මගේ සංගීතය හඬක් නැති අය වෙනුවෙන් හඬක් නඟන්නයි

ගයත්‍රි කේමදාස
ජූලි 16, 2020

මේ ලිපිය ලිවීමට මා කැමැති වන හේතු තුනක් තිබේ. පළමුවැන්න ප්‍රස්තුත චිත්‍රපටය මා නියෝජනය කරන පුවත්පත් කලාව ඍජුවම විවේචනයට ලක් කරන වස්තුබීජයකින් නිමැවීමය. දෙවැන්න මෙරට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරියන් බිහි වී ඇත්තේ ඉතා අල්පයක් වීමය. තෙවැන්න ඇයත් මාත් දෙදෙනාම, එකම වේදිකාවේ තරග වැදී වරෙක ඇගේ පියාණන්ද තවත් වරෙක මගේ පියාණන් ද වශයෙන් රාජ්‍ය සම්මාන දිනා මේ වන විට දිවි කරළියෙන් සමුගෙන ඇති සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගේ දියණියන් වීමය. ඇය ප්‍රේමසිරි කේමදාස නම් වූ විශිෂ්ට සංගීතඥයාගේ කනිටු දියණිය ගයත්‍රි කේමදාසය. ද නිවුස්පේපර් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරියය. මේ ගයත්‍රි කේමදාස "ද නිවුස්පේපර්' චිත්‍රපටයේත් මෙරට වත්මන් සංගීත භාවිතයෙත් ස්වභාවය පිළිබඳ මා හා කී කතාවයි...

ගයත්‍රි බොහෝ කාලයක් හිටියේ විදේශගතවෙලා. මගේ මතකය හරිනම්, ඔබ මවුරටට ආවේ "තණ්හා රති රඟා" සංගීතය වෙනුවෙන් ?

තාත්තා අපට කියූ දේ තමයි ලංකාවේ ඔක්කොම ළමයින්ව අපට රට යවන්න බැහැ. ඒ නිසා ඔයගොල්ලන්ව යැව්වාම ඉගෙන ගෙන ඇවිත් අනෙක් අයටත් ඒ දැනුම බෙදා දෙන්න කියලා. මම විදෙස්ගත වුණේ අවුරුදු 16-17 වගේ කාලේ. තාත්තාගේ අභාවයෙන් පස්සේ 2012 වගේ වෙද්දි තාත්තා කියූ දේවල් ගැනත් හිත හිත ඉද්දි තමයි නිලේන්ද්‍ර දේශප්‍රිය මහත්මයාගෙන් ආරාධනාව ලැබුණේ තණ්හා රති රඟා චිත්‍රපටය සඳහා සංගීතය කරන්න කියලා. දිගුකාලීනව ලංකාවේ ඉන්න තීරණය කළේ ඒ කාලේ.

එතකොට 'ද නිවුස්පේපර්' චිත්‍රපටයට සම්බන්ධ වුණේ?

මේ චිත්‍රපටයේ සංගීතය කරන්න ආරාධනා කළේ කුමාර තිරිමාදුරයි, සරත් කොතලාවලයි. "තණ්හා රති රඟා" චිත්‍රපටයට සංගීතය කරද්දි ඇති වුණු ඇඳුණුම්කම නිසා තමයි අපට යළි එකතුවෙලා නිර්මාණයකට දායක වෙන්න ලැබුණේ.

මේ චිත්‍රපට දෙකේ තේමා සම්පූර්ණයෙන් වෙනස්? නිර්මාණයකට අනුරූපව සංගීතය සපයන්න සංගීතඥයා සැලකිලිමත් විය යුත්තේ මොනවගේ කරුණු ගැනද?

