තත්සරන්නී මගේ රංගන ජීවිතය වෙනස් කරාවි

නව පරපුරේ රංගන ශිල්පිනී නෙතූ ගම්ලත්
ජූලි 16, 2020

ඒ රුක්මල් නිරෝෂ් තමන්ගේ නවතම ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයට නවක රංගන ශිල්පිනියක් සොයමින් සිටි කාලයයි.එය ඔහුට එක්තරා අන්දමක අසීරු කටයුත්තක් වූයේ තත්සරන්නී නැමැති එම කතාවේ තරුණිය වයලීන වාදිකාවක බැවිනි.එහෙයින් එකී චරිතයට පණ පොවන්නියට අනිවාර්යයෙන්ම  වයලීන වැයීමට හැකියාව තිබිය යුතු  බවට වාදයක් නැත.කාලයක් ගත වුවද රුක්මල්ට තත්සරන්නීය කතාවේ තත්සරන්නියට කෙනෙකු හමුවූයේ නැත. නෙතූ ගම්ලත් ඔහුට මුණගැසෙන්නේ ඔය කාලයේදීය. ඇය ඒවන විටත් මහේන්ද්‍ර පෙරේරා යටතේ රංගනය හදාරමින් සිටියාය. එමෙන්ම නෙතූට ඉතා හොඳීන් වයලීන වැයීමට හැකියාව තිබිණ. ඇයට ප්‍රධාන චරිතයක් සමඟ මුල්වරට රංගනයේ යෙදීමට අවස්ථාව උදා විය. මේ ඒ නෙතූගේ කතාවයි.

අපි 'තත්සරන්නිය' සමඟින් කතාව ඉදිරියට ගෙනි යමු ?

ඇත්තටම මට පුදුම හිතුණා ඒ වගේ චරිතයක් මට බාරදීම සම්බන්ධයෙන්. රුක්මල් අයියාට ඕන වෙලා තිබුණේ වයලීන් වයන්න පුළුවන් කෙනෙක්. මට ඒ හැකියාව තියෙනවා කියලා දැනගත්තු ගමන් අවස්ථාව ලැබුණා. ඒකේ චරිතයේ නම අමීලියා.ළඟදීම නාටය විකාශය වෙනවා.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

මං දෙදහස් දහ අටේ අයි.ටී.එන්. අවුරුදු කුමරියට සහභාගී වුණා. ඒකේ අවසන් වටයට තේරුණා. ඔය අතරතුරදි මට හිතුණා රංගනය විධිමත්ව හදාරන්න. ඒකයි මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ක්ලාස් ගියේ. හැබැයි මං ගොඩක් ආස මියුසික්වලට. මට හොඳටම වයලීන් ප්ලේ කරන්න පුළුවන්. කවදාහරි මගේම නිර්මාණයක් කරනවා ඒ පැත්තෙන්.

තත්සරන්නී නාට්‍යයෙන් පසුව ඔබට තව නිර්මාණ කිහිපයක්ම ලැබෙනවා?

ඒක මගේ පළමු නාටය වුණත් තවම ඒක විකාශය වුණේ නැහැනේ.ඊට පස්සේ සිල්ලර සමනල්ලු නාට්‍යයට කතා කළා. ඒකේ මම ටානියා කියලා කැරැක්ටර් එකක් කළේ. ඒක මිනිස්සු අතරට ගියා. කුමී නාට්‍යයේ ශෙරීන් කියලා චරිතයක් රඟපෑවා. මේවාට හුඟක් ප්‍රතිචාර ලැබුණා.මියුසික් වීඩියෝ එහෙමත් කළා. මං හිතනවා තත්සරන්නී නාටය මගේ රංගන ජීවිතය වෙනසක් කරයි කියලා. මමත් එක්ක සූර්යා දයාරුවන් තමයි මේන්  රෝල් කළේ.

කොහොමද ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කිරීම ඔබට දැනෙන්නේ?

හොඳ දෙයක් කළත් සමහරු ඒකෙත් වැරදි හොයනවා.ඒ වගේ නානාප්‍රකාර  අය ඉන්න නිසා බොහොමත්ම පරිස්සමින් ඉඳන් තමයි වැඩ කරගෙන යන්න ඕනේ.

රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීමක් කියන්න කියලා මම කිව්වොත්?

තත්සරන්නී නාට්‍ය කරන දවස්වල තමයි මේක වුණේ. මට සීන් එකක් තිබුණා මෝටර් බයිසිකල් එකක් පැදගෙන යන. රුක්මල් අයියාලා මගේ පස්සේන් ආවා වෑන් එකකින්.කැමරාව තිබුණෙත් ඒකේ. මාව පොලිසියෙන් ඇල්ලුවා. ලයිසන් කෝ ඇහැව්වා.මං හොඳටම බය වුණා. රුක්මල් අයියාලා තමයි ඇවිත් බේර ගත්තේ.දැන්නම් මතක් වෙද්දි හිනා යනවා ඒ සිද්ධිය.

නෙතූගේ ගම කොහෙද?

ගම ගම්පහ.

පාසල?

දේවි බාලිකා විද්‍යාලය සහ රෝයල් ඉන්ස්ටියුට්.

ඔබ ගැන කෙටියෙන් හැඳීන්නුවහොත්?

හරිම සංවේදී කෙනෙක්.