මගේ චරිත වෙන අයට දීලා...

-නවක නළු ප්‍රසන්න ප්‍රභාත්
ජූලි 9, 2020

නළුවෙකු ලෙසින් ස්ථාවර වන්නට බලාපොරොත්තුවෙන් සිටින මේ තරුණයාගේ නම ප්‍රසන්න ප්‍රභාත්.

ප්‍රසන්න ඔබ ක්ෂේත්‍රයට පිවිසුණ අන්දම මතක් කරමු?

නළුවෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණා.ඒත් මට ක්ෂේත්‍රයේ දැන හැඳුනුම්කම් තිබුණේ නැහැ. කොහොමහරි මට සිරසේ ගිය තූර්යා නාට්‍යයේ රඟපාන්න අවස්තාව ලැබුණා. ඊට පස්සේ සිල්ලර කාසි, දේවි සුගලා, නීල පබළු, වගේ නිර්මාණවලට දායක වන්නට පුළුවන් වුණා. මේවායේ මං සුළු චරිත තමයි කළේ. ඔහොම ඉද්දි සමහර විට චරිත ලැබෙන්නෙම නැති කාල වකවානු තිබුණා. මට බාර දුන් චරිත මටත් නොකියාම වෙනත් අයවළුන්ට දීලත් තිබුණා.

එතකොට ඔබ මොකද කළේ?

මං නිකම් හිටියේ නැහැ. තිරය පිටුපස තිබෙන හැම කාර්යයක් පිළිබඳ ඉගෙන ගත්තා. මට තේරුම් ගියා හැදෑරීමක් නැති වුණාම පැවැත්මක් නෑ කියලා. ඒ නිසා තමයි මේ මේ දේවල් ඉගෙන ගත්තේ. මේ දිනවල සංස්කරණය පිළිබඳ ඉගෙන ගන්නවා.

ඔය අතරේ ඔබට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබෙනවා?

ඒක මගේ වාසනාවට වෙච්ච දෙයක්.මං ඒ ෆිල්ම් එකේ රඟපාන්න නෙවෙයි ගියේ.නමුත් මට අවස්ථාව ලැබුණා. එක හීනයේ පාට ගොඩයි තමා චිත්‍රපටයේ නම. මාලක වීරවර්න අධ්‍යක්ෂවරයා. ඔහුටත් තුති පුදන්න මා අවස්ථාව කරගන්නවා.

ප්‍රසන්නගේ ගම කොහෙද?

මං හොරණ.

ඉගෙනගත් පාසල?

හොරණ කුඩා උඩුව නාලන්දා විදුහල.

මොනවද අනාගත බලාපොරොත්තු?

වෙන මොනවද ඉතින්, ජනප්‍රිය නළුවෙක් වීම තමයි.

 

 

තිලක් පෙරේරා