ඔව්, එකම තේමාවක වුණත් අධ්‍යක්ෂවරයා, රූපරාමු ආදියෙන් කතාව වෙනස් වෙනවා. එතකොට අපි කොහොමද සංගීතයෙන් ඒ කතාව කියන්නේ කියන දේත් වෙනස් වෙනවා. " ද නිවුස් පේපර් " චිත්‍රපටය උදාහරණයට ගත්තොත් එයින් කියැවෙන්නේ සමාජයෙන් සිදුවන විශාල අසාධාරණයක් නිසා මිනිසුන් තිදෙනකු මුහුණ පාන ගැටලු ගැන. තිරපිටපත කියවද්දිම මම සංගීතය කරන්න එකඟතාව ඵල කළාට චිත්‍රපටය දුටුවට පස්සේ මම ඒ තීරණය ගැන වඩාත් සතුටු වුණා. රූපගත කිරීම්වලින් පසුවයි මම සංගීතය නිර්මාණයට සූදානම් වුණේ. එවිට සංගීතයෙන් කොහොමද මේ අයගේ කතාව කියන්නේ, විශේෂයෙන් මේ අසාධාරණය හමුවේ විලාප දෙන, ඒත් අපට ඇයගේ හඬ දැඩිව නොඇසෙනවා වුණාට චිත්‍රපටය පුරාම ඇගේ හඬ රැව්දෙන මවක් ඉන්නවා. මම මේ චිත්‍රපටයේ දකින තවත් විශේෂත්වයක් තමයි ඒ වගේ වෙලාවක චරිතයක් මඟින් ගොඩාක් දේවල් කියන්න උත්සාහ නොදැරීම. චිත්‍රපටයේ හැම වචනයක්ම කියන්න හේතුවක්, තර්කයක් තිබෙනවා. මම කල්පනා කළේ මේ මවගේ හඬ කොහොමද සංගීතයෙන් හුවා දක්වන්නෙ කියලයි.

නාමාවලි සංගීතයෙදිත් අපට ඇහෙන්නේ පියානෝව, ෂෙලෝව සහ තාල භාණ්ඩ අතරින් විශේෂයෙන් උඩැක්කිය. ඒ ෂෙලෝවෙන් නැඟෙන සුවිශේෂී ගැඹුරු නාදය ඔස්සේ මම උත්සාහ කළේ ඒ අම්මාගේ වැලපීම ඉදිරිපත් කරන්න. අනෙක මේ අයගේ හුදෙකලා කතාව කියන්න මම වැඩිපුර භාණ්ඩ සහිත ලොකු වාද්‍ය වෘන්දයක් යොදාගත්තේ නැහැ. මුළු වාදකයන් සංඛ්‍යාවම දහයක් දොළහක් විතරයි. මොකද වයලීනම දහයක් විතර යොදාගෙන අනෙක් භාණ්ඩ සමඟ එන දැවැන්ත සිම්ෆනියක වගේ වෘන්දයක් මෙයට උචිත නැහැ කියලයි මට දැනුණේ. හැබැයි ඒ ෂෙලෝවෙන් ගේන හඬම තමයි අවසානයේ විශාරද නන්දා මාලිනියගේ ගැඹුරු හඬින් මතුවන්නෙත්. එතැනදි තමයි මේ මවගේ සැබෑ හඬ වචනයට පෙරළෙන්නේ. කොළඹ වගේ විශාල නගරෙක මේ අසරණයන් දෙන්නා තනිවෙලා යනවා, කුරුමිනි දෙන්නෙක් වගේ පොඩියට අපට පේන දර්ශනයක් තිබෙනවා. ඒ වෙලාවෙත් මම ෂෙලෝව භාවිත කරලා කීවේ ඒ අම්මා මොවුන් සමඟ මේ ගමන හදවතින් එන බවයි. ඒ වගේම චිත්‍රපටය පුරාම මම සංගීතය භාවිත කරන්න කැමැති වුණෙත් නැහැ. ඒ සඳහා නම් මට අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ උපරිම සහයෝගය ලැබුණා. නැත්නම් ලංකාවේ වැඩ කරද්දි සමහරු කියනවානේ අඬන තැන්වලටයි, හිනාවෙන තැන්වලටයි තව සංගීතය යොදමු, සින්දුවක් දාමු කියලා. මේ අය මට පුදුම නිදහසක් දුන්නේ එහෙම නොකර මේ නිර්මාණයට ගැළපෙන්න සංගීතය යොදන්න. මොකද මේ පුතා සතුටු ආරංචිය අම්මාටත් පෙන්නලා පත්තර කෑල්ල අරගෙන ගම්මුන් ළඟට එන කොටසක් තිබෙනවා. ඒ මුළු වෙලාවෙම ඔහුගේ සතුට වෙනුවෙන් වැයෙන සංගීතය ගම්මුන් ළඟදි නතර වෙනවා. මොකද අසාධාරණය වුණෙත් මේ සංගීතය කතා කරන්නෙත් ඒ දෙදෙනාගේ කතාව මිස ගම්මුන්ගේ හදවත ගැන නෙවෙයි.

