මං වතුරට බය නිළියක්

- විනු පෙරේරා
ජූලි 16, 2020

ඔබේ නම සඳහන් කළොත්?

මම විනු පෙරේරා.

විනු නමින් තවත් නිළියක් ඉන්නවා නේද?

ඔව්. මං එයාව දන්නවා. අපි යාළුවො.

දෙන්නව පැටළුණ අවස්ථා නැතිද?

තවම එහෙම පැටලිලි සහගත දෙයක් වුණේ නැහැ.

විනු රංගනයෙන් දායක වූ නිර්මාණ ගැන මතක් කළොත්?

හිරු නාළිකාවේ “ඉව මාලා” නාටකය. මං එහි කොටස් රැසකටම දායක වුණා. වෙස්, රාවණ වගේ නාට්‍යවලත් චරිත රඟපෑවා. චිත්‍රපට ගැන මතක් කළොත් ගින්දරී දෙවැන්න, රෂ්, උදුම්බරා වගේ චිත්‍රපට කියන්න පුළුවන්. ඒ වගේම මට විශේෂ අවස්ථාවක් ලැබුණා පිටරටක ෂූට් කරන චිත්‍රපටයක රඟපාන්න. ඒ විස්තර පසුව කියන්නම්. මේ අගෝස්තු 18 මං ඒ වෙනුවෙන් විදෙස් ගත වෙනවා.

ඔබ මොස්තර නිරුපිකාවක ලෙසින් ද කටයුතු කරනවා නේද?

ඔව්. මම ආසයි මොඩ්ලින් කරන්න. ඉවෙන්ට්වලට සහභාගි වෙනවා. දිනුවත් පැරදුණත් මට ඕන මොඩ්ල් කෙනෙක් විදිහට ඒවාට සහභාගි වෙන්න.

ඔබ රංගනය හදාරනවාද?

මං ක්ෂේත්‍රයට එන්නේ කිසි දෙයක් ගැන හදාරලා නෙවෙයි. කාලයත් සමඟ ලැබූ අත්දැකීම් එක්ක මං දෙයක් ඉගෙන ගත්තා. මුලින්ම හිතේ ඇති වුණ ආසාවට රඟපෑවා, මොඩ්ලිං කළා. දැන් දැන් මට ඒ ගැන හැදෑරීමේ අවශ්‍යතාවය මතු වෙලා තියෙනවා.

ඔබ වතුරට බය නිළියක් කියන්නේ ඇත්තද?

අනේ ඔව්. ඒක ඇත්ත. මං වතුරට හරි බයයි. ගංගාවලට එහෙම බහින්නෙම නැති තරම්. පූල්වලටත් එහෙමයි. මං හිතන්නේ ඒ බය මගේ පෙර සසරේ ඉඳන් එන එකක් වෙන්න ඇති. ඒ හින්දා මං වතුරත් එකක් තියෙන දර්ශනවලට පෙනී සිටින්නේ නැහැ. මට එක අතකින් ඒක අවාසියක්.

ඔබේ පෞද්ගලික විස්තරත් කියමු බලන්න?

මගේ ගම මීගමුව. වර්තමානයේ පදිංචි වෙලා ඉන්නේ කඩවත. ඉගෙන ගත්තේ මීගමුව ශාන්ත මරියා විදුහලෙන්.

මොනවද අනාගත බලාපොරොත්තු?

හොඳ නිළියක්, හොඳ මොඩ්ලර් කෙනෙක් විදිහට කටයුතු කිරීම තමයි.

නිශ්ශංක