘත කරන්න උපදෙස් දුන්නනෙ. කොරෝනා එන්න කලින් තිරගත වෙමින් තිබුණු චිත්‍රපටවලට තමයි නැවතත් ඉඩ දෙන්නෙ කියලයි දැනගන්නට ලැබුණේ. ඉතින් මම ගියා ඊ. ඒ. පී. මණ්ඩලයට. මොකද ඊ. ඒ. පී, එම්. පී. අයි. ඇතුළු මණ්ඩල කිහිපයක ඊතලය ප්‍රදර්ශනය වුණානෙ. ඊ. ඒ. පී. එකෙන් මට දැනගන්න ලැබුණා 02 වැනිදා සිට අලුත් චිත්‍රපටයක් එනවා කියලා. සම්පූර්ණ ශාලා ඒකට දෙනවා කියලත් දැනගන්නට ලැබුණා. මං ඇහැව්වා අඩුම තරමෙ මට එක ෂෝ ටයිම් එකක්වත් දෙන්න බැරිද කියලා. එහෙම ලැබුණෙත් නැහැ. අවශ්‍ය නම් ජූනි 27 වැනිදා සිට ජූලි 02 වැනිදා දක්වා ඊතලය සඳහා ශාලා දෙන්නද ඇහැව්වා.

 

දවස් හතකට චිත්‍රපටයක් පෙන්වලා මොනවා කරන්නද. මං හිතුවා කමක් නැහැ පස්සෙ හරි රීලෝන්ච් එකක් ගන්නවනෙ කියලා. එතැනින් එළියට බැහැලා ආවා. ඔය අතරේ මට අහන්නට ලැබුණා හරිම අපූරු කතාවක්. වරදවා වටහා ගන්න එපා. ඒ කතාව දෙවැනිදා රිලීස් වූ නිවුස් පේපර් චිත්‍රපටය පාර්ශවයෙන් නෙවෙයි වෙනම කට්ටියක් මේ කතාව කියන්නෙ. ඔවුන් කියනවා දෙවැනිදා චිත්‍රපටයකට සෑම ශාලාවක්ම ඉඩ දුන්නෙ ඒ වන විට තිරගත වෙමින් තිබුණු චිත්‍රපටවල පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරලා කියලා. ඔවුන් ඒ කියන්නෙ මම ඇතුළු පිරිස අකැමැති වුණාලු මේ මොහොතේ චිත්‍රපටයක් රිලීස් කරන්න. ඒ හින්දා ශාලාවල තිබුණු හිස් තැනට චිත්‍රපටයක් දාන්න ඇමතිතුමා ස්චේඡාවෙන් ඉදිරිපත් වුණා කියලා. මම පර්සනලි කතා කළා සුනාමි චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහත්තයාට. හෝන් චිත්‍රපටයේ සමීර වක්වැල්ලට. ඇවිළෙන සුලුයි අධ්‍යක්ෂ චින්තන ධර්මදාසට. ඒ කිසි කෙනෙකුගෙන් අහලා නැහැ මේ වෙලාවේ චිත්‍රපටය දාන්න පුළුවන් ද බැරි ද කියලා. අපි අකැමැති වුණ නිසා තමයි ද නිවුස් පේපර් රිලීස් කළේ කියලා. මං කතා කළා චිත්‍රපට සංස්ථාවට. සිනමාකරුවන් නියෝජනය කරන අපේ තැනනෙ එතන. එහෙන් මට පිළිතුරු ලැබුණෙ චිත්‍රපට සංස්ථාව හැටියට නෙවෙයි. රිත්මා මණ්ඩලය කියන තැන ඉඳගෙන තමයි ඔවුන් අදහස් දක්වන්නෙ. චිත්‍රපට සංස්ථාවෙනුත් හරි උත්තරයක් නැහැ. සිනමාකරුවො විදිහට අපි කාටද මේ ප්‍රශ්න කියන්නෙ.

 

ඔබේ මේ ප්‍රකාශ එක්ක මෙහෙම කාරණයක් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔබේ පියා නිමල් කුලරත්න තමයි. එම්. පී. අයි. මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ. ඔබට තිබුණනෙ ඒ මණ්ඩලයේ පමණක් 'ඊතලය' රිලීස් කරන්න?

 

එම්. පී. අයි. මණ්ඩලයට තියෙන්නෙ හෝල් දහ හතරයි. ඒවායිනුත් හයකට වැඩිය තවම වහලා. හෝල් අරින්න කිව්වට තවම සමහර ඒවා වහපු ගමන්මයි තියෙන්නෙ. ලංකාවෙ දැනට වැඩිම හෝල් ගණනක් තියෙන්නෙ රිත්මා මණ්ඩලයට. හැම මණ්ඩලයකම තියෙන හෝල් අපි බෙදාගෙන තමයි චිත්‍රපටයක් රිලීස් කරන්නෙ. එකම මණ්ඩලයක හෝල්වල විතරක් චිත්‍රපටය රිලීස් කරලා තේරුමක් නැහැ.

 

ඔබ ''ද නිවුස් පේපර්'' චිත්‍රපටයේ පාර්ශවයන් හා මේ ගැන කතා කළේ නැද්ද?

 

මෙහෙමනෙ, ඕනෑම අධ්‍යක්ෂවරයෙක් කැමතියි තමන්ගෙ චිත්‍රපටයක් තිරගත වෙනවට. ලංකාවෙ කරගන්න අමාරුම වැඩේ චිත්‍රපටයක් රිලීස් කරගන්න එක. මේ වෙලාවේ මං චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට කිසිදු දොසක් කියන්නෙ නැහැ එතුමා චිත්‍රපටයක් කරලා සිනමාවට සේවයක්නෙ මේ කරලා තියෙන්නෙ.