“කොච්චි”කියන්නේ කෙල්ලන්ගේ සැර වැඩක්

උපේඛා නිර්මාණි
ජූලි 9, 2020

 

 

දෙරණ Dream Star  තරු කිරුළ දිනාගත් එකම කාන්තා නියෝජනය ලෙස උපේඛා නිර්මාණි හැඳීන්විය හැකිය. රියැලිටි තරග ජයග්‍රහණයෙන් අනතුරුව ඈ ගායන ක්ෂේත්‍රයේ තමන්ටම අනන්‍ය ශෛලියක් ගොඩනඟා ගනිමින් සිටින්නීය. උපේඛා නිර්මාණි මේ වනවිට අලුත් වැඩකට අතගසා හමාරය. ඒ පිළිබඳ ඈ අප සමඟ පැවසුවේ මෙසේය.

 

 

මොකක්ද මේ "කොච්චි" කියන්නේ?

"කොච්චි" කියන්නේ Girls Vocal Bandඑකක්. අපේ team එකේ ගෑණු ළමයි හතරදෙනයි ඉන්නේ. මම (උපේඛා නිර්මාණි), ටෂ්නි පෙරේරා, එරන්දි මධුෂිකා, නිරාෂා නැටලි.

 

ඇයි මෙහෙම වැඩක් කරන්න හිතුණේ?

මට හිතුණා සංගීත ක්ෂේත්‍රය ඇතුළේ අලුත් වැඩක් කරන්න ඕනේ කියලා. ඒක මගේ හීනයක්. මේ මේ වෙද්දි ලංකාවේ Girls Vocal Band  එකක් නැහැ. ""Three Sisters""ලගෙන් පසුවත් පරම්පරා ගණනාවක් ගිහිල්ලත් තාමත් ලංකාවේ නැහැ ගෑණු ළමයින්ගේ Vocal Bandඑකක්.

 

කාගෙද මේ අදහස?

මේක මගේ අදහසක්. ගායන ක්ෂේත්‍රයේ කලින් නොතිබුණු දෙයක් කරන්නයි ඕනේ වුණේ. මේකට නමක් හොයද්දි මට ඕනේ වුණා වෙනස් සිංහල නමක් දාන්න. ගෑණු ළමයි නිසා මගේ සැමියා යෝජනා කළා "කොච්චි" කියන නම. ඒ නම සැරයි. අපේMusic ඒ වගේ සැර වෙන්න ඕනේ නිසා අපි තීරණය කළා මේ නම දාන්න.

 

මේ වෙද්දි "කොච්චි" මොනවද කරලා තියෙන වැඩ?

අපි මුලින්ම කරන්න original songs නෙමෙයි. Covers , Mashup තමයි මුලින්ම කරන්නේ. කීපයක් අපි ඒ වගේ කරලා තියෙනවා. Youtube,facebook වගේ සමාජ මාධ්‍ය හරහා ඒවා ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේක අපි මාස හයක් තිස්සේ කරන වැඩක්. කොරෝනා නිසා ටිකක් ප්‍රමාද වුණා. දැනටමත් original songs එකකුත් කරලා තියෙනවා.

 

උපේඛා නිර්මාණිගේ පෞද්ගලික කලා කටයුතු ගැනත් කතා කරමු?

මගේ band වැඩත් කරනවා. නමුත් පළවෙනි තැන දීලා තියෙන්නේ ඡචදඤ එකට. ඊට අමතරව "ආශාවරී" කියලා චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒකේ ගීත දෙකක් මම ගායනා කළා. තව මම කරපු ගීත කීපයක් එන්නත් තියෙනවා.

 

උපේඛා දැන් අම්මා කෙනෙක්. කොහොමද පුතා එක්ක ගත කරන ජීවිතය?

ඒ ජීවිතේ හරිම සුන්දරයි. ඒක වචනෙන් විස්තර කරන්න අමාරුයි. මම හැමවෙලේම පුතා එක්ක ගත කරන්න උත්සාහ කරනවා. මගේ වෘත්තිය ජීවිතේ වැඩවලට පවා එයාව අරගෙන යනවා. එයා හොඳ බබෙක්. අච්චිලා සීයලා කියන දේ අහගෙන ඉන්නවා. කරදර කරනවා හරිම අඩුයි.

 

කොහොමද ඔබේ වැඩකටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය?

මට මගේ වැඩ මෙච්චර හරියක් කරගන්න පුළුවන් වුණේ එයා නිසා. මම ඩ්‍රීම්ස්ටාර් වෙලා අවුරුදු දහයක් වෙනවා. මෙච්චර කාලෙකට මම මගේ වැඩ කරගෙන හිටියා. නමුත් අලුත් වැඩක් කරන්න ඕනේ කියලා මම හිතුවේ නැහැ. දැන් මගේ හිතේ තියෙන හැමදෙයක්ම හාරාවුස්සලා එයා තමයි ඒවා ක්‍රියාත්මක කරන්න සහයෝගය දෙන්නේ. එයා තමයි "කොච්චි" videoවල හැම වැඩක්ම වගේ කරලා තියෙන්නේ. Video Editing, Audio Mixing මේ හැමදේම කළේ එයා.

 

උපේඛා නිර්මාණි Dream Star වෙලා දැන් අවුරුදු දහයක්. නමුත් ඔබ තමයි මෙතෙක් පැවති ගායන රියැලිටි තරගවලින් කිරුළ හිමිකරගත් එකම කාන්තා නියෝජනය. ඇයි කාන්තාවන්ට රියැලිටි කිරුළු දිනන්න නොහැකි වුණේ?

දක්ෂ ගෑණු ළමයි ගොඩක් රියැලිටි තරගවල ඉන්නවා. කාන්තාවන් අවසන් මහා තරග නියෝජනය කරනවා. නමුත් කිරුළ යන්නේ පිරිමි හඬ පෞරුෂවලට. මට ඒකට හේතුවක් හිතාගන්න බැහැ. ලංකාවේ සංස්කෘතික පරිසරයත් එක්ක රියැලිටි තරගවලට මූණදෙන්න සමාජයෙන් පවුලෙන් කාන්තාවට සහයෝගයක් නැතිනම් හරිම අමාරුයි.