*මෙහි ගීතය සුවිශේෂයෙන් කතාබහට ලක්වුණා?

ඔව්. මෙය යම් නිර්වචනයක් කරන්න පුළුවන් නම්, ගීතයයි, කවියයි අතරමැද අවස්ථාවක්. මුලින්ම මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතය ලියා කුමාර තිරිමාදුර මට ගෙනත් දුන්නාම මගේ හිතේ ඇඳුණේ කවියක් හැටියට. මොකද ඒ කතාවේ ඉන්න අම්මා වගේ කෙනෙක් එකපාරට එළියට ඇවිත් සින්දුවක් කියන වර්ගයේ නෙවෙයි. ඇය දරුවකුට කවියක් කියන වර්ගයේ කෙනෙක්. ඒ වගේම මේ අම්මා අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මේ ව‌ගේ අසාධාරණයන්ට ලක් වූ මවුවරුන් නියෝජනය කරනවා. ලංකාව විතරක් සැලකුවත් සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතියකම කොයි තරම් අම්මලා ඉන්නවාද යුද්ධෙදි හෝ 83 කෝලහාලවලදි අසරණ වුණ? ඒ අයගේ කතාව කියන්නවත් කෙනෙක් නැහැ. මොකද අනෙක් අයට මේ අම්මාගේ කතාව තවත් කතාවක් විතරයි. ඒ අම්මලා සියලුදෙනා නියෝජනය වන්න නම් ඒ හඬ ගැඹුරු සහ ප්‍රබල වෙන්න ඕනේ. ඒ ගීතය තුළත් ඈතින් ඇහෙනවා පිරිමි කටහඬක්. ඔහු ගයන්නේ නැහැ 'හම්' කරනවා විතරයි. ඒ හඬ වැදගත් වන්නේ අසාධාරණයට ලක් වූ දරුවන් නියෝජනයටයි. මේ ලෝකේ දරුවන් කී දෙනෙක් ඇත්ද තමන්ට වුණ අසාධාරණය අන්තිම මොහොතේ තමන්ගේ අම්මාටවත් කියාගන්න අවස්ථාව නොලැබුණ? ඒ කටහඬ තමයි මම ඒ පිරිමි හඬින් නියෝජනය කරන්නේ. මුලින්ම කතා වුණේ මෙය අම්මාගෙයි පුතාගෙයි යුග ගීයක් කරන්න. ඒත් එහෙම වුණා නම් මේ ඉන්න තත්ත්වයට වඩා බොහොම සුඛෝපභෝගී චරිත බවට ඒ දෙදෙනා පත් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසයි යුග ගීයකට මගේ විරෝධයට අධ්‍යක්ෂවරුන් එකඟ වුණේ. ඒ වගේම චිත්‍රපටය නිමාවේ යන නාමාවලී සංගීතයෙත් පිරිමි කටහඬක් මුසු කරලා තිබෙනවා. ඒ අවසානයේ නිහඬ වුණු කෙනාගේ හඬ වෙනුවෙන්.

ඔබ එසේ කීවාම අපේ ප්‍රේක්ෂකයන් චිත්‍රපට නැරඹීමේ දක්වන දුර්වලතාවක් ගැන කතා කරන්න සිදුවෙනවා?

ඇත්ත. මම අවසන් නාමාවලියට ඒ හඬ මුසු කළේ නිහඬ වුණු ඒ හඬට අප කළ යුත්තේ මොකක්ද කියන දේ ප්‍රේක්ෂකයන්ට හිතන්න පොලඹවන්න. එය තවත් චිත්‍රපටයක්ද? කතාවක්ද? නැත්නම් තවදුරටත් එහෙම හඬවල් සමාජයේ නෑසෙන්න අපි මොන මට්ටමකින් හෝ පෙනී සිටිනවාද? කියන දේ සිතන්න. ඒත් අප දකිනවා බොහෝ දෙනා චිත්‍රපටයේ චරිතවල කතාව අවසන් වුණු ගමන් ගාල කඩා ගත්තා වගේ එළියට දුවන්න කල්පනා කරනවා. ඒත් ඇත්තෙන්ම කළ යුත්තේ තමන් නැරඹූ චිත්‍රපටයේ සංගීතයෙන් කියැවෙන තව කතාවක් නැත්නම් අදහසක් තිබෙනවාද? කියලා හිතන එකයි. බොහෝ වෙලාවට මට බොහෝදෙනා එක්ක කතා කරද්දි දැනෙන්නේ ඒ අය ඉන්නේ තමන් හැමදෙයක්ම දන්නවා කියන මතයේ. එතකොට හරි අමාරුයි අලුත් දෙයක් හිතට දාන්න. ඒ නිසා මම කියන්නේ ඒ සියලු දේවල් හිතෙන් අතෑරලා චිත්‍රපටය බලන්න. මෙහේ අලුත් දේවල් ගැන හරියට කතා කළාට අලුත් දෙයක් කළාම ඒ දේ වැරැදි දකිනවා මිස හොඳක් කියන්න හරි අපහසුබවක් පේනවා. ඇත්තෙන්ම තාත්තාට ඔපෙරා ගැන කතා කරද්දි අනම් මනම් කියපු අයම තමයි මටත් එක එක දේවල් කියන්නේ. සිතිවිලි හරිම සාම්ප්‍රදායිකයි, ඒකාකාරියි අලුත් යමක් පිළිගන්න කැමැති නැහැ. ඇත්තෙන්ම වෙලාවකට හිතෙනවා සම්ප්‍රදායේ හිරවෙන්න එපා කියන අයම නේද ඒ රාමු තුළ හිරවෙලා ඉන්නේ කියලා. සමහර සාමාන්‍ය ප්‍රේක්ෂකයන් ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා හිතෙන අවස්ථාත් තිබෙනවා. මොකද ඒ ප්‍රේක්ෂකයන් ඉන්නේ විවෘත මනසකින්. අර අය ඉන්නේ තමන්ගේ මතය දිනව ගන්නෙ කොහොමද කියන තැනයි. සමහරු ඉන්නේ කොටු පුරවනවා වගේ 'ආ මම අද මේ චිත්‍රපටයත් බැලුවා. ම‌ට දැන් ඒ ගැන අනෙක් අයට කියන්න පුළුවන්' කියන මතයේ මිස චිත්‍රපටයක් විඳීන්නේ කොහොමද කියන දේ අමතක කළ තැනක. ඇත්තෙන්ම අප නිර්මාණ කරන්නේ සමාජය වෙනස් තලයකට ගන්න, ඒ දේ සිදුවෙන්න නම් රසවින්දනයත් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි.

ඔබ කියන්නේ චිත්‍රපටයට ආ විවේචන ගැන නම් ඒ බවත් අපට කියන්න?

ඇත්තෙන්ම සමහරු කියනවා මේ චිත්‍රපටයේ ලය හරි අඩුවේගී කියලා. එක තැනක් තිබෙනවා ප්‍රධාන චරිත තුනම තත්පර ගාණක් නිශ්ශබ්දයි. හැබැයි මේ දේවල් අපි විඳීන්න පුරුදු වෙලා නැහැ. ගල්ලෑල්ල වගේ ගමක ඉඳලා ආව දෙදෙනෙක්ගේ රිද්මය තමයි මම නම් මේ චිත්‍රපටයේ කැමැතිම දේ. ඒ අය ඇවිදින අඩියක් පාසා අප සමඟ යමින් අප තුළටම ගෙන යනවා. මේ වගේම නැතත් සමාන අත්දැකීම්වලට අපටත් අඩු වැඩි වශයෙන් කවදා හෝ මුහුණ දෙන්න සිදුවෙලා ඇති. අපට කන්තෝරුවකින් පොඩි වැඩක් කරගන්න ගියත් අඳුනන කෙනෙකු‌ නැත්නම් හරි අමාරුයිනේ ඒ දේ කරගන්න. ඒ තුළ කොයිතරම් අසරණ වෙනවාද මේ වගේ අය. ඒත් අපි ශත පහකට සලකලා නෑ කෙනෙකුට ඒ දේ දැනෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි අපි අද අහන දකින දේවල් එක්ක මේ වගේ චිත්‍රපටයක් දැක්කාම ඒ රිද්මය හඳුනා නොගැනීම සෑහෙන කණගාටුවකට කරුණක්. මොකද අපි ඒ රිද්මය අතහැර යන්න ගිහින්.

ඒ කියන්නේ වත්මන් ටෙලි නිර්මාණ ගැනද?

මට හිතෙන දෙයක් තමයි අද ටෙලි නාට්‍යවලට තිබෙන ආකර්ෂණය සමඟ ඒ සංගීතය තුළ මීට වඩා තැනකට අපට සමාජය ගේන්න පුළුවන් කියන දෙය. ඉතින් අපි ඊට වඩා පසුගාමී තැනක ඉන්නවා නම් මහා ඛේදවාචකයක් වෙනවා මුළු සංස්කෘතියටම, මොකද අප ඉන් එහා සිනමා ශාලාවක හෝ වෙනත් වින්දනීය අවස්ථාවක එතනින් එහා දෙයක් දැක්කාම එය වැලඳගන්න අකමැති වෙන නිසා. මම ඇත්තෙන්ම ටෙලි නාට්‍ය සංගීතයට නම් යොමු වුණේම නැති තරම්. එකම පර්යේෂණාත්මක මට්ටමේ නිර්මාණයකට සහභාගී වුණා එය රූපවාහිනියේ විකාශය වුණේ නැහැ මම හිතන්නේ. ඇත්තෙන්ම හොඳ නිර්මාණයක් ලැබුණොත් ඇරෙන්න මගේ කැමැත්තකුත් නැහැ සහභාගී වන්න. අනෙක ටෙලිවිෂනය කියන්නේ අපේ සංස්කෘතියට දැඩිව බලපාන දෙයක් නිසා මේ තත්ත්වයට වගකියන්න ඕනේ රූපවාහිනි නාළිකා සියල්ලම. මට තිබෙන ප්‍රශ්නය අපව මේතරමට මොට කරන්න මේ අය මේ තරම් උත්සාහ ගන්නේ ඇයි කියන එකයි.

ඔබ මේ කතා කරන්නේ ඔබේ තාත්තාගේ - කේමදාස මාස්ටර්ගේ ආභාසය සහ ඔබේ අධ්‍යයනය, අධ්‍යාපනය සමඟ?

ඇත්තටම ආභාසය කියන්නේ තාත්තා සංගීතය ගැන කතා කළ විදිහ. හැම විටම තාත්තා සංගීත ඛණ්ඩයක් දීලා මායි අක්කයි එක්ක වාද විවාද කරනවා ඇයි ඒ වෙලාවේ ඒ වගේ සංගීත ඛණ්ඩයක් යෙදුවේ. ඇයි ගොළුහදවත වගේ චිත්‍රපටයකට ගීතයක් නොලියැවුණේ 1960 දශකයේ වෙලත්. අද වගේනම් සින්දුවලින් නාවනවා ඒ චිත්‍රපටය. ඒකයි මම කියන්නේ තාත්තාගේ ආභාසය කියන්නෙ තාත්තා හිතන විදිහ කියලා. මම සංගීතය ඉගෙන ගන්න ගියේ. ප්‍රේගු කොන්සවේටරි සංගීත ඇකඩමියට. එහිදී මම අත්විඳී දේවල් තාත්තා කී දේවල්වලට හරිම සමානයි. මට හිතාගන්න බැහැ තාත්තා ඒවා දැනගත්තේ කොහෙන්ද කියලා. ඒ පාසලේ ඉගෙන ගනිද්දි තමයි ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ඔපෙරාවක් කරන්න කියලා ආරාධනාවක් සමඟ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වය ලැබුණේ.

ඔබ තාත්තාගේ අඩිපාරෙමද දිගටම යන්නේ?

තාත්තාගේ චින්තනය දිගටම තියාගන්න ඕනේ කියල මම විශ්වාස කරනවා. හැබැයි මෙය තාත්තාට කරන අගෞරවයක් හැටියට හිතන්න එපා. අපි හැම කෙනකුටම අනන්‍යතාවක් තිබෙනවා. ඒ වෙනස මතු කරගන්න තරමට තමයි හොඳ. මොකද මට වෙනත් අයගේ සමහර සංගීත ඛණ්ඩවල පවා තාත්තාගේ සංගීත කොටස් කොපි පේස්ට් කළා වගේ ඇහෙන වෙලාවල් තිබෙනවා. ඒවා අගය කරන වෙනම පිරිසකුත් ඉන්නවා. ඒත් තාත්තා ප්‍රේමසිරි කේමදාස කියලා අන් අයගෙන් වෙනස් වුණේ තාත්තා හිතපු ක්‍රමය නිසානේ. ඒ වගේ මමත් මේ චිත්‍රපටයේ පවා උත්සාහ කළේ වෙනස් දෙයක් කරන්න. තාත්තාගේ ආභාසය තිබුණත් මම මට වගේම, මම කරන නිර්මාණයට අවංක වෙන්න ඕනා. බටහිර සංගීතයේ බාස් වගේම ඊට පස්සේ පැමිණි මොසාට් ජනප්‍රිය වුණේ ඒ ශෛලිය වෙනස් කරගත් නිසානේ. මම ඒ උදාහරණය ගත්තේ කෙනෙකුගේ සංගීත දැක්ම තමන්ට ආභාසයක් කරගත්තාට කමක් නැහැ, තමන්ගේ අනන්‍යතාව හැමකෙනකුම පවත්වා ගත යුතුයි කියන්නයි.

අද කාලේ සමස්තයක් ලෙස රටේ පවතින සංගීතය ගැන මොකද හිතෙන්නේ?

අපේ තාත්තලාගේ කාලෙට වඩා සංගීතය ඉගෙන ගන්න ඕනෙ තරම් ක්‍රම අද තිබෙනවා. අන්තර්ජාලය හරහා හෝ වෙනරටවල අයට කතා කරන්න පවා පහසුකම් ඇති නිසා. ඒත් බොහෝදෙනා බටහිරකරණය වෙන්න ඕනේ කියලා හිතනවා. සමහරු 'කේමදාස' වෙන්න හදනවා. සමහර තැන්වලට නොගැළපෙන විදිහට කටහඬවල් පාවිච්චි කරනවා. කන්‍යාවි ගීතයේ ගැහැනියගේ හඬ භාවිත කළේ හේතුවක් ඇතුව. මම හිතන්නේ සංගීතඥයන්ට අමතරව අධ්‍යක්ෂවරුන් දැනුම්වත් වෙන්න ඕනේ තමන්ගේ නිර්මාණයට සංගීතය යොදාගන්නේ කොහොමද කියලා තේරුම්ගන්න. මේ රටේ සිනමා අධ්‍යක්ෂණය ආදිය උගන්වන පාඨමාලාවලට සංගීතය පිළිබඳවත් අවබෝධයක් ලබා දෙන ක්‍රමයක් තිබෙනවා නම් හොඳයි. මොකද තමන්ගේ නිර්මාණය තුළ මහා රැඩිකල් දේවල් කතාකරන අධ්‍යක්ෂවරු සංගීතය කියන කොටසට ආවාම තේරුම්ගන්නේ නැහැ මොකටද ඒක යොදන්නේ කියලා. සමහර වෙලාවට ඒ අයට රූපරාමුවෙන් කියාගන්න බැරි හැඟීම සංගීතයෙන් දෙන්න පුළුවන් කියලා හිතන අයත් ඉන්නවා.

කාන්තාවක් සංගීත අධ්‍යක්ෂණයට යොමු වෙද්දි සහයෝගය කොහොමද?

කාන්තාවකට ඉඩ දෙන්නේ බොහෝ විට තව කෙනකුට පහර දෙන්න වගේ දේවල් අරමුණු කරගෙන කියලයි මම දැකලා තිබෙන්නේ. තණ්හා රති රඟාවල සංගීත නිර්මාණය කළේ මම, අක්කා තමයි අධ්‍යක්ෂණය. අපට සම්මාන ලැබිලා, අපි පිටරට ගිහින් අධ්‍යයනය කරලා ආවා කීවාම තව තව අධ්‍යක්ෂවරුන්ට කුතුහලයක් හෝ ඇති වෙයි කියලා හිතුණා අපට නිර්මාණයක් කරන්න පුළුවන් වේවිද කියලා බලන්න. ඒත් එහෙම තැනක නෙවෙයි ඒ අය ඉන්නේ. මේ නිර්මාණ දැකල පිටරටින් පවා වැඩ එනවා. ඒත් ලංකාවේ එහෙම නැහැ. ඇත්තෙන්ම කාන්තාවක් වීම කිසිම දේකට ප්‍රශ්නයක් විය යුතු නැහැ. සමහර චිත්‍රපට කාන්තාවන් ගැන කතා කරලා පිටරට ගිහින් සම්මානත් ලබනවා. හැබැයි පිරිස ගත්තාම ඉන්නෙම පිරිමි. ඇයි ගැහැනු අය නැද්ද ඒ වැඩ කළ හැකි. කෝ ඒ අයගේ රැඩිකල්කම. එයාලාගේ අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැහැ. කේමදාස මාස්ටර්ගේ දුව නිසාම මුහුණ දෙන්න වන දේවල් කොච්චරද කීවොත් මට පොත් ලියන්න පුළුවන් ඒ ගැන. තාත්තා සමහර දවස්වලට දත් කකා සාලේ ඇවිද්දේ ඇයි කියලා තේරෙන්නේ මෙහෙ වැඩකරන්න ගියාමයි. හැබැයි මම හිතනවා අනාගතේ ඒ දේවල් වෙනස් වෙයි කියලා. ඒ වෙනස ඇති විය යුත්තේ ගෙදරින්. අපේ ගෙදර ඒ වෙනස තිබුණ නිසයි අක්කා ඉංජිනේරුවරියක් වගේම සංගීත අධ්‍යක්ෂවරියක් වුණේ. මමත් මේ අංශයට යොමු වුණේ.

මේ අවස්ථාවේ ඔබට මතක් වන කවුරුන් හෝ ඉන්නවාද?

කුමාර තිරිමාදුර, සරත් කොතලාවල අධ්‍යක්ෂවරු දෙදෙනා සහ මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වන බන්දුල ගුණවර්ධන, එච්.ඩී. ප්‍රේමසිරි මහත්වරුන් වගේම අනෝජා වීරසිංහ මහත්මියත් මට සෑම දේකදිම උපකාර කළ කෙනෙක්.

අපි බොහෝ වෙලාවට මේ රටේ ගරු කරන්නේ වැරැදි තැන්වලට, තැනැත්තන්ට. මගේ අත්දැකීම නම් ඒ රටවල සෑම තරාතිරමකම අය සවසට යනවා සිම්ෆනියක්, ඔපෙරාවක් අහන්න. ඒත් අපේ රටේ සමහර වෛද්‍ය සායනවල ඇහෙන සින්දු නිසා අපට වෙන ලෙඩක් හැදෙන තරම් කියලයි හිතෙන්නේ. හැබැයි නුවර රෝහලේ වෛද්‍ය හරිශ්චන්ද්‍ර සහ ඔහුගේ කණ්ඩායම වැනි අයට ස්තුතිවන්ත වන්න ඕනේ අපේ තාත්තා සුවකළාට පමණක් නොවේ වෛද්‍ය සේවය නිවැරැදිව හඳුනාගෙන රටට සේවය කළාට. ඒ වගේ අයත් අතළොස්සක් හෝ ඉන්න බව අමතක කරන්න බෑ මේ වෙලාවේ. ඒ වගේම මේ කොවිඩ් වසංගතය ජය ගන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය කරන කැපවීම අමතක කරන්න බැහැ.

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදරචනයක් විශාරද නන්දා මාලනිය ඔබේ තනුවකට ගයනවා කීවාම බොහෝ දෙනා පරණ මතකයන් අවදි කරමින් කේමදාස මාස්ටර් සමඟ ඔවුන්ගේ තිබූ වෘත්තීය මතභේදය ගැන විමසනවා?

අම්මාවරුනේ ගීතය ගැයුවෙත් නන්දා ආන්ටි. මේ චිත්‍රපටයේ බුදුවන්නේ නුඹයි පුතේ කියන හැඟීම ගන්න පුළුවන් වන්නේත් නන්දා ආන්ටිගේ හඬින්. වෘත්තිමය තත්තවයේදී සුදුසු කෙනාට සුදුසු අවස්ථාව දෙනවා මිසක කෝන්තර පිරිමහන්න බැහැ. අනෙක මෙච්චර බුද්ධාගම ගැන කතා කරන රටේ අපි කෝන්තර තියාගන්න ඕනෑද? මම මූණට කියනවා නෙවෙයි, සුනිල් අංකල් වගේම නන්දා ආන්ටි මට පුදුම සහයෝගයක් මේ වැඩේදි ලබා දුන්නා. පුහුණූුවීම්වලට මම නන්දා ආන්ටිලෑ ගෙදර එන්න ඇහුවාම නෑ පුතේ මම එන්නම් කියලා වෙලාවට විනාඩි පහකට හරි කලින් ගෙදර ආවා. ගීතයේ වචන වෙනස් කරන්න පවා සුනිල් අංකල් සහාය වුණා. මට වැදගත් ඒ අය නිර්මාණයට කොතරම් කැපවෙනවාද කියන දේ විතරයි. රෙකෝඩිං කරන වෙලාවෙත් වෙන අය නම් අපි ගිහින් පැය ගණන් බලා හිටියාමනේ එන්නේ. තාත්තා එක්ක කෝන්තරයක් තිබුණා නම් මේ අය එපැයි මට එහෙම කරන්න. ඒත් නන්දා ආන්ටි මම ස්ටූඩියෝවට ඇතුළු වෙද්දිම ආවා. ඒක තමයි බැඳීම කියන්නේ.

චිත්‍රපටයෙන් පස්සේ මොනවාද කරමින් ඉන්නේ?

අලුත් චිත්‍රපටයකට සංගීතය අධ්‍යක්ෂණය කරන්න ආරාධනයක් තිබෙනවා, තාම සාකච්ඡා මට්ටමේ. එංගලන්තයේ විමෙන් ඔෆ් ද වර්ල්ඩ් කියලා ඔන්ලයින් සංගීත උලෙළක් තිබුණා ලොව පුරා පැය විසිහතර පුරාම පැවැත්වුණු. එයට අපේ කේමදාස පදනමේ ළමයින් සමඟ සූදානම් වුණා. ඒ වගේම එංගන්තේ පෝර්ට්ස්මවුත් විශ්වවිද්‍යාලයීය ගායක කණ්ඩායම සමඟ තව ඉදිරිපත් කිරීමක් කරමින් හිටියා. කොරෝනා තත්ත්වය නිසා මාර්තුවල යෙදී තිබුණු එය කල් ගිහින් තිබෙන්නේ. අක්කයි මමයි හැම අවුරුද්දෙම ලංකාවට ආවා. මම දැන් අවුරුදු හයක් තිස්සේ ලංකාවේ රැඳෙමින් තාත්තා කළා වගේම පදනම පවත්වාගෙන යනවා. මේ චිත්‍රපටයේත් තිබෙනවා මේ පදනමේ ළමයින්ගේ හඬ මුසු කළ තැන්. කොරෝනා ප්‍රශ්නය නිසා අතරමඟ නැවතුණත් අපි දිගටම කරගෙන ගිය කටයුත්තක් තමයි සංගීත ගුරුවරුන් නැති පාසල්වල නොමිලේ වැඩමුළු පැවැත්වීම. එයින් සංගීත රසවින්දනය කොහොමද සමාජයට හුරු කරන්නේ කියන දේ අපි උගන්වනවා. මොකද බොහෝ දෙනා උත්සාහ කරන්නේ ඉක්මනින් සින්දුවක් කියලා ප්‍රසිද්ධ වෙන්න. ඒත් අපේ පදනමේ අරමුණ කෙනෙක් අධ්‍යයනයක් සමඟ එළියට එන්න පුරුදු කරන එක. අපට කටහඬක් තිබෙනවා නම් අප කළ යුත්තේ හඬක් නැති කෙනකු වෙනුවෙන් ඒ හඬ නඟන්න උත්සාහ කිරීමයි. තාත්තා කළෙත් ඒ දේයි. අපට ඒ ගැන අදහගන්න බැරි තරම් ආඩම්බරයක් තිබෙන්නේ.

නිශ්ශංක විජේරත